මහනුවර නාථ දේවාලය
අද කියන්නේ මහනුවර ඇති පැරණිම පූජනීය ගොඩනැගිල්ල ගැනයි. ඒ කියන්නේ දළදා මාලිගාව ඉදිරියෙන් ඇති නාථ දේවාලය ගැනයි මේ සටහන. මේ නාථ දේවාල භූමිය ඉතාම ඓතිහාසික තැනක්. මේ භූමිය ජය භූමියක් හැටියටයි පෙර රජවරුන් සැලකුවේ. ඒනිසා අපේ රජවරු ඔටුණු පළඳා ඇත්තෙත් මේ නාථ දේවාල භූමියේමයි.
යමෙක් රජවුණාම පාවිච්චි කරන්නේ වෙනත් නම්. ඉතින් ඒ රජවරුන්ට නම් තැබෙන්නෙත් නාථ දේවාල භූමියේදිමයි. ඒ අනුව කන්ද උඩරට රජ වූ සෑම රජෙකුටම නම් යෙදීමට භාවිත කළේ මේ නාථ දේවාල භූමියයි. එහි ඇතුළු මාලිගයේ මැටි මුට්ටියක තබා තිබෙන නම්වලින් එකක් උදෑසනම පිළිවෙත් රැක ගොස් රජු විසින් ලබාගැනීමෙන් පසු රජුට හිමි නම තබනවා. රජතුමාට ඔටුණු පළදන්නත් මේ දේවාල භූමියේ වෙනම මණ්ඩපයක් තියෙනවා. අදත් ඒ මණ්ඩපයේ පාදම දකින්න පුළුවන්. උතුරට මුහුණ ලා වාහල්කඩත්, නැඟෙනහිරට මුහුණ ලා චෛත්‍යය හා බෝධියත්, දකුණට මුහුණ ලා දේවාලයත් පිහිටා තිබිම මේ මණ්ඩපයේ විශේෂත්වයක්. ඒ අනුව පෙර රජවරු චාරිත්‍රානුකූලව ඔටුණු පලඳා උතුරු වාහල්කඩින් පිටව ගොස් විෂ්ණු දේවාලයෙන් අසිපත අතට ගන්නවා. නාථ දෙවියන් යුද්ධ නොකළ දෙවි කෙනකු නිසා අසිපත විෂ්ණු දේවාලයේ තැබිම විශේෂත්වයක්.
සෙංකණ්ඩපුර හෙවත් මහනුවර ගොඩනැගෙන්නේ නාථ දේවාලයද සමඟින්මයි. ඒ දහහතරවන සියවසේ ගම්පොළ රජකළ තුන්වන වික්‍රමබාහු රජතුමාගේ සමයේදි. නාථ දෙවියන් සැලකෙන්නේ මතු බුදු වන මෛත්‍රී බෝසතුන් ලෙසයි. නාථ දෙවියන් උදෙසා ඉදි වූ නාථ දේවාල ගොඩනැඟිල්ල සියවස් ගණනක් පැරණියි. ඒ අනුව මහනුවර නගරයේ පළමු මෙන්ම ඉපැරණිතම ගොඩනැඟිල්ල මේ දේවාලයයි. දකුණු ඉන්දීය පල්ලව සම්ප්රදායේ ගෙඩිගෙයක් ලෙස මුළුමනින්ම ගලෙන් මේ දේවාලය නිර්මාණය කර තියෙනවා.ඒ අනුව නාථ දෙවිඳුන් වෙනුවෙන් ඉදිව ඇති ප්‍රධානතම දෙවොල වන්නේ මහනුවර ශ්‍රී නාථ දේවාලයයි.
මහනුවරට සෙංකඩ පුර කියන නම ලැබුණේ මේ දේවාල භූමියේ සිටි සෙංකඩ නම් බමුණෙකු නිසා බවත් සඳහන් වෙනවා. මේ නාථ දේවාලය අයත් භූමිය, සෙංකණ්ඩ බමුණා හඳුනාගෙන ඇත්තේ ජය භූමියක් හැටියටයි. හිවලෙකු පසුපස හාවෙකු පන්නන අපුරු සිදුවිමක් බමුණා දැක මෙම ස්ථානය ජය භූමියක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ ජය භුමිය සෙංකණ්ඩ බමුණා විසින් හඳුනාගැනීම නිසා ඒ නගරයත් සමස්ත රාජධානියත්
සෙංකණ්ඩගලපුර ලෙස හැදින්වුණා. මේ සිද්ධියෙන් පසු ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජතුමා එහි නාථ දේවාලය ඉදි කරවා තිබෙනවා. එසේම ඒ ප්‍රධාන, දේවාලය ඉදි කෙරෙන තුරු එම ස්ථානයේ කුඩා කුටියක් හදලා එහි තමයි නාථ දේව පුතිමාව තැන්පත් කරලා තියෙන්නේ.1543 කාලයට අයත් ශලා ලිපි දෙකකුත් මේ දේවාලයේ ගල් අතර අල්ලා තිබෙනවා.
“අවලෝකිතේශ්වර නාථ” නැමැති ග්‍රන්ථය ලියු හෝල්ට්මේ ගැන සදහන් කරන්නේ නාථ දේවාල ගෙඩිගේ පුද ලබන නාථ දේව ප්‍රතිමාව, එම ගෙඩිගේ නාථ දේවාලයට වඩා පැරැණි බවයි.
නාථ දේවාලයට පසෙකින් අදත් දකින්න ඇති ගම්භාර දේවාලය තමයි ඒ කුඩා දේවාලය. මේ ගම්භාර දේවාල බැම්මෙහි බිතු සිතුවම් මත තවත් සිතුවම් වගයක් දක්නට තියෙනවා.ඒවා ඇද තියෙන්නේ ලන්දේසීන්. අදත් ඒ ඇඳි බිතු සිතුවම් දකින්න තියෙනවා. අපේ රජවරුන් හමු වීමට එන ලන්දේසින් රජතුමාගෙන් කැඳවිමක් ලැබෙනතුරු මේ ස්ථානයේ රැඳි ඉන්නා කාලය තුළදි ඔවුන් මේ සිතුවම් ඇඳ තිබෙනවා. ඒ ගොඩක් සිතුවම් රුවල් නැව් වීම විශේෂත්වයක්. පසුව රජතුමා නාථ දේවාලය ඉදි කිරීමත් සමග තම මාලිගය, නගරය ආදිය මේ ස්ථානය වෙත ගෙන ආ බව සඳහන් වෙනවා. මහනුවර නගරය දොළොස් චක්රයක ආකාරයට තමයි රජතුමා ඉදිකරවා තිබෙන්නේ. පැරැණි වීදි බැලුවාම ඒ බව පෙනෙනවා. ඒත් පසු කාලීන ඉංග්‍රීසින් එය වෙනස්කර තිබෙනවා.
දේවාල භූමියට ඇතුළු වන ප්‍රධාන වාහල්කඩ මහනුවර නගරයේ පැරණිතම
වාහල්කඩක්. මුරගල් දෙකක්, මුදුනේ මකර තොරණක්, උළු සෙවිලි කළ වහලක් මේ වාහල්කඩේ දැකගන්න තියෙනවා. ඒ විතරක් නොවේ දළදා වහන්සේ වැඩමවාගෙන ගිය පාත්‍රා ධාතූන් වහන්සේ නමක් තැන්පත් කළ චෛත්‍යය, ඓතිහාසික වැල්බෝධිය, ආයුධ සැදීමට යකඩ උණු කළ කෝව, දළදා වහන්සේට පූජාව සඳහා පැන් ගත් ළිඳ, ඝණ්ටාර කුලුන, කළුගලෙන් නිමවන ලද සැතපෙන බුදු පිළිම වහන්සේ, කළු ගලෙන්ම නිමවන ලද පින්තාලිය, ශ්‍රී පතුල, ගල් උළුවස්ස, ආදි කැණීම්වලින් සොයාගන්නා ලද පුරාවස්තු රැසක් ද මේ නාථ දේවාල භූමියේ තියෙනවා. නාථ දෙවියන්ගේ පූජා සඳහා සහල් ගත් වෙල, දෙයියන්නේ වෙල ලෙස හැඳින්වුණා.
මේ නාථ දේවාල බිමේ තවත් ඉපැරැණිම සිහිවටනයක් තියෙනවා. ඒ තමයි වැල් බෝධිය. වැලක මෙන් බෝපත්‍ර පහළට එල්ලා වැටෙන නිසා මෙය වැල් බෝධිය ලෙස හැදින්වෙනවා .නාථ දේවාල භූමියේ වැල්බෝධිය ගැන චූල බෝධිවංශයෙත් සදහන් වෙනවා.
ඉතින් දළදා වහන්සේ වන්දනා කිරිමට යන ඔබ මාලිගාව ඉදිරියෙන් ඇති මේ නාථ දේවාල භූමියට ගොස් දේවාලෙත් වැඳ විවේක සුවයෙනුත් ඉන්න ඇති. නමුත් ඒ ඔබ ඇවිද ගියේ මහනුවර මුල්ම ඉදිකිරිම ඇති, රජවරුන් ඔටුණු පළන් ජය භූමියේ බව දැන නොසිටියා විය හැකියි. දළදා වහන්සේ වැඳගෙන නාථ දේවාල භූමියට පිවිස මෙහි සදහන් ඉතිහාසය ගැන ආවර්ජනය කරමින් දරුවන්ට එහි වටිනාකම කියා දෙන්න.