බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර
෴ ඉසුරුමුණිය ෴
ප්‍රේමයේ සුවඳ පින්සාර වන තැනක ජීවිතය කෙතරම් නම් සුන්දර ද... පුරාණයේ සිට හමන ඒ මිහිරියාව සොයාගෙන ගියා වූ සංචාරේ සටහන.. ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ පොසොන් මස 26 වන දින.
ශ්‍රී ලංකාවේ පැරැණිම අගනගරය වන අනුරාධපුරය දේශයේ ඉතිහාසය අභිමානයෙන් දරන්නා වූ ජීවනාලිය බඳුය. දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමඳ අවධානය දිනා ගන්නා ලද අනුරාධපුර ඔබ ද ජීවිතයේ එක් වරක් හෝ පියනඟා ඇති ස්ථානයක් බව නොඅනුමානය. සුවහසක් පූජනීය ස්ථාන අතරින් අකලංක ප්‍රේමය හා බැඳුණ ඉසුරුමුණිය ආශ්චර්යජනක හැඟීමකින් කෙදිනක හෝ විඳගෙන ඇත්ද.
මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා හට වැඩ වාසය පිණිස කටාරම් කෙටූ ගල්ලෙන් හා පැන් පහසුව පිණිස අලංකාර පොකුණක් මුලින්ම ඉඳිකොට ඇත. එකල මේ තැනිතලා බිමක පිහිටි ගල් පර්වතය රන් පැහැයෙන් බැබලුණ බැවින් කසුන්ගිරි විහාරය නමින් හඳුන්වූ බව සඳහන් වේ. ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ඨ පල බෝධි වෘක්ෂයක් දේවානම්පියතිස්ස රජතුමා විසින් විහාර බිමෙහි රෝපණය කර පන්සීයක් කුල දරුවන් පැවදි කර වැඩ වාසය පිණිස ඉසුරුමුණි විහාරය තව තවත් අලංකාර අන්දමින් සංවර්ධනය කර ඇත. දන්ත ධාතූන් වහන්සේ මුලින්ම වැඩ හිඳුවා ඇති ඉසුරුමුණි විහාරයේ ලෙන් විහාරය උස් වේදිකාවක් මත ඉදිකරවා අාසනය , මකර තොරණ , බුදු පිළිමය හා පියස්ස යන සියල්ල එක ගල් කුලකින් නිර්මාණය කළ බව විශ්මයානු චිත්තයක් ඇති කරවයි.
අද ද යථා තත්වයෙන් දකින්නට ලැබෙන ලෙන් විහාර පියගැටපෙළ කොටස් දෙකකින් යුක්තය. ශෛලමය සඳකඩපහණ , මුරගල් , කොරවක්ගල් පසුකරමින් පළමු මහලට නැඟ මිහිඳු පොකුණ අසල පර්වතය දෙස බලන විට සුවිශේෂ කැටයම් දෙකක් වන අශ්ව හිස හා මිනිසා සහ දිය නාන ඇත් රූප දැකගත හැක. කැටයම් වලට ඉහළින් ගල් පව්වේ කුහරයක් තනා ඇති අතර කාසියක් ගෙන යම් ප්‍රාර්ථනාවක් කර මෙම කුහරයෙහි රැඳෙන සේ විසිකළ විට එම කාසිය පොකුණට නොවැටී කුහරය තුළ රැඳේ නම් ප්‍රාර්ථනාව ඉෂ්ට වන බව ජනශ්‍රැතියකි. මෙම කැටයම් සම්බන්ධව බොහෝ මත වාද තිබුණ ද මා සිත දිනාගන්නා මතය නම් මිනිසා සහ අශ්ව හිස වර්ෂාවට අධිගෘහත දෙවියන් දක්වන කැටයමක් බවත් දිය නාන ඇතුන් මඟින් වැසි ලැබීමේ ප්‍රීතිය සංකේතවත් කරන බවත් ය. මෙම විහර බිම වැසි ලැබීමට පුද පූජා පවත්වන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වූ බැවින් මේඝ විහාරය නමින් හැඳින්වූ බවත් ප්‍රාර්ථනා ඉෂ්ට වන ස්ථානයක් බැවින් ඉස්සරසමනාරාමය ලෙස හැඳින්වූ බවත් ඉස්සරසමනාරාමය යන නම බිඳී අවුත් පසු කලෙක ඉසුරුමුණි විහාරය නම් වූ බව ඉතිහාස සාක්ෂි දක්වයි.
කාශ්‍යප රජ සමය තුළ මිහිඳු ලෙන ඉදිරිපස විහාර ගෙය ඉදිකර විහාර භූමිය සංවර්ධනය කර ඇති අතර සිරි පතුල් කැටයම පිහිටන ස්ථානයෙහි ඉදිකරවා ඇති සර්වඥ ධාතු නිදන්පිත චෛත්‍ය හා රන්මසු උයනෙන් හමුවූ ඉසුරුමුණි පෙම් යුවල හා තවත් කැටයම් ඇතුළත් කෞතුකාගාරය මෑත කාලයේ ඉදිකර ඇත. ඉසුරුමුණිය බෞද්ධ විහාරයක් ලෙසත් රන්මසු උයන ඒ ආසන්නයේ ම රාජකීය උද්‍යානය ලෙසත් ඉදිකර තිබීමෙන් පැහැදිලි වන්නේ ආගම දහම සමඟ මුසුව පැවතුණ ජන ජීවිතයේ සුන්දරත්වයයි. පින්සාර සිතින් ආදරය විඳගන්න ආදරණීය වූ ඉසුරුමුණිය අදත් විවෘතය. ඒ නටබුන් තුළින් හිතට එබෙන අතීත සුවඳ සිහිගන්වන තවත් රසෝඝයක් අමරදේව ශූරීන්ගේ ගීතය ඇසුරින් සඳහන් කරමින් නිමාව මෙසේ තබමි.
කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා