මහ ලොකු දේවතාවිය
බින්තැන්නේ වැදි ජනතාව ඉතා බලවත් දේවතාවියක් මෙන්ම තමන්ට මවු කෙනෙකුන් හා සමානව පුද පූජාවන්ට පාත්‍රවුණ මහලොකු අක්‌කා දෙවඟන සුමන සමන් දෙවියන්ගේ වැඩිමල් සහෝදරිය ලෙස සැලකේ. මහියංගන සමන් දේවාලයේද මහලොකු අක්‌කා දෙවඟන වෙනුවෙන් පුද පූජා පැවැත්වේ. උඩදුම්බර ගම්වාසීන් සහ හසලක ජනතාව මෙම දේවතාවිය සඳහා හසලක කඳු මුදුනේ දෙවොලක් ඉදිකොට ඇති බව පැවසේ.බුදුන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩම කළ අවස්‌ථාවේ මහියංගනයේදී යකුන් දමනය කොට සුමන සමන් දෙවියන්ට බුදු සසුනේ භාරකාරත්වය පැවැරූහ. මෙහිදී සුමන සමන් දෙවිඳුගේ වැඩිමල් සහෝදරියවන මහලොකුවෝ සිය සහෝදරයාට උපකාර පිණිස යක්‍ෂ සේනාවක් කැටුව මහියංගනයට පැමිණියාය. මෙසේ මහියංගනයට එන මහලොකු අක්‌කා දෙවඟන පළමුවෙන් එම පළාතේ සිය බලපරාක්‍රමය පතුරුවනු පිණිස කටයුතු කළාය. මෙහිදී ඇය කළේ මහියංගන ප්‍රදේශයේ කඳු ප්‍රදේශයක ලැගු=ම් ගැනීමයි.
මහලොකු අක්‌කා දෙවඟනට අවශ්‍ය වූයේ එම ගම් ප්‍රදේශයේ වෙසෙන ගම් ප්‍රධානියා කවුද? යන්න දැනගැනීමටයි. එහි සිටින ගම් ප්‍රධානියා වූ ගමරාළ ඇතුළු ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ බලය පෙන්වීමට මහලොකුවෝ දෙවඟනට අවශ්‍ය විය. මෙසේ තම බලය පෙන්වීමට සිතාගත් මහලොකුවෝ එම ගමරාළගේ බිරිඳ මරණයට පත්කරයි.
මරණයට පත්වෙන බිරිඳගේ මළකඳ මිහිදන් කිරීමට දෙණක් සෑදීම සඳහා ගසක් කැපීමට වනගතවන ගමරාළගෙ සේවක පිරිස ඉදිරියට එන මහලොකුවෝ කුමකට ගස් කපන්නේදැයි ඔවුන්ගෙන් විමසයි. මෙහිදී ගස්‌කැපීම සඳහා වනයට ගිය ගම්මු තම ගමනායකයාගේ බිරිඳ මියගිය බවත් ඇයගේ මෘත ශරීරය මිහිදන් කිරීමට දෙණක් සෑදීම සඳහා ගසක් කපන්න පැමිණි බව දෙවඟනට පවසයි.
මෙහිදී මහලොකුවෝ දෙවඟන මියගිය ගමරාළගේ බිරිඳට ප්‍රාණය පිහිටු වීමට තමාට හැකි බවත් මාගේ නියමයන්ට අනුව කටයුතු කළොත් ගම බිරිඳට ප්‍රාණය ලබාදෙන බවත් ඒ බව ගමරාළට දන්වන ලෙස දෙවඟන පිරිස ඉදිරියේ කියා සිටියාය.
එබස් ඇසූ ගම්මු වහා වනයෙන් නික්‌ම ගමරාළ හමුවට ගොස් මෙපවත් ගමරාළට දන්වා සිටී.
ගමරාළ වහාම මහලොකුවෝ දෙවඟන සොයා කැලයට පැමිණෙයි. මහලොකුවෝ දෙවඟන අයදින ගමරාළ තම බිරිඳට පණ ලබාදෙන්නේ නම් ඇය කියන ආකාරයට කටයුතු කරන බවට ගමරාළ මහලොකුවෝ දෙවඟනට පොරොන්දු වෙයි.
මේ අවස්‌ථාවේ මහලොකුවෝ දෙවඟන තමා විසින් අත්පත්කොට ගෙන සිටි යක්‍ෂ සේනාව වහාම කැඳවා ගමරාළට දැකීමට සලස්‌වා ඔවුන්ගෙන් වැඩගත හැකි කාරී ශාන්ති කර්මය කරන්ඩ පොරොන්දු වෙතොත් බිරිඳට පණ ලබාදෙන බව ගමරාළට පවසයි.
මෙයින් ඉමහත් සතුටට පත්වෙන ගමරාල තම බිරිඳ ප්‍රාණය පිහිටුවන්නේ නම් දෙවඟන කියන ආකාරයට කටයුතු කරන බව පවසා කැලෑවෙන් නික්‌මයයි.
මෙසේ තම නිවස බලා පැමිණෙන ගමරාලට දැකගත හැකි වූයේ මියගොස් සිටි බිරිඳ වැඩපල කරමින් නිවසේ සිටින අයුරුයි.
මෙයින් මහලොකුවෝ දෙවඟන පිළිබඳව මහත් භක්‌තියක් ඇතිකර ගන්නා ගමරාළ වහාම තමා පොරොන්දු වූ පරිදි ඇගේ යක්‌ෂ සේනාව උදෙසා පිදවිලි සහිත යහනක් තනා බාරය ඔප්පු කළ බව කාරී ශාන්ති කර්මයේ පැවැසේ.
මෙයින් පසු ගම්මු තමන්ට ඇති වන්නා වූ ලෙඩදුක් වලදී සෙත් ශාන්තිය පතා කාරී ශාන්ති කර්මය කළ බව පැවැසේ. 'කාරී' ශාන්ති කර්මයේ දී ගැයෙන කවි කීපයක් මෙසේ වේ.
ඕං ශ්‍රීං මුදුන ත් වඳිමින් ඔබගේ සරණ ත් සැම දෙවිදු පිංව ත් වදිමි ශ්‍රීපාද පත්ම ත්
ඕං කී පදයෙ ටා මහමෙර සතර පදයෙ ටා දෙවගන පුරයෙ ටා ඇවිත් බැස්‌සාය ලංකාව ටා
දෙවගන සද් දේ සිටගෙන යකුන් යෑද් දේ ගැයූ බෙර සද් දේ ඇසූ යක්‌සෙන් ඔබට සෙත් දේ
(බින්තැන්නේ ජනකවි - පියසේන කහඳ ගමගේ,
බින්තැන්නේ ආදී වාසී පරපුර මහලොකු අක්‌කා දෙවඟන පුදනු ලබන්නේ සමන් දෙවියන්ටත් වඩා මහ බලයක් ඇති දෙවඟනක ලෙසිනි. මහියංගනය පදියතලාව මාර්ගයේ දෙහිගොල්ල ගම් පියසේ පිහිටි සළුකන්දේ මහලොකු දෙවඟනගේ සළුපිලි නිධන් කොට ඇති බවට ජන විශ්වාසයක් පවතී.
උඩදුම්බර සහ හසලක ගම්වාසීන් හසලක කඳුමුදුනේ ඇති මහලොකු අක්‌කා දෙවඟනගේ දේවාලය අභියස ඇති මහා නුග රුක්‍ෂයේ වසරක් පාසා කොඩි එල්ලා මහලොකු අක්‌කා සිහිපත් කිරීමද චාරිත්‍රයක්‌ව පවති.
උපුටාගැනීම පූගොඩ- සරණපාල නුවරපක්‌ෂ