රුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්

විකිපීඩියා වෙතින්

කතරගම බෞද්ධ දෙවියන්

ලංකාරක්ෂක සතරවරම් දෙවියන් වන උත්පලවර්ණ සුමන කාර්තිකේය විභීෂණ යන දෙවියන් අතර කතරගමට අධිගෘහිත මහාසේන ස්කන්ධකුමාර දිව්‍යරාජයාද වේ.මේ බිම වත්මනෙ පුද ලබන කතරගම ස්කන්ධකුමාර දෙවියන් හා කිරිවෙහෙර කරවූ මහසෙන් දෙවියන් දෙදෙනෙක් බවද එක් අයෙක් බවද මත වේ.

අප මහාසේන දෙවියන් ලෙස හදුන්වන්නේ බුදුරජාණන් වහන්සේ කතරගම කිරිවෙහෙර භූමියට වැඩ බොහෝ දෙවියන්ට ධර්මය දේශනා කල පසු එම ස්ථානයේ ස්ථූපයක් කරවූ මහාඝෝෂ හෙවත් මහා සේන දිව්‍ය රාජයාය.

බුදු සසුනට මෑත කාලයේ මහත් සේවයක් කල බලන්ගොඩ ආනන්ද මෛත්‍රි නාහිමිපාණන් වහන්සේද සැබෑ කතරගම දෙවියන් පිලිබදව ගවේෂණය කර තිබේ.උන්වහන්සේ නාඩි වාක්‍ය ශාස්ත්‍රයෙන් ලබාගත් තොරතුරු අනුව කතරගමට අධිගෘහිත දෙවියන් දඹදිව සුබ්‍රහ්මණ්‍ය නමින් සිටි බලගතු දේවතාවෙකි.බුදු රදුන්ගේ අණ පරිදි කතරගමට අධිගෘහිතව බෞද්ධයින් ආරක්ෂා කිරීම සුබ්‍රහ්මණ්‍යය දෙවියන් සිදුකරයි( ධාතු වංසය අනුව කතරගමට අධිපති මහසෙන් දෙවියන්ය)ඉන්දියාවේදී සුබ්‍රහ්මණ්‍ය යන නාමය ස්කන්ධකුමාර දෙවියන් සදහා අතීතයේ සිට භාවිත වේ.ගුප්ත යුගයට අයත් කාසිවල මුහුණු සය සහ මොනර වාහනය සහිත ස්කන්ධකුමාර රූපය සහ බ්‍රහ්මණ්‍ය ලෙස සටහන් කර තිබෙනු දැකිය හැක.දකුණු ඉන්දියාවේදි කදකුමරුන් හදුන්වන ප්‍රධාන නාමයක් ලෙස සුබ්‍රමනියම් හැදින්විය හැක.එසේම කදකුමරුට මහාසේන යන නම ඉන්දියානුවත්ද භාවිතා කර තිබේ උදාහරණයක් ලෙස ස්කන්ධ ගයාත්‍රි මන්ත්‍රය වන්නේ ඕම් තත් පුරුෂාය විද්මහේ මහාසේනාය ධීමහී තන්නෝ ශන්මුඛ ප්‍රචෝදයාත් යන්නයි.

එසේම වර්තමානයේ පැතිරෙන අදහසක් වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් පලමු නිදහස් සටන පරාජයෙන් පසු කතරගම පුදබිම හින්දූන්ට භාරදුන් බවත් ඉන්පසු කතරගම පුදබිම ස්කන්ධකුමාර දෙවියන්ට කැපකල බවත්ය.මෙය වැරදි අදහසෙකි.සාහිත්‍ය මූලාශ්‍ර කීපයකින් ඒ බව සනාථ කරමු.

මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ලියවුණු වදන් කවි පොතෙහි

කතරගම පුර පවර යස තෙද මුහුණු සය ඇති දෙව් රජාණෙනි ආනුභාවෙන් මෙමට සිල්පය සිද්ධ කර කර දෙන සමුදුරාණෙනි.....

මේ අනුව මහනුවර යුගයේදි කතරගම මුහුණු සයක් ඇති කද කුමරු වෙනුවෙන් කැපවූ බව පැහැදිලිය.

නමුත් කතරගම මහාසේන දෙවියන් හා ස්කන්ධකුමාර දෙවියන් එක් අයෙකු බව හදුනා ගැනීම මීටත් පෙර සිදුවූවකි. කෝට්ටේ යුගයේ ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ සිරි රහල් හිමි රචිත සැළලිහිණි සන්දේශයේ

ගනේ මිණි බැබලි කිරනෙව් සතපාය රනේ යටග සැවුලිදු දද ගලපාය අනේලකර කල පුර අප නරපාය පෙනේ දකුණැ මහසෙන් දෙව්‍ රද පාය

සැවුල් ධජය හින්දු සාහිත්‍ය අනුව කදකුමරුන් සතු මංගලෝපකරණයෙකි. සැවුල් ධජයන්ගෙන් රුහුණෙ මහාසේන දේව ප්‍රාසාදය සැරසීමෙන් පෙනී යන්නේ කෝට්ටේ යුගයේ සිටම මහාසේන සහ ස්කන්ධකුමාර දෙවියන් එක් අයෙකු ලෙස පිලිගත් බවය.

මීට අමතර්ව අරුණගිරිනාථර් නම් හින්දු පඩිවරයාගෙ පොත්වලද කතරගම ස්කන්ධ දෙවියන්ගේ දෙවොලක් ගැන සදහන් කර ඇත.

කෙසේ වෙතත් බෞද්ධ බැතිමතුන් බොහෝදෙනෙකු කතරගම දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් කතරගම පුදබිමට පැමිණ නොයෙක් පුද පූජා තබයි.මේ වතාවත් ඇතැම් බෞද්ධ බැතිමතුන් බොහෝ වැරදි සිදුකරයි.එකක් නම් කිරිවෙහෙර වැදපුදා පලමුව තෙරුවන් වැද පසුව දෙවියන් පිදිය යුතු වුවත් පලමුව දේවාලයට ගොස් පසුව කිරිවෙහෙර යාමයි.මෙයින් සිදුවන්නේ ආර්‍ය ශ්‍රාවක කද සුරිදුගේ පිහිටද මොවුනට නැතිව යෑමයි.එසේම ඇතැම් බෞද්ධයින් කටු ගැසීම ගිනි පෑගීම වැනි අභිචාරයන්ට හුරුව ඇත.මෙවැනි පූජා හින්දුන්ට ඔවුන්ගේ දහම අනුව ගැටලුවක් නොමැති වුනත් බෞද්ධයින්ට කිසිසේත්ම නුසුදුසුය.ආර්‍ය ශ්‍රාවක දිව්‍ය රාජයෙක් යන සංඥාවෙන් කතරගම දෙවියන් පුදන බෞද්ධයකුට මෙවැනි දෑ කෙතරම් ගැලපේ දැයි සිතා බැලිය යුතුයි.

බාහිර සබැදි [සංස්කරණය]

සැලළිහිණි සන්දේශය

ගණදෙවි හෑල්ල සහ වදන් කවි පොත

බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමියන්ගේ අපට නොපෙනෙන ලෝකය