බැසිල් මිහිරිපැන්න

විකිපීඩියා වෙතින්

ප්‍රවීණ සිංහල නැටුම් ශිල්පියෙකි. මුද්‍රා නාට්‍ය හා නර්තන කලා ක්‌ෂේත්‍රයට වසර පනහකට වැඩි කාලයක්‌ පුරා සදා අමරණීය මෙහෙවරක්‌ ඉටු කළ බැසිල් මිහිරිපැන්න ප්‍රාඥයා සමාජය විසින් සැමදා අගය කරන, ජන හදවත්හි රැඳී සිටින හිතවන්තයෙකි. බැසිල් මිහිරිපැන්න පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙහි ඉගෙනුම ලැබූ කාලයෙහි ප්‍රවීණ සංගීතඥ වින්සන්ට්‌ සෝමපාල (පසුකල පාසල් සංගීත පරීක්‌ෂක) වෙතින් සංගීතය අධ්‍යයනය ලබා ත්‍යාගද හිමි කරගෙන ඇත. ඉන්පසු හෙතෙම එඩ්වින් සමරදිවාකර සංගීතඥයා යටතේද සංගීතය ප්‍රගුණ කරගනු ලැබුවේය. ඔහු තම කලා මාධ්‍ය සුදුසු පරිදි සංගීතවත් නාද - තාල, ආවරණ ඇඳුම් පැළඳුම් ආදී වූ අනෙකුත් අංශවලින් පෝෂණය කර ගැනීමේ සමතෙකු විය. හෙතෙම වයස හැත්තෑව පමණදීත් තමන්ගේම නිර්මාණයක්‌ වූ මුද්‍රානාට්‍ය තුළ ඉතා නිරෝගීමත් සිරුරකින් අංගචලනය හා මුහුණේ වේශ නිරූපණය තුළින්, නරඹන්නන්ගේ සිත් දැඩි ලෙස ග්‍රහණය කරගැනීමට සමත්කම් පෑවේය.

බැසිල් මිහිරිපැන්නයනට සංගීත විෂයයෙන් නර්තන කලාවට පිවිසීමට අනුග්‍රාහක වී ඇත්තේ ප්‍රවීණ මුද්‍රානාට්‍යවේදී ප්‍රේමකුමාර් එපිටවෙලයන්ගේ මගපෙන්වීමෙන් බැව් මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා පෙන්වාදී ඇත. බැසිල් - ප්‍රේමකුමාරයන්ගේ "සැළලිහිණි සන්දේශය" නිර්මාණ කරණයේදී මුද්‍රා නාට්‍ය අංශයට දායක වී ඇත. එසේම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "රත්තරං" "කදා වළලු" "එලොව ගිහින් "මෙලොව ආවා" හා මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන්ගේ "මහාචාර්ය" නාට්‍යයේ නර්තන විලාශයන් නිර්මාණය කර ගැනීමේදී දායකත්වය උපරිම මට්‌ටමින් ලබාදී ඇති බැව් කියවේ.

බැසිල් මිහිරිපැන්න භාරතයේ කේරළයේ කලා මණ්‌ඩලය වෙත ගොස්‌ "කතකාලි නැටුම් ශිල්පය" ප්‍රගුණ කරගත්තේය. ඔහු "භාත්ඛණ්‌ඩ විශ්වවිද්‍යාලයට ගොස්‌" "සිතාර් වාදනය" පිළිබඳව "විශාරද උපාධිය" ලබා ගත්තේය. මුද්‍රා නාට්‍ය කලා ශිල්පීය දැනුම ප්‍රගුණ කරගැනීමේ ආශාව නිසා හෙතෙම විවිධ භාරතීය නාට්‍ය කලාංග නැරඹුවේය. මෙලෙස තම හැකියා තුළින් ස්‌වාධීනව දැනුම පෝෂණය කරගත් ඔහු "සෙබලිය", "රංකැටි පුතා", "ඔමරිලතා", "සෝබනී", "වෘකයාගේ සාදය", "බලංගොඩ මානවයා", "අපේක්‌ෂා", ඇතුළු තවත් මුද්‍රා නාට්‍ය ගණනාවක්‌ නිර්මාණයෙන් එළිදැක්‌වූවාය. මේ මුද්‍රානාට්‍ය අතරින් "සෙබලිය", මුද්‍රානාට්‍ය සිය දයාබර සොයුරි ස්‌වර්ණා මිහිරිපැන්නගේ ප්‍රධාන චරිත රංගනයෙන් යුක්‌තව සිරිලක පුරා දෙසිය වාරයක්‌ වේදිකා ගත කරමින් මහත් ජනප්‍රිය භාවයක්‌ ලබාගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ "සෙබලිය" චිත්‍රකතාවක්‌ ලෙස ලේක්‌හවුස්‌ ආයතනයෙන් නිකුත් කරන ලද "සිළුමිණ" පත්‍රයෙහි ප්‍රකාශයට පත්වීමය.

ග්‍රන්ථකරණයෙහිද අභිරුවියක්‌ දැක්‌වූ හෙතෙම "එක්‌තරා බෝධියක්‌", "සුගන්ධිකා", "වෘකයාගේ සාදය" හා තවත් කෘති ලියනු ලැබුවේය.

බැසිල් මිහිරිපැන්න තම කාල පරිච්ඡේදයෙහි විසූ සෞන්දර්ය කලා උගතුන් වූ කලාසූරී චිත්‍රසේන, ප්‍රේමකුමාර එපිටවෙල, ශේෂා පලිහක්‌කාර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය පණ්‌ඩිත් ඩබ්. ඩී. අමරදේව, කලාසූරී වසන්ත කුමාර, මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ, ආචාර්ය එස්‌. පනීභාරත, මහාචාර්ය විනී විතාරණ. විශාරද ඩබ්. ජයන්ත අරවින්ද ඇතුළු තවත් අය සමීපව ඇසුරු කිරීමෙන් සිය දැනුම පෝෂණය කරගනු ලැබුවේය. ඔහු ආවාහ කොට ගනු ලැබුවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දියණියන් වූ නන්දිතාය. ඇය තම දයාබර සැමියාගේ කලා දිවිය ගොඩනැංවීමට සහාය වූවාය. බැසිල් මිහිරිපැන්නගේ සොයුරු අනිල් මිහිරිපැන්න ප්‍රවීණ සංගීතවේදියෙකි. එමගින්ද ඔහුගේ කලා ක්‌ෂේත්‍රය පෝෂණය ලබන්නට ඇත. බැසිල් මිහිරිපැන්න (E.O. Dancing) නැටුම් අංශයෙන් ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‌ෂ නිලයක්‌ හෙබවූයේය. මිහිරිපැන්න සතුව තිබුණු බහුශ්‍රැත භාවය නිසා ඔහු වෙත "කලාසූරී" හා "ආචාර්ය", යන සම්මාන ගරුනාම පිරිනැමිණි.

තවද සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ඩබ්. ඩී. ඩබ්. අභයවර්ධන මහතා, ශ්‍රී ලංකා කලා මණ්‌ඩලයේ සභාපති කේ. ජයතිලක මහතා ලේකම් කමල් ප්‍රේමදාස මහතා ඇතුළු එම මණ්‌ඩලය විසින් 1997 වසරෙහි කාලසූරී බැසිල් මිහිරිපැන්න (සභාපති), කලාසූරී, ආචාර්ය ඩබ්. ඩී. අමරදේව, ආචාර්ය එස්‌. පනීභාරත, විශාරද ජයන්ත අරවින්ද, කලාශූරී ජී. රංගනාථ, රවිබන්දු විද්‍යාපති, ආචාර්ය ජයසේන කෝට්‌ටෙගොඩ, කලාසූරී වසන්ත කුමාර, ආචාර්ය මුදියන්සේ දිසානායක හා මුද්‍රානාට්‍ය අනුමණ්‌ඩලයේ ලේකම් සිරි නිස්‌සංක පෙරේරා යුත් යන සාමාජික මහත්වරුන්ගෙන් මුද්‍රානාට්‍ය අනුමණ්‌ඩලයක්‌ද පිහිටුවන ලදී.

"බටහිර බැලේ" ප්‍රසංග යන්න, පෙරදිග "මුද්‍රානාට්‍ය ප්‍රසංග හා සංසන්දනය කොට "මුද්‍රා නාට්‍ය" යන පදය වසර 60 ක කාලපරිච්ඡේදයක සිට ලංකාවේ භාවිත කරන "මුද්‍රානාට්‍ය" නාමය ඉදිරියටත් භාවිත කිරීමට සුදුසු බවට ශේෂා පලිහක්‌කාර ගෙන ආ යෝජනාවට, බැසිල් මිහිරිපැන්න මහතා පූර්ණ එකඟතාව පළ කළේය.

1997 රාජ්‍ය මුද්‍රානාට්‍ය උළෙල පැවති කාලයෙහි බැසිල් මිහිරිපැන්න මහතාගේ පුත් දේශප්‍රිය මිහිරිපැන්නගේ "හිත" "විරහ දුක" "තණ්‌හාව" "වර්ෂාව" "විමුක්‌තිය" යන කෙටි මුද්‍රානාට්‍ය එළිදැක්‌විණි.

බැසිල් මිහිරිපැන්න සූරීන් රුසියාව ඇතුළු ලොව බොහෝ රටවල සංචාරය කොට මුද්‍රානාට්‍ය කලාව පිළිබඳ තම දක්‌ෂතා ප්‍රගුණ කර ගනිමින් අධ්‍යයනයෙහි යෙදී ඇත.

හෙතෙම සිය නිවස පිහිටි භූමි සංකීර්ණයෙහි තම කලා ක්‌ෂේත්‍රය පිළිබඳව සිසුන් දැනුවත් කරලීමට "දීපසිකා ජාතික රංග පීඨය" නමින් කලා විද්‍යායතනයක්‌ පවත්වාගෙන යමින් වසර ගණනාවක්‌ සෞන්දර්ය කලා ලැදියවුන් දහස්‌ ගණනක්‌ අප සමාජයට බිහිකරමින් අමරණීය සේවයක්‌ කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=බැසිල්_මිහිරිපැන්න&oldid=469093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි