රත්න ප්‍රාසාදය
රත්න ප්‍රාසාදය - අභයගිරි උපෝසථඝරය
මහා විහාරයට ලෝවාමහාපාය වැදගත් වන්නේ යම් සේ ද අභයගිරියට රත්න ප්‍රාසාදය වේ. වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිල්ල වැඩි දියුණු කිරීම ගණනාවක ප්‍රතිපලයක් වන අතර, මෙහි මුල්ම ඉදිකිරීම කණිට්ඨතිස්ස (ක්‍රි.ව. 167 - 186) සමයේ දී සිදු කර ඇති බව මහාවංසයේ දැක්වේ. මෙය මහල් පහකින් යුක්තව මාහැඟි ලෙස නිම කරන්නේ දෙවන මහින්ද ( ක්‍රි.ව. 777 - 797) රජු විසිනි.
වංශ කතාවලට අනුව මෙහි පියස්ස රන් ආලේපිත වූ බැවින් රත්න ප්‍රාසාදය ලෙස ව්‍යවහාර කළ බව සඳහන් වේ. ලෝවාමහාපාය සහ රත්න ප්‍රාසාදය අතර පැවති තරඟකාරී බව මෙයින් පෙන්නුම් කරයි.
මෙය ආයත චතුරස්‍රාකාර සැලසුමකින් යුක්ත වේ. ප්‍රධාන ගොඩනැගිල්ල වටා කළුගල් පුවරු වලින් බඳින ලද ප්‍රාකාරයකි. එහි නැගෙනහිර දිශාවෙන් ද්වාර මණ්ඩපය පිහිටා තිබේ. ලංකාවේ හමුවන විශිෂ්ඨතම මුරගල ඇත්තේ මෙහි ප්‍රධාන දොරටුවේ ය. පිටවන දොරටුව බටහිර දිශාවෙන්, ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පිටතට පන්නා ඇත.
මෙය බහු මහල් ගොඩනැගිල්ලක් ව පැවති බවට ශේෂ වී ඇති සුවිසල් ශිලා ස්ථම්භ සාක්ෂි දරයි. ඒවායේ මුදුන් ලී බාල්ක රැඳවිය හැකි සේ කත්තු කපා තිබේ. ඉහල මහල් වලට නැගිය හැකි පරිදි පියගැට පෙළ නිර්මාණය කර ඇත්තේ ඉහතින් සඳහන් කළ පිටතට පන්නා ඇති කොටසේ බවට විශ්වාස කෙරේ.
මෙහි ඇති මුරගල එහි ඇති කැටයම් නිසා ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක් සේ සලකනු ලබයි. එහි ඇති නාගරාජ රුවට ඉහලින් පෙන හතකින් යුක්ත නාග රුවක් ඇත. රූපයේ පාද අසල සිනහ මුහුණින් යුතු වාමන රුවකි. මුරගලේ ඉහල කොටසේ දෙපස මකර රූ දෙකකි. ඉතා සියුම්ව ඊට ඉහලින් මකර මුවට පනිනා පෙම් යුවලක් දක්නට ලැබේ. ආචාර්ය කුලතුංගයන්ට අනුව එමගින් ලෞකික සම්පත් අතහැර නික්මීම පෙන්නුම් කරයි.
අතීතයේ මෙය තහවුරු කිරීමට පෙර මෙය 'ඇත්ගාල' ලෙස හඳුන්වා තිබේ. 9 වන සියවසේ සිදුවූ පාණ්ඩ්‍ය ආක්‍රමණයේදී මෙය කොල්ලකා ඇති අතර මෙහි තිබූ රන්මය බුදු පිළිමය දෙවන සේන රජු (ක්‍රි.ව. 853 - 887) විසින් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කර නැවත ගෙනැවිත් පිහිටුවා ඇති බව මහාවංසය දක්වයි.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2023 අගෝස්තු) |