බොරතෙල්

විකිපීඩියා වෙතින්
තහවුරු කරඇති බොරතෙල් නිධි, 2009

ඉතිහාසය[සංස්කරණය]

කැනඩාවේ පිහිටි පෙනිසිල්වේනියාවේ ග්‍රාමයක ලුණු හෑරීම සඳහා වාෂ්ප එන්ජිමකින් ක්‍රියාකරන උපකරණයක් තැනූ එඩ්වින් එල්. ඩ්‍රාකේ නැමැති අයෙකු 1859 වර්ෂයේ දිනක එම උපකරණය යොදා ගනිමින් පොළෝ මට්ටමින් අඩි හැටනවයහමාරක් ගැඹුරු ස්ථානයක් හාරමින් සිටියේය. ඔහුට කළුපැහැති අපූරු බොර දියරයක් හමුවූයේය. මෙය ලෝකය උඩු යටිකුරු කරනු ඇතැයි එම දියරය සොයාගත් ඩිරේක් කිසිදා නොසිතන්නට ඇත. බොරතෙල් පොළොව මතුපිටට පැමිණියේ ඒ ආකාරයෙනි.

එතැන් සිට ඇමැරිකාව පුරා කැනීම් ශිල්පියෝ තෙල් සොයා ළිං හෑරීමට පටන් ගත්හ. අද ලොව බොහෝ නිෂ්පාදන සඳහා සෘජුවම ඛනිජ තෙල් හෝ තෙල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරු ඵල යොදාගනී.

අදින් වසර දස ලක්ෂ හාරසිය ගණනකට පෙර පෘථිවියේ වැඩි කොටසක් මහ මුහුදින් වැසී තිබුණි. එකළ මුහුදේද ගොඩබිමද ජීවත් වූ ජීවීහු මිය ගිය පසු ඔවුන්ගේ දේහ කොටස් මහ මුහුදේ මඩ සමග කැලතී පල්පයක් ලෙස තැන්පත් විය. මේ මතට ගංගා ඇළ දොළ ඔස්සේ ආ ශාක කොටස් හා රොන් මඩද විශාල වශයෙන් එකත-ු විය. එම ආගන්තුක රොන් මඩ මගින් ජීවී කොටස් සහිත පල්පය මුළු මනින්ම වැසී ගියේය. කාලය ගත වෙද්දී එම රොන් මඩ ස්ථරය දැඩි වී පාෂාණ බවට පත්විය. ඒ හේතුවෙන් ජීවී කොටස් සහිත පල්පයට එල්ලවූයේ දැඩි තෙරපුමකි. එම මිශ්‍රණයේ වූ කාබන් සහ හයිඩ්‍රජන් යන මූල ද්‍රව්‍ය තුළ වෙනස් කම් රැසක් ඇති වන්නට පටන් ගැණුනි. උඩින් පාෂාණ බවට පත්වූ ආගන්තුක රොන් මඩ හේතුවෙන් යටින් තිබූ පල්පයට ඔක්සිජන් වායුව හමුවූයේ නැත. එයට ඔක්සිජන් හමුවූවානම් තත්ත්වය අදට වඩා වෙනස් වනු ඇත. පෙනිසිල්වේනියාවේදී එඩ්වින් ඩිරේක්ට හමුවූ ද්‍රාවණය වසර දස ලක්ෂ 140 කට පමණ පෙර තැන්පත් වූ ඒ පල්පයයි. එය පොසිල ද්‍රාවනයක් ලෙස යනුවෙන් හඳුන්වයි.

මෙම පල්පය සොයා ගැනීමත් සමඟම ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ මිනිසා එමගින් ගල් අඟුරු සහ පොසිල ඉන්ධන ලබාගත හැකි බව තේරුම් ගත්හ. මිශ්‍රණයේ හයිඩ්‍රජන් වැඩිනම් ඉන් ඛනිජ තෙල් ලබාගත හැකි අතර හයිඩ්‍රජන් අඩුනම් ගල් අඟුරු ලැබේ. මේ සියල්ල පොදුවේ හඳුන්වන්නේ පෙට්‍රෝලියම් නමිනි. පෙට්ට්‍රෝලියම් යන ලතින් වචනයේ අරුත ගලින් ලබා ගන්නා තෙල් යන්නයි.

අද ලෝකය පාලනය කරන බලවතා බවට පත්ව ඇත්තේ මෙම ඛනිජ තෙල් සම්පතයි. රැයක් පහන් වන විට ඛනිජ තෙල් බැරලයේ මිල කොතෙක් ඉහළ ගොස් ඇත්දැයි යන්න මත ලෝක ආර්ථිකය තීරණය වී ඇත. වර්තමාන පාරිභෝගික සමාජයට ඛනිජ තෙල් එපමණ බලපෑම් කරමින් සිටී. තෙල් මිල ඉහළ යාම අපගේ දෛනික ජීවිතයට සෘජුවම සහ වක්‍රාකරයෙන් බලපාන හෙයින් වර්තමානයේ වඩාත්ම කතා බහට ලක්ව ඇති තේමාවක් වන්නේද තෙල් අර්බුදයයි. ඒ අනුව ලෝකය දිව යන්නේ ඛනිජ තෙල් සම්පත මතය.

මේ වන විට ඛනිජ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ තරම් ඉහළ අගයකට පැමිණ ඇත. එය ලෝක ආර්ථික අර්බුදයකට හේතු වී තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ ලොව ඛනිජ තෙල් සම්පත අවසන් වෙමින් පවතින බවයි. ලෝකයේ ඛනිජ තෙල් ඇත්තේ තවත් දශක දෙකකට හෙවත් වසර විස්සකට පමණක්යැයි පිරිසක් කියා සිටිති. එය සැබෑවක්නම් මිල ඉහළ යාම නිසා ඛනිජ තෙල් අර්බුදයක ගිලී ඇති ලෝකය තව අවරුදු විස්සකට පසු අඳුරු වී යනු ඇත. ලෝකයේ ප්‍රධානතම බල ශක්තිය හා සියළුම ආකාරයේ නිෂ්පාදනයන් සඳහා ඛනිජ තෙල් හා ඉන් ලැබෙන අතුරු ඵලයන් යොදාගන්නා ආකාරය විමසා බැලූ විට ඛනිජ තෙල් නොමැති වුවහොත් ලෝකය පත්වන අන්ත අසරණ බව කොතෙකුදැයි සිතා ගත නොහැකි තරමටම දරුණු වනු ඇත.

ඇතැම් විට ජනප්‍රවාදයේ පවතින රාවණ රජු සම්බන්ධ අතිශය ස්වර්ණමය යුගය මෙන්ම මිසර ශිෂ්ඨාචාරය අතුරුදන් වූවා සේ වත්මන් තාක්ෂණික යුගයද නැවත පරිහානිය කර යනු ඇත.

1920 දී ඇන්ග්ලෝ පර්සියානු තෙල් සමාගමට ඛනිජ තෙල් නිධි ගවේෂණය භාර දුන් අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කළේ සෞද අරාබියේ තව තෙල් බිංදුවක් හා් නැති බවයි. එමනේම ඇමෙරිකානු භූ විද්‍යාඥයින් 1919 දී කියා සිටියේ 1928 වන විට එරට සියළු තෙල් නිධි සිඳී යන වගකි. ඒ සියලුම අනාවැකි අසත්‍ය වෙමින් තවමත් එම ස්ථාන වලින් තෙල් ලබා ගැනීමට හැකියාව පවතී.


ලෝකයේ තෙල් නිධි ව්‍යාප්ත වී ඇති ආකාරය[සංස්කරණය]

තෙල් නිධි පිහිටි රට තෙල් නිධි ප්‍රමාණය (සියයට) මැද පෙරදිග සියයට 65.4 යි (සෞදි අරාබිය පමණක් සියයට 25යි.) මධ්‍යම හා දකුණු ඇමෙරිකාව සියයට 9.4 යි යුරෝපය සියයට 9.3 යි අප්‍රිකාව සියයට 7.4 යි උතුරු ඇමෙරිකාව සියයට 4.8 යි ආසියා පැසිෆික් කලාපය සියයට 3.7 යි.

ජාත්‍යන්තර බලශක්ති විශේෂඥයින් පවසන්නේ ලෝකයේ ඛනිජ තෙල් වල ස්වර්ණමය යුගය දැන් අවසන් වෙමින් තිබෙන බවයි. බ්‍රිතාන්‍යයේ බලශක්ති ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද පෙට්‍රෝලියම් රිවීව් නම් ප්‍රකාශනයේ ක්‍රිස් ස්ක්‍රෙබොව්ස්කි පෙන්වා දෙන්නේ ලෝක තෙල් නිෂ්පාදනය මේ වන විට අඩු වෙමින් පවතින බවයි. ඔපෙක් සංවිධානයේ රටවල දෛිනික බොර තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 33 ක් පමණ වන බවත් එය වැඩි වන බවක් පෙනෙන්නට නැතැයිද ඔහු ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ ලොව ඛනිජ තෙල් නිපදවන රටවල් 18 ක පමණ තෙල් නිෂ්පාදනය පහළ බැස ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

දැනට ලෝකය වාර්ෂිකව ඛනිජ තෙල් බැරල් බිලියන තිහක් පමණ භාවිතා කරයි. එමෙන්ම ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසන්නේ අනාගතයේදී තෙල් බැරල් ට්‍රිලියන 2.6 ක් පමණ අනාගතයේ සොයා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඔපෙක් සංවිධානය තම තෙල් සම්බන්ධයෙන් අධි තක්සේරුවක සිටිමින් තෙල් බැරල් බිලියන 900 ක් පමණ ඔවුන් සතුව පවතින බව කියා සිටියද සැබැවින්ම ඔවුන් සතු වන්නේ බැරල් බිලියන 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් බවද පෙට්‍රෝලියම් රිවීව් සඟරාව චෝදනා කරයි. මෙම ව්‍යාජ සංඛ්‍යාලේඛන මත සිටිමින් ලෝක ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හේතුවෙන් ලෝකය තව තවත් අර්බුදකාරී තත්ත්වයකට පත් වන බවද ඔවුන් පවසයි. 
          

තත්වය මෙසේ වුවද ලොව ඇති අති නවීන තාක්ෂණය භාවිතා කළද කොතරම් ඛනිජ තෙල් සම්පතක් මහ පොළොවේ පවතීදැයි කිසිවෙකුත් නිවැරදිව ගණනය කර නැත. ඛනිජ තෙල් සම්පත සීමා සහිත බව පැහැදිලි කරුණකි. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේ දක්වා අනාවරණය කරගෙන ්ඇත්තේ තෙල් ඇති ස්ථාන වලින් සියයට 30 ක ප්‍රමාණයක් බවයි. එහෙත් තෙල් පවතින වෙනත් ස්ථාන සොයා ගැනීමද අතිශය දුෂ්කර කාර්යයකි. ශ්‍රී ලංකාව අවට මුහුදු පත්ලේද තෙල් ඇතැයි යන විශ්වාසයේ පිහිටා පර්යේෂණ දියත් වෙමන් පවතී.

ඇමෙරිකානු පර්යේෂකයෝ තෙල් සොයා යාමේ කාර්යයේ දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටිති. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් තෙල් පිළිබඳ පර්යේෂණ සිදු කරන ළිං මිලියනයක් පමණ පිහිටා ඇත. පර්සියානු ගල්ෆ් කලාපයේ එවැනි ළිං 2000 ක් පමණ ඇති අතර සෞද අරාබියේ 300 ක් පමණ තිබේ.

ලබාගන්නා ඛනිජ තෙල් වලින් අප නිෂ්පාදනය කරන්නේද බැරල් සියයකින් තෙල් බැරල් තිස් පහක් වැනි ඉතාමත්ම අඩු ප්‍රමාණයකි. තවත් ආකාරයකින් පැවසුවහොත් සියයට 65 ක් අපතේ යයි.

එමෙන්ම මෙහිදී ඔපෙක් සංවිධානයේ ක්‍රියා කලාපයද දැලකිය යුතුය. ලෝකයේ තෙල් නිපදවන්නන් ගෙන් අඩකට වඩා නියෝජනය කරන ඔපෙක් සංවිධානයේ නියෝජිතයෝද බොහේ විට ලෝක තෙල් මිලට ලන්සු තබති. ඔවුන් ලෝක තෙල් මිල පහළ දැමීම සඳහා පියවර ගන්නා බව ප්‍රකාශ කළද ඔවුන් එවැනි පියවරකට නොගොස් මේ වන විට තවදුරටත් තෙල් සැපයුම අඩාළ කිරීමට කටයුතු යොදන බවට චෝදනා නැගේ .

දිනෙන් දින ඉහළ යන තෙල් මිල හමුවේ විකල්ප බල ශක්ති ප්‍රභව ගවේෂණයට හා වැඩි පුර ඛනිජ තෙල් නිධි ගවේෂණය සඳහා පවතින තාක්ෂණය වැඩි දියුණු කරගැනීම කඩිනම් අවශ්‍යතාවක් වී ඇතැයි ලොව පුරා විද්‍යාඥයෝ අවධාරණය කරති. ස්වභාවික වායූන්ගේ සිට ජෛව වායූන්, න්‍යෂ්ටික බල ශක්තිය, හිරු එළිය ප්‍රයෝජනයට ගැනීම, මුහුදු රළ සහ සුළං බලය ප්‍රයෝජනයට ගැනීම දක්වා පර්යේෂණ දියත් වෙමින් පවතී, රුසියානු විද්‍යාඥයින් පවසන්නේ ලොව පවතින ඛනිජ තෙල් ම්පත ස්ථිර ප්‍රමාණයක් වුවත් පොළොව අභ්‍යන්තරයේ සිදු කරන රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් බිහිකරගත හැකිවනු ඇති බවයි. ඔවුන් පවසන්නේ ඛනිජ තෙල් යනු නැවත නැවත භාවිතා කළ හැකි සම්පතක් බවයි.

ලොව ඛනිජ තෙල් අර්බුදය ශ්‍රී ලංකාව වැනි තුන් වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට මහත් අහිතකර ලෙස බලපායි. අපේ රටවල ප්‍රවාහන වියදම් අධික ලෙස ඉහළ යමින් පවතී. ඒ සමගම ආර්ථිකය දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් සිටී. ඉන් වඩාත් දරුණු වී ඇත්තේ ජාතික විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 60 ක් පමණ ඩීසල් බලාගාර වලින් සිදුකිරීමයි. බොරතෙල් බැරලයක සිදුවන මිල වැඩිවීම රටේ ආර්ථිකය බිඳ දැමීමට හේතු වන බව මේ සියලු කරුණු සැළැකූ විට පැහැදිලි වේ.

බල ශක්ති අර්බුදය සමඟ අත්වැල් බැදගත් තවත් ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ ලෝක දේශගුණය උණුසුම් වීමයි. පරිසර උෂ්ණත්වය ඉහළ යාම සඳහා නූතන බල ශක්ති ප්‍රභවයන් හේතු වී ඇති බැවින් විකල්ප බල ශක්ති කෙරෙහි අවධානය යොමු කිරීමට එයද හේතුවක් වී ඇත. මේ සියලුම කරුණු කාරණා වලින් පීඩාවට පත්වන්නේ අප වැනි දිළිඳු රටවල ජනතාවයි.

මේ වන විට ඛනිජ තෙල් යනු බල ශක්ති ප්‍රභවයක් පමණක් නොව ලෝකය පාලනය කරනු ලබන බලවතෙකු බවට පත්ව තිබේ. ඛනිජ තෙල් මිල මත සියලුම දේ රඳා පවතින යුගයකට අපි ගමන් කරමින් සිටිමු

අසීරුවෙන් දෙපයින් නැගී සිටි වානරයෙකු ගසක අත්තක් අල්ලාගෙන මහ හඩින් කෑ ගැසුවේය. ගතවූයේ මොහොතකි. ඈත වන ඉම දෙසින් ඒ හඬට ප්‍රතිචාර හඩක් නිකුත් විය. මානව වංශ කථාවේ භාෂාවේ ආරම්භය සිදුවූයේ ඒ ආකාරයනි. භාෂාව මිනිසා බොහෝ දුර යන ගමනකට රුකුල් විය. ඒ සිදුවීමටත් වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මත සිදුව තිබූ සංස්දීධීන් මිනිසාගේ අතිවිශාල වූ පෙරැළියකට හේතු වන බව ඉන් වසර ලක්ෂ ගණනකට පසුව වුවද මානවයා දැන සිටියේ නැත. අතීතයේ මිහිතලය මත කිසිදු ජීවයක් නොතිබුණි. මහ මුහුදේ ජීවය ඇතිවන විට පෘථිවියේ වැඩි කොටසක් ජලයෙන් යටවී තිබුණි. මහා සාගරයක් වූ ඒ ජල කඳේ ලොව ප්‍රථම ජීවය හටගත්තේය. කුඩා ඒක සෛලික ජීවියෙකුගෙන් ආරම්භ වූවායැයි සිතන පෘථිවිය මත ජීවය පසු කළෙක අති විශාල ඩයිනෝසරයන් දක්වා විකාශය වෙද්දී වානරයා ලෝකයට පහළ වී තිබුණේ නැත. එහෙත් පෘථිවිය බිහිවී වසර ලක්ෂ ගණනක් ගත වී තිබුණි. ලොව අණසක පැතිරූ ඩයිනෝසරයන්ද හදිසියේම වඳවී විනාශ වී ගියේය. ඉන් වසර ලක්ෂ ගණනකට පසු ප්‍රථම වානර මිනිසා ලොව පහළ වූවේය. වානරයා මිනිසෙකු බවට විකාශය වෙද්දී පෘථිවි අභ්‍යන්තරයේද වෙනස්කම් රැසක සිදුවන්නට විය. පෘථිවිය මතුපිට මහ පොළොවේත් සාගරයේත් ජීවත් වූ ගහ කොළ සහ සතා සීපාවාගේ දේහ කොටස් විවිධ ආකාරයෙන් ජලය සමඟ එක්වී මහ සාගරය පත්ලේ තැන්පත්ව තිබුණි. මේ සාගර පත්ලේ තැන්පත් වූ රොඩු බොඩු මතට ගංගාවන් ඔස්සේ ගලා ආ රොන් මඩද පතිත වන්නට විය. සාගර පත්ලේ තිබූ අවසාධිත කොටස් හා රොන් මඩ එකතුවී අමුතුම පල්පයක් වැනි මිශ්‍රණයක් හට ගැණුනි. දින, සති, මාස හෝ වසරක් දෙකක් නොව වසර ලක්ෂ ගණනක් ගතවී ගියේය. පෙරකී පල්පය මතට තව තවත් රොන් මඩ වැලි හා පස් තැන්පත්වීමෙන් ඒ මත නිර්මාණය වූයේ ඝනැති පාෂාණ ස්ථරයකි. මුලින් හටගත් පල්පයට මේ නව පාෂාණය හේතුවෙන් අධික තෙරපුමක් ඇති විය. මෙම තෙරපුමත් සමගම මිශ්‍රණයේ වූ කාබන් හා හයිඩ්‍රජන් යන මූල ද්‍රව්‍ය දෙක විශාල වෙනස් කම්වලට බඳුන් වූවේය. ඉහළින් පැවැති ආගන්තුක පාෂාණමය ව්‍යුහය හේතුවෙන් පහතින් වූ මිශ්‍රණයට වායු ගෝලයේ තිබූ ඔක්සිජන් හමුවූයේම නැත. මිහිතලය මත විවිධ ශිෂ්ඨාචාර ඇතිවී නැතිවී යද්දී පොළොව යට සිදුවූ මේ පරැළිය වරින් වර උඩට පැමිණියේය. ඒ පිළිබඳ අපට ප්‍රථම සාධක ලැබෙන්නේ බැබිලෝනියාවෙනි. ඒ ක්‍රිස්තු පූර්ව 450 වර්ෂයේදීය. බැබිලෝනියාවේ ස්ථානයක තෙල් පිරී ගිය දැවැන්ත වළක් තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ පිළිබඳ පැහැදිලි දත්ත නොමැත. ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 325 දී දැවැන්ත යුධ සටහන් මෙහෙයැවීමේදී සතුරන් බිය කිරීමට පොළොවෙන් ලබාගන්නා ද්‍රවයක් ගිනි තබා සතුරන්ට එල්ල කළ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. නැවත පොළොව යටින් ලැබුණු තෙල් වැනි ද්‍රාවණයක් ගැන සාධක හමුවන්නේ වර්තමාන ඉරාකයෙනි. ක්‍රිස්තු පූර්ව 100 දී කිර්කුක් නමින් හැඳින්වූ ප්‍රදේශයේ පොළොව යටින් තෙල් බුබුළු මතුවී ඇත. තම දේශයට ඉතා වටිනා සම්පතක් වූ උණ ගස් වලින් එක් විශේෂයක් උපයෝගී කරගෙන පොළොව විදිනු ලැබූ චීන ජාතිකයෝ තෙල් විශේෂයක් ලබාගත් බව චීන ඉතිහාසයේ සඳහන් වේ. ඒ ක්‍රිස්තු වර්ෂ 347 වර්ෂයයි. ක්‍රිස්තු වර්ෂ 1264 දී සිය දේශාඨන චාරිකා සටහන් කර ඇති මාර්කෝ පෝලෝ තමන් පර්සියාවට ගිය ගමන ගැන දීර්ඝ විස්තරයක් කර ඇත. ඔහු සඳහන් කර ඇත්තේ පර්සියාවේ බාකු නගරයේ කැස්පියන් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි අසර්බයිජාන් ප්‍රදේශයේදී කඳුවැටි වලින් කාන්දු වන දියරයක් තිබෙන බවයි. මෙම දියරය ඖෂද ලෙස ඇඟ ගැල්වීමට හා අලෝකය ලබාගැනීමට ගිනි තැබීමටත් එහි ජනතාව පුරුදුව සිටින බව මාර්කෝ පෝලෝ සඳහන් කර ඇත. මාර්කෝ පෝලෝ පැවැසූ ආකාරයටම පෝලන්ත ජාතිකයෝද ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ වෙරළාසන්න කඳුවැටියකින් වෑස්සෙන තෙල් භාවිතා කර වීදි ආලෝකවත් කර තිබේ. යුරෝපයේ කාර්මික විප්ලවය ඇතිවෙමින් තිබුණි. එදා මෙදා තුර ලෝකය මත බිහිවූ සියළුම මිනිස් ශිෂ්ඨාචාරයන් අභිබවා යමින් දැවැන්ත තාක්ෂණික දියුණුවක අවශ්‍යතාවය මිනිසාට දැනෙන්නට විය. එය සිදුවෙමින් තිබුණි. තමන් නොදත් බොහෝ දෑ සොයා යන්නට මිනිසා පෙළඹුණේය. මේ අතර ලෝක ශිෂ්ඨාචාරයේ පැවැත්ම සඳහා බල ශක්තිය ජනනය කිරීමේ අවශ්‍යතාවක්ද පැණ නැගී තිබුණි. මේ වන විට ගල් අඟුරු ලොව ප්‍රධාන බලශක්ති සොයාගැනීමක් වවට පත්වතිබුණි. ක්‍රිස්තු වර්ෂ 1801 දී ප්‍රථම ගල් අඟුරු එන්ජිම නිපදවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ක්‍රිස්තු පූර්ව 450 දි බැබිලෝනියාවේ තිබූ තෙල් වළත් ඉරාකය, චීනය, පර්සියාව, පෝලන්තය ආදී ස්ථානයන්ගෙන් වරින් වර මතුවූ තෙල් ලෝකයේ දැවැන්ත බලශක්ති ප්‍රභවයක් වනු ඇතැයි ඒ වන විට කිසිවෙකුත් දැන සිටියාදැයි සැකයකි. 1814 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මාරියේටා හි ඔහියෝ ප්‍රදේශයේ පොළොව හාරා අඩි පන්සියයක් පමණ ගැඹුරේ තිබූ දියරමය ලුණු ලබා ගැනීමේදී තෙල් ලැබී තිබුණි නැවත 1818 දී උතුරු ඇමෙරිකාවේ නිරිත දිග කෙන්ටුකි ප්‍රදේශයේ ලුණු ලබාගැනීමට කරන ලද කැණීමකින් දිනකට තෙල් බැරල් සියයක් පමණ ලබාගෙන ඒවා යුරෝපයට අපනයනය කර ඇත. මෙය ලෝකයේ ප්‍රථම වාණිජමය තෙල් ව්‍යාපාරය බවට පත්වුණි. එහෙත් මේ තෙල් වලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලෝකයට නොතිබුණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙනිසිල්වේනියාවේදී දියරමය ලුණු ලබාගැනීමේ අරමුනින් එඩ්වින් ඩිරේක් නැමැති අයෙක් තමන් විසින්ම සාදා ගන්නා ලද පොළොව විදින යන්ත්‍රයක් උපයෝගී කරගෙන 1859 දී පොළොව විදීම ආරම්භ කළේය. ඔහුගේ විදුම් යන්ත්‍රයේ සඳහන් වූයේ පොළොව විද ඇති ප්‍රමාණය අඩි 69 ක් වශයෙනි. ඔහු තවත් අඟල් හයක් පමණ ගැඹුරට විද්දේය. ඩිරේක් සොයමින් සිටි ලුණු ද්‍රාවණය නොලැඹුණි. පොළොව විදින ලද ස්ථානයෙන් පැමිණිය යුත්තේ ලුණු ද්‍රාවණය වුවද එතැනින් මතු වූයේ අධික ගඳක් සහිත කළු පැහැති බොර ආකාර දියරයකි. ඉතා ඝනැති බොර සහිත මේ දියරය ඩිරේක් සාදන ලද පොළෝ කුහරයෙන් නොකඩවා පැමිණීම වළක්වන්නට එතැන සිටි කිසිකෙුත් සමත් වූයේ නැත. මේ වන විට පොළොව යටින් වටින් විට මතු වන තෙල් වර්ගයක් ගැන දැන සිටි ඩිරේක් තමන් ලුණු ගැනීමට හාරන ලද ස්ථානයෙන්ද මතුව ඇත්තේ එම තෙල් වර්ගය බව වටහා ගත්තේය. ලුණු සොයා තම ආර්ථිකය ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වූ ඩිරේක් අහම්බයෙන් තමන්ට ලැබුණු මේ බොරපැහැති දියරය ගැන කණගාටු වූයේ නැත. ඊට වසර දස ලක්ස 140 කට පමණ පෙර පොළොව යට තැන්පත් වී අධික තෙරපුමක් යටතේ හිරවූ මිය ගිය සත්ත්ව හා ශාක කොටස් වලින් සෑදුණු ද්‍රාවණය පොළොව මතුපිටට පැමිණීම ආරම්භ වී තිබුණි. කාබනික කොටස් දිරාගොස් බාහිර ලෝකයට නිරාවරණය නොවී අධික පීඩනයක් යටතේ පොළොව යට පැවැතීම හේතුවෙන්ම ඒ දියරයේ කාබන් සියයට 83 ත් 87 ත් අතර ප්‍රමාණයක් අඩංගු වූවේය. හියිඩ්‍රජන් සියයට 10 ත් 14 ත් අතර ප්‍රමාණයක්, නයිට්‍රජන් සියයට දශම එකත් සියයට දෙකත් අතර ප්‍රමාණයක් සල්ෆර් සියයට දශම පහත් සියයට හයත් අතර ප්‍රමාණයක් මෙම ද්‍රාවණයේ පවතින බව පසුව හඳුනා ගැණුනි. පොළෝ කුහරය තුළදී මෙම ද්‍රාවණයට ඔක්සිජන් හමුවූවානම් එහි ස්වභාවය මුළුමනින්ම වෙනස් වනු ඇත. එහෙත් මේ ද්‍රාවණයේ ඔක්සිජන් ඇත්තේ සියයට දශම එකත් සියයට එකයි දශම පහත් අතර ප්‍රමාණයක් පමණි. එඩ්වින් ඩිරේක්ගේ තෙල් ලිඳෙන් දිගින් දිගටම ලැබුණු මෙම දියරය බොරතෙල් ලෙස හැඳින්වුණි. පසු කළෙක බොරතෙල් විවිධ ක්‍රම මගින් පිරිසිදු කර ද්‍රව්‍ය රැසක් වෙන් කර ගැනීමට ලොව පුරා විද්‍යාඥයෝ සමත් වූහ. ඩිරේක් ගේ ලොව ප්‍රථම තෙල් ලිඳ අදටද එම ස්ථානයේම දකින්නට තිබේ. ඛණිජ තෙල් සම්පත ලෝකය පාලනය කරන බලවතා බවට පත්වෙද්දී ඩිරේක්ගේ තෙල් ලිඳ කෞතුකාගාරයක් බවට පත්ව ඇත.

ලොව ප්‍රථම තෙල් ලිඳ ඇති පෙන්සිල්වේනියාව නිරන්තරවම ජලයෙන් යටවන ප්‍රදේශයකි. මෙම තෙල් සොයා ගැනීමට වසර 450 කට පමණ පෙර එනම් ක්‍රි.ව.1410 දී බටහිර පෙන්සිල්වේනියාවෙ තෙල් කාන්දුවන බව දැන සිටි එම ප්‍රදේශයේ ජනතාව ඒවායින් විවිධ වූ ප්‍රයෝජන ගත් බවට පැහැදිලි සාක්ෂි තිබේ.

ඇතැම් පිරිස් කාන්දු වන තෙල් එකතු කොට ඒවා ඖෂධ ලෙස ඇඟ ගැල්වීම සියවස් ගණනාවක් සිදු කර තිබේ. එමගින් මාංශ පේෂි වල වර්ධනය වඩාත් හොඳින් සිදුවූ බවටද මතයක් තිබුණි.

ලුණු ව්‍යාපාරයක නිරතව සිටි එඩ්වින් ඩ්‍රාකේ පෙන්සිල්වේනියාවේ ඇති ලුණු සොයා එහි පැමිණෙන්නේ 1857 වර්ෂයේදී පෙන්සිල්වේනියාව නැමැති ඉතා නොදියුණු කුඩා නගරයක් සහිත ප්‍රදේශයේ මැනුම් කටයුත සිදු කර ඔහු තමන් විසින්ම සාදාගත් යන්ත්‍රයක් ආදාරයෙන් පොළොව විදීම ආරම්භ කරයි. එහෙත් ඔහුට එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැත. ඉතා මන්දගාමීව තිබූ ලුණු සොයාගැනීමේ කටයුත්තෙන් ඔහු හෙම්බත්ව සිටියේය.

ඩ්‍රාකේ ගේ සඟයා වූයේ බිලී ස්මිත් නැමැති අයෙකි. කෞතුකාගාරයේ ඇති ලේඛණ වලට අනුව මේ දෙදෙනා එක්ව 1859 අගෝස්තු 27 වැනි දිනය වන විට අඩි 69.5 ක් ගැඹුරට පොළොව හාරා එම දිනයේ වැඩ කටයුතු නවතා දමා ඇත. පසුවදා නැවත වැඩ ඇරඹීමට ඩ්‍රාකේට පෙර තමන් වැඩකළ ස්ථානයට ගිය ස්මිත් දැක ඇත්තේ විදින ලද සිදුර දිගේ සියළුම උපකරණ තල්ලු කරමින් බොර පැහැති අධික ගඳක් සහිත උකු ද්‍රාවණයක් ඉහළට නගිමන් තිබෙන බවයි. ඔහු කඩිනමින් මේ අරුමය ඩ්‍රාකේට දන්වා සිටියේය.

මේ අවස්ථාව වන විටත් තැන තැන කාන්දු වන අධික ගඳක් සහිත ද්‍රාවණය මේ ලිඳෙන් ලැබී ඇති බව ඔවුහු අවබෝධ කර ගත්හ. එම ද්‍රාවණය පොසිල ඉන්ධන ලෙස හඳුන්වන බවත් එයටද මිලක් ලැබෙන බවත් දැන සිටි ඩ්‍රාකේ හා ස්මිත් දෙදෙනාගේ අදහස වූයේ මෙතෙක් හෙම්බත්වී සිටි ලුණු සෙවීම පසෙක තබා අහම්බයෙන් ලැබුණු තෙල් සම්පත ගොඩ ගත යතු බවයි.

තෙල් හමුවූ මෙම ලිඳ හෑරීම සඳහා ඩ්‍රාකේ භාවිතා කළේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රයකි. එමගින් පොළව විදිනු ලැබේ. අනතුරුව යකඩින් සාදන ලද නලයක් පොළොව විදින ලද සිදුර ඔස්සේ පහතට යවයි. මෙම යකඩ නලය මධ්‍යයේ කප්පියක ආධාරයෙන් චලනය වන දණ්ඩකි. මෙම දණ්ඩ මව් පාෂාණය දක්වාම යැවීමට ඩ්‍රාකේ හා ස්මිත් දෙදෙනාට හැකියාව තිබුණි. නලය මධ්‍යයේ ඇති දණ්ඩ උස්පහත් කිරීම තුළින් තෙල් ඉහළට ගැනීමේ හැකියාව ලැබේ.

එහි කප්පියක් සහිතව චලනය වන දණ්ඩක් තිබුණි. වාෂ්ප බල එන්ජිමේ ආධාරයෙන් පොළව විදිනු ලැබෙ. අනතුරුව නලයක් මධ්‍යයේ සවිකරන ලද චලන දණ්ඩක්

මුල් දින කිහිපය තුළ ඩ්‍රාකේ හා ස්මිත් දෙදෙනාටත් ඔවුන්ගේ සේවකයන්ටත වැඩ අධික වී තිබුණි. ලැබෙන තෙල් ගබඩා කර ගැනීම හා ඒවා අලෙවි කිරීමත් පිළිබඳ සැළැසුම් සකස් කැරුණි. දිනකට බැරල් 20 ත් 40 ත් අතර ප්‍රමාණයක් ලැබුණු බොර තෙල් අලෙවි කිරීම එතරම් අපහසුවක් වූයේ නැත. මෙතෙක් පොළාව මතුට කාන්දුවීමෙන් ලබාගත් බොර තෙල් වලට වඩා තරමක් පිරිසිදු බවක් තිබූ ලිඳෙන් ලැබෙන බොරතෙල් ඉක්මනින් අළෙවි වන්නට විය.

බොර තෙල් යුරෝපයට යවමින් තිබුණි. එහිදී මේවා පිරිසිදු කර පහන් දැල්වීම සඳහා තෙල් වර්ගයක් හා යන්ත්‍ර වලට යොදන ලිහිසි ද්‍රව්‍යයක් සාදා ගැනීම මෙම බොර තෙල් වලින් සිදුකරමින් තිබුණි.

ඩ්‍රාකේට බොර තෙල් ලැබී රාත්‍රීන් කිහිපයක් ගතවී යද්දී පෙන්සිල්වේනියාව මුළුමනින්ම වෙනස්වූවේය. ඉතා පටු තැනි තලාවකින් යුතු ප්‍රදේශය ලුණු කර්මාන්තයේ නිරතවූ ව්‍යාපාරිකයන් විසින් බදු ගැණුනි. වාෂ්ප එන්ජින් හා සිය ගණනක් වූ අනෙකුත් යන්ත්‍ර සූත්‍ර දින දෙක තුනකින් එහි ගෙනෙන ලදී. සිය ගණනක් ලුණු ව්‍යාපාරිකයෝ තෙල් සොයා පෙන්සිල්වේනියාවේ පොළොව විදීම ආරම්භ කළහ.

මඩ සහිත ප්‍රදේශයක් වූ මෙහි තිබූ අඩි පාරවල් ක්‍රමයෙන් විශාල මාර්ග බවට පත්වන්ට විය. අසුන් පිටින් තෙල් ප්‍රවාහණය කිරීම එකම මාර්ගය වූ බැවින අසුන් මඩේ එරීමත් ප්‍රධාන ගැටළුවක් බවට පත්වුණි. එමෙන්ම තෙල් ප්‍රවාහණයේදී නාස්තියද අධික වූ බැවින් දුම්රිය පීලි භාවිතා කරමින් මාර්ග පද්ධතියක් ඉඳිකොට ඒ මත තෙල් බැරල් ප්‍රවාහණය කිරීමට ව්‍යාපාරිකයෝ කටයුතු කළහ.

අහඹු ලෙස හාරන ලද සෑම ලිඳකින්ම වාගේ තෙල් ලැබෙමින් තිබියදී ඩ්‍රාකේ ගේ තෙල් ලිඳ ඒ අතර ප්‍රධාන විය. ඉන් නොනැවතුණු ඩ්‍රාකේ තම තෙල් ලිඳ වැඩිදියුණු කිරීමට වෙහෙස ගත්තේය. අනෙකුත් ව්‍යාපාරිකයන් ලුණ සොයා ගැනීමේ තාක්ෂණයම තෙල් ලිං සඳහා යොදා ගනිද්දී ඩ්‍රාකේ තම යන්ත්‍රය තවදුරටත් දියුණු කළේය. ඔහු කරන ලද විශාලතම වෙනස වූයේ යන්ත්‍රය තවදුරටත් කාර්යක්ෂම කිරීම හා තලා වරගන්වන ලද යකඩ බට යොදාගෙන තෙල් පොළොව මතුපිටට ගැනීමයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ නීතීඥයෙකු වූ ජෝර්ජ් බිසෙල් මහතා කියා සිටියේ විශාල පරිමාණයෙන් හමුවන පොසිල ඉන්දන හෙවත් බොර තෙල් ඉතාමත් ඉහළ මිලක් ලැබිය හැකි සම්පතක් බවට පත් කළ යුතු බවයි. තෙල් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි බවත්, මේ සඳහා කලින් මෙන් කාන්දුවන තෙල් එකතු කිරීම පසෙක දමා පොළොව විද තෙල් ලබාගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. තෙල් සොයා ගැනීම සඳහා ලුණු ගැනීමට පොළොව හාරන තාක්ෂණයම භාවිතා කළ හැකිබවද ඔහු කියා සිටියේය.

ඔහු එම අදහස් ප්‍රකාශ කරමින් සිටියදී යාලේ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාඥයෙකු වූ මහාචාර්ය බෙන්ජමින් සිල්ලිමන් මහතා බොරතෙල් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළේය. ඔහුගේ පර්යේෂණයේ ප්‍රතිඵලය වූයේ බොරතෙල් ආසවනය කිරීම මගින් ඉටිපන්දම් කිරි සහ වෙනත් අතුරු පල රැසක් ලැබිය හැකි බවයි. මෙය බොරතෙල් පිළිබඳ ලෝකයේ කරන ලද ප්‍රථම පරීක්ෂණයද වූවේය. 
          

පර්යේෂණ ප්‍රතිඵල වාර්තාවන්ද අධ්‍යයනය කරන ලද බිසෙල්ගේ අභිප්‍රාය වූයේ මූල්‍යමය ආධාර සහිතව බොර තෙල් නිෂ්පාදන කාර්යය ඉතාමත්ම සංවිධානාත්මක තලයකට ගෙන ඒමයි. ඇමෙරිකාවේ නිව් හැවන් නැමැති බැංකුවක සභාපති වරයා වූ ජේම්ස් ටවුන්සන්ඩ් මහතා බිසෙල් ගේ සහයට ඉදිරිපත් වී ඔහු සතු පුද්ගලික ධනය ආයෝජනය කර පෙන්සිල්වේනියාවේ බොර තෙල් සමාගම නැමැති ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කැරුණි. තනි තනි පුද්ගලයන් විසින් තම ලුණු ව්‍යාපාරයේම කොටසක් ලෙස තෙල් අළෙවි කිරීම පවත්වාගෙන ගියද තෙල් සොයාගැනීම, නිෂ්පාදනය හා අළෙවිය අරමුණු කරගනිමින් ලෝකයේ බිහිවූ ප්‍රථම සමාගම වන්නේ එම තෙල් සමාගමයි. එහෙත් අද ඒ නමින් සමාගමක් දක්නට නැත. එම සමාගම පසු කළෙක සෙනෙකා තෙල් සමාගම ලෙස නම වෙනස් කර තිබේ.

මෙම තෙල් සමාගම ඩ්‍රාකේ ද තම හවුල් කරුවෙකු කරගැනීමට අමතක කළේ නැත. එය ඩ්‍රාකේ ටද මහත් අස්වැසිල්ලක් විය. මේ අතර තුර ඩ්‍රාකේ ගේ තෙල් ලිඳ කිහිප වරක්ම ගිනි ගත්තේය. ඒ කිසිවකින් අධෛර්යමත් නොවූ ඩ්‍රාකේ නැවත නැවත ප්‍රථම තෙල් ලිඳ ඉඳිකළ අතර ඊට අමතරව වඩාත් පරීක්ෂාකාරීව තෙල් ඇති ස්ථානයන් සොයා බැලූ ඩ්‍රාකේ වඩාත් ගැඹුරු නොවූ එමෙන්ම සෘජුව පිහිටි ලිං කිහිපයක්ම ඉඳි කළේය.

පෙන්සිල්වේනියාව ඉතාමත්ම සීඝ්‍රයෙන් දියුණු වූවේය. 1861 වන විට වාර්ෂිකව තෙල් බැරල් මිලියන දෙකක් නිෂ්පාදනය කැරුණු පෙන්සෙල්වේනියාව ලෝකයේ හොඳම තෙල් ආකරය බට පත්ව තිබුණි. මේ පෙරළියත් සමගම පෙන්සිල්වේනියාවේ ආර්ථිකය උඩු යටිකුරු වූයේ සමස්ත ඇමෙරිකාවේම ආර්ථිකය ක්‍රමයෙන් ශක්තිමත් තත්ත්වයකට පත් වන ලකුණු පෙන්වා දෙමිනි.

ලොව ප්‍රථම වරට වාණිජ්‍යමය වශයෙන් ඛණිජ තෙල් ලබාගන්නා තෙල් ලිඳක් සොයාගත් එඩ්වින් ඩ්‍රාකේ ලෝක ඛණිජ තෙල් ඉතිහාසයේ නොමැකෙන නාමයකි. මුළු ලෝකයම උඩු යටිකුරු කරමින් මිනිසා ක්ෂණිකව දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යාමට ඔහුගේ මෙම සොයාගැනීම සමත්විය. අද ලෝකය පාලනය වන්නේ ඔහු විසින් සොයාගත් මේ සම්පතෙනි. තෙල් ලිං තුනක් පමණක් පවත්වාගෙන ගිය ඩ්‍රාකේ ලෝක තෙල් කර්මාන්තයේ පියා ලෙස හඳුන්වන්වයි.

එඩ්වින් ලොරන්ටින් ඩ්‍රාකේ 1819 මාර්තු 11 වැනිදා නිව්යෝක් හි ග්‍රීන් විලේ ගම්මානයේ උපත ලැබීය. ඔහු ගොවි පවුලක දරුවෙකි. ඩ්‍රාකේ ගේ පියා ගොවිපළ දෙකක හිමිකරුවෙකු විය. පාසල් අධ්‍යාපනයෙන් පසු 19 වැනි වියේදී තම නිවසින් ඉවත්ව රැකියාවක් සොයා යන එඩ්වින් ඩ්‍රාකේ තරුණයා විවිධ රැකියාවන්හි නිරතවූවේය.

නිව්යෝර්ක් නගරයේ රෙදිපිළි අළෙවි කරන ස්ථානයක ලිපිකාරිණියක් වූ ෆිලේනා ඇඩමස් මෙනවිය සමඟ 1845 ඔහු විවාහ විය.

මෙතෙක් ස්ථිර රැකියාවක් නොමැතිව සිඩි ඩ්‍රාකේහට දුම්රිය සේවා සැපයීම සඳහා මාර්ග සකස් කරන ස්ථානයන්හි වැඩ පරීක්ෂක තනතුරක් ලැබුණි. ඒ 1850 වර්ෂයයි.

ඩ්‍රාකේ සහ ෆිලේනා යුවලට සිය ප්‍රථම දරුවා ලැබුණු අතර ඔහුට ජෝර්ජ් යැයි නම් තැබුවේය. කාලය කෙමෙන් ගෙවී යද්දී තවත් දරුවෙකු බිහිකිරීමට සූදානම් වූ ෆිලේනා මහත්මිය දරු ප්‍රසූතියේදී මිය ගියේ ජෝර්ජ් සහ එඩ්වින් ඩ්‍රාකේ පිය පුතු දෙදෙනා මෙළොව තනි කරමිනි. 
          

සිය බිරිඳ නොමැති ශෝකයෙන් කල් ගෙවමින් සිටි ඩ්‍රාකේ 38 වැනි වියෙහි පසු වෙද්දී වයස 22 ක් වූ තරුණියක් ඩ්‍රාකේ ගේ බිඳුණු සිත හදන්නට ඔහු හා සමීප වූවාය. ලෝරා නැමැති ඒ තරුණිය අවසානයේ ඩ්‍රාකේ ගේ දෙවැනි බිරිඳ වූවාය. 1858 දී නව විවාහයෙන් තවත් දරුවෙකුට පියා වන ඩ්‍රාකේ සිය දෙවැනි පුතුට ඇල්ෆ්‍රඩ් නැමැති නම තැබුවේය.

පෙන්සිල්වේනියාව මේ කාලයේ ලුණු ලැබෙන ප්‍රදේශයක් ලෙස ජනප්‍රියවී තිබුණි. ඉතාමත්ම ලාභදායී ව්‍යාපාරයක් වූ ලුණු සොයා අළෙවි කිරීම කෙරෙහි ඩ්‍රාකේ ගේ සිතද නිතරම ඇදී ගියේය. ලුණු සොයා පොළොව හාරන්නෙමැයි සිතූ ඩ්‍රාකේ 1857 දී පෙන්සිල්වේනියාවට ගියේය. සිය බිරිඳ ඇල්ෆ්‍රඩ් නැමැති පුතා මෙළොවට බිහි කළ පසු ඇයද ඩ්‍රාකේ සිටි පෙන්සිල්වේනියාවේ පදිංචියට ගියාය. ඩ්‍රාකේ ගේ තෙවැනි දරුවා බිහිවන්නේ 1886 දී නිව්යෝක් නගරයේදීය. දියණියක් වන ඇය මේරි ලෝරා නම්වේ.

මේ තරුණ බිරිඳ පෙන්සිල්වේනියාවේ පදිංචි කරුවන් සමඟ ඉතාමත්ම හොඳ හිතවත් කමක් ගොඩනගා ගත්තාය. ඉතා සිත්ගන්නා සුළු කථා බහත් ප්‍රිය මනාප රූපයත් ඇයගේ ආකර්ශනය වැඩිදියුණු කරන්නට සමත්විය. මැහුම් ගෙතුම් මනාව හුරු පුරුදුව සිටි ලෝරා පෙන්සිල්වේනියාවේ වැසියන්ගේ ඇඳුම් මසා දීම ආදිය නිසා ජනප්‍රිය චරිතයක් බවට පත්වූවාය. එමෙන්ම ප්‍රදේශයේ පල්ලියට නිරන්තරවම යන ලෝරා ආගමික හා සමාජසේවා කටයුතු වලදී මූලකත්වය ගත් චරිතයක් වූවාය පල්ලියේ බිෂොප් වරු මාර්ගයෙන් තම පුතු බෞතීස්ම කරන්නට පවා ඇය කටයුතු කර තිබුණි.

ඩ්‍රාකේ තෙල් ලිං කෞතුකාගාරයේ ලේඛණ වල දැක්වෙන පරිදි මේ දරු පවුල ඉතාමත්ම සාමකාමී සෙනෙහෙබර ජීවිතයක් ගත කර තිබේ. 1858 දී තම බිරිඳට ලිපියක් ලියන ඩ්‍රාකේ ඔබ මගේ ආදරය ගැන දන්නවානම් කොතරම් වටිනවාදැයි මට සිතේ. ලෝකයේ මට සමීපතම දේ ඔබයි, යනුවෙන් සඳහන් කර තිබේ.

ඩ්‍රාකේ මිය ගිය පසු ලෝරා වරක් පවසා ඇත්තේ ඩ්ර්‍‍රාකේ ඉතාමත්ම හොඳ පියෙක් ඒ වගේම ඔහු ඉතාමත්ම හොඳ ස්වාමි පුරුෂයෙක්. එවැනි සැමියෙකු ලැබීම මගේ වාසනාවක් යනුවෙනි. බිරිඳත් දරුවනුත් වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානමින් සිටි ඩ්‍රාකේ ලෝකයේ ප්‍රධාන පෙලේ තෙල් සැපයුම් කරුවෙක් බවට පත්වූයේ වරස දෙකක් වැනි ඉතාමත්ම කෙටි කාලයකිනි.

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ නීතීඥයෙකු වූ ජෝර්ජ් බිසෙල් මහතා සහජේම්ස් ටවුන්සන්ඩ් මහතා ඩ්‍රාකේ සොයා පැමිණෙන්නේ ඩ්‍රාකේ තෙල් ලොව ජයකෙහෙළි නංවමින් සිටියදීය. බිසෙල් හා ටවුන්සන්ඩ් මහතා තෙල් සමාගමක් ආරම්භ කරන බවත් එයට හවුල් කරුවෙකු ලෙස එක්වන්නයැයි ද ඩ්‍රාකේට පවසා ඇත. මේ තිදෙනා විසින් කරන ලද සාකච්ඡා වට කිහිපයකින් පසු පෙන්සිල්වේනියාවේ බොරතෙල් සමාගම නැමැති ලෝකයේ ප්‍රථම තෙල් සමාගම ආරම්භ කැරුණි.

මෙම සමාගමේ අයිතිකරුවෙකු බවට පත්වීමට ඩ්‍රාකේට අවකාශය කොතෙකුත් තිබුණද ඔහු එහි කොටස් කරුවෙකු නොවී සේවකයෙකු වීමට ඉල්ලා සිටීම විමතිය දනවන කරුණකි. බිසෙල් හා ටවුන්සන්ඩ් දෙදෙනාගේ ඉල්ලීම නොතැකූ ඩ්‍රාකේ ලොව ප්‍රථම තෙල් සමාගමේ සේවකයක බවට පත්වූයේ වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් 1000 ක වැටුපක් ලබා ගනිමිනි. 
          

තම ලිං වලින් ලැබෙන තෙල් සීමා සහිත වනු ඇතැයි ඩ්‍රාකේ මුල සිටම විශ්වාස කිරීම ඔහුගේ මේ ඇදහිය නොහැකි තීරණයට හේතු වන්නට ඇත. ඔහු දිගින් දිගටම තව තවත් තෙල් ලිං සොයා වෙහෙසෙන්නට වූයේ එබැවිනි. නමුත් ඒ සියල්ල නිරන්තරවම සාර්ථක කරගන්නට ඩ්‍රාකේට හැකියාවක් නොලැඹුණි. ලුණු හෑරීමේ තාක්ෂණය යොදා ගනිමින් තැනුණු තෙල් ලිං වරින් වර ගිනි ගැනීම නිසා ඔහුට සිදුවූ අලාභයන්ද බොහොමයකි.

ඩ්‍රාකේ සොයාගන්නා තෙල් මිලදී ගන්නවුන් හා ඒ සඳහා මුදල් ගෙවන්නවුන් මත ඔහුගේ ක්‍රියාදාමය යැපෙන්නට වුනා. මේ අතර ඩ්‍රාකේ තෙල් සොයා ගැනීමේ තාක්ෂණය වැඩිදියුණු කරන්නටද වෙහෙසීම තෙල් සොයා යාමේ තාක්ෂණය වැඩිදියුණු වී ඉදිරියට ඇදෙන්නටද හේතු විය.

ලෝකයට ඛණිජ තෙල් දායාද කළ ඩ්‍රාකේ නම් මේ අපූරු මිනිසා නලයක් සහිතව පොළොව විද පොළෝ අභ්‍යන්තරයේ ඇති මව් පාෂාණය දක්වාම ගොස් තෙල් ලබා ගත හැකි යන්ත්‍රයක්ද නිපදවූවේය. මෙම යන්ත්‍රය මගින් භූගත ජලය ඉහළට පැමිණීම හැකිතාක් අවම කිරීමට කටයුතු යොදා තිබීමද සුවිශේෂී කරුණකි. මෙම නව යන්ත්‍රය ඩ්‍රාකේට විශාල ආර්ථික වාසියක් අත් කර දෙන කරුණක්ද විය. වෙනත් තෙල් ලිං හිමියෝද ඩ්‍රාකේ ගේ මේ නව යන්ත්‍රය තම ලිං වෙනුවෙන්ද ඉඳිකරන්නට කටයුතු කළහ.

1860 වර්ෂය වන විට ඇමෙරිකානු ඩොලර් 3000 ක් වාර්ෂිකව උපයා ගන්නට ඩ්‍රාකේ සමත් වූවේය. තෙල් කර්මාන්තය වෙනුවෙන්ම ඉතාමත්ම අධික ලෙස වෙහෙසවූ එඩ්වින් ඩ්‍රාකේ 1862 ද බලවත් සේ රෝගාතුර විය. රෝගාතුර වූ ඩ්‍රාකේ තැබූ සටහනක මෙසේ දක්නට ලැබේ.

දැන් මම ව්‍යාපාර වලින් සහ මුදල් වලින් ඈත් වෙමින් තිබෙනවා. තෙල් සොයා ඉතාමත්ම වෙහෙසකාරී කාර්යයක නිරතවූ මම දැන් මගේ සිරුරට විවේකයක් දිය යුතුයි.

තෙල් ලිං හිමිකරුවෙකු වූ ඩ්‍රාකේ ඒවා තම සේවකයන්ට පවරා පෙන්සිල්වේනියාවේ බොරතෙල් සමාගමේ ගබඩා වල සේවය සඳහා එක්වෙමින් නිව්යෝක් නගරයට පදිංචියට ගියේය. මේරි ලෝරා නැමැති පවුලේ බාල දියණිය උපත ලබන්නේ එහිදීය. 
          

තෙල් සොයා ලෝක ආර්ථිකය උඩු යටිකුරු කරන්නට මූල බීජ සැපයූ මේ මිනිසා ලොව ධනවතෙකු වුවද ඔහුටත්, බිරිඳටත්, දරු තිදෙනාටත් ස්ථිර වාසස්ථානයක් තිබුණේ නැත. එහෙත් ඩ්‍රාකේ ගේ සිහිනයක් වූයේ තමන් මිය යන්නට පෙර කෙසේ හෝ නිවසක් සාදා ගත යුතු බවයි. පෙන්සිල්වේනියාවේ තෙල් ආකර සොයා වෙහෙසුණු ඩ්‍රාකේට නිවසක් තනන්නට විවේකයක් නොතිබුණද රෝගාතුරව සිටියදී මේ ධෛර්යවන්ත මිනිසා ඒ අභියෝගය ජයගත්තේය.

නිව්යෝක් නගරයේ නැගෙනහිර වීදිය ආසන්නයේ ඔහු තම නිවස තනා අවසන් කරන්නේ 1880 වර්ෂයේදීය. එහෙත් ඩ්‍රාකේ ට ඒ නිවසේ සිටින්නට ලැබෙන්නේ මාස කිහිපයක් පමණි. දැඩි සේ රෝගාතුරවී සිටි ඔහු 1880 දී බෙත්ලෙහෙමේදී මිය ගියේය. ඔහුගේ දේහය වුඩ්ලෝන් සුසානභූමියට ගෙන ගොස් එහි මිහිදන් කර තිබේ. 
         
ඩ්‍රාකේ ගේ දෙවැනි පුතු ඉංජිනේරු වරයෙකු බවට පත්වූ අතර ඔහුගේ මව වූ ලෝරා ජීවතුන් අතර සිටියදීම 1912 වර්ෂයේදී මියගොස් තිබේ. වැඩිමහළු පුතු ජෝර්ජ් ඩ්‍රාකේ තම පියාගේ අඩිපාරේ යමින් ඛණිජතෙල් අංශයේම රැකියාවක නිරතවී ඇත. දියණිය මේරි විවාහ වී දරුවන් ලැබ තම මව රැකබලා ගනිමින් සිටියාය. ඩ්‍රාකේ ගේ බිරිඳ ලෝරා ඩ්‍රාකේ මහත්මිය 1916 දී මියගොස් තිබේ. 
         
ඛණිජතෙල් සම්පත ලොවට හඳුන්වා දුන් එඩ්වින් ඩ්‍රාකේ නම් මිනිසා ලෝරා ඩ්‍රාකේට තම ආදරණීය සැමියා පමණක්ම වුවද ඔහු ලෝකය වෙනස් කළ මිනිසෙකි. 
          

ඇය තම සැමියාගේ සොහොන් කොතේ මේ සටහන තබා ඇත.

ලෝක සම්භාවනාවට පාත්‍රවන ක්‍රියාදාමයක නිරතවූ පෙන්සිල්වේනියාවේ තෙල් මිනිසා ඔහුගේ සමීපතම ලෝරා විසින් මෙම ස්ථානයේ මිහිදන් කරන ලදී

ලෝකයේ ඉතාමත්ම වටිනා සොයාගැනීමක් වූ ඛණිජ තෙල් ලෝකය පුරා බෙදා හැරීමේදී එය බහාලන බඳුන් හා ප්‍රවාහනය පිළිබඳ මුලින්ම ඇතිවූයේ බලවත් ගැටළුවකි. නොනවත්වා පොළොව මතුපිටට ගලා එන ඛණිජ තෙල් තොග ගණන් එකතු කර ලොව පුරා බෙදා හැරීම තෙල් නිෂ්පාදකයන් මුහුණ දුන් ගැටළුවක් විය.

ඒ වන විට වයින්, බියර් හෝ විස්කි ප්‍රවාහනය සඳහා යොදාගනිමින් තිබූ ලීයෙන් තැණුනු පීප්ප තෙල් ප්‍රවාහනය සඳහාද යොදා ගැණුනි. ඇමෙරිකාවේ විවිධ ස්ථාන වල නිෂ්පාදනය වූ පීප්ප පෙන්සිල්වේනියාවට ගෙන්වාගෙන එතැනින් තෙල් පුරවා බෙදා හැරීම සිදු කැරුණි. 
          

තෙල් ලිං සංඛ්‍යාව එන්න එන්නම වැඩිවීමත් සමගම මාස කිහිපයක් ඇවෑමෙන් මෙය ඉතාමත්ම ගැටළු කාරී තත්ත්වයක් විය. නිෂ්පාදනය කැරෙන තෙල් ප්‍රමාණය බහාලීමට ප්‍රමාණවත් පීප්ප තෙල් නිෂ්පාදයන්ට නොලැඹුණි. එඩ්වින් ඩ්‍රාකේ සියළුම නගර සහ ගම්මාන වල තිබූ පීප්ප එකතුකරගෙන ආවද ඒවා ප්‍රමාණවත් නොවුණි.

එකළ පීප්ප තැනුනේ සුදු ඕක් ලීයෙන් හා හිකරි නැමැති  ඉතාමත්ම ශක්තිමත් දැව වර්ගය යොදා ගනිමිනි. බැරලයේ පීප්ප ලෑලි ඕක් ලීයෙන් සාදන ලදී. ඒවා එකිනෙකට බැඳ තබන වළල්ල සාදන ලද්දේ හිකරි ලීයෙනි. ඉතා තදැති යකඩ රවුමකට සකස් කරගන්නා ලද ඕක් ලී සවි කර ඒවායේ නැවුම් ඇති ස්ථාන වල ඇතුලට සහ පිටට තදට සිටින සේ හිකරි ලීයෙන් සවි කරනු ලැබේ. පසුව දැවයෙන්ම පීප්පයේ පතුළ සහ පියන සකස් කරනු ලැබේ. පසුව යකඩයෙන් තනන ලද සිලින්ඩරයක් තුළට මේ පීප්පය බහා වාෂ්පයෙන් තම්බා නිසි පරිදි පදම් කරනු ලැබේ. පසු කාලීනව පීප්ප නිෂ්පාදනය යන්ත්‍රානුසාරයෙන් සිදුවුවද මුල් කාලයේ සිදු කැරුණේ කාර්මිකයන්ගේම සුරතිනි. 
          

තෙල් නිෂ්පාදනය වැඩිවීමත් සමගම පීප්ප සෑදීමේ සමත්කම් ඇත්තන් විශාල වශයෙන් යොදා ගනිමින් පීප්ප සාදන්නන්ගේ වැඩපළක් ඉදිකැරුණි. 1860 වන විට දෛනිකව අවශ්‍ය වන පීප්ප ප්‍රමාණය 3300 ක් විය. 1861 වන විට නිෂ්පාදනය කැරෙන සියළුම පීප්ප ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්වෙමින් තිබුණි.

අවසානයේදී සිදුවූයේ පෙන්සිල්වේනියාවේ වගුරු සහිත සියළුම ප්‍රදේශ පීප්ප නිෂ්පාදනය සඳහා යොදාගැනීමයි. ඒ සඳහා කර්මාන්තශාලා රැසක් ආරම්භ කැරුණි. පීප්ප සෑදීමෙ නිපුණතාවකින් යුතු දහස් ගණන් කම්කරුවෝ ඒවායේ වැඩකරන්නට වූහ. මුළු පෙන්සිල්වේනියාවම එකම කර්මාන්ත පුරයක් ලෙස දිස්විය.

මෙසේ නිෂ්පාදනය කැරුණු පීප්ප වල බොර තෙල් බහා ඒවා පැතැලි බෝට්ටු වලට තොග වශයෙන් පටවා වගුරු බිම හරහා ඇති ඇල මාර්ග ඔස්සේ වරාය කරා ගෙනයාම සිදුවිය. එමෙන්ම පසුකාලීනව තෙල් ප්‍රවාහනය සඳහා දුම්රිය පට්ටි යොදා ගැනීමත් සමග පීප්ප දුම්රිය මගින් ප්‍රවාහනය කැරුණි.

1859 දී තෙල් බහාලන දැව පීප්පයක මිල ඇමෙරිකා ඩොලර් 1.75 ත් දෙකත් අතර මිලකට අළෙවි විය. නමුත් පීප්ප නිෂ්පාදනය ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් නොවීම නිසා සිදුවූයේ පීප්ප නිෂ්පාදකයන් තම නිෂ්පාදනයන්හි මිල ඉහළ දැමීමට දිගින් දිගටම උත්සාහ ගැනීමයි. ඔවුහු තෙල් බිමෙහි ආධිපත්‍යය පතුරුවන්නට විය.

තෙල් බහාලීම සඳහා යොදාගත් පීප්ප පසුව නැවත භාවිතා කරන්නට තෙල් නිෂ්පාදකයෝ පෙළඹුනහ. තෙල් ඉවත් කිරීමෙන් පසු ඒවා එකතු කර නැවත පීප්ප නිෂ්පාදකයන් වෙත ලබාදී ඒවා හොඳින් පිරිසිදු කරවා සුළු අලුත්වැඩියා කිරීමකින් පසු තෙල් ආකර හිමිකරුවෝ නැවත ඒවා භාවිතයට ගත්හ. තෙල් එය ලාභදායී කටයුත්තක් සේම අධික පීප්ප අවශ්‍යතාවයට යම් තරමක විසඳුමක්ද විය.

1863 වන විට අළුත් පීප්පයක් ඩොලර්2.25 ත් 2.5 ත් අතර මුදලකට අළෙවි වූ අතර අළුත් වැඩියා කරන ලද පීප්පයක මිල වූයේ ඩොලර් 1.5 කි. එහෙත් 1864 ජනවාරි වන විට අළුතෙන් නිෂ්පාදනය කළ පීප්පයක් ඩොලර් 3.0 ත් 3.25 ත් අතර මුදලක් දක්වා ඉහළ දැමුණු අතර අළුත්වැඩියා කරන ලද පීප්පද එකක් ඩොලර් දෙකක් දක්වා ඉහළ දැමීමට පීප්ප නිෂ්පාදකයෝ කටයුතු කරන ලදී.

තෙල් නිෂ්පාදකයන්ගෙන් පීප්ප ලබාගැනීමට ඇති ඉල්ලුම පිළිබඳව ඇති හොඳම සාක්ෂිය වන්නේ 1863 දී පෙන්සිල්වේනියාවේ නිකුත්වූ වාර්තාවකි. එහි දැක්වෙන්නේ අළුත්වැඩියා කර දෙවැනි වර භාවිතා කරන ලද පීප්ප 11637 ක් එක් සතියක් තුළ අළෙවි වූ බවයි.

තෙල් බහාලීම සහ ප්‍රවාහනය සඳහා දැවමය පීප්ප යොදා ගැනීමේදී තෙල් ආකර හිමිකරුවන් සේම තෙල් ගැනුම් කරුවන්ද මුහුණ පෑ ප්‍රධාන ගැටළුවක් වූයේ මුල් කාලීනව මෙම පීප්ප සඳහා නිශ්චිත ප්‍රමිතියක් නොවීමයි. එක් පීප්පයක තෙල් බැරලයක් තිබෙන බව දැක්වුණි. එක් එක් පීප්පයේ ධාරිතාව වෙනස් වූ අතර එකළ දියර මනිනු ලබන ඒකකය වූ ගැලුම් කොපමණ සංඛ්‍යවක් මෙම තෙල් බැරලයක හෙවත් පීප්පයක අඩංගු යුතුදැයි ස්ථිර නිගමනයක්ද නොවීය.

1928 දී ප්‍රකාශ වූ වෙබ්ස්ටර් නැමැති ජාත්‍යන්තර ශබ්ද කෝෂයේ බැරලයක ධාරිතාව පිළිබඳව සඳහන්ව තිබේ. එහි දැක්වෙන්නේ එංගලන්තයේ බැරලයකට ගැලුම් 36 ක් අඩංගු වූ බවයි. ඇමෙරිකාවේදී බැරලයකට ගැලුම් 31.5 කි. බැරලයකට පිටි දමන්නේනම් රාත්තල් 196 ක් විය යුතු බවත් ගව හෝ ඌරුමස් අඩංගුවන්නේනම් එය රාත්තල් 200 ක් විය යුතු බවත් එම ශබ්ද කෝෂයේ දක්වා ඇත.

තෙල් ලොව පුරා පැතිරී යාමත් සමඟ තෙල් පීප්පයක අඩංගු වන බැරලයක් යන ප්‍රමාණයට නිශ්චිත අගයක් දීමේ අවශ්‍යතාවය පැණ නැගුණි. තෙල් ආකර හිමි කරුවන් හා තෙල් ගැණුම් කරුවන් දෙපිරිසම මෙම ගැටළුවෙහි ගිලී සිටියහ. ඔවුන් බොහෝ දෙනෙකු කියා සිටියේ බැරලය යනුවෙන් හඳුන්වන ඒකකය සඳහා තෙල් ගැලුම් 42 ක ප්‍රමාණයක් යොදා ගත යුතු බවයි. එය ඒ දක්වාම එංගලන්තයේ සහ ඇමෙරිකාවේ භාවිතා කළ බැරලයේ ප්‍රමාණය ඉක්මවා යාමක් විය. 
          

1860 දී මේ පිළිබඳ නිශ්චිත එකඟතාවක් නොවුණි. ඒ වන විට තෙල් පීප්පයක ගැලුම් 40 සිට 50 දක්වා තෙල් පමාණයක් බහාලන ලදී. බොහෝ විට ගැනුම් කරුවන්ගේ වැඩිම ඉල්ලුම වූයේ ගැලුම් 40,42, 43, 45 සහ 46 වශයෙන් ප්‍රමාණයක් බොරතෙල් අඩංග වූ ගැලුම් වෙනුවෙනි.

තෙල් නිෂ්පාදකයන් විසින් තම කම්කරුවන් හා ගැනුම් කරුවන් අතර බෙදා දීමට තෙල් නගර පුවත් පත නැමැති පුවත් පතක්ද මුද්‍රණය කැරුණු අතර මෙම පුවත් පත මගින්ද බැරලය සඳහා නිශ්චිත ධාරිතාවක් තිබිය යුතුයැයි හඬක් නගන්නට විය. එම පුවත් පත කියා සිටියේද බැරලයකට ගැලුම් 40 ක් හෝ 42ක් විය යුතු බවයි.

තෙල් නිෂ්පාදකයන් 30 දෙනෙකු විසින් බිහිකරන ලද තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති වරයා වූ ආචාර්ය එම්.සී.ඊබට් මහතා මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1872 වර්ෂයේදී බැරලයේ ධාරිතාව පිළිබඳ අවසන් තීරණයක් ගැණුනි. ඒ අනුව ගැලුම් 42 කින් බැරලය සමන්විත විය යුතුයැයි තීරණය විය. එතැනින් නොනැවතුණු එම සංගමය දැවයෙන් නිෂ්පාදනය වන පීප්පයේ තිබිය යුතු දිග පළල පවා තීරණය කළේය. ඔවුන් එකඟවූ ප්‍රමිතීන් වූයේ ගැලුමක් යන ඒකකය ඝන අඟල් 231 කින් යුතු බඳුනක් විය යුතු බවයි. එවැනි ගැලුම් 42 කින් බැරලයක් සමන්විත වීම සුදුසුයැයිද තීරණය කැරුණි 
          

මේ සියළු ප්‍රමිතීන්ට එළැඹී වැඩිකල් යාමට මත්තෙන් දැවමය පීප්ප තෙල් ප්‍රවාහනය සඳහා යොදා ගැනීම ක්‍රමයෙන් අභාවයට යන්නට විය. තෙල් ප්‍රවාහනය සඳහා දැවැන්ත නල මාර්ග ඉදිකළ අතර දුම්රිය ටැංකි යොදා ගැනීමත් සමඟ දැවමය පීප්ප භාවිතයෙන් ඈත්ව යන ලදී.

මුල් කාලයේ තෙල් ආකර සැකසීම සඳහා අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ ගෙන එන ලද්දේ අශ්වයන් යොදාගනිමිනි. පසුව ලබාගන්නා තෙල් පීප්ප වල පටවා ප්‍රවාහනය කරන ලද්දේද අශ්ව කරත්ත යොදා ගනිමිනි. නමුත් කාලයක් ගතවන විට පැතැලි බෝට්ටු යොදාගනිමින් තෙල් ප්‍රවාහනය සිදුකැරුණි.

එහෙත් බෝට්ටු අනතුරට පත්වීමෙන් අපතේ යන තෙල් ප්‍රමාණය වැඩිවෙමින් තිබූ බැවින් තෙල් ආකර හිමිකරුවෝ තෙල් ප්‍රවාහන ගැටළුවේ සිරවී සිටියහ. එමෙන්ම තෙල් ආකර සහිත ප්‍රදේශය ජලාශ්‍රිත පරිසයක් වූ බැවින් එම ප්‍රදේශයේ මාර්ග ජාලයක් සකස් කිරීමද බලවත් ගැටළුවක් විය. ඒ කෙසේ වෙතත් පෙන්සිල්වේනියාවට හැකිතරම් ආසන්නයේ දුම්රිය ස්ථානයක් ගොඩනගා තෙල් ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ග යොදා ගත යුතුයැයි තීරණය කිරීමත් සමගම පෙන්සිල්වේනියාවේ එක් කොටසක දැවන්ත දුම්රිය අංගන හා දුම්රිය මාර්ග පද්ධති කඩිනමින් ඉදිකරන්නට විය.

තෙල් ආකර ඇති ප්‍රදේශය ජලාශ්‍රිත පරිසයක් වීම හේතුවෙන් ඒ ආසන්නයටම දුම්රිය ගෙන ඒම දැඩි අපහසු කටයුත්තක් වූයෙන් දුම්රිය ස්ථානයට වෙනම තෙල් ප්‍රවාහනය කර ගබඩා කර තබන්නට සිදුවිය. 1865 දී පෙන්සිල්වේනියාවේ ඉතා විශාල දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකර අවසන් විය. දුම්රිය මාර්ග ඉදිකිරීම ආරම්භයත් සමගම තෙල් නිෂ්පාදයන් මුහුණ දුන් ගැටළුවට 17 හැවිරිදි තරුණයකු විසඳුම් ඉදිරිපත් කර තිබුණි.

1860 දී සැමුවෙල් ඩී. කාර්න් නැමැති මෙම තරුණයා පවසා තිබුණේ බෝට්ටුවල තෙල් ගෙන යාමෙන් සිදුවන අනතුරු හා නාස්තිය වලක්වා ගැනීම සඳහා වරාය දක්වා ලී බටයක් යෙදිය යුතුයැයි ඔහු පවසා තිබුණි. එයට පෙර 1821 වර්ෂයේදී පමණ සිට වායු වර්ග කර්මාන්ත සඳහා යොමුකිරීමට ලී බට යොදාගෙන ඇත.

එහෙත් ඔහුගේ අදහස ක්‍රියාත්මක වන්නේ තෙල් ආකර වල සිට වරාය දක්වා තෙල් රැගෙන යාමට නොව තෙල් ආකරවල සිට දුම්රිය නැවතුම දක්වා තෙල් රැගෙන යාම වෙනුවෙනි. එම අදහස පිළිබඳ අවධානය යොමු කළ සැමුවෙල් වැන් සික්ලේ නැමැති අයෙකු බොරතෙල් ප්‍රවාහනය සඳහා ලොව ප්‍රථම නල මාර්ගය සකස් කරන ලදී. පෙන්සිල්වේනියාවේ තෙල් ආකර වල සිට සැතපුම් පහක් දුර ගෙවා දුම්රිය නැවතුම් ස්ථානයට මෙම නල මාර්ගය ඉදිකරන ලදී. එකළ ඒ සඳහා යොදා ගන්නා ලද්දේ අඟල් දෙකක සිදුරු සහිත නලයක් බව සඳහන්ව තිබේ. 
          

අඟල් දෙකක සිදුරක් සහිත ලී බට යොදා ගැනීම එතරම් ප්‍රායෝගික නොවන බව මාසය කිහිපයක ඇවෑමෙන් තෙල් නිෂ්පාදකයෝ තේරුම් ගත්හ. තෙල් නල ඔස්සේ යැවීම වඩාත් කාර්යක්ෂම කිරීම අවශ්‍ය කැරුණි. ඒ සඳහා හර්මන් ජේම්ස් විකල්පයක් ඉදිරිපත් කරන ලදී. ඔහු කියා සිටියේ අඟල් හතරක සිදුරක් සහිත ලී බටයක් යොදාගෙන තෙල් ප්‍රවාහනය කළහොත් මෙම කාර්යය දෙගුණයකින් කාර්යක්ෂම කළ හැකි බවකි.

සැමුවෙල් වැන් සික්ලේ කළේ වෙනස් කාර්යයකි. ඔහු ලෝහමය නල මාර්ගයක් ඉදිකළේය. අඟල් හයක විශ්කම්භයක් සහිත අඩි පහළොව බැගින් දික් වූ යකඩ බට එකිනෙක සම්බන්ධ කරමින් පෙන්සිල්වේනියාවේ තෙල් ආකර වල සිට දුම්රිය නැවතුම දක්වා සැතපුම් පහක දුර නව නලමාර්ගයක් සාදන ලදී.

ඒ වන විට තෙල් පීප්පයක් හෙවත් තෙල් ගැලුම් 42 ක් ආකරයේ සිට දුම්රිය නැවතුම දක්වා අශ්ව කරත්තයේ හෝ බොට්ටු මතින් ගෙන යාමට වැය වූ මුදල ඇමෙරිකන් ඩොලර් හතරත් පහත් අතර අගයක් විය. නල මාර්ගය ඔස්සේ දුම්රිය දක්වා තෙල් ගෙන යාමට ගැලුම් 42 ක් සඳහා වැයවන මුදල ඩොලර් 3.25 ක අගයක් විය. මේ අනුව එම ක්‍රමය වඩාත් ලාභදායී ක්‍රියාවලියක් වූයෙන් ඉතා ඉක්මනින් ජනප්‍රිය වන්නට විය. නල මාර්ගය ඔස්සේ එක දිනක සමස්ථ පැය 24 ඇතුලත බැරල් 2500 ක් ප්‍රවාහනය කිරීම සිදුකැරුණි.

තෙල් කර්මාන්තයේ තවත් පෙරැළිකාර අවස්ථාවක් වූ නල මාර්ග යොදාගැනීමේ ක්‍රමය වඩ වඩාත් ජනප්‍රිය වීමත් සමගම දෙවැනි නල මාර්ගය 1865 දීම ආරම්භ කැරුණි. ඒ තෙල් ආකර වල සිට වරාය දක්වා ප්‍රවාහනය කිරීමේ අරමුණෙනි.

වරාය දක්වා සකස් කැරණු නලය සිදුරේ විෂ්කම්භය අඟල් හයක් වූ යකඩ බට වලින් සකස් කැරුණක් විය. එමගින් දිනකට බැරල් 7000 ක් ප්‍රවාහනය කැරුණි. මේ අනුව අශ්ව කරත්තයෙන් හා බෝට්ටු යොදා තෙල් ප්‍රවාහනය කිරීම ඉතා සීඝ්‍රයෙන් අභායට යන්නට විය. තෙල් ප්‍රවාහනයට අවශ්‍ය පීප්ප තැනීම දිගටම සිදුවුවද තෙල් ප්‍රවාහනයේ යෙදි සිටි ව්‍යාපාරිකයෝ සහ කම්කරුවෝ තම ආදායම් මාර්ග අහිමිවූවෙන් වෙනත් රැකියා සහ ව්‍යාපාර සොයා යන්නට වූහ.

1866 වන විට පෙන්සිල්වේනියාවේ තෙල් ප්‍රවාහනය සඳහා යොදාගත් ප්‍රධාන නල මාර්ග තුනක් විය. ආකර වල සිට දුම්රිය නැවතුම දක්වා පැමිණෙන අඟල් දෙකක ලී නල මාර්ගය සහ අඟල් හයේ ලෝහමය නල මාර්ගයත්, වරාය දක්වා ඉදිකළ මාර්ගයත් ඒ ත්‍රිත්වය විය. මෙම නල මාර්ග ඔස්සේ තෙල් ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම, ආරක්ෂා සහිත සහ ලාභදායී ක්‍රමයක් වීම නිසා තෙල් වෙළඳ පොළෙහි වැදගත් ස්ථානයන් කරා නල මාර්ග සකස් කිරීම ආරම්භ කැරුණි.

1870 වර්ෂය වන විට අඟල් හයක සිදුරක් සහිත තෙල් නල මාර්ග ඉදිවීම කොතරම් ජනප්‍රිය වූවේද යන්නට හොඳම සාක්ෂිය වන්නේ සැතපුම් 130 දිගැති නල ඒ වන විටත් සාදා අවසන් කර තිබීමෙනි. එතැනින් නොනැවතුණු තෙල් නිෂ්පාදකයෝ තම නිෂ්පාදන නිව්යෝර්ක් නගරයට දුම්රියෙන් ගෙන යාමට පහසුකම් තිබියදීත් ඒ සඳහා වෙනමම නල මාර්ගයක් ඉඳි කළහ.

1871 දී නල මාර්ග සැකසීම සඳහා වූ ප්‍රථම සමාගම බිහිකැරණි. ඩබ්.එච්.ඇබෝර්ට් සහ හෙන්රි හාලේ නැමැති දෙදෙනකු විසින් මෙම සමාගම ආරම්භ කරන ලදී. ඕල් ජර්නි ප්‍රවාහන සමාගම නැමැති නමින් මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ තෙල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය නල මාර්ග සැකසීමයි. වසර කිහිපයකට පසු පෙන්සිල්වේනියාවේ ප්‍රවාහන සමාගම නැමැති තවත් සමාගමක් ඒ හා එක්ව තෙල් නල එලීමේ කාර්යය වඩාත් සංවිධානාත්මකව සිදු කළේය. ප්‍රතිඵලය වූයේ දශකයක් ඉක්මයාමට මත්තෙන් පෙන්සිල්වේනියාවෙ තෙල් ආකර වල සිට තෙල් ගෙන යාමට සැතපුම් 500 ක් දිගැති නල පද්ධතියක් බිහිවී තිබීමයි. ඒ වෙනුවෙන් දරන ලද පිරිවැය ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක් බව අතීත ලේඛණ වල සඳහන්වී තිබේ.

මේ නල මාර්ග පද්ධතිය දුම්රිය මාර්ග හා සම්බන්ධ කැර තිබීමද විශේෂ ලක්ෂණයක් විය. තෙල් නල සකස් කිරීමේ ඒකාධිකාරියක් හිමිව තිබූ ඕල් ජර්නි ප්‍රවාහන සමාගමට හා පෙන්සිල්වේනියාවේ ප්‍රවාහන සමාගමට තරඟ කරුවන් කිහිපදෙනෙකුද එක්වන්නට වැඩි කල් ගොස් නැත. 1870 දශකය අවසන් වන්නට පෙර එම්පයර් පයිප් ලයින් නැමැති සමාගම, මුතුඅල් සමාගම හා, එක්සත් පයිප් ලයින් සමාගම හා ඇමෙරිකන් හුවමාරු සමාගම ඇතුළු සමාගම් රැසක් මේ බට ඔස්සේ තෙල් රැගෙන යාමේ නව ව්‍යාපාරයට එක්විය.

1865 වර්ෂය ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සටහන් තබන වසරකි. ලොව ප්‍රවාහන ක්ෂේත්‍රයේ යන්ත්‍රානු සාරයෙන් තොග වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කළ වර්ෂය ලෙස ඉතිහාසඥයෝ මෙම වර්ෂය හඳුන්වාදෙයි. ඒ ප්‍රවාහන විප්ලවය සිදුවන්නේද තෙල් සොයාගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඇමෙරිකාවේ දුම්රිය මාර්ග පද්ධතිය මුලින්ම තෙල් හා සම්බන්ධ වන්නේ ආකර වලින් සොයා ගනු ලබන තෙල් බැරල් බටහිර වෙරළ තීරයට ගෙන යාමේ අරමුණෙනි. එතැන් සිට එම තෙල් විදෙස් රටවලට ගෙන යාම නැව් මගින් සිදු කැරුණි.

තෙල් ප්‍රවාහනය සඳහා සකස් කරන ලද ලොව මුල්ම නළ මාර්ගයද ඉදිකරන ලද්දේ පෙන්සිල්වේනියාවේ තෙල් ආකර වල සිට දුම්රිය නැවතුම් පොළ දක්වා තෙල් රැගෙන යාමේ අපේක්ෂාවෙනි. දුම්රිය නැවතුමේදී ගැලුම් 42 ක ධාරිතාවයෙන් යුතු තෙල් සහිත දැවමය පීප්ප පැතැලි ගැලක් මත අසුරනු ලැබේ. එය දුම්රිය එන්ජිමක් මගින් අදාල ස්ථාන වෙත ඇදගෙන යයි. මෙය ලෝකයේ ප්‍රථම තෙල් ප්‍රවාහන දුම්රිය සේවයයි. 1865 දී මෙම ක්‍රමය ආරම්භ විය.

තෙල් පැටවූ පළමු දුම්රිය පෙන්සිල්වේනියාවේ සිට වනගත මාර්ගයක් ඔස්සේ නිව්යෝක් නගරයට ගිය බව පැරණි ඇමෙරිකානු වාර්තාවල සඳහන්ව තිබේ. කුඩා පැතලි ගැලකින් ආරම්භ කළ තෙල් ප්‍රවාහන දුම්රිය සේවය මාස කිහිපයක් ගත වෙද්දී විශාල ගැලකින් ප්‍රවාහනය කරන තත්ත්වයට පත්වූයේ එය ඉතා පහසු ප්‍රවාහන ක්‍රමයක් ලෙස ජනප්‍රිය වූ බැවිනි.

දුම්රිය මගින් තෙල් ප්‍රවාහන ක්‍රමය ලොවට හඳුන්වාදුන් ඇමෙරිකානු ජාතික ආමස් ඩෙන්ස්මෝ මහතා එකළ භාවිතා කැර ඇත්තේ දැවයෙන් තැණුනු දුම්රිය ගැලකි. මාස කිහිපයක ඇවෑමෙන් ඔහු එම ගැල යකඩින් තනන ලද අතර ප්‍රමාණයෙන්ද විශාල කරන ලදී. ඒ අනුව ඩෙන්ස්මෝ මහතාගේ දෙවැනි දුම්රිය ගැලෙහි ප්‍රවාහනය කළ හැකි තෙල් ප්‍රමාණය ගැලුම් 40 ත් 45 ත් අතර ප්‍රමාණයක් බවට පත්විය.

මෙලෙස තෙල් ප්‍රවාහනය කිරීමේදී වරින් වර තෙල් බැරල් පෙරලී යාමෙන් අපතේ යන බැවින් ඩෙන්ස්මෝ මහතා එම ක්‍රමයද වැඩිදියුණු කරන්නට උත්සාහ ගනිමින් සිටියේය. එහි එක් පියවරක් වශයෙන් පැතලි ගැල මත රාක්ක සකසා ඒවා අතර තෙල් පීප්ප ගොඩගසා ප්‍රවාහනය ආරම්භ කැරුණි. ඩෙන්ස්මෝ ඉදිරිපත් කළ මෙම නව ක්‍රමය අනුව තෙල් බැරල් 60 ක් පමණ එකවර ගෙනයා හැකි වුණි. තෙල් ප්‍රවාහනය සඳහා දුම්රිය භාවිතා කිරීමත් සමග පැතලි ගැල් සිය ගණනක් නිෂ්පාදනය වී තිබුණි. ඒවායේ එකම අරමුණ වූයේ. තෙල් බැරල් අසුරා ප්‍රවාහනය කිරීමයි.

ඒ අතර 1866 වර්ෂයේදී ඇමෙරිකාවේ විද්‍යා සඟරාවට ලිපියක් ලියන මහාචාර්ය චාර්ල්ස් ඒ. සීලි මහතා තෙල් ප්‍රවාහනය පිළිබඳ අලුත්ම සංකල්පය ප්‍රකාශයට පත්කළේය. එම ලිපිය මගින් ඔහු පවසන්නේ පැතලි ගැල මත තෙල් පීප්ප අසුරා ප්‍රවාහනය කිරීම ඉතා ජනප්‍රිය වුවද එය ආරක්ෂිත ක්‍රමයක් නොවන බවයි. එබැවින් තෙල් ප්‍රවාහනය සඳහා වඩාත් ඝනකම් ටැංකි නිෂ්පාදනය කළ යුතු බව මහාචාර්ය වරයා පෙන්වා දී තිබුණි. 
          

විශාල තොග වශයෙන් තෙල් ප්‍රවාහනය කිරීම නිසා දුම්රිය මාර්ග වලට හානි පැමිණෙන බවත් ඒ අනුව ඒවා නඩත්තුව සඳහා මුදලක් අවශ්‍ය බවටත් දුම්රිය මාර්ග අධිකාරි වරයා ඩෙන්ස්මෝ ට චෝදනා කරන්නට වියි. එහෙත් එම කරුණු කෙරෙහි එකග නොවූ ඩෙන්ස්මෝ ඇමෙරිකානු රජයට කරුණු පැහැදිලි කරමින් එක් ගැලක තෙල් බැරල් 60 ක් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ඉල්ලා සිටියේය. ඔහු ඉල්ලූ අවසරය ලැබුණි. එය ලොව ප්‍රවාහන ක්ෂේත්‍රයේදී භාවිතා කළ හැකි බර හෝ පරිමාව පිළිබඳ පනවන ලද ප්‍රථම කොන්දේසියයි.

මහාචාර්ය සීලි මහතාගේ අදහස පිළිබඳ ඩෙන්ස්මෝ අවධානය යොමු කරමින් සිටියේය. ඔහුගේ සොහොයුරු ජේමස් ද මේ කාර්යය සඳහා සහය විය. ඔවුන් විසින් තෙල් ප්‍රවාහන ක්ෂේත්‍රයට සිදුකරන මෙහෙවර වටහාගත් වොට්සන් නැව් සමාගම ඔවුන්ට හවුල් වී ඒ සඳහා මුදල් ආයෝජනය කරන්නට විය.

වොට්සන් සමාගමෙන් ලැබුණු සහයෝගයත් සමග තම නිෂ්පාදනය වඩාත් සාර්ථක කරගන්නට සමත් වූ ඩෙන්ස්මෝ පැතලි ගැලට සව කරන ලද ශක්තිමත් දැවමය ටැංකි දෙකක් තෙල් ප්‍රවාහනය සඳහා ඉදිරිපත් කරන ලදී. එය වඩාත් ආරක්ෂිත එමෙන්ම ඉතා පහසු ක්‍රමයක් විය.

මෙම නව නිෂ්පාදනයේ එක් ටැංකියක ධාරිතාව බැරල් 40 කි. ඒ අනුව එක් ගැලක් මගින් බැරල් 80 ක් ප්‍රවාහනය කළ හැකිවිය. ඩෙන්ස්මෝ තමන්ට පනවා ඇති කොන්දේසිය වූ එක් ගැලක බැරල් 60 ධාරිතාව ඉක්මවා යමින් බැරල් 80 ක් බැගින් ප්‍රවාහනය කිරීම ආරම්භ කළේය. මෙය දුම්රිය අධිකාරී වරයා හා තෙල් සමාගම් අතර ගැටුමක් බවට පරිවර්ථනය වන තරමටම දුරදිග ගියේය. අවසානයේ ඇමෙරිකානු රජය තීරණය කරන ලද්දේ එක් ගැලක් මත ප්‍රවාහනය කළ හැකි උපරිම තෙල් ධාරිතාව බැරල් 45 ක් විය යුතු බවයි. ඒ අනුව අවසානයේ ඩෙන්ස්මෝ පරදවා දුම්රිය අධිකාරීවරයා ජයගත්තේය. 
          

දුම්රිය අධිකාරියේ තර්කය වූයේ මෙම නව ටැංකි සහිත ගැල මගින් දුම්රිය මාර්ගය මත ඇතිකරන තෙරපුමට මාර්ගය ඔරොත්තු නොදෙන බවයි. එහෙත් තෙල් සමාගම් වල අවශ්‍යතාව වූයේ එක් දුම්රියක් මගින් හැකිතරම් විශාල තෙල් තොගයක් ප්‍රවාහනය කිරීමයි. ඩෙන්ස්මෝ මෙය ජයගතයුතු අභියෝගයක් ලෙස සිතා ඒ ඔස්සේ තම මනස මෙහෙයවන්නට විය.

ඔහුගේ අභිප්‍රාය සාර්ථක වන්නේ 1870 වර්ෂයේදීය. ලොවට තවත් නව නිෂ්පාදනයක් තිළිණ කරන්නට ඔහු සමත්විය.

තෙල් ප්‍රවාහනය සඳහා නවතම අත්හදා බැලීම් සිදුකළ ඩෙන්ස්මෝ තම අළුත්ම සොයාගැනීම ලෙස ඉදිරිපත් කරන ලද්දේ පැතලි ගැලක් මත පොළොවට සමාන්තරව තබන ලද සිලින්ඩරයක් හෙවත් බොයිලේරු ආකාරයේ ටැංකියකි. එය 1868 දී ඇමෙරිකාවේ නීති ඒකකයට ඉදිරිපත් කරන ලද ඔහු මෙම ටැංකිය තෙල් ප්‍රවාහනය සඳහා යොදා ගැනීමටත් එය දුම්රිය එන්ජින් යොදා ඇදීමටත් අවසර ඉල්ලා තිබේ.

දුම්රිය මාර්ග කළමණාකරුවන් හා මෙම නවතම තෙල් ටැංකිය නිෂ්පාදනය කරන ඩෙන්ස්මෝ යන පාර්ශවයන් දෙකම කඳවූ ඇමෙරිකා රජය ඩෙන්ස්මෝගේ නවතම තෙල් ටැංකිය සඳහා අවසර ලබාදෙන ලදී. ඒ අනුව 1869 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ලොව ප්‍රථම සිලින්ඩරාකාර තෙල් ටැංකිය දුම්රිය පිහිළි මත තබන ලදී.

තෙල් බැරල් 80 ත් 90 ත් අතර ප්‍රමාණයක් ගෙනයා හැකි මෙම ටැංකිය තෙල් නිෂ්පාදකයන් හා ගැනුම් කරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ එමගින් විශාල තෙල් ප්‍රමාණයක් අපතේ නොයවා ඉතා සුරක්ෂිතව ගමනාන්තය දක්වා ප්‍රවාහනය කළ හැකි වීම හේතුවෙනි. ඒ ජනප්‍රියත්වයත් සමඟම ඩෙන්ස්මෝගේ මේ නව නිෂ්පාදනය තෙල් වෙළෙඳපොලේ කරලියට පැමිණෙද්දී ඔහු විසින්ම නිෂ්පාදනය කර හඳුන්වා දුන් දුම්රිය ගැල් මත අසුරන ලද දැව පීප්ප හා විශාල දැව ටැංකි මගින් තෙල් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය 1870 වන විට මුළු මනින්ම අභාවයට ගියේය.

1869 දී ඩෙන්ස්මෝ මෙම ටැංකි ක්‍රමය හඳුන්වාදීමට පෙර 1865 දී ජේ.එෆ්.කිලර් නැමැති අයෙකු දුම්රිය ගැල් මත තැබූ ඉංග්‍රීසි යූ : ඹ * හැඩැති ටැංකියක් අත්හදා බලන ලදී. අඟල් තුනක් හෝ අටක් වන පරිදි රිවට් යොදා සවිකළ යකඩ තහඩුවලින් නිර්මිත මෙම ටැංකියේ පියන සාදන ලද්දේ දැවයෙනි. එය තෙල් ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට උත්සාහ ගත්තද එය සාර්ථක වූයේ නැත. 1866 දී පෙට්ටි ආකාරයේ දැව ටැංකියක් සාදන ලද ගැලක් ද තෙල් ප්‍රවාහනය සඳහා යොදාගැනීමට උත්සාහ ගෙන තිබුණද එයද අසාර්ථක වී තිබුණි.

ඩෙන්ස්මෝගේ සිලින්ඩරාකාර ටැංකිය ජනප්‍රිය වෙමින් තිබියදී ටැංකි නිෂ්පාදනය සඳහා විවිධ වූ ආයතන හා සමාගම් බිහිවන්නට විය. එමෙන්ම මෙම ටැංකි නිශ්චිත ප්‍රමිතියක් යටතේ නිෂ්පාදනය කිරීමද අවශ්‍ය විය. 1934 දී ඔයැ ෘැරරසජන ්බා ධසක ) ඨ්ි න්‍දමරබ්ක නැමැති සඟරාවේ සඳහන් වන්නේ 1890 වර්ෂයේ නිෂ්පාදනය කැරුණු සිලින්ඩරාකාර ටැංකියක් අඩි 24 අඟල් 6 ක් දිගැති බවයි. එමෙන්ම එහි විශ්කම්භය අඩි 5 යි අඟල 6 කි. එවැනි ටැංකියක තෙල් බැරල් 100 ක ධාරිතාවක් තිබූ බවද එම සඟරාව පෙන්වා දෙයි. මෙම ටැංකි තනන ලද්දේ අඟල් කාලක ඝනකමක් සහිත යකඩ තහඩුවෙනි. සෑම ටැංකියකම ඉහළින් පිරවුම් පියනක් හා පහලින් තෙල් පිටකරන වෑල්වයක් තිබූ ඇත. 
          

ඇතැම් අවස්ථා වලදී අඩි 32 ක් දිගැති හා අඩි හයක් විශ්කම්භය ඇති ටැංකි භාවිතා කළ බවද සඳහන්ව ඇත. එවැනි ටැංකියක බැරල් 190 ක් ගෙනයා හැකිව තිබුණි. තෙල් ප්‍රවාහනය සඳහා මෙම සිලින්ඩරාගාර ටැංකි ක්‍රමය කොතරම් ජනප්‍රිය වූයේද යන්න පෙන්වන සංඛ්‍යාලේඛණ සාධක කිහිපයක්ද එම සඟරාවේ දක්වා තිබේ. ඔවුන් පවසන්නේ 1892 වන විට ඇමෙරිකාවේ සිලින්ඩරාකාර ටැංකි 10000 කට වැඩි ප්‍රමාණයක් භාවිතා කළ බවයි.

මෙම ක්‍රමය ජනප්‍රිය වෙද්දී ටැංකි සාදන්නටත් අළුත් වැඩියා කරන්නටත් කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාව් බිහි කැරුණි. පෙන්සිල්වේනියාවේ, නිව්යෝර්ක් නගරයේ සහ ඔහියෝ හි මෙම නව කර්මාන්ත ශාලා ආරම්භ විය. එම යුගයෙ තිබූ පුවත් පත් වල දැන්වීම් ඉඩකඩ වැඩිපුරම වෙන්ව තිබී ඇත්තේද සිලින්ඩරාකාර ලෝහමය ටැංකි විකිණීමට තිබේ යැයි යන්න වූ දැන්වීම් වලිනි. තමන්ගේ නිෂ්පාදන අනිත් නිෂ්පාදන වලට වඩා කාර්යක්ෂම, ආරක්ෂිත හා වඩාත් ලාභදායී බව පෙන්වීමට සිලින්ඩර ටැංකි නිෂ්පාදකයෝ තම දැන්වීම් වලින් පවසා තිබුණි.

ටැංකි නිෂ්පාදනය තරඟ කාරී වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත්වෙද්දී 1916 වන විට තෙල් නිෂ්පාදකයෝ ප්‍රමාණ අටකින් ටැංකි නිෂ්පාදනය කළහ. එසේ පරිනාමය වෙමින් ආ තෙල් ප්‍රවාහනය කරන ලෝහමය සිලින්ඩරයකින් අද බැරල් 600 ක අවමයක් වන පරිදි වෙනස් වී තිබේ.

අශ්ව කරත්ත, පැතලි බෝට්ටු, හා දුම්රිය රට අභ්‍යන්තරයේ තෙල් ප්‍රවාහනය සඳහා විශාල වශයෙන් යොදා ගනිද්දී ඇමෙරිකාවේ නිෂ්පාදනය වන තෙල් මුහුදෙන් එතෙර පිහිටි වෙනත් රටවල වෙළඳ පොළ සඳහා යැවීමේ අවශ්‍යතාව සපුරන ලද්දෙ නැවි සමාගම් විසිනි.

ඩ්‍රාකේගේ තෙල් ලිඳ සොයා ගැනීමටත් පෙර පටන් කඳු වලින් වෑස්සෙන තෙල් එකතුකර එංගලන්තයට යැවීම සිදුවෙමින් තිබුණි. වෙනත් බඩු භාහිරාදිය රැගෙන යාමට පැමිණෙන නැව් වල බහා මේවා රැගෙන ගිය අතර තෙල් ලිං ඇතිවීමෙන් පසුවද ලොව පුරා තෙල් ප්‍රවාහනය සිදුකරනු ලැබුවේ එලෙස වෙනත් බඩු භාහිරාදිය ද ප්‍රවාහනය කරනු ලබන නැව් මගිනි.

විශාල වශයෙන් තෙල් හමුවීම හේතුවෙන් අනපේක්ෂිතව ලැබූ ලාභයෙන් දැඩි සේ ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටි තෙල් නිෂ්පාදකයෝ පෙන්සිල්වේනියාවේ හැකිතාක් තෙල් ලිං ඇති කළහ. එහි ප්‍රතිඵලය වූයේ 1861 වන විට පෙන්සිල්වේනියාවේ අතුරු සිදුරු නැතිව තෙල් ලිං ඉදිකිරීමයි. අවසානයේ බිහිවූ තෙල් ලිං සංඛ්‍යාව 130 කට අධික විය. නිෂ්පාදනය තෙල් අතරින් අවම වශයෙන් බැරල් 1200 ත් 1300 ත් අතර ප්‍රමාණයක් දෛනිකව රට පැටවීම සඳහා වරාය වෙත ගෙන එන ලදී. තෙල් අපනයනයට එතරම් ප්‍රමාණයක් ගෙන ආවද ඒ සියල්ල විදෙස් රටවල් කරා යැවීම ප්‍රායෝගිකව කළ නොහැකි වූයේ වෙනත් භාණ්ඩ සමග මේවා ගෙන යාමේ අපහසුවක් වූ බැවිනි.

එම වකවානුවේ ඇමෙරිකාවෙන් තෙල් අපනයනය කිරීම සඳහා අවසර ලැබී තිබුණේ ෆිඩෙල්ෆියාවෙ ආනයන අපනයන සමාගමක් වන පීටර් රයිට් සහ පුත්‍ර සමාගමට පමණි. 1818 දී පිහිටුන ලද මෙම සමාගම අපනයන කටයුතු සඳහා ඉතාමත්ම පළපුරුද ප්‍රවීන සමාගමකි. තෙල් ප්‍රවාහනයේදී ඔවුන් මුහුණ පෑ ගැටළු රාශියක් තිබුණි. ඒවා අතර ප්‍රධාන වූයේ තෙල් ප්‍රවාහනයේදී සිදුවන ගිනි ගැනීම් හා පුපුරා යාමයි. මේ හේතුවෙන් ඇතැම් නෞකා තෙල් ප්‍රවාහනය ප්‍රතික්ෂේප කරන්නට විය.

මෙම ගැටළුවෙන් මිදීම සඳහා එම සමාගම තෙල් ප්‍රවාහනය කිරීම සඳහාම නෞකාවක් යෙදවීමට තීරණය කරන ලදී කුඹ කණු දෙකක් සහිත එලිසබත් වොට් නැමැති නෞකාව මේ සඳහා තෝරාගන්නා ලදී. 1847 දී නිෂ්පාදනය කර තිබූ එය බරින් ටොන් 224 කි. ඇමෙරිකාව සතු නැවක් වූ එය චාර්ල්ස් බ්‍රයන් නැමැති කපිතාන් වරයා යටතේ තෙල් රැගෙන යාමේ ගමන ආරම්භ කරන ලද්දේ 1861 වර්ෂයේදීය. එය ලොව තෙල් පමණක් ප්‍රවාහනය කරන ලද ප්‍රථම මුහුදු ගමනයි.

පෙන්සිල්වේනියාවේ සිට ලන්ඩන් නගරය දක්වා තෙල් රැගෙන යාමට සූදානම් කරන ලද මෙම නෞකාවට තෙල් පැටවීම සඳහා දින 10 ක් ගතවූ බව පැරණි වාර්තාවල සටහන් වී තිබේ. ගැලුම් 40 කින් යුතු දැවමය තෙල් පීප්ප 1329 ක් මෙම නැවට පටවා තිබේ. 1861 නොවැම්බර් 19 වැනි දින ඇමෙරිකාවේ සිට ලන්ඩන් නගරය දක්වා ගමන් ආරම්භ කරන තෙල් පමණක් රැගත් මුල්ම මුහුදු ගමන අවසන් වී ඇත්තේ දින 45 කිනි.

තෙල් පිරවූ පීප්ප ලවණ සහිත පරිසරයක ප්‍රවාහනය කිරීම නිසා ඒවායේ ඇති යකඩ රාමු දිරාපත්වීමෙන් සිදුවිය හැකි කාන්දුවීම් මෙන්ම ඇතිවිය හැකි හදිසි ගිනි ගැනීම් හා පුපුරා යාම් නිසා අනතුරු සිදුවිය හැකි බැවි නිරන්තරව ඒ පිළිබඳ සැළකිලිමත් වීමට නැවේ සේවකයන් හත් දෙනෙකු යොදවා තිබුණි.

පුපුරන සුළු සහ ඉතා හානිකර වූ තෙල් රැගත් නෞකාව අත්ලන්තික් සාගරය තරණය කරන ලද්දේ ඉතා හෙමින් සහ ප්‍රවේශමෙනි. තෙල් රැගෙන ගිය නෞකාව එංගලන්තයට ලඟාවන විට 1862 ජනවාරි 09 වැනිදා දිනය උදාවී තිබුණි. ඒ ගමනට ගතවූ සම්පූර්ණ දින ගණන දින 45 කි. මෙය අතිශයින්ම දීර්ඝ ගමනක් වූයෙන් තෙල් ව්‍යාපාරිකයෝ මෙවැනි ගමන් ලාභදායී නොවන බව තේරුම් ගත්හ. ගෙන ආ තෙල් පීප්ප වරායේදී නැවත ගොඩ බෑම සඳහා ගතවූ දින ගණන 12 කි. ඒ අනුව තෙල් ගෙන යාමේ කටයුත්තට ගතවූ සමස්ත දින ගණන 67 ක් විය.

තෙල් ව්‍යාපාරිකයෝ මුහුණ පෑ තවත් ගැටළුවක් වූයේ තෙල් ගෙන යාමේදී නැවකට පැටවිය හැකි බර සීමා සහිත වීමයි. මේ බරෙන් වැඩි ප්‍රමාණයක් පීප්ප වලට වෙන්වූ බැවින් ගෙන යා හැකි තෙල් ප්‍රමාණය තවදුරටත් සීමා වූවේය. ඒ සඳහා පසු කාලීනව යම් සහනයක් ලැබුණේ දුම්රිය සඳහා විශාල පීප්ප නිෂ්පාදනය කරද්දී නැව් වලින් ප්‍රවාහනය කිරීම සඳහා ද පීප්ප පහක ධාරිතාවකින් යුතු ටැංකි යොදා ගැණුනි. මේවා ටින් ලෝහයෙන් සාදන ලදී.. නැව් වෙනුවෙන් වඩාත් විශාල ටැංකි නිපදවීමට නොහැකි වූයේ ඒවා පැටවීමේදීත් බෑමේදීත් සිදුවන දුෂ්කරතා හේතුවෙනි.

කොතරම් දුෂ්කරතා තිබුණද නැව් මගින් තෙල් ප්‍රවාහනය කරනවා හැර රටින් රට තෙල් රැගෙන යාමට කිසිදු විකල්පයක් නොතිබුණි. 1869 දී සූවස් ඇල විවෘත වීමත් සමග එංගලන්තයේ සිට ආසියාවේ පිහිටි ඔවුන්ගේ යටත් විජිත කරා තෙල් රැගන යාමේ කාර්යය බ්‍රිතාන්‍යයන්ට ඉතා පහසුවක් විය. සූවස් ඇල හරහා ගමන් කිරීමෙන් ඔවුන්ගේ ගමන ඉතා කෙටි විය. එහෙත් තෙල් රැගෙන යාමේදී සිදුවන අනතුරු හේතුවෙන් සූවස් ඇල පාලකයෝ සූවස් ඇල යොදාගනිමින් තෙල් ප්‍රවාහනය කිරීමට දැඩි විරෝධතා දක්වන්නට විය.

ලොව පුරා භාවිතා වූ රුවල් නැව් අභාවයට යමින් ඒ වෙනුවෙන් වාෂ්ප නැව් භාවිතයට එක්වන්නට විය. 1891 වෙද්දී වාෂ්ප නැව් 70 ක් ලෝකය පුරා තෙල් ප්‍රවාහනයට යොදා ගැණුන ද තෙල් ගෙනයන ලද්දේ රුවල් නැව් යොදා තෙල් ප්‍රවාහනය කළ ආකාරයටම බැවින් සූවස් ඇල බලධාරීන්ගේ තීරණයේ වෙනසක් නොවුනි. ඒ වන විට ඔවුහු තෙල් ප්‍රවාහනය වැළැක්වීම සඳහා නීති සකස් කරමින් සිටියහ. 
          

සිප්ප හා බෙල්ලන් එකතුකර විසිතුරු භාණ්ඩ සාදා අළෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය එංගලන්ත ජාතික මාර්කස් සැමුවෙල් සහ සැමුවෙල් සැමුවෙල් යන සොහොයුරන් දෙදෙනා මේ තෙල් ප්‍රවාහන ගැටළුව විසදීම සඳහා යුහුසළු වූහ. ඒ වන විට නැව් ඉදිකිරීමේ විශේෂඥ ඉංජිනේරු වරයකු වූ එෆ්. ෆ්ලැගාරි මහතා සමග එක්වී නව පන්නයේ නැව් හතරක් නිෂ්පාදනය කිරීමේ දැවැන්ත කාර්යයකට ඔවුන් දෙදෙනා අතගසා තිබුණි.

කාන්දු වීමේ අවකාශය ඉතාමත් අඩුවන පරිදි තෙල් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි නෞකාවක් නිපදවීම ඔවුන්ගේ අපේක්ෂාව විය. සොහොයුරෝ කවදත් ප්‍රිය කළ මුහුදු බෙල්ලන් හතර දෙනෙකුගේ නමින් නම් කැරුණු නෞකා හතරක් සාදා 1892 දී තෙල් ප්‍රවාහනය සඳහා යෙදවීමට ඔවුහු සමත්වූහ. එය මියුරෙක්ස් (ඵඹඍෑඞ), කොන්ච් (ඣභක්‍්‍ය), ටර්බෝ (ඔඹඍඊධ) සහ ක්ලෑම් (ක්‍ඛ්ඵ) යන නෞකා හතර තෙල් ප්‍රවාහනය වෙනුවෙන්ම ඉදිකරන ලද ලොව ප්‍රථම ආරක්ෂිත තෙල් ප්‍රවාහන නෞකා විය. වාෂ්ප බලයෙන් යාත්‍රාකරන මෙම නෞකා නිපදවීමත් සමග මුහුදේ තෙල් ප්‍රවාහනයේ තිබූ අනාරක්ෂිත බව අවසන්විය. එමෙන්ම සූවස් ඇල බලධාරීහුද එම නෞකා මගින් තෙල් ප්‍රවාහනය සඳහා අවසර ලබාදෙන ලදී.

මේ සමඟ 19 වැනි සියවස අවසන් වෙද්දී ලෝකයේ තෙල් නැව් සඳහා වූ ඉල්ලුම විශාල වශයෙන් වර්ධනය වන්නට විය. වර්තමානයේ ලොව සුප්‍රසිද්ධ ෂෙල් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ට්‍රේඩින් සමාගම බිහිකරන ලද්දේ ඒ නැව් සමගින් තෙල් ප්‍රවාහනය ආරම්භ කරන ලද සැමුවෙල් සොහොයුරන් දෙදෙනා විසිනි.

ලොව ප්‍රථම තෙල් ප්‍රවාහන නෞකාවක් වූ කොන්ච් නෞකාව 1903 ජූනි 03 වැනිදා ශ්‍රී ලංකාව අසලින් ගමන් කරමින් සිටියදී හික්කඩුවේ අකුරල ප්‍රදේශයේදී අනතුරට පත්වීම හේතුවෙන් මුහුදු පත්ලේ ගිලී ගියේය. ඒ අනුව ලොව ප්‍රථම තෙල් නැව අපට හිමිවී තිබේ. ඉතා පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක ගිලී ඇති එම නෞකාව මේ වන විට ලොව පුරා කිමිදුම් කරුවන්ගේ දැඩි අවධානයට පාත්‍රවූ ස්ථානයක් වී තිබේ.

තෙල් සොයාගෙන වසර ගණනාවක් ගතවන තුරු ලෝකයේ ප්‍රධාන බල ශක්ති ප්‍රභවය වූයේ වාෂ්ප බලයයි. වාෂ්පබලයෙන් ධාවනය වන දුම්රිය හා පසු කාලීනව නිපදවූ වාෂ්ප නැව් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත ස්ථානයක් හිමිකරගෙන තිබුණි.

එමෙන්ම මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ඒ ඒ අවශ්‍යතා අනුව සකස් කැරුණු වාෂ්ප එන්ජින් ලොව පුරා ජනප්‍රිය වෙමින් තිබුණි. පෙන්සිල්වේනියාවේදී තෙල් ආකරයක් සොයාගන්නා ලද එඩ්වින් ඩ්‍රාකේ ට ඒ සඳහා සහය වූයෙ ද වාෂ්ප එන්ජිමකි.

ඇමෙරිකන් ඩොලර් 500 ක් වැය කොට වාෂ්ප එන්ජිමක් මිලදීගන්නා එඩ්වින් ඩ්‍රාකේ එය භාවිතා කරමින් පොළොව විදින උපකරණය තමන් විසින්ම නිර්මාණය කරගෙන ඇත. ඔහු එම යන්ත්‍රය තමන් පොළොව විදින්නට අපේක්ෂා කරන ස්ථානයේ සවිකර ඇත්තේ 1858 අගෝස්තු මස 16 වැනි දිනයේදී බව ඩ්‍රාකේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලේඛණ අනුව පැහැදිලිවේ. අශ්ව බල හයකින් යුතු මෙම යන්ත්‍රය ජෝන් ගේ දිගැති එන්ජිම ලෙසින් නම්කැර තිබූ බව ද එහි දැක්වේ.

ලුණු සොයාැගැනීම සඳහා මෙම යන්ත්‍රය යොදාගත් ඩ්‍රාකේ ඒ සඳහා දැවයන් වෙනමම එන්ජින් කාමරයක් සකස් කොට යන්ත්‍රයේ බොයිලේරුව සඳහා වෙනමම දුම් කවුලුවක් ද දැවයෙන්ම සකස් කරන ලදී.

ඒ අනුව ලෝකයේ පළමු තෙල් ලිඳ සඳහා යොදාගෙන ඇත්තේද වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන එන්ජිමකි. මෙම යන්ත්‍රය උපයෝගී කරගෙන අනපේක්ෂිත ලෙස සොයාගන්නා ලද තෙල් ලෝකය පුරා ප්‍රචලිත වෙද්දී පෙන්සිල්වේනියාවේ ස්ථාන ගණනාවක තෙල් සොයා පොළොව හෑරූ පිරිස ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. 
          

1865 දී එෆ්.ඩබ්.බීර් නැමැති අයකු විසින් සකස් කරන ලද පෙන්සිල්වේනියාවේ තෙල් කලාපය නැමැති සිතියම් පොතෙහි පිටපතක් ඩ්‍රාකේ තෙල් ලිං කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කැර තිබේ. එම සිතියම් පොතෙහි ඇති දැන්වීමක තැන තැන ගෙනයාහැකි කුඩා වාෂ්ප එන්ජිමක් ගැන සටහන්ව ඇත. වුඩ් සහ මාන් නැමැති ව්‍යාපාරික ආයනයක් විසින් මෙම දැන්වීම පල කර තිබේ. එනොස් ඩී. වුඩ් හා ඔහුගේ සොහොයුරු ඇලන් නෙල්සන් වුඩ් දෙදෙනා තම ව්‍යාපාරික සහකරුවකු වූ මාන් නැමැත්තා සමග එක්ව වාෂ්ප එන්ජින් නිපදවීම සඳහා වූ ලෝකයේ ප්‍රථම ව්‍යාපාරය ආරම්භ කැර ඇත්තේ වුඩ් සහ මාන් කොම්පැනි යන නමිනි. එය එම ආයතනයෙන් පලකරන ලද දැන්වීමකි.

ඔවුන් නිෂ්පාදනය කරන ලද තැන තැන ගෙනයා හැකි වාෂ්ප එන්ජිම පොළොවට සමාන්තරව තබන ලද්දක් වුවද එය බෑවුම් සහිත ප්‍රදේශයකදී පෙරැලී යා හැකි වීම තෙල් නිෂ්පාදකයන් මුහුණ දුන් බලවත් ගැටළුවක් විය. තනි සිලින්ඩරයක් ලෙස නිර්මාණය කර තිබූ මෙය රෝද හතරක් මත සවිකර තිබුණි. මුල් කාලයේ මෙම එන්ජිම අශ්ව බල 10,12 සහ 15 න් යුතුව නිපදවා තිබුණි. 
         
මෙම යන්ත්‍රය වැඩිකල් නොගොස්ම ජනප්‍රිය වීමත් සමගම තව තවත් ව්‍යාපාරිකයෝ වාෂ්ප එන්ජින් නිෂ්පාදන ක්ෂේත්‍රයට එක්වන්නට විය. එය කොතෙක් දුරට පැතිරී ගියේද යන්න ඔවුන් වසරකට නිෂ්පාදනය කරන ලද වාෂ්ප එන්ජින් ප්‍රමාණය සැළැකූ විට පැහැදිලි වෙයි. 
          

1883 වන විට වාෂ්ප එන්ජින් නිෂ්පාදනය කරන ලද විවිධ ව්‍යාපාරිකයෝ එන්ජින් වර්ග 400 ක් ලෝකයට හඳුන්වාදී තිබුණි. එය අශ්ව බල අටක සිට පනහක් දක්වා ශක්තියකින් යුතු යන්ත්‍ර ලෙස පුළුල් පරාසයක විහිදී තිබුණි.

වාෂ්ප එන්ජින් නිපදවීමේ ප්‍රමුඛත්වයක් ගනිමින් සිටි නාගල් නැමැති ආයතනය 1889 වසරේදී පමණක් එන්ජින් 2400 ක් වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබුණි. එම ප්‍රමාණය 1898 වන විට එන්ජින් 12,000 ක් හා බොයිලේරු 15,000 ක් දක්වා වැඩි වී තිබීමෙන් ලෝකයේ තෙල් නිෂ්පාදනය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූ ආකාරය පැහැදිලි වේ.

මුල් කාලීනව වාර සඟරා හා පුවත් පත් වල දැන්වීම් පළ වූයේ වාෂ්ප එන්ජින් හා බොයිලේරු විකුණා ගැනීම සඳහා වුවද පසුව වාෂ්ප එන්ජින් අළුත් වැඩියා කිරීම, බොයිලේරු අළුත් වැඩියා කිරීම යන සේවාවන් සැපයීම සඳහා පලකරන දැන්වීම් වලද අඩුවක් නොවුණි.

මේ අතර තෙල් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් තෙල් ආකර ඉදිකරන නවක ව්‍යාපාරිකයෝ භාවිතා කර නැවත අළුත්වැඩියා කර විකිණීමට ඇති වාෂ්ප එන්ජින් අඩු මුදලට ගැනීමෙන් සිය ව්‍යාපාර ආරම්භ කිරීමට කටයුතු කළහ.

ආකරවලින් හමුවන තෙල් හෙමින් හෙමින් උඩට ගැනීමට හා ඒවා වෙනත් ස්ථානයකට පොම්ප කිරීමට වාෂ්ප එන්ජින් යොදා ගනිද්දී තෙල් රැගත් දුම්රිය ධාවනය වූයේද වාෂ්ප බල එන්ජිමෙනි. එමෙන්ම වාෂ්ප නැව් නිපදවීමත් සමග තෙල් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වාෂ්ප බලය නැතුවම බැරි බලශක්තියක් වී තිබුණි.

එහෙත් මේ හදිසියේ පැමිණි පුදුම එළවන සුළු තෙල් සම්පතින් උපරිම ප්‍රයෝජන ගැනීමට වෙර දරූ මිනිසුන් තෙල් බලයෙන් දුවන එන්ජින් නිෂ්පාදනය කිරීමට සමත් විය. අවසාන ප්‍රතිඵලය වූයේ වාෂ්ප බලයෙන් ගොඩ ආ තෙල් බලයෙන් වාෂ්ප බලය යටපත් වී යාමයි. තෙල් සොයාගත් 19 වැනි සියවස අවසන් වන්නේ එවකට ලෝකයේ ප්‍රධානතම බල ශක්තිය වූ වාෂ්ප බලය යටපත් කරමින් තෙලේ බලය ලෝකය ආක්‍රමණය කිරීමෙනි.

වාෂ්ප බලය උපයෝගීකරගෙන තෙල් සොයාගත්තද වාෂ්ප බල ශක්තියට වඩා ඉතා ප්‍රබල ශක්ති ප්‍රභවයක් බවට තෙල් පත්වන්නට විය.

1862 වර්ෂයෙ ජනවාරි 16 වැනිදා ඇල්පොන්ස් රොචර්ස් විසින් ලෝකයේ ප්‍රථම සිව්පහර එන්ජිම නිපදවා තිබුණි. එය ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සොයාගැනීමක් වූ අතර තෙල් උපයෝගී කරගනිමින් එන්ජින් නිෂ්පාදනය කිරීමේ ආරම්භය සිදුවූයේ එතැනිනි.

අතිවිශාල වශයෙන් නිරන්තරවම ලැබෙමින් පැවැති තෙල් යහමින් භාවිතා කරන්නට හැකිවීමත් වඩාත් ලාභදායී වීමත් හේතුවෙන් තෙල් සම්පත ලෝකය පුරා ප්‍රචලිත වූවේය. මේ අතර තෝමස් අල්වා එඩිසන් ලෝකයේ ප්‍රථම විදුලි බුබුල නිපදවූවේය. එම සොයාගැනීම ලෝක ආලෝකවත් කිරීමට හේතුවූ ඉතා විශිෂ්ඨ ගණයේ සොයාගැනීමක් ලෙස අදටද හඳුන්වනු ලබයි. එඩිසන් සිය නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ලද්දේ තෙල් යොදාගන්නා එන්ජිමකි. එය පසුව ලයිට් එන්ජිම ලෙස ප්‍රචලිත වූ අතර විදුලි පහන් දැල්වීම සඳහා සෘජුවම ඛණිජ තෙල් යොදාගැනීම භාවිතයෙන් ඈත්වී තෙල් යොදා භාවිතා කරන එන්ජිමක් අනුසාරයෙන් විදුලි ආලෝකය ලබා ගැනීම කරලියට පැමිණුනි. 
          

එඩිසන්ගේ මෙම සොයාගැනීමත් සමග ලෝකය ඉතා විශාල පරිවර්ථනයකට ලක්වෙද්දී තවත් බොහෝ පර්යේෂකයෝ තෙල් හා තෙල් පිරිපහදු කිරීමේදී ලැබෙන්නා වූ අතුරු ඵලයන් භාවිතා කරමින් විවිධ නව නිෂ්පාදනයන් ඇති කිරීමට පෙළැඹී තිබුණි. මෙ අනුව 1895 දී ලෝකයේ ප්‍රථම දහන එන්ජිම නිපදවන ලද අතර එයද තම නිෂ්පාදනයන් සඳහා උපයෝගී කරගත් තරුණ හෙන්රි ෆෝර්ඩ් ලෝක ප්‍රවාහන ඉතිහාසයේ විශාලතම පෙරැළිය සිදු කළේය.

1896 ජුනි 04 වැනිදා ලොව ප්‍රථම මොටර් රථය නිපදවූ ෆෝර්ඩ් ලෝකය උඩු යටිකුරු කරන්නට සමත්වූයේය. ඔහු නිපදවූ මෝටර් රථ ලෝකය පුරා ජනප්‍රිය වෙද්දී තෙල් සඳහා වූ ඉල්ලුමද වැඩි වන්නට විය. මේ අනුව තෙල් නිෂ්පාදනය කෙරෙහි ලෝකයේ බොහෝ රටවල් යොමු වූවේය.

ලොව රටවල් ගණනාවක් තෙල් ඉල්ලම් සොයා පොළොව හාරද්දී ඇමෙරිකාව සතුවූ තෙල් ඒකාධිකාරිය අවස්න්වූයේය. අරාබි රටවල් තෙල් වෙළෙඳ පොල ජයගත්හ. තෙල් සොයාගැනීමේ තාක්ෂණය ද ඒ අනුව බෙහෙවින් දියුණු වී ගියේය.

බොරතෙල් වල සංයුතිය සහ වර්ණය එක් එක් තෙල් නිධියට වෙනස් වේ. මෙවැනි තෙල් නිධි ගොඩබිම් මත මෙන්ම මුහුද යටද පිහිටා තිබෙන අතර භූ විද්‍යාත්මක ගවේෂණ හරහා එම නිධි ගවේෂණය කළ පසු එයින් බොරතෙල් ලබා ගැනේ. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ආදී විවිධ හයිඩ්‍රොකාබන් සංයුතීන් ගෙන් යුත් ඉන්ධන නිර්මාණය වන්නේ මෙම බොර තෙල් පිරිපහදු මධ්‍යස්ථානවල ඉන්ධන පිරිපහදුවට ලක් කිරීමෙනි. මෙම ඛනිජ තෙල් ප්‍රධාන වශයන් හයිඩ්‍රොකාබන් සංයෝග කාණ් ත්‍රිත්වයකින් යුක්ත වන අතර එය පැරෆින්, නැප්තීන් සහ ඇරෝමැටික නමින් හඳුන්වයි. 
          

මේවා සක්‍රීය ඉන්ධන බවට පත්කරන්නේ පිරිපහදු ක්‍රියාවලියයි. එහිදී ඒවා භාවිතයට වඩාත් පහසු කාර්යක්ෂමතාවෙන් උපරිම සංයෝග බවටපත් කිරීම මෙහිදී සිදුවෙයි. මෙහිදී ප්‍රමුඛතම ස්ථානයක් ලැබෙන්නේ ප්‍රට්‍රල් සඳහාය. මෙම ක්‍රියාවලියේදී තෙල් වලින් අතුරු ඵල රැසක් නිපදවීමට මිනිසා සමත්වූහ.

අද වන විට ලෝකය අල්ලේ නැටවීමට තෙල් වලට හැකියාව ලැබී ඇත්තේ තෙල් සම්පතින් ලෝකයට බිහිවූ නිෂ්පාදනයන් ප්‍රමාණය සිතිය නොහැකි තරම් විශාල වීමේ හේතුවෙනි.

මෙම ලිපිය යතුරුලියනය කරණ පරිගණකයේ බොහෝ කොටස් සෑදී ඇත්තේ ප්ලාස්ටික් මිශ්‍රණයකිනි. මේසය මත ඇති පොත් කිහිපයකි. ඒවායේ ඇති විවිධ වර්ණ ලැබී ඇත්තේ ඛණිජ තෙල් සම්පතෙහි අතුරු ඵලයක් ලෙසිනි. පෑනත්, පෑනේ අඩංගු තීන්තත්, පොලිතීන් බෑගය, පනාව, දත් බුරුසුව පමණක් නොව මදක් සිතා බැලුවහොත් අප භාවිතා කරන භාණ්ඩ වලින් සියයට 75 ක වැඩි ප්‍රතිශතයක් ඛණිජ තෙල් සම්පතෙහි අතුරු නිෂ්පාදනයන්ය.

නැතිනම් ඒවා නිෂ්පාදනය සඳහා ඛණිජ තෙල් සම්පත දැඩි සේ දායක වී ඇත. ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රය මුළුමනින්ම රඳා පවතින්නේ ඛණිජ තෙල් මතය. එමෙන්ම තවමත් ලොව විදුලි බල නිෂ්පදනයෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් සිදුකරන්නේ ඛණිජ තෙල් උපයෝගී කරගනිමිනි.

1859 දී ලොව ප්‍රථම තෙල් ලිඳ බිහිකරන ලද එඩ්වින් ඩ්‍රාකේ තමන් සොයාගත් සම්පතින් ලෝකය මෙතරම් දියුණු යුගයකට පිවිසෙනු ඇතැයි හීනෙකින් හෝ නොසිතන්නට ඇත.

වසර මිලියන ගණනක් තිස්සේ සිදුවූ ක්‍රියාදාමයක් අවසන් ප්‍රතිඵලය වූ තෙල් සම්පත මොහොතකින් දවා හළු කරන මිනිසා මෙම අනගි සම්පත පරිහරණය කිරීමේදී බොහෝ සෙයින් ප්‍රවේශම් විය යුතු කාලය එළැඹ තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බොරතෙල්&oldid=437406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි