මහනුවර යුගයේ සිතුවම් ශිල්පය

විකිපීඩියා වෙතින්

සිතුවම් ඇඳීමේ ක්‍රම ශිල්පය[සංස්කරණය]

මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම් කලාවෙහි තාක්ෂණික අංශය හා සම්බන්ධිත කරණු විමසීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.මෙකී සම්ප්‍රදායය පදනම් කොට ගත් සිතුවම් ව්‍යාප්ත වූයේ විහාර ආරාම මූලික වශයෙන් පදනම් කොට ගනිමින්ය.එහි දී විහාරයක් ඉදිකිරීම සඳහා භූමයක් තෝරා ගැනීම සුවිශේෂි වේ.ස්ථාන තෝරා ගැනීමේදී ඊට සුදුසු භූමියක් වෙන් කර ගැනීමේ දී විශේෂ රසඥතාවක් පැවතී ඇත.බොහෝ දුරට එම භූමි උස් බිමක හෝ ගල් පර්වතයක් වීම සුවිශේෂත්වයකි.මෙසේ තොරා ගන්නා ලද බිමක ගොඩනගන ලද විහාර ගොඩනැගිලි ආශ්‍රිත කොට ගනිමින් චිත්‍රකලාව ව්‍යාප්ත විය.

සංඝරාජ හිමියන්ගේ සමයේ උපාලි හිමියන් නිසා ගමක් පාසා විහාර ඇති වීමත් එම විහාරයන් හි සිතුවම් ඇදීමත් විය.චිත්‍රයන් හි ප්‍රධාන අනුශාසකයා රජු වූ අතර පැවදි අනුශාසකවරයා විහාරාධිපති විය.මෙකී සිද්ධස්ථාන ඒවායේ ගෘහනිර්මාණාත්මක ශිල්ප ක්‍රමය අනුව ලෙන් විහාර ටැමිපිට විහාර හා සාමාන්‍ය විහාර ලෙසින් ප්‍රධාන කොටස් තුනකි.මේවායෙහි සිතුවම්කර්ම කෙසේ සිදු වීද යන්න සලකා බැලිය යුතුව තිබේ.

ලෙන් විහාර ආශ්‍රිත සිතුවම්

ගුහා ලෙන් හි ඇඳි සිතුවම් ලෙසින් ද මේවා හදුන්වනු ලබයි.මේ සඳහා යොදා ගනු ලැබුණේ ස්වාභාවික ගල් ලෙන්ය.ජලය ගුහාව තුළට ගලා නොඑන ලෙස කටාරම් කෙටීමෙන් පසු ගුහාව තුල ගිනි තබා පේකඩ සහිතව කැටයම් කළ ලී කණු හෝ ගල් කණු මත ගල හේත්තු කොට බෑවුම් වහලයකින් යුතුව ගෘහය තනා වරිච්චි හෝ ගල් හෝ පිලිස්සූ මැටි හෝ අමුගඩොල් බිත්ති සකස් කර කපරාරුවෙන් ඔපදමා එහි ඇතුළත චිත්‍රඇඳීම සිදු කර ඇත.

රිදී විහාරය,දෙගල්දොරුව,දනගිරිගල,දඹුල්ල,ලෙන් විහාරයන්ට උදාහරණයන් වේ.

ටැම්පිට විහාර සිතුවම්

අඩි හයක් පමණ උසට ගල්කණු සිටුවා ඒ මත හරස් අතට නා කොට පුරුද්දා ලෑලි අතුරා තැනූ වේදිකාවක් මත වරිච්චි බැදීමෙන් අනතුරුව එහි මැද මැටි සිර කිරීමෙන් බිත්ති සකස් කර ගන්නා ලදී. බිත්ති වහල පියසු ක්‍රමයට සකස් කර ගත් අතර එහි ද සිතුවම් අඳින ලදී.මේ පිළිම ගෙවල් හි සැලැස්මේ ගර්භ ගෘහය, අන්තරාලය හා මණ්ඩපය යන කොටස් වලින් යුක්ත විය. මෙසේ ටැම්පිට විහාර ගොඩ නගන ලද්දේ වේයන්ගෙන් චිත්‍ර ආරක්ෂාකර ගැනීම සඳහා බැව් පී.ටී.ඊ.දැරණියගල මතයයි.

මැදවල,දන්තුරේ,සූරියගොඩ,දෙවනගල,දැඹව ටැම්පිට විහාරයන්ට උදාහරණයන් ය.

සාමාන්‍ය විහාර සිතුවම්

පිහිටි භූමිය මත ඉදිකරණු ලැබූ විහාර බිත්ති පෘෂ්ඨ හා වියන්තල සිතුවම්කරණයට යොදා ගන්නා ලදී.

දළදා මාළිගාව,අරත්තන,ගංගාරාමය,දන්තුරේ විහාරය මීට සුදුසු උදාහරණයන්ය.

බදාම සකසා ගැනීම[සංස්කරණය]

ලෙන් විහාරයන් හි ගල් පෘෂ්ඨය මත සිතුවම් ඇඳීම කළ නොහැකි බැවින් ගලෙහි මැලියම් තවරා ඒ මත රෙදි අලවා චිත්‍ර තලය සකස් කර ගනී. බඹර ගල හා දෙගල්දොරුව වියන් සිතුවම් මීට උදාහරණයන්ය.වී පොතු මිශ්‍ර බදාමයකින් පර්වත පෘෂ්ඨය වසා ඒමත චිත්‍ර ඇඳ ඇති බව බඹරගලින් හමුවූ සිවිලින් සිතුවම් කැබලිවලින් පෙනේ.ගලේ තවරන ලද මැලියම් මත ඝනට මකුළු තවරා ඒ මත ද සිතුවම් ඇඳීම සිදුකර ඇත.

මීට අමතරව ලෙන් විහාරයන් හි වියන්තල සිතුවම් ඇඳීම සඳහා තනාගත් බදාමයක් ද විය.මැටි වැලි හා කැඳ බදාමයන් පොල් කෙදි බුරුසුවකින් ගා ඒ මත කිරි මැටි මකුළු ගානු ලැබේ.ඇතැම් විහාරයන් හී දී මෙම බදාමය ගැලවී හෝ ඉරිතලායාම වැලැක්වීම පිණිස හා සිතුවම් ඇඳීමේ පහසුව තකා එම බදාමය මත කපුරෙදි කැබල්ලක් ද අලවා තිඛෙනු දිටිය හැකිය.මෙසේ සකසන ලද තලය මත සිත්තම් කිරීම සිදු කෙරුණි. ටැම්පිට විහාරයන් හි වරිච්චිමත පුරවන ලද මැටි බිත්තිය කුරුම්බා ඇට්ටි කහට පොතු අරළු හා ගොඩපර ලෙලි තම්බාගත් ජලය පල්වෙන්නට තබා එම ජලයෙන් බිත්තිය තෙමා වාර කිහිපයක් මදිනු ලබයි.

විහාර බිත්ති සකසා ගනු ලැබූ වේ ගඩොලින් හෝ ගලින්ය.නමුත් බොහෝ විහාරයන් හි බිත්ති තනා ගනු ලැබුවේ සාමාන්‍ය නිවෙස් හි බිත්ති තනා ගන්නා ආකාරයටය.එනම් පොළොවට ලම්භව සිටුවන ලද ලී කණු සඳහා තිරස් ලෙස ලී බැදීමෙන් නිර්මාණය වන ලී සැකිල්ල පදමට තනාගත් වැලිමැටි මිශ්‍රණයකින් පුරවා ගැනීමෙන්ය.මෙසේ තනා ගන්නා බිත්ති පෘෂ්ඨ ඉතා රළු බැවින් ඔප මට්ටම් කර ගත යුතු වේ.ඒ සඳහා පිටතින් තවත් බදාමයක් යොදනු ලබයි.

මේ සඳහා කැඳ වතුර සමඟ පදමට හනාගත් වැලි මැටි මිශ්‍රණයක් ඔවුන් භාවිතා කොට තිබේ.මෙයින් විෂමතාවය මගහැරී සුමට භාවයට පත්වනු ලැබුව ද සිතුවම් ඇඳීම සඳහා තරම් වූ තත්ත්වයට එය තවමත් සුදුසු නොවේ.මෙම බිත්ති මත කුරුම්බා ඇට්ටි අරළු කහට පොතු බඳුනකට දමා සතියක් පමණ පෙගෙන්නට හැර කිරිමැටි හා වැලි මිශ්‍රණයකට එම ජලය මුසු කොට හොඳින් අනා බිත්ති පෘෂ්ඨය දෙපස මැනවින් කපරාරු කර ගනී.ඒ මත මතුරට මකුළු තට්ටුවක්ද ගාන ලදී.

සිතුවම් සඳහා වර්ණ සකසා ගැනීම[සංස්කරණය]

ශිල්පීහු බොහෝදුරට වර්ණ සාදාගත්තේ තමන් විසින්මය.සිතුවම් සඳහා වර්ණ සාදා ගැනීම සඳහා යොදා ගනු ලැබුනේ ද ස්වාභාවික ද්‍රව්‍යයන් ය. ඒවායින් එකක් දෙකක් හැරුණු විට අන් සියල්ල දේශිය ද්‍රවය විය.මේ නිසා ශිල්පීන්ට වර්ණයන්ගේ තත්ත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් විය.මේ නිසාම එකී වර්ණ බොහෝ කාලයක් පැවතුණි.විශේෂයෙන් සායම් පිළියෙල කිරීම ඇරඹීම සිත්තර ගෝලයින්ගේ කාර්යය විය.

මහනුවර සම්ප්‍රදායයේ සිතුවම් සඳහා යොදා ගනු ලැබුවේ සීමා සහිත වර්ණ සංඛ්‍යාවකි.සුදු,රතු,නිල් හා කොළ ප්‍රධාන වර්ණ විය.සීමා සහිත වර්ණ පටිපාටිය ගැඹුරු වර්ණ සේම පැතලි වර්ණ වීම නිසා ඉතා විසිතුරු ලෙසත් ප්‍රාණවත් ලෙසත් මෙම චිත්‍රයන් හි නොනවතින රේඛා යෙදුනි.දැනීමෙ හි අසීමිත,විසිතුරු නිරූපණය,වර්ණ සංයෝජනය,කලා කෞශල්‍ය අතින් මේ යුගයට අයත් සිතුවම් තරම් විසිතුරු සිතුවම් හා කලානුරූප සිතුවම් නැති තරම්ය යන්න විජේසේකරයන් ගේ අදහසයි.

පැරණි විහාර කර්මාන්තයන් හි යොදන ලද සායම් වර්ග තනා ගැනීමේ ශිල්පය පැරණි සිත්තර පවුල් හි කුල ප්‍රවේණි වස්තු ලෙසින් අතින් අත යෑම සුවිශේෂි වෙයි.

(අ) ඕදාත (සුදු)

මතුරට අසල වැටක්ගම නම් ගමෙහි පිහිටි මකුල් ගල් ලෙනකින් ලබාගත් මකුළුවලින් සුදු පාට සාදා ගත් බව කුමාරස්වාමිගේ මතයයි.වෙල් ආශ්‍රිත කිරිමැටි මෙසේ මකුළු නමින් හදුන්වනු ලබයි.කදු ආශ්‍රයෙන් ද මකුළු ඇත.මේවා බොහෝ විට ලැඛෙන්නේ ගුලි වශයෙනි.මෙහි කබොල්ල අස්කර පිරිසිදු පාටැති කොටස පමණක් ගෙන වැලි කුණු ඉවත් කොට භාජනයක දමා දියකර පෙරා පෑදෙන්නට හැර පැදුණු පසු වතුර අස්කර පෙරිය යුතුය. ඉන්පසු අඹරා දිවුල් ලාටු හෝ වෙනත් මැලියම් සමඟ මිශ්‍ර කර ගනී. මේ පිළිබඳව ඩේවිගේ අදහස වන්නේ දේශිය මැග්නීසියා කාබනේට් හෙවත් මකුළු නම් ඛනිජ වර්ගයක් මතුරට නිම්නයෙන් වෙඩිලූණු ලෙනක ඩොලමයිට් සමඟ තිබී සොයාගත් බවයි.සිතුවම් සඳහා මකුළු භාවිතා කළ බව මැදවල විහාර සන්නසෙ හි ද දඹුලූ පදවි සන්නසෙ හි ද කරුණු සඳහන් වී තිබේ.

(ආ) පීත (කහ පාට) ගොකටු ගසේ කිරි වලින් තනා ගන්නා ලදී.රත්සිරියල් යොදා ගනිමින් ද කහ වර්ණය නිර්මාණය කරනු ලබයි.විද්‍යාගාර පර්යේෂණයන්ට අනුව සිත්තරුන් කහ පැහැය සඳහා ඇටික් සල්ෆයිට් අඩංගු හිරියල් ද භාවිතා කොට තිබේ.

(ඇ) කළු

පොල් කටු අගුරු දොරණ තෙල් සමඟ අඹරා සාමාන්‍ය භාවිතයේදී යොදා ගෙන තිබේ.මීට අමතරව පැරණි කොහොල්ලෑ,කැකුණ තෙල්,හල්දුම්මල, පිරිසිදු පාංකඩ සමඟ එකට අඹරා අව්වෙන් වේලා පිරිසිදු වළඳකදමා ගිනි අවුලූවා එයට උඩින් මැටි භාජනයක් තබා වසා තැබීමෙන් පසු අදුන් දැලි ලබා ගනී. පරණ කොහොල්ලෑ,පහන් දැලි හා පහන් කඩ යන ද්‍රව්‍ය කැප්පෙටිය ලාටු සමඟ එකට උණු කර අඹරාගැනීමෙන්ද කළු වර්ණය සාදා ගනු ලබයි.

(ඈ) නීල (නිල් වර්ණය)

මෙම වර්ණය දක්නට ලැඛෙන්නේ කලාතුරකිනි.නිල් අවරිය ගසේ කොළ යොදා ගෙන තනා ගන්නට ඇත.මීට අමතරව මුහුදු වැලි කබලෙන් බැද අරක්කු සමඟ මිශ්‍රකර ඇඹරීමෙන් නිල්පැහැය නිර්මාණය කොට ඇත.

(ඉ) ලෝහිත (රතු)

ගොනුව:මල් පුජාව.jpg

සාදිලිංගම් නැමති පිටරටකින් ගෙන්වා ගන්නා ලද ද්‍රව්‍යයකින් සාදා ගන්නා ලදී.සාදිලිංගම්,රත් මල් කැකුළු යුෂයෙන් අඹරා ගැනීම ද මේ කාලයේ දී දක්නට ලැබණි.

(ඊ) රන් වර්ණය

රත් හිරිගල් හා හිරිගල් එක පමණ ගෙන මිල්ල පොතු,ගම්මාලූ පොතු හා ගොකටු පොතු යුෂයෙන් අඹරා කුඩු කොට අවුවෙහි වියළා උදුනෙහි තබා වියළා ගනියි. මීට අමතරව හිරිගල් ගොකටු කිරි රසදිය සුදු ඊයම් සින්නක්කාරං,යවකාර ලූණු සමඟ ගෙන දොරණ තෙලින් අඹරා ගැනීමෙන් රන්වර්ණය සකසා ගැනුණි.

(උ) කොළ වර්ණය

ඉතා විරළ ලෙස භාවිත වූ අතර නිල් හා කහ වර්න සංයෝගයෙන් සාදා ගන්නා ලදී.

මෙකළ ශිල්පීන් ඉතා සුළු වශයෙන් වර්ණ මිශ්‍රණය දැන සිටි බව උල්ලූවිස් හේවාගේ අදහසයි.ඔහුට අනුව සුදු මිශ්‍රණයෙන් ලා පැහැයද කළු මිශ්‍රණයෙන් තද පැහැයද ලබා ගැනුණි.මේ යුගයේ වර්ණ ප්‍රභේද භාවිතය සීමා සහිත විය සුදු පැහැයට රතු පැහැය එකතු කිරීමෙන් ලා රතු පැහැය ද කළු පැහැයට සුදු එකතු කිරීමෙන් අළු පැහැය ද ලබා ගත්හ.මෙම වර්ණයන්ට කහ පැහැය එකතු කිරීමෙන් පච්ච පැහැය ලබාගත්හ.

කුමාරස්වාමි හා උල්ලූවිස්හේවා සායම් මිශ්‍රකිරීම පිළිබඳව යම් අදහසක් පළකරනු ලැබුව ද චාර්ලිස් ගේ අදහස වන්නේ මෙම සම්ප්‍රදායය තුළ පිරිසිදු වර්ණ පමණක් භාවිත කළ බවයි. එනම් උඩරට සිතුවම් කලාවෙහි සායම් මිශ්‍ර කිරිමක් නොතිබි බවයි.නමුත් සීගිරි හා පොළොන්නරු කාල වලදී සායම් මිශ්‍ර කිරීම තිබූ බවත් එය සම්භාව්‍යය සිතුවම් සම්ප්‍රදායයෙහි අංගයක් ලෙසින් ඔහු සලකනු ලබයි.

සිතුවම් සටහන් කිරීම හා වර්ණගැන්වීම[සංස්කරණය]

සිතුවම් සටහන් කිරීමෙහි ලා පළමුව කළු සායම් උපයෝගී කොට සිහින් බුරුසුවකින් බාහිර ආකාර මාත්‍රය සළකුණු කරනු ලැබ්ණි.ඉනික්බිති රූප සුදු පැහැයෙන් ඉතිරි වන සේ පසුතලයේ ලා රතු පැහැය ගානු ලබයි.මින් පසු රූපයන් හි කහ වර්ණය හා බාහිර රේඛා රතු වර්ණයෙන් පරිස්සමෙන් ඇඳ පසුතලයේ ලා රතු වර්ණය මත රතු වර්ණය ගල්වනු ලබයි.ශෝබන පසුතලයක් අවසානයේ දී ලබා ගැනීම පිණිස එකිනෙක මත ලා රතු හා රතු දෙතුන් වරක් ගෑම අවශ්‍ය වේ. රූප සඳහා අදාළ වර්ණ යෙදීමේ දී මනුෂ්‍ය රූප හැම විටම කහ වර්ණය ගත් නමුත් විෂ්ණු හා මුගලන් හිමියන්ගේ රූප විශේෂ හේතු නිසා නිල් වර්ණය යොදා වර්ණ ගන්වා ඇත.චිත්‍රයේ පසුතලය හැම විටම පාහේ රතුය.ඇතැම් දුර්ලභ අවස්තාවන් හී දී කළු පසුබිමක් ද දක්නට ලැබේ.අංග ප්‍රතයාංග,විස්තරය ද රතු පැහැයෙන් සිතුවම මත අදිනු ලබයි.අවසානයේ මේවා සිහින් පැහැදිලි ස්ථීර කළු රේඛාවකින් ඇඳ දැක්වේ.මෙයින් සමස්ත සංයෝජනයම එකවර විවරනය වේ.

වලිත්ති යෙදීම[සංස්කරණය]

වර්ණ යෙදීමෙන් පමණක් සිතුවමක කාර්යයන් අවසන් නොවේ.චිත්‍රයක අවසන් නිමවුම ලෙස වලිච්චි වැස්මක් පූර්ණ බිතු සිතුවම් තලය පුරාම යෙදිම සිදු කරනු ලබයි. මෙය ඉතා තුනී වූත් පාරදෘශ්‍ය වූත් වැස්මකි.මෙය දහඅටවැනි සියවසේ ජනප්‍රිය වූ චිත්‍ර කලාව සඳහා භාවිතයට ගත් අලූත් ශිල්ප ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. වලිච්චි සාදනු ලබන්නේ කුඩු කළ දුම්මල,දොරණ තෙල් සමඟ මිශ්‍ර කොට පැය භාගයක් පමණ නිවෙන්නට හැරීමෙන් පසුවය.මෙවැනි වලිච්චියක් නෙුවට සැලැක් (ලාකඩ වෙනුවට භාවිතා කරන කමේ සතෙකුගෙන් ලබාගත් ද්‍රව්‍යකි) හා මධ්‍යසාර මිශ්‍රණයක් ද පහසුවෙන් යෙදිය හැකියඒවායෙන් ලැඛෙන ප්‍රතිඵලය අලූතින් ගෑ දුමිමල වාර්ණිෂ් දීප්තියට වඩා යහපත් බව කියවේ.මෙලෙස වලිච්චි වැස්මක් යෝදා ගන්නට ඇත්තේ කෘමි උවදුරු වලින් සිතුවම් බේරා ගැනීම සඳහාත් ස්වාභාවික පරිසර වෙනස් කම් වලින් සිතුවමට හානි නොවීම සඳහාත් වන්නට ඇත.

පින්සල් යොදා ගැනීම[සංස්කරණය]

සිතුවම් ඇඳීම සඳහා පැන්සල් භාවිත කරනු ලැබුණේ කලාතුරකිනි.මිණිරන් පැන්සල් නොතිබූ අතර ඊයම් පැන්සල් පමණක් භාවිත විය. සිතුවම් ඇඳීමේ දී ශිල්පීන් විසින් තෙලි කූර භාවිත කරන ලදී.වැටෙකෙයියා මුල් යොදා විශාල තෙලි කූරු සාදනු ලැබුණි.එය පොතු හැර සිහින් කර පැත්තක් තලා ගනු ලබයි.විශාල බුරුසු තනා ගනු ලැබුවේ පොල් හනසු උපයෝගී කර ගනිමින්ය.සියුම් රේඛා ඇඳීම පිණිස දික් නොනැමෙන බුරුසු සාදන්නේ තෙලි තණ තණ්ඩු යොදා ගනිමින්ය.තෙලි තණ කරල තෙත් කොට ඇට ගලවා උල් කටුවක බැඳගැනීමෙන් පහසුවෙන් තෙලි තන කූරක් සකස් කර ගත හැකි විය.

කුඩා තලයන් හි සායම් ගෑමට ගන්නා තෙලි කූරු සාදන ලද්දේ බළල් හෝ ලේන ලොම් වලින්ය.එසේම මුවන්ගේ,ගෝනුන්ගේ,අශ්වයන්ගේ බඩ යට රෝමයන් ද තෙලි කූරු සඳහා යොදා ගෙන ඇත.රෝමයන් විශාල ප්‍රමාණයක් එක්ව නොගෙන ඇගිලි දෙකට ප්‍රමාණවත් පරිදි ගෙන කෙඳි එක්ව තබා බැද ගැනීම කරයි.එහිදී පැති මුල් ගැටය හෝ හවරි ගැටය ගසා තද කර ගනී.උගුඩුවාගේ ලෝමයන්ගෙන් ද තෙලි කූරු සාදා ගනි. එය උගුඩු ලොම් තෙල්ල ලෙස හදුන්වයි. ලෝම එක්කොට බට පුරුකක් මැදින් දමා තද කර ගන්නා ලද තෙල්ල බට තෙල්ල නම් වේ. කෙසි තෙල්ල, අකුරු තෙල්ල හා නියන් තෙල්ල ආදී පින්සල් ද මෙහි දී යොදා ගනු ලැබුණි.