රිද්මයානුකූල ජිම්නාස්ටික්

විකිපීඩියා වෙතින්
ග්‍රීක කණ්ඩායම වෙතින් රිද්මයානුකූල ජිම්නාස්ටික් 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියෙහිදී
2013දී කසාන් හි පැවති රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගයක්

රිද්මයානුකූල ජිම්නාස්ටික් යනු තනිවම හෝ දෙදෙනෙකු, තිදෙනෙකු නැතහොත් ඊට වැඩිපිරිසක් (සාමාන්‍යයෙන් මෙම ගණන පහකි) කඹ, වලලු, බෝල, පොලු සහ පීත්ත පටි විවිධාකාර ලෙස හසුරුවමින් කරන ක්‍රීඩාවකි. එමෙන්ම රිද්මයානුකූල ජිම්නාස්ටික් යනු බැලේ, ජිම්නාස්ටික්, නැටුම්, උපකරණ හැසිරවීම් ආදිය එකට සම්බන්ධ කර ගත් ක්‍රීඩාවකි. වැඩිපුර ලකුණු රැස් කර ගත් තැනැත්තා ජයග්‍රාහකයා වෙයි. ජයග්‍රාහකයා තෝරනු ලබන්නේ විනිශ්චය මණ්ඩලයක් විසිනි. විනිශ්චයේදී ක්‍රීඩකයින්ගේ පැනීම්, සමබරතාවය, භ්‍රමණය, නම්‍යශීලිත්වය, උපකරණ හැසිරවීම සහ කලාත්මක ගුණාංග එක්කිරීම් විනිශ්චයකරුවන් විසින් සැලකිල්ලට ගනු ලැබේ.

Federation International de Gymnastics (FIG) ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනේල් ඩි ජිම්නාස්ටික් නම් ක්‍රීඩා පාලන ආයතනය 2001, 2003, සහ 2005 වසර වලදී ලකුණු දීමේ විධාන සංග්‍රහය වෙනස් ‍කළේය. තාක්ෂණික අංශය වඩාත් අවධාරණය කිරීම සහ විනිශ්චය කිරීමට අදාළ විෂය පථය අඩු කිරීම එහි අරමුණ විය. 2001 ට පෙර විනිශ්චය කෙරුනේ කලාත්මක ජිම්නාස්ටික් වල මෙන් 10 පරිමාණයෙනි. එය 2003 දී 30 පරිමාණයටද, නැවත 2005 දී 20 පරිමාණයටද වෙනස් කරන ලදි. අවසාන ලකුණු නිශ්චය කිරීමට අගයයන් 3 ක් එකතු විය යුතුය. එනම්, තාක්ෂණික, කලාත්මක සහ ක්‍රියාත්මක වීම යන අගයයන්ය.

අන්තර් ජාතික තරඟ වලදී ජූනියර් සහ සීනියර් වශයෙන් කොටස් දෙකකට බෙදේ. උපන් දිනය අනුව වයස 16 න් පහළ අය ජූනියර් ලෙසත් ඉහළ අය සීනියර් ලෙසත් කාණ්ඩ කරනු ලැබේ. ජිම්නාස්ටික් පුහුණුව සිරිතක් වශයෙන් ආරම්භ කරන්නේ කෙනෙකුගේ කුඩා අවදියේදිමය. ඔවුන් හැකියාවන් අතින් ඉහළම තත්වයට පත්වන්නේ අවුරුදු විස්ස සම්පූර්ණ වීමට ආසන්නයේදිය.මෙම ක්‍රීඩාවේ උපරිම අවස්ථාවන් ලෙස සැලකෙන්නේ ඔලිම්පික් තරඟ, සහ ග්‍රෝං ප්‍රි (Grand prix) ශූරතාවයන් යන අවස්ථායි.