මාක්සියානු ඉතිහාසය

විකිපීඩියා වෙතින්
ගොනුව:Marx-karl.jpg
මාක්ස්

ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී විග‍්‍රහය යනු කුමක්ද ?[සංස්කරණය]

ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී විග‍්‍රහය මාක්ස්ගේ ද්විඝටනාත්මක භෞතිවාදයට සම්බන්ධ කොට ඉදිරිපත් කරන ලද අනෙක් මූලධර්මය වන ඓතිහාසික භෞතිකවාදය සංකල්පය පදනම් කරගෙන විග‍්‍රහ කර ඇත. මාක්ස්වාදයට අනුව ඓතිහාසික භෞතිකවාදය යනු භෞතිකවාදී දෘෂ්ටියකින් ඉතිහාසය විග‍්‍රහ කිරීමයි. මේ අනුව මාක්ස් ඉතිහාසය විග‍්‍රහ කළේ භෞතිකවාදී අර්ථකථනයිකිනි. මෙය විඥානවාදී ක‍්‍රමයට හාත්පසින්ම වෙනස් වේ. විඥානවාදී කෝණයෙන් ඉතිහාසය දෙස බැලීම යනු රජවරුන්ගේ දේශපාලනඥයන් ගේ හා රණසූරයන්ගේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාවන් අනුව හෝ ආගම්වල හා අදහස්වල බලපෑමෙන් ඇතිවූ ප‍්‍රතිඵල අනුව හෝ ඉතිහාසය හා ඓතිහාසික විපර්යාසයන් තේරුම් කිරීමට වෑයම් කිරීමයි.

නමුත් මාක්ස්ට අනුව ඉතිහාසය වෙනස් වන්නේ නිෂ්පාදන මාදිලිවල ඇතිවන වෙනස්වීම් මතයි. ඒ අනුව ඔහු එකිනෙකට වෙනස් ඓතිහාසික යුගවල පැවති නිෂ්පාදන මාදිලි ගණනාවක් විග‍්‍රහ කළේය. මාක්ස්ට අනුව කිසියම් ඓතිහාසික යුගයක පවතින නිෂ්පාදන බලවේගද, ඒ නිෂ්පාදන බලවේග නිෂ්පාදනය සඳහා යොදාගැනීමට ඒ යුගවල සිටි සමාජ පන්තීන් විසින් ඇතිකරගන්නා ලද නිෂ්පාදන සම්බන්ධතාවයද, එක්ව ගත් කල නිෂ්පාදන මාදිලිය නිර්මාණය වෙයි. මෙය සමාජයේ ආර්ථික ව්‍යුහය නිර්මාණය කරන සාධකයකි.

මේ ආකාරයට මාක්ස්වාදයට අනුව ඓතිහාසික විපර්යාසයන් සිදු කරනු ලබන්නේ සමාජයේ ඇතිවන මූලික ආර්ථික වෙනස්වීම්, එනම් නිෂ්පාදන විධියේ ඇතිවන වෙනස්වීම් මතයි.

‘‘මිනිස් ජීවිතය රැක ගැනීම සඳහා අවශ්‍ය දේ නිපදවීමත් ඊලඟට නිපදවන ලද දේ හුවමාරු කිරීමත් සියලූ සමාජ ව්‍යුහයන් ගේ පදනම වන්නේ යැයිද, මෙතෙක් ඉතිහාසයේ දක්්නට ලැබෙන හැම සමාජ ක‍්‍රමයකම වස්තුව බෙදි යන ආකාරයත්, සමාජය පංතිවලට බෙදෙන ආකාරයත්, තීරණය වූයේ කුමක් නිපදවන්නේද? එය නිපදවන්නේ කෙසේද? හා නිපද වූ දේ හුවමාරු වන්නේ කෙසේද? යන්න අනුව යැයිද, යන සිද්ධාන්ත ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී දර්ශනයේ ආරම්භය වෙයි. මේ දර්ශන කෝණය අනුව සියලූ සමාජ විපර්යාස හා දේශපාලන විප්ලව බිහිවීමට තුඩුදුන් මූලික හේතූන් සෙවිය යුත්තේ මිනිසුන්ගේ සිත් තුළ හෝ සදාතනික සාධාරණය හා සත්‍යය පිළිබඳ ඔවුන්ගේ හැඟීම් තුළ හෝ නොව නිෂ්පාදන හා හුවමාරු විධියේ ඇති වූ වෙනස්වීම් තුළය. මේ හේතූන් සෙිවිය යුත්තේ දර්ශනයක් තුළ නොව එක් එක් යුගයේ අර්ථ ක‍්‍රමය තුළය’’

‍ෙෆ්‍රඞ්රික් එංගල්ස්

( මනෝරාජික හා විද්‍යාත්මක සමාජවාදය)

එසේම ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා භෞතික වාදය උපයෝගී කරගත හැකි අන්දම මාක්ස් පෙන්වා දුන් අතර ඔහුට අනුව මෙම අධ්‍යයනය පටන් ගත යුත්තේ දෙවියන් හා රජුන් දෙස බලමින් ඉහළ සිට නොව ජනතාව දෙස බලමින් පහළ සිටය. ප‍්‍රථමයෙන් සමාජයේ ද්‍රව්‍යමය පදනම, එනම් මිනිසා ආහාර ඇඳුම් හා ආවරණය යන දිවි රැකුම සඳහා අවශ්‍ය දේ ලබාගන්නා අන්දම විග‍්‍රහ කළ යුතු බවත් ප‍්‍රකාශ කළේය. එංගල්ස් ප‍්‍රකාශ කර ඇති ආකාරයට ‘‘දේශපාලනය, විද්‍යාව, ආගම යනාදියෙහි නිරතවීමට කලින් මිනිසා පළමුකොටම, කෑම බීම, ඇඳුම් හා නිවහනක් සොයාගත යුතු බව සරළ සත්‍යයකි’’.

මේ අනුව මිනිසාගේ අතීතය හා පැවැත්ම දෙස බැලීමේදී දෙයාකාරයක සම්බන්ධතාවයක් පැහැදිලිවම දැකගත හැකිය. එනම් මිනිසා හා ප‍්‍රකෘතිය අතර සම්බන්ධතාවය සහ මිනිසුන් අතර වූ සම්බන්ධතාවයන්ය. මේවාට යම් යම් සාධක පදනම් වෙයි. එනම් නිෂ්පාදන බලවේග, සහ නිෂ්පාදන සම්බන්ධතාවයයි. මාක්ස් හඳුන්වාදී ඇති ආකාරයට නිෂ්පාදන බලවේග යන්නෙන් මිනිසු ශ‍්‍රමයද, නිෂ්පාදන කටයුතු සඳහා උපයෝගීකරගනු ලබන ස්වභාවික සම්පත්,භූමිය, ජලය යනාදියද, මිනිසාගේ ශිල්පීය ඥාණයද, එමගින් නිපදවා ඇති යන්ත්‍රෝපකරණ හා වාෂ්පය, විදුලි බලය වැනි බලශක්තීන්ද, මේ සියලූදේ ප‍්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍යවන සමාජීයීය සංවිධාන ක‍්‍රමද, අදහස් වේ.

දෙවන සාධකය ලෙස නිෂ්පාදන සම්බන්ධතා හඳුන්වාදී ඇත. මාක්ස්ට අනුව මින් අදහස් කෙරෙන්නේ නිෂ්පාදනයේදී හෝ ආර්ථික කි‍්‍රයාවලියේදී මිනිසුන් උනුන් සමග අවශ්‍යයෙන්ම ඇතිකර ගනු ලබන සාමාජයීය සබඳතාවයන්ය. රඳළයන් හා ප‍්‍රවේණීදාසයන් අතර, ධනපතීන් හා කම්කරුව්න් අතර ඇති සමාජයීය සම්බන්ධතා නිදසුන් ලෙස දැකිවිය හැකිය. නෛතික වශයෙන් බලන විට මේවා නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතිය හෝ දේපළ සම්බන්ධතා ලෙස දැකිය හැකිය. වැඩ වසම් යුගයේ ඉඩම් අයිතිය හෝ ධනවාදී ආර්ථිකයක කර්මාන්ත ශාලාවල අයිතිය යනාදී වශයෙන් දේපළ සම්බන්ධතා පිළිබිඹු වෙයි. මේ නිෂ්පාදන සබඳතා අනුව සමාජය එකිනෙකට විරෝධී වූ අවශ්‍යතාවයන් ඇති පංතිවලට බෙදේ.

මේ අනුව නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බ්නධතාවයන් එක්ව ගත් කල ඇතිවන ප‍්‍රතිඵලය නිෂ්පාදන විධිය ලෙස මාක්ස් හැඳින්විය. මේ අනුව යම් කිසි යුගයක නිෂ්පාදන මාධ්‍යයන් සහ ඒ නිෂ්පාදන මාධ්‍යයන් මිනිස් පැවැත්ම සඳහා උපයෝගී කරගැනීමට මිනිසුන් විසින් ඇතිකරගන්නා සම්බන්දකම් ගන්නා ප‍්‍රධාන ස්වරූපය නිෂ්පාදන විධිය නම් වේ.

නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතා සංවිධානය වී තිබෙන අයුරින් විවිධ නිෂ්පාදන විධි එකිනෙකින් වෙනස් වේ. පංති පදනමක් ඇති ඒ එක් නිෂ්පාදන විධියටම ආවේනික සූරාකෑමේ ක‍්‍රමයක් ද තිබේ.

මේ ආකාරයට ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී විග‍්‍රහය අනුව ඉතිහාසය නිෂ්පාදන අර්ථ ක‍්‍රමයක් මත පදනම් වූ පංති ක‍්‍රමයක විකාශනයකි.

‘‘මෙතෙක් පැවති සියලූ සමාජවල ඉතිහාසය පංති අරගලයන්ගේ ඉතිහාසය වන්නේය’’

මාක්ස් - එංගල්ස්

(කොමියුනිස්ට් ප‍්‍රකාශය)

මෙම සංකල්පය මත පිහිටා මානව සමාජයේ ආරම්භයේ සිට සමාජ පරිණාමය වී ඇති බව ප‍්‍රධාන අවධි හතරක් විග‍්‍රහ කරමින් මාක්ස් පෙන්වා දෙයි. ඔහු දක්වන ආකාරයට ඉතිහාසය මේ ආකාරයට ප‍්‍රගමනය වනුයේ තමන් එකිනෙකා සමග ප‍්‍රතිඝතතාවයන්ට අවතීර්ණ වන නිෂ්පාදන බලවේගයන් හා සම්බන්ධතාවයන් මගිනි.

‘‘තම සංවර්ධනයෙහි නිශ්චිත අදියරයකදී සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග හෝ පවතින නිෂ්පාදන සබඳතාවයන් නොහොත් එහිම නෛතික ප‍්‍රකාශනය වන ඒවා මෙතෙක් කල් කි‍්‍රයාත්මක වූ දේපොල සබඳතාවයක් සමග ඝට්ටනයට එළඹෙති. මෙම සබඳතාවයෝ නිෂ්පාදන බලවේගයන් ගේ සංවර්ධන ප‍්‍රකාරයන්ගේ සිට ඒවායේ බාධකයන් බවට පත්වෙති. අනතුරුව එළෙඹෙන්නේ සමාජ විප්ලවයේ යුගයකි’’

එක් නිෂ්පාදන මාදිලියකින් තවත් නිෂ්පාදන මාදිලියට පාර කපන්නේ මෙකී යන්ත‍්‍රනය මගිනි. මාක්ස්ට අනුව ඉතිහාසය විකාශය වන්නේ මේ අයුරිනි.

මිනිස් ඉතිහාසයේ මාක්ස් විග‍්‍රහ කළ ප‍්‍රධාන අවධි හතර[සංස්කරණය]

ආදි කාලීන් කොමියුනිස්ට් හෝ ගෝති‍්‍රක සමාජය[සංස්කරණය]

ඉඩම්, සතුන් සරළ උපකරණ හා මෙවලම් යනාදිය පොදුවේ සමාජයට අයත් නිසයල්ලන්ටම සතුවිය. පුද්ගලික දේපල හිමිකමක් මෙහි නොවීය. නිපදවූයේ සියල්ලෝම පොදුවේ බෙදාගත්හ. මේ සමාජයේ පුද්ගලික අයිතියක් නොතිබූ බැවින් පංති බෙදීමක්ද නොවීය. එහෙයින් සූරාකෑඃමක්ද නොවීය.

වහල් සමාජය[සංස්කරණය]

කලින් සාමූහික අයිතියට යටත්ව තිබූ දේපොළ ක‍්‍රමය බිඳ වැටී පුද්ගලික දේපොළ ක‍්‍රමයක් බිහිවිය. සමහර මිනිසුන් අන් අයට අයිති වූ වහලූන් බවට පත්විය. හුදු නිෂ්පාදන මාර්ගයක් ලෙස සලකන ලද වහලූන් මෙන්ම අන් නිෂ්පාදන මාර්ගද වහල් හිමියන් සතුවිය. ගෝත‍්‍රන් අතර හටගත් යුද්ධවල ප‍්‍රතිඵලයක් වශයෙන් පරාජිතයන් වහලූන් බවට පත්වූ අතර ජයග‍්‍රාහකයන් එම වහලූන් ගෙන් අනිනිෂ්පාදන මාර්ගවලත් ස්වාමීවරුන් වී යැයි සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙය පංති භේදයේ ආරම්භය ලෙසත් එනිසාම සූරාකෑමේ පටන් ගැනීම ලෙසත් හැඳින්විය හැකිය.

වැඩවසම් සමාජය[සංස්කරණය]

ප‍්‍රධාන නිෂ්පාදන මාර්ගය වූ ඉඩම් රජුට හෝ රජුගෙන් ලත් ප‍්‍රදානයක් වශයෙන් රදළයන්ට අයත් විය. ඉඩම් වගාකරන ලද්දේ ප‍්‍රවේණි දාසයන් විසිනි. අස්වැන්නෙන් කොටසක් ඉඩම් හිමි රදළයාට ඔවුන් විසින් දියයුතු අතර ඔහුට අන් අයුරින් නොමිලයේ සේවය කිරීමටද ඔවුන්ට සිදුවිය. වහලාමෙන්නොව ප‍්‍රවේණිදාය ශාරීරික වශයෙන් නිදහස් විය. එහෙත් සිය දිවි පෙවෙත සඳහා ඔහු ඉඩමට බැදී සිටියේය. මේ සමාජයේ ප‍්‍රධාන සූරාකෑමේ ක‍්‍රමය ප‍්‍රවේණිදාස තත්වයකි.

ධනවාදී සමාජය[සංස්කරණය]

ඉඩම්, කම්හල් හා අනෙකුත් නිෂ්පාදන මාර්ගවල එකම අයිතිකරුවා ධනපතියා වෙයි. පෙර පැවති නිෂ්පාදන විධිය ටයතේ ඉඩමට සම්බන්ද වී සිටි දාසයින් හා සුළු නිෂ්පාදකයින් කිසිදු දේපළකට හිමිකමක් නැති කම්කරුවන් බවට පත්විය. ඔවුහු සිය දිවිපෙවෙත සඳහා සිය ශ‍්‍රම ශක්තිය ධනපතීන්ට විකුණන වැටුප් ශ‍්‍රමිකයන් වෙති. ඔවුන්ගේ ශ‍්‍රමය සූරාකෑමේ ක‍්‍රම ඉතාම සියුම් හා දරුණු වෙයි.

මෙම ධනවාදී සමාජයේ වූ ප්‍රධාන පංති දෙක වූ කලී ධනේෂ්වර පංතිය හා නිර්ධන පංතියයි. ධනේෂ්වර පංතිය සිය වර්ධනයේදී අවධි ගණනාවක් පසුකරගෙන යන අතර මෙම අවධි ධනවාදී සමාජයේ ආර්ථික සංවර්ධනයේ අවධිවලට අනුරූප වෙයි.

පසු විග්‍රහය[සංස්කරණය]

මාක්ස් මෙම සංකල්පය විග‍්‍රහ කරනුයේ බටහිර යුරෝපයේ සමාජය තුළ සිදු වී ඇති ඓතිහාසික විකාශනය පාදක කොට ගනිමින්ය. නමුත් ඔහු පසු කාලයකදී ලෝකයේ වෙනත් කොටස්වල මිනිස් ඉතිහාසය පරීක්ෂා කිරීමේ පසු තම ඉතිහාසය පිළිබඳ විග‍්‍රහය විශ්ව සාධාරණ නොවන බව දැනගත්තේය. ආසියාවේ මිනිස් ඉතිහාසය වර්ධනය දෙස අවධානය යොමු කිරීමෙන් එය තහවුරු කරගනුු ලැබීය. ආසියාවේ බොහෝ රටවල වැඩවසම් ලක්ෂන නොවූ බවත්, ඉඩම් සම්බන්ධයෙන් පෞද්ගලික අයිතියක් නොවූ බවත් සියලූ ඉඩම් අවසානයේ රජුට හෝ රජයට අයත් වූ අතර ජනයා ඒවා පොදුවේ පරිහණය කරනු ලැබීය. සමාජය කුඩා ගම්මාන ලෙස සැදී තිබූ අතර කෘෂිකර්මාන්තය හා ගෘහ කර්මාන්තයෙන් ස්වයං පෝෂිත විය. රාජතන්ත‍්‍රය ඒ සඳහා මැදිහත් වී කටයුතු කළේය. මෙම රටවල ජනයා එක්තරා ප‍්‍රමාණයකට ස්වාධීනතාවයන් භුක්ති විඳි අතර නිපද වූ අතිරික්තය රජුගේ හෝ රාජ්‍ය තන්ත‍්‍රයේ පැවැත්මට ගියෝය. මාක්ස්ට අනුව මෙම ක‍්‍රමයේ සූරාකෑම පැවතියේ මේ අයුරිනි. මේ ආකාරයට මාක්ස් සමාජ ඉතිහාසය පිළිබඳ සංකල්පය පැහැදිලි කරනු ලැබීය.

"https://si.wikipedia.org/w/index.php?title=මාක්සියානු_ඉතිහාසය&oldid=470973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි