රාජ්‍ය සේවා කොමිෂන් සභාව

විකිපීඩියා වෙතින්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඓතිහාසික පසුබිම[සංස්කරණය]

ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1946 මැයි මස 15 දිනැති ලංකා (ආණ්ඩු ක්‍රම) රාජාඥාව මගින් ප්‍රථම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. එමගින්, රාජ්‍ය නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම් පිළිබඳ විධායක බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙන ලදී.

වර්ෂ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග, එතෙක් වසර විසි හයක් පුරා ස්වාධීන ව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කරන ලද අතර රාජ්‍ය සේවය පිළිබඳ අධිකාරී බලය අමාත්‍ය මණ්ඩලය වෙත පවරා දෙනු ලැබිණ.

වර්ෂ 1978 දී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර, එම කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කිරීම උක්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 56(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබීය. අමාත්‍ය මණ්ඩලයේ අභිනියෝජිත බලය ප්‍රකාර ව එම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක විය.

වර්ෂ 1978 දි, අමාත්‍ය මණ්ඩල නියෝග ප්‍රකාරව, රජයේ නිලධාරීන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පවරා දෙනු ලැබිණ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ‍ අභියාචනා බලධරයා වශයෙන් ක්‍රියාත්මක විය [ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58(1) හා 58(2) ව්‍යවස්ථා බලන්න].

පසුව, වර්ෂ 1992 දී, එතෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පවරා තිබූ මාණ්ඩලික ශ්‍රේණිවල රජයේ නිලධාරීන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පවරා දෙනු ලැබිණ. කොමිෂන් සභාව හෝ එමගින් බලය අභිනියෝජිත කමිටුවක් විසින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට, අමුතු කිරීමට හෝ අවලංගු කිරීමට බලතල අමාත්‍ය මණ්ඩලය වෙත රඳවා ගනු ලැබිණ.

වර්ෂ 2001 දී, 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්, රාජ්‍ය සේවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එතෙක් පැවති IX වන පරිච්ඡේදය පරිච්ඡින්න කොට නව පරිච්ඡේදයක් ඇතුලත් කරන ලදී. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයන් නව දෙනෙකුගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමන්විත වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් එම සාමාජිකයන් අතුරෙන් එක් අයෙකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුණි. මෙම සංශෝධනය මගින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තත්ත්වය ප්‍රබල වෙනසකට භාජනය වූ අතර, ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව, රාජ්‍ය සේවයේ පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා විනය පාලනය කිරීම පිලිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී තිබුණු බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරිණි. තවද මෙහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට වගකීමට හා පිළිතුරු දීමට බැඳී සිටින ආයතනයක් බවට පත් කෙරිණි.

වර්ෂ 2010 දී, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්ථාපනය හා කර්තව්‍යයන්ට අදාළ කරුණු සංශෝධනය කරනු ලැබ ඇත. මෙය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට පිළිතුරු දිය යුතු කොමිෂන් සභාවකි. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත 54(1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් නව දෙනෙකුගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමන්විත වේ. ජනාධිපතිවරයා විසින් එම සාමාජිකයන් අතුරෙන් එක් අයෙකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබේ. ඔවුහු තෙවසරක කාල පරිච්ජේදයක් සඳහා ස්වකීය ධූර හොබවන අතර, තවදුරටත් එවැනි එක් කාල පරිච්ජේදයක් සඳහා නැවත පත් කරනු ලැබීමට සුදුස්සන් වනු ඇත. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත 55(1) ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් රජයේ නිලධරයන්ට අදාළ සියලු ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්විය යුත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව, පොලිස් නිලධාරීන් ද ඇතුළුව රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා ඔවුන් විෂයයෙහි විනය පාලනය කිරීම පිලිබඳ බලතල කොමිෂන් සභාව වෙත පවරා ඇත.

පත්කිරීම් හා උසස් කිරීම් අංශය[සංස්කරණය]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 57 වන ව්‍යවස්ථාව අනුව, අමාත්‍ය මණ්ඩලය විසින්ද නිශ්චිතව දක්වා ඇති පරිදි 2011.11.25 දිනැති අංක 1733/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලැබ ඇති බලතල පැවරීම ප්‍රකාරව පත්වීම් බලතල පවරා නොමැති රාජ්‍ය නිලධාරීන් (අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් රාජ්‍ය සේවයේ හා අධිකරණ සේවයේ නිලධාරින් හැර) සම්බන්ධයෙන් වන පත්කිරීම් හා උසස් කිරීම් පිළිබඳ පහත දැක්වෙන කර්තව්‍යයන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත්කිරීම් හා උසස්කිරීම් අංශය වෙත පවරනු ලැබ ඇත.

පත්කිරීම්[සංස්කරණය]

අනුමත සේවා ව්‍යවස්ථා/බඳවා ගැනීමේ පරිපාටි අනුව බඳවා ගැනීම, සේවයේ ස්ථිර කිරීම, සේවය අවසන් කිරීම, කළින් දැරූ තනතුරට පෙරළා යැවීම, වැඩබැලීමේ/රාජකාරි ඉටු කිරීමේ පදනම මත පත්කිරීම්, මුදාහැරීම්(ස්ථිර/තාවකාලික), සේවා ව්‍යවස්ථාවන්හි උප ලේඛනගත තනතුරුවලට (අදාළ අවස්ථාවන්හිදී) පත්කිරීම්, කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම්, සේවයෙන් ඉල්ලා අස්වීම්, සේවයට/තනතුරට නැවත පත්කිරීම්, විශ්‍රාම ගැන්වීම් (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88 අනුව, වෛකල්පිත/අනිවාර්ය/වෛද්‍ය හේතූන් පදනම මත), විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම.

උසස් කිරීම්[සංස්කරණය]

  • අනුමත සේවා ව්‍යවස්ථා/බඳවා ගැනීමේ පරිපාටි අනුව උසස් කිරීම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ස්ථානමාරු පරිපාටි අනුව නොවන ස්ථානමාරු කිරීම් සහ ස්ථානමාරු සම්බන්ධ අභියාචනා.
  • ඉහත සඳහන් කර්තව්‍යයන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලැබ ඇති නියෝග/තීරණවලට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙහි පවරා ඇති නඩු හා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි හා අභියාචනාධිකරණයෙහි ගොනුකර ඇති අයදුම්පත්.