පුරාණ පෙ‍ාළොන්නරුව නගරය යුනෙස්කෝ ලෝක උරුමයට අයත් බිම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ රාජධානිවල දෙවැනි පුරාණ රාජධානිය වූ පොළොන්නරුව, පළමුවැනි විජයබාහු රජතුමා තම අගනුවර ලෙස ප්‍රකාශයට පත් කළේය. චෝල ආක්‍රමණිකයින් පරාජය කොට දේශීය රජෙකු යටතේ 1070 දී රට නැවත එක්සත් කළේ විජයබාහු රජතුමාය. විජයබාහු රජුගේ ජයග්‍රහණය සහ රාජධානිය යුද්ධෝපාය වශයෙන් වඩාත් වැදගත් වූ පොළොන්නරුවට ගෙනයාම සුවිශේෂ කරුණක් විය. එහෙත් ඉතිහාස පොත්වල සඳහන් වන පරිදි පොළොන්නරුවේ සැබෑ වීරයා වශයෙන් සැළකෙන්නේ පළමු වැනි පරාක්‍රමබාහු රජතුමාය. චෝල පාලනය යටතේ පැවති සුළු කාලය තුළ පොළොන්නරුව 'ජනනාථමංගලම්' වශයෙන්ද හඳුන්වා ඇත.

රජතුමාගේ අනුග්‍රහනය ලැබ කෘෂි කර්මාන්තය සහ වෙළඳාම ඉතා දියුණු වීම නිසා පොළොන්නරුවේ ස්වර්ණමය යුගය ලෙස පරාක්‍රමබාහු රජ සමය සළකනු ලැබේ. "අහසින් වැටෙන සෑම වැසි බිඳුවක්ම භූමියේ සංවර්ධනය සඳහා යොදා ගැනීමෙන් තොරව නාස්ති නොවිය යුතුය" යන්න රජුගේ පරම අභිලාෂය විය. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉදි කරනු ලැබූ වාරි කර්මාන්ත අනුරාධපුරයේ ඒවාට වඩා අතිශයින් උසස් වූයේය. මෙම වාරි ක්‍රමයන් මගින් දරුණු නියං කාලයකදී පවා නැගෙනහිර පෙදෙසේ කුඹුරුවලට අදද ජලය සැපයේ. මෙම වාරි කර්මාන්තවලින් විශාලතම එක වන්නේ සම‍හරෙකු මුහුද ලෙස වරදවා තේරුම් ගන්නා පරාක්‍රම සමුද්‍රය නම් අති විශාල ජලාශයයි. එය කෙතරම් විශාලදැයි කිවහොත් ජලාශයේ මේ ඉවුරේ සිටින කෙනෙකුට විරුද්ධ පැත්තේ ඉවුර නොපෙනෙයි. එය ප්‍රධාන නගරය වට කොට සිටින්නේ පීත්ත පටියක් පරිද්දෙනි. එය නගරයේ ආරක්ෂක වැටක් ලෙසට මෙන්ම සාමකාමි කාලය තුළ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරන ජීවන මාර්ගයක්ද වශයෙන් එක විට ප්‍රයෝජනවත් කාර්යයන් දෙකක් ඉටු කළේය. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ පොළොන්නරුව සම්පුර්ණයෙන්ම ස්වයං පෝෂිත තත්වයේ පැවතියේය.

ඔහුගෙන් පසු රජ වූ පළමු වැනි නිශ්ශංක මල්ල හැරුණු විට පොළොන්නරුවේ රජ වූ අනෙකුත් සියල්ලෝම දුර්වල පාලකයන් වූ අතර ආරවුල් ඇති කර ගැනීමේ නැඹුරුවක් ඇත්තේ වූහ. එපමණක් නොව ඔවුහු වඩා බලවත් දකුණු ඉන්දීය රාජ්‍යයන් සමග වෛවාහික සබඳතාවයන් වැඩි වශයෙන් පැවැත්වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ දේශීය රජ පරම්පරාව අභිබවමින් 1214 දී සිදුවූ කාලිංග මාඝගේ සහ ඉන් පසු 1284 දී සිදු වූ ආර්ය චක්‍රවර්තී නම් පාණ්‍ය රජුගේ ආක්‍රමණය වැනි ආක්‍රමණයන්ට අවස්ථාව ඇති වීමයි. ඉන් පසු අගනගරය දඹදෙණියට ගෙන යනු ලැබීය.

ඉතා හොඳින් සැලසුම් කළ නගරයක ස්වභාවයද, පොළොන්නරුවේ මුල්ම රජවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, ශික්ෂණයද පුරාණ පොළොන්නරුව නගරයේ නටබුන්වලින් පෙන්වා දෙයි. පුරාණ පොළොන්නරුව නගරය ලෝක උරුම බිමක් ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

බාහිර සබදතා[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Polonnaruwa