Jump to content

මඩබාවිට රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්

කොළඹ නුවර මාර්ගයේ දන්ඕවිට හන්දියෙන් මීරිගම පාරට හැරී කි‍.මී. 6 ක් පමණ ගමන් කර හමුවන තුන්මන් හන්දියෙන් බෝතලේ දෙසට ඇති මාර්ගයේ කි.මී. භාගයක් පමණ ගමන් කළ විට දකුණු පසින් ඇති අතුරු මාර්ගයේ යාමෙන් මෙම විහාරස්ථානයට ලගා විය හැකිය. මෙම ගිරි ගුහාව වළගම්බා රජු සොළී ආක්‍රමණිකයන්ගෙන් පරජායට පත්වී සැගව සිටි ගිරි ගුහාවක් ලෙස ප්‍රකටය. මෙය පිහිටා ඇති උස් බිම් ප්‍රදේශය අනුව ද එය සතුරන්ගෙන් ආවරනය වීම සදහා වඩාත් උචිත ප්‍රදේශයකි. උස් වූ කදු මදුන මත ගල් පඩි 225 කින් පමණ වූ පියගැටපෙළක් හා තැනි බිම් තරණය කිරීමෙන් මෙම ලෙන් සංකීර්ණය හමුවේ. ඉන් එක් ලෙනක් තුළ ප්‍රතිමාගෘහය පිහිටුවා ඇත. අඩි 20 ක් පමණ වන සැතපෙන පිළිමයත්, සමාධි මුද්‍රාවෙන් යුතු හිදි පිළිමයත්, විෂ්ණු දේව ප්‍රතිමාවත් මෙහි පිහිටා ඇත.

මඩබාවිට ප්‍රතිමාගෘහය සෙසු ප්‍රතිමාගෘහවලට වඩා ‍වෙ.නස් ස්වරූපයක් ගනියි. බොහෝ ප්‍රතිමාගෘහවල බුද්ධ ප්‍රතිමා ගල් ලෙනෙහි බිත්තියට ම හෝ බදාම දමා සකස් කරන ලද බිත්තියට අලලා නෙළා තිබුන ද මෙම ලෙන් විහාරයේ සැතපෙන පිළිමය ඒ ආකාරයෙන් නෙළා නැත. එම ප්‍රතිමාව පිටුපසට යා හැකි පරිද්දෙන් ගල් ලෙන් බිත්තිය හා ප්‍රතිමාව අතර සක්මන් භාවනාවේ යෙදීම සදහා පරතරයක් තබා ඇත. සැතපෙන ප්‍රතිමාව පිටුපස ගල් පෘෂ්ඨයෙහි බිම සිට ඉහළට විහිදී යන ආකාරයෙන් පිහිටි හැඩය අනුව ෂඩ් වර්ණයෙන් ගිනි දැල් ස්වරූපයෙන් රැස් වළල්ල නිර්මාණය කර ඇත. මෙම ලෙන් විහාරයෙහි බිත්තිවල හා වියනෙහි මහනුවර යුගයට අයත් යැයි සැලකිය හැකි සිතුවම් ඇද ඇත. ප්‍රතිමා ගෘහයට ඇතුල් වීමට ඇති දොරටුවෙහි උළුවහු හා දොර නුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්පය එළි දක්වයි. එහි ලී උළුවස්සේ කොටා ඇති ලී කැටයම් අදටත් විනාශ නොවී පවතියි. එහෙත් දොරටුව දෙපස අඹා ඇති දොරටුපාල රූප සංරක්ෂණය නොකිරීම නිසා විනාශ වී ඇත. ප්‍රතිමා ගෘහය පිහිටි ලෙනට වම් පසින් පිහිටි ලෙන තුළ කුඩා චෛත්‍යයක් පිහිටා ඇති අතර එය නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වී ඇත. වර්තමානයේ අපට දක්නට ලැබෙනුයේ එම කුඩා චෛත්‍යය වට කර තැනූ නව චෛත්‍යයි.

මෙම ප්‍රතිමාගෘහය සම්බන්ධ ලෙන් සංකීර්ණයෙහි කටාරම් කෙටූ ගල් කුලක සෙල්ලිපියක් දක්නට ඇත. මෙම සෙල්ලිපිය මගින් ක්‍රි.පූ 1 වන සියවසයේ සිට මෙම ස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව තහවුරු වේ. එමෙන්ම ඒ හා සම්බන්ධ පුරාවෘත්තයන් මගින් ඊටත් වඩා අතීතයකට දිවෙන බව ද විශ්වාස කෙරේ. කාශ්‍යප බුදුන් වහන්සේට බුද්ධත්වයට පත් වීමට සෙවන ලබා දුක් මහගිරි බෝ රුක ඒ අවට ප්‍රදේශයේ තිබී ඇ. එමෙන්ම එම ලෙනෙහි කොටා ඇති නැවක ලාංඡනය ද රාවණ පුවත හා සම්බන්ධ බව පැවසේ. මඩබාවිට විහාරයේ පරණි බව පුරාණ පිරුවාණා පොතේ විහාර අස්න පර්ච්ඡේදයේ තොරතුරු මගින් ද හෙළි වේ. එහි මඩබවිට විහාරය නමින් හදුන්වනු ලබන්නේ මෙම විහාරය බවත් එය පසු කලෙක දී මඩබාවිට ලෙස ව්‍යවහාර වී ඇති බව පැවසේ. මෙම විහාරයෙන් හමු වී ඇති කි.ග්‍රෑ. 8 ක් බරැති පැරණි පිළිම වහන්සේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි සැතපෙන පිළිමය ඉදිරියේ තබා ඇති විශාල පාත්තරය පෙර රජ දවස කුඹුරු අස්වද්දවා අලුත් සහල් මංගල්‍යයේ සහල් තැන්පත් කිරීමට භාවිතා කර ඇත.

මෙම විහාරය සමුබන්ධයෙන් ඓතිහාසික පුරාවෘත්ත හෙළි කර ගැනීමේ දී රාවණ යුගය දක්වා දිවීමට ඉතිහාසයක් ඇති බවත් අනුරාධපුර යුගයේ සිටම පැවතුණු බවට සාධකයන් සහිත විහාරස්ථානයක් ලෙසත් සැලකිය හැකිය. අනුරාධපුර යුගයේ මෙම ලෙන් සංඝ්‍යාවාස ලෙස භාවිතා වූ අතර මහනුවර යුගයේ දී ලෙන් විහාර වශයෙන් නිර්මාණය වන්නට ඇතැයි කිව හැකිය.

උපුටා ගැනීම - ඩබ්.ඩී.සී. බුද්ධිකා, ගම්පහ දිස්ත්‍රික්කයේ ලෙන් විහාර, චිත්‍ර හා සෙල්ලිපි, (2014), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

"https://si.wikipedia.org/w/index.php?title=මඩබාවිට_රජ_මහා_විහාරය&oldid=470881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි