යාපනය රාජ්‍යයේ ජනතාවගේ සමාජය

විකිපීඩියා වෙතින්

යාපනය රාජ්‍යයේ ජනතාවගේ සමාජ සංවිධානය පදනම් වී ඇත්තේ කුල ක්‍රමය මතයි. එහි අග්‍රස්ථානයේ සිටින්නේ කෘෂිකාර්මික සහ ඉඩම් හිමි ප්‍රභු පන්තියයි. මෙම ක්‍රමය දකුණු ඉන්දීය ක්‍රමයට සමාන විය. මෙම ක්‍රමයට දකුණේ සිංහල රාජධානියේ සමාජ සංවිධාන ද හැඩ ගැසී ඇත. එහි ගොවිගම කුලය ඉහළින් සිටින අතර ඔවුන් දෙවැනි වන්නේ පාලක පන්තියට පමණි. ආර්ය චක්‍රවර්ති රජවරු සහ ඔවුන්ගේ ආසන්නතම පවුල් තමන් බ්‍රාහ්ම-ක්ෂත්‍රීය තත්වයේයයි ප්‍රකාශ කර ගත්තෝය. බ්‍රාහ්මණ වාංශිකයන් යුද්ධ කාමිහු වූහ. කෘෂිකාර්මික කටයුතු කරන්නන් ඔවුනට පහළින් සිටියහ. ඒ වෙල්ලාල සහ මඩපල්ලි කුලයේ අයයි. මුදලිවරුන්ගේ සිට ගම් ප්‍රධානීන් දක්වා වගා කළ හැකි ඉඩම් අයිතිකරුවන් මෙම කුලවල අය වෙති. වෙල්ලාලවරුන්ට පහළින් කෝවියර් නම් තවත් කුලයක් තිබුණු අතර ඔවුහු ද කෘෂි කර්මාන්තයෙහි නියැලුනහ. ධීවර කර්මාන්තයේ නියැලුණු ජනයා සියලු දෙනා "කරයියර් " ලෙස හඳුන්වන ලදී. මොවුන් මෙම සමාජ සැකැස්ම තුළ ස්වාධීන වූහ. එම සැකැස්මට ඉඩම් හිමි ප්‍රජාවට ඇතුළු වීමට සීමා මායිම් තිබුණි. ෂෙට්ටිවරු වෙළඳාම් කටයුතු සම්බන්ධයෙන් නම්දැරු අතර හින්දු කෝවිල්වල අයිතිකරුවෝ වූහ. පල්ලර් සහ නලවර් කුලවල අය ඉඩම් අහිමි කම්කරුවන් වූ අතර ඔවුන් කළේ ඉඩම් අස්වැද්දීමයි. අනෙකුත් කුල කරණවෑමියන්ගෙන්, රෙදි අපුල්ලන්නන්ගෙන්, කුඹල් කර්මාන්තකරුවන් සහ සාමාන්‍ය සේවා සපයන්න්ගෙන් සැදුණේ විය. පරවර් කුලයේ ජනතාව වර්තමාන දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ ප්‍රදේශවල අය මෙන්ම කුලහීන අය වූ අතර හුදෙකලාව ජීවත් වූහ.

කුලී හේවායෝ[සංස්කරණය]

ඉන්දියාවේ විවිධ ජන කොටස් සහ කුල පදනම් තිබුණු තෙලිගු (වඩුග) සහ කේරළයේ මලයාලි වැනි ජන කොටස්වල කුලී හමුදා රජු විසින් සෙබලුන් ලෙස යොදා ගන්නා ලදී. රාජ්‍යය තුළ සිංහලයන් මෙන්ම, මාපිල්ල සහ මරක්කල (moor) ජන වර්ගවල මුස්ලිම් වෙළෙන්දෝ සහ මුහුදු කොල්ලකරුවෝ ද සිටියහ. දකුණේ කෙරුණු රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණයන් අසාර්ථක වූ විට ආරක්ෂාව පතා පැන යන අයට රක්ෂාවරණය සපයන දෙනෙක් ලෙස ද රාජධානිය ක්‍රියාත්මක විය. යාපනය රාජධානියේ මුල් කාලීන ඓතිහාසික ලේඛණවලට අනුව 14 -15 සියවස් තුළට ගැනේ යයි අනුමාන කළ හැකි "වයියාපාදල්" හි 77 ශ්ලෝකයේ කුච්චිලියර් (ගුජරාටින්) සහ චෝනාර්වරු (අරාබිවරු) සමග පප්පරවර් නම් වූ ජන වර්ගයක ලැයිස්තුවක් දැක්වේ. ඔවුන් මුස්ලිම් ලබ්ධික අශ්වාරෝහකයින් යැයි විශ්වාස කෙරෙන "පල්ලුවිලි" නම් කුල කාණ්ඩයට අයිති යැයිද විස්තර කෙරේ. පල්ලුවිලි නැතහොත් පල්ලිවිලි කුලය යාපනයට පමණක් විශේෂ වේ. 1790 දී යාපනයේ කරන ලද ලන්දේසි ජන සංගණනයට අනුව පල්ලිවිලි කුලයට අයත් පිරිමි වැඩිහිටියන් 196 දෙනෙකු ගැන වාර්තා කර ඇත. ඔවුහු බදු ගෙවන්නෝය. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය සහ වෘත්තීය ලන්දේසි යුගය දක්වා පැවතුන බවයි. එහෙත් චෝනකර්වරු (Chonakar) ගැන සඳහන් වන්නේ පිරිමි වැඩිහිටි 492 දෙදෙනෙකු සිටි ලෙසටයි. මොවුන් සාමාන්‍යයෙන් මුස්ලිම්වරුන් ලෙස සැලකුණු අතර ඒ කාලය වන විට වෙනම ප්‍රජාවක් ලෙස පැවතුණූ බව සඳහන් වෙයි.

නීති[සංස්කරණය]

ආර්ය චක්‍රවර්ති රජුගේ පාලන කාලයේ සමාජය පාලනය කිරීමේ නීතිවලට, පිය දෙටු පාලන ක්‍රමය ද, මව් දෙටු සමාජ ක්‍රමයක්ද අතර එකඟතාවයකින් යුතු ක්‍රමයක් පාදක වී තිබුණි. මෙම නීති සිරිත් නීති වශයෙන් ස්වදේශීය මුදලිවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට යටත්ව පැවත ගෙන එන්නට ඇත. දේපළ උරුමය වැනි සමහර අංශවල නීති වර්තමාන කේරළයේ මරුමකට්ටයම් සහ වර්තමාන තුලුනාඩුහි අලිය සනාතන වැනි නීතිවලට සමාන බව පසු කාලීනව උගත්තු පෙන්වා දී තිබේ. තව දුරටත් මහමදිකයින්ගේ පූර්වචක්‍ර (Pre-emption) නීතිය සහ අසල් වැසි ඉන්දියාවේ නීතියද ව්‍යවහාර නීතිය සමග එක් වන්නට ඇත. මෙම ව්‍යවහාර නීති පසු කලෙක සංග්‍රහ කරන ලදුව ලන්දේසීන් විසින් 'තේසවල‍මේ' නමින් 1707 දී මුද්‍රණය කරන ලදී. පුරාණ සම්ප්‍රදාය යටතේ පාලනයේදී ගැහැණියගේ අනුප්‍රාප්තිකයා ගැහැණිය විය. එහෙත් පසුව සමාජ සැකැස්ම පිය දෙටු ක්‍රමයට (Patriarchal system) පදනම් වූ විට අනුරූප පාලන ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එහිදී පිරිමියෙකුගේ අනුප්‍රාප්තිකයා පිරිමියෙකු විය. එපරිදි 'මුතුසම්' (පිය උරුමයේ දේපල) පැවරීම පුතුන්ට ද චිඩෙනම් (දෑවැද්ද හෝ මව් උරුමයේ දේපළ) පැවරීම ගැහැණු පක්ෂයට ද විය. ඒ අනුව දෑවැදි සහිත සහෝදරියකගේ අනුප්‍රාප්තිකයා තවත් සහෝදරියක් වේ. කිසියම් සහෝදරයෙකු උරුමක්කාරයෙකු නොමැතිව මිය ගිය හොත් ඔහුගේ උරුමයන් ඔහුගේ සහෝදරයින්ට හිමි වන අතර සහෝදරියන් බැහැර කෙරේ. පිය දෙටු පවුලක එක් සහෝදරයෙකු පවුල් ඒකකයක් වුවත් සියලුම සහෝදරවරු ගත් කළ පිය පක්ෂයේ ඤාතීන් වෙති. එයින් කෙනෙකු මිය ගිය හොත් ඔහුගේ දේපළ එම සියලු පිය පක්ෂයේ ඤාතීන්ට බෙදී යයි.