මනමේ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මනමේ නාටකය වනාහී දේශීය නාට්‍ය සම්ප්‍රදායයේ අග්‍ර ඵලයයි. බොදු පූජා කර්ම සහ ලක්දිව ශාන්තිකර්ම ඇසුරෙහි දක්නට ඈති නාට්‍යමය ලක්ෂණ; කෝලම් හෙවත් වෙස් මුහුණු නාටක, කවි නාඩගම්, සොකරි නාටක, නාඩගම්, රූකඩ නාට්‍යය, පාස්කු නාට්‍යය ඔස්සේ විකාශය විය. දහනව වෑනි සියවසේ අග භාගයේ ප්‍රචලිත වූ නූර්ති නාට්‍යය දේශීය නාට්‍යය සම්ප්‍රදායේ පෑහෑදිලි වෙනසක් සනිටුහන් කරයි. නූර්තියේ පිරිහීමෙන් පසුව, ටවර් හෝල් නාට්‍ය යුගය 1911 දී නීතීඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ පණ්ඩුකාභය නාට්‍යය වේදිකා ගත කිරීමත් සමඟම ඇරඹෙයි. 1933 ටවර් රඟහල චිත්‍රපට ප්‍රදර්ශනයට කැප වීමත් සමඟම ටවර් හෝල් නාට්‍ය යුගයද අවසන් විය. විශ්ව විද්‍යාලයීය නාට්‍යය පළමුව ඇරඹෙන්නේ ඉංග්‍රීසි නාට්‍යය නිෂ්පාදනයෙනි. ඉංග්‍රීසි නාට්‍යය සංගමය අනුව යමින් විශ්ව විද්‍යාලයේ සිංහල ශාස්ත්‍රීය සමිතිය විසින්ද නාට්‍යය නිෂ්පාදනය කෙරිණි. මේ නාට්‍ය අතුරින් ගුණපාල මලලසේකරයන්ගේ "ඉබේ වෙදා", "යන්තම් ගැලවුණා" නාට්‍යයන්ද, ආචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මුදලාලිගෙ පෙරළිය", "කපුවා කපෝති" යන නාට්‍යයන්ද ප්‍රසිද්ධියක් ලබා ගත් නාට්‍යයයි.

මෙලෙස දේශීය නාට්‍යය කලාවක් ගොඩ නෑගීමේ ප්‍රයත්න දැරූවන් අතර මුල් තැනක් ගත් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ, පර්යේෂණාත්මක සහ එමෙන්ම දේශීය සම්ප්‍රදායයක් ගොඩ නැගීමේ අරමුණක් පෙරදැරි කොට ගත්, ලාංකීය නාට්‍ය කලාව තුල සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යයයි, මනමේ.

මනමේ කතාව ලෙස ප්‍රචලිතව ඇති ජන කතාවට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වෙනි ජාතක කතාව ලෙස දැක්වෙන චුල්ල ධනුග්ගහ ජාතකයයි. මනමේ කවි නාඩගම, චුල්ල ධනුග්ගහ ජාතකයේම කාබන් කොපියක් ලෙස නිර්මාණය වුවද, සරච්චන්ද්‍රයන් විසින් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුග්ගහ ජාතකයේ සැකිල්ල ගෙන එයට සිය පෞද්ගලික දර්ශනයද, මනමේ කුමරිය පිළිඹද මානුෂීය විග්‍රහයක් ද එකතු කරමිනි. මෙම ප්‍රතිනිර්මාණයේදි සරච්චන්ද්‍රයෝ මනමේ කෝලම් හා කවි නාඩගම් වල ආභාස පමණක් නොව අකිර කුරසෝවාගේ රෂෝමොන් චිත්‍රපටිය නැරඹීමෙන් ලැබූ අත්දැකීමද භාවිතා කළ බව පවසති.

"මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිද ගත්තේ ජපානයෙහිදී හෝ ඇමරිකාවෙහිදී අකිර කුරසොව විසින් අධ්‍යක්ෂණය කරන ලද "රෂෝමොන්" නම් චිත්‍රපටිය බැලීමෙන් පසු ය. "රෂෝමොන්" චිත්‍රපටියට ආශ්‍රය කරන ලද්දේ අකුතුගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ල ධනුග්ගහ ජාතකයටත් මනමේ ගැමි නාටකයටත් සමානය." ( මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : පිං ඇති සරසවි වරමක් දෙන්නේ )

"මනමේ කතාව කෝලම් සම්ප්‍රදායයෙන් හා කවි වලින් මෙතෙක් කල් ගම්බදව රඟ දැක්වුණු නුමුදු, එය නාඩගම් සම්ප්‍රදාය අනුව රග දැක්වීම සදහා රචනා කරන ලද පළමු වතාව මේය. නාඩගම් සම්ප්‍රදාය පදනම් කොට ගෙන මේ නාට්‍යය රචනා කළ මා විසින්, පරණි නාඩගම් සම්ප්‍රදායට අයත් සියලු අංගයන් ම අනුගමනය නොකරන ලදී. බහු බූත, සෙල්ල පිල්ලෙ ආදී නළුවන්ගේ රැඟුම් ඇත්ත වශයෙන්ම නාට්‍යයට සම්බන්ධ නොවන් හෙයින්, මා විසින් ඒවා බැහැර කරන ලදී. එසේ නමුදු, නාඩගම් ශෛලියට අවශ්‍ය වූ හැම සිරිතක් ම මෙහි රක්නා ලදැයි කියනු කැමැත්තෙමි. දේශීය සම්ප්‍රදාය, ඉදිරියට අප අතර පැලපදියම් වීමට නම්, වර්තමාන රසිකයන්ගේ රුචියද මදක් සැලකිය යුතු ය යනු කවුරුන් විසින් වුවද පිළිගනු ලැබේ යයි සිතමි. මේ නාටකය රචනා කරන අතර බොහෝ කාලයක් මුළුල්ලේ නාඩගම් නිෂ්පාදනය කර විශාල පළපුරුද්දක් ඇති අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමඟ සාකච්චා කොට බැහැර කල යුතු දේ බැහැර කොට, ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මෙසේ මේ නාටකයේ ආකෘතිය සකස් කරන ලද බව පවසනු කැමැත්තෙමි." (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : මනමේ නාටකයා


මෙලෙස නිර්මාණය වූ මනමේ නාටකයේ කතාව සැකෙවින් මෙසේය.


දිසාපාමොක් ඇදුරිදු සමීපයේ ශිල්ප උගන්නා මනමේ කුමරු, ඇදුරිදුගේ දක්ෂතම ශිෂ්‍යයායි. කුමරිය කෙරෙහි නොපළ ප්‍රේමයකින් පසුවන කුමරු, ශිලප හදාරා අවසානයේ දිසාපාමොක් ඇදුරිදු විසින්, සිය දූ කුමරිය, කුමරුට සරණ පාවා දීමට ගන්නා තීරණයත් සමඟම ප්‍රීති ප්‍රමෝදයට පත් වෙයි. සිය පියාණන්ගේ සිත නොතළා, දිවි ගෙවන බවට ප්‍රකාශ කරන කුමරියද, මනමේ කුමරු කෙරෙන් ස්වාමීත්වය ලබන්නට රුචි කරන්නීය. දෙපාර්ශවයේම කැමැත්තෙන් විවාහයට පත් වන නව යුවළ, බරණැස් නගරය බලා පිටත් වෙති.

සියල්ල නොසිතූ අයුරින් වෙනස් කළ සිදුවීම් රැසක් සිදුවන වන අරණකට ඔවුන් දෙදෙනා පිවිසෙන්නේ මේ ගමනේදීය. කුමරාත් කුමරීත් වනයේ සිරි නරඹමින් ප්‍රේමයෙන් ඔකදව ගමන් කළත්, වනයේ ඇති භයංකර භාවය, කුමරිය විටෙක බියට පත් කරයි.

වනයේ ආගන්තුකයින් වූ මනමේ කුමරාත්, කුමරියත් වැදි දෙටුවන්ගේ ඇස ගැටෙන්නේ මේ මොහොතේ දී ය. කුමරියගේ රූප ශ්‍රියාව දකින ඔවුහු සිය රජුනට සුදුසු බිසව මේ යැයි තීරණය කොට එපවත් වැදි රජුට දන්වති. කුමරිය අත ගැනීමේ අභිප්‍රායයෙන් මනමේ යුවළ ඉදිරියට එන වැදි රජු, කුමරිය වනයේ තබා වනයෙන් පිටවන ලෙසට කුමරුට අණ කරයි. කෝපයට පත් වන කුමරු හා කුමරිය කෙරෙහි ලොබ බැදි වැදි රජු අතර ද්වන්ද සටන ඇරඹෙන්නේ මේ වාග් ප්‍රහාර වලින් අනතුරුවය.

සටනින් වැදි රජු පෙරළා බිම හෙළන කුමරු, ඔහු මරා දැමීමට කුමරියගෙන් කඩුව ඉල්ලයි. මෙහිදී කුමරිය වැදි රජු මරා දැමීම පිළිබද එකඟ නොවන්නීය. වනාන්තරය සිය වාස භවන වී තිබියදී සහ වැදි දෙටුවන් රැසක් සිටියදී, ද්වන්ද සටනකට පැමිණි වැදි රජු ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් අයකු ලෙස ඈ දකින්නීය. "ඔහුට සමාව දෙනු මැනවී" ඇය කරන ඉල්ලීමෙන්, මනමේ රජු තිගැස්සෙයි. මේ සමඟම ඔහුගේ ග්‍රහණය ලිහිල් වන අතර, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වැදි රජ වහා ඔහුගෙන් මිදී බිසව අතින් කඩුව ගෙන මනමේ රජුට ඇන ඔහු මරයි.

කුමරිය වැදි රජුට දෝෂාරෝපණය කරන අතර වැදි රජු නිදහසට කරුණු දක්වයි. වන අරණේ වෙන සරණක් තමන්ට නැති බවත් වැදි රජු තමන්ට ප්‍රිය බවත් දකින කුමරිය, ස්වකීය බිසව වන්නට වැදි රජු කරන ඉල්ලීම පිළි ගනී.

දෙදෙනා මෙලෙස ගමන් කරන අතර වැදි රජු තමන් කෙරෙහි බැදි ආලයෙන් බොලද වන මනමේ කුමරිය, ඔහුගේ සිත ගැන්ම පිණිස කරණ ප්‍රකාශයකින් වැදි රජු සසල වෙයි.

"මනමේ රජු ඔබ - ගෙල සිද ලන්ටා කඩුව ඉල්ලූ සද ඔහු වළකන්ටා කල තැත දුටුවද - ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා"

සිය දක්ෂකම යටපත් කරමින් සහ සිය බිරිද වෙනුවෙන් සටන් කළ ධීර සැමියා අමතක කර කියනා මෙවදනින් අන්දමන්ද වන වැදි රජ විසින් කුමරිය ප්‍රතික්ෂේප කරනු ලැබෙයි.

කුමරිය නොයෙක් ආයාචනා කලද නොනැවතින වැදි රජ, ඈ තනි කර දමා යයි. තනි වූ බිසව පසුතැවිල්ල දරා ගත නොහැකිව ළය පැළී මිය යයි.

"ගැමි ජනතාව අතර ප්‍රකට වූ මනමේ කථාව මා නාට්‍යයක ස්වරූපයෙන් ඉදිරිපත් කලේ එම බිසව චපල ස්ත්‍රියක ලෙස නිරූපණය කිරීමේ අදහසින් නොවේ. කථාව පළමු වර මා ඇසූ අවස්ථාවෙහි කුමාරිකාව ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාවට පාත්‍ර වෙතැයි මට සිතිණි. පේරාදෙණි විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග භූමියෙහි එය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ඇතැම් ආචාර්යවරුන් ඉදිරියෙහි රඟපාන අවස්ථාවෙහි ඔවුන් බිසව කෙරෙහි අනුකම්පා සහගත දෘෂ්ටියකින් බලන් බවක් පෙනිණි. ශිෂ්ය ශිෂ්යාවන්ගේ ප්‍රතිචාරය කුමක් වේ දැයි මම නොදැන හුන්නෙමි. එහෙත් ඔවුන් කිසියම් ලෙසකින් නාට්‍යයෙන් කම්පා වුණු බව මම දුටිමි. එසේ වූයේ නාට්‍යයට ආශ්‍රය වූ කථාව නිසාද, එහි සංගීතය නිසාද යනාදී තතු පිළිබදව මම නොදනිමි.

ඔවුන් හැම දෙනාම කුල්මත් වී මුල සිට අග දක්වා මහත් කුතුහලයකින් එම නාට්‍යය නැරඹූ බව මට පෙනිණි. එහෙත් කොළඹ ( බොරැල්ලේ ) පිහිටි රංග ශාලාවෙහි ඇතැම් ප්‍රේක්ෂකයන් මනමේ කුමරිය වෙත මහත් ක්‍රෝධයෙන් රඟහලේදී ම ඇයට බැණ වදින්නට වූ බව කිව යුතුය. ඔවුන් මා විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යය දෙස බැලුවේ වෙනත් ආකල්පයකින් බව කිව යුතුය. ඔවුන් දකින්නට ඇත්තේ ඇය චපල ස්ත්‍රියක ලෙසය. ඇය තම සැමියාට ලැදි නොවී වැදි රජ්ජුරුවන් කෙරෙහි පිළිඹද සිතක් ඇති කරගත් ස්ත්‍රියක ලෙසය, ඔවුන් දුටුවේ. තම සැමියා මිය යාම අනපේක්ෂිතව සිදු වූවක් ලෙස ඔවුන්ට නොපෙනුණි. එය අහම්බෙන් සිදු වූවක් නිසා බිසව කෙරෙහි අනුකම්පාවක් ඔවුන් දැක්වූයේ නැත. සමහර ප්‍රේක්ෂකයෝ බිසවට බැන වදිමින් ඇයට අපහාස කලෝය.

එහෙත් මගේ අදහස වූයේ බිසව අහිංසක ස්ත්‍රියක ලෙස නිරූපණය කිරීම ය. සිදු වූ දෙයින් ඇය තිගැස්සුණාය. අන්දුන්කුන්දුන් වූවාය. ඒ අවස්ථාවෙහි ඇයට පිහිට වීමට සිටියේ වැදි රජු පමණි. එබැවින් ඇය ඔහුට සමීප වූවාය. තමා අනාථ වූ බැවින් අන්දුන්කුන්දුන් වී වැදි රජු වෙත තම සහාය දැක්වූවා ය.

මුළු නාට්‍යයෙන්ම කියවෙන්නේ මනුෂ්‍යයාට අනපේක්ෂිතව සිදු විය හැකි අභාග්‍ය ගැනය. මනුෂ්‍ය ජීවිතයෙහි මෙබදු අනපේක්ෂිත අභාග්‍ය සිදු විය හැකි හෙයින් මනුෂ්‍ය ඉරණම වෙත ප්‍රේක්ෂකයා කම්පා වනු ඇතැයි මම සිතුවෙමි.

මනුෂ්‍ය ලෝකයෙහි මෙවැනි අභාග්‍ය ඉරණමක් කෙනෙකුට අත් විය හැකි බව දැක්වීමය, මගේ අදහස වූයේ. එනම් ජීවිතයෙහි අනිත්‍යය මෙන්හි කිරීමට ප්‍රේක්ෂකයාට තුඩු දීමය. " (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : මනමේ නාටකය)

"https://si.wikipedia.org/w/index.php?title=මනමේ&oldid=111234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි