රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානය දකුණ‍ට ගෙන යාම-දඹදෙණියේ නැගීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලංකාවේ දේශීය රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානය දකුණ‍ට ගෙන යාම ආරම්භ වූයේ මෙම යුගයේදීය. මාඝ ගේ සමයේ, පුලත්තිනගරයෙහි නායක හිමි රජරට අති පූජනීය වස්තුවක් වූ බුදුන්ගේ පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව රැගෙන ගොස් ආරක්ෂිත ස්ථානයක් වූ කොත්තුවල කඳු වැටියේ වළ දැමුවේය. මෙය එසේ කළ පළමු අවස්ථාව නොවේ. එහෙත් එය අවසාන අවස්ථාව වූයේ ඉන් පසු ඒ දෙකම නැවත උතුරට නොගිය හෙයිණි.

ආක්‍රමණිකයින්හට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ, ළඟා වීමට අපහසු නගර හා බලකොටු ගොඩ නැගීමේ අවශ්‍යතාවයක් ඇති විය. සේනාපති සුභ විසින් යාපහුවේ ගොඩ නගන ලද බලකොටුව මේවායින් එකකි. තවත් එකක් නම් 'ගංගාද්‍රෝණි' නම් බල කොටුවයි. සංඛ නම් සෙන්පතියා විසින් කරවන ලද මෙය මාඝ ගේ අගනුවරට සැතපුම් 15 ක් (යොදුන් 2 ක්) මෙපිටින් වූයේය. මෙම ස්ථානවලදී නොයෙක් ප්‍රභූවරුන් සුප්‍රසිද්ධ මාඝ ගේ හමුදාව ගැන දැක්වූයේ තණ පතකට දක්වන තරමේ අඩු සැළකිල්ලකි. බියකින් තොරව දිස්ත්‍රික්කය ද, භික්ෂු ශාසනය ද ආරක්ෂා විය.

අවසානයේ මෙම විරෝධතාවයන්වල නායකයා ලෙස නැගී සිටියේ තුන්වෙනි විජයබාහුය. වංශකථාවල ඔහු හැඳින්වෙන්නේ රජරට රජ කළ සිරිසඟබෝ රජුගෙන් පැවත එන්නෙකු ලෙසයි. (සිරිසඟබෝ රාජ්‍ය කාලය 242 - 244 නැතහොත් 251 - 253 ලෙස ගැනේ.) මෙසේ වන්නට ඇත්තේ විවාහ සබඳතා නිසා විය හැක. ඔහු මාඝ ගේ සේනාවන් මග හරිමින් වන දුර්ගවල වැඩි කාලයක් ජීවත් වූ බව පෙනෙන්නට තිබේ. ඔහු 1220 වර්ෂයේදී පමණ මායා රටෙන් (දක්ඛිණදේශයෙන්) කාලිංග සහ දෙමළ හමුදා පලවා හැර ජම්බුදෝණිය (දඹදෙණිය) තම අගනුවර කර ගත්තේය. විජයබාහුගේ ප්‍රධාන කාර්යයක් වූයේ බුදුන්ගේ පාත්‍රා ධාතුව සහ දන්ත ධාතුව නැවත සොයා ගෙන ඔහුගේ පාලන ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය කිරීමෙන් පසු අලුතෙන් ගොඩනගන ලද විහාරයක තැන්පත් කිරීමයි.

විජයබාහුගේ රාජ්‍ය කාලයෙන් බොහෝ කොටසක් වෙන් වූයේ ඒ වන විට විනාශ වී තිබුණු මායා රටේ සිංහලයින්ගේ බෞද්ධාගමික ස්ථානවල යටිතල පහසුකම් සකස් කිරීමයි. ඔහු විසින් නැවතත් හඳුන්වා දෙන ලද බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර වර්තමාන කාලය දක්වා පවතී. වරින් වර කාලිංග පාලන ප්‍රදේශවලට කඩා වැදුණු නමුදු ආක්‍රමණිකයන් පලවා හැරීමට හැකි වූයේ විජයබාහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු කාලයේ (1234 - 1267) සංවිධානය වී කළ උත්සාහයන්හි ප්‍රථිඵලයක් ලෙසයි.

චූලවංශය විස්තර කරන්නේ ඔහු බලයට පත් වූ ඉක්මනින්ම වාගේ "ඔහුගේ රාජකීය බලයෙන් සහ ශක්තියෙන් ලංකාවේ සතුරන් යටත් කිරීම ආරම්භ කළේය" යනුවෙනි. මෙම අවස්ථාව වන විට එක්කෝ මාඝ මිය ගොසිණි. නැතහොත් බලයෙන් පහකොට තිබුණූ වගක් පෙනී යන්නේ කාලිංගයන් සහ පරාක්‍රමබාහු අතර කෙරුණු සටන්වලදී මාඝ ගේ සහභාගීත්වයක් පිළිබඳ කරුණු කිසිවක් වංශ කථාවල සඳහන් නොවන බැවිණි. ඒ වෙනුවට දෙමළ රජවරු දෙදෙනෙකුගේ නම් සඳහන්වේ.ඒ ජයබාහු සහ මහින්දයි. ඔවුන් පොළොන්නරුවේ ආරක්ෂක උපක්‍රම තර කරමින් සිටි බව කියැවේ. මේ දෙදෙනාම දඹදෙණියේ නැවත බලවත් වෙමින් සිටි සේනා විසින් පරාජය කරනු ලැබූහ. ඉන් පසු ඓතිහාසික වාර්තාවල මාඝ ගැන විස්තර සඳහන් නොවේ. ඔහුගේ ඉරණම අභිරහසක්ව පවතී.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Kalinga_Magha#The_Rise_of_Dambadeniya