පාහියංගල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(පාහියංගල වන සෙනසුන වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
පාහියංගල ලෙන


ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකටව පාහියංගල ගල්ලෙන සොබාදහමේ මනස්කාන්ත නිර්මාණයකි. ගංගා, දියඇලි සහ වනාන්තර වලින් හෙබියා වූ සොඳුරු කඳු මුදුනක පිහිටි පාහියංගල දර්ශනීය මෙන්ම ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක් ලෙසින් අද්‍යතනය වන විට නම් දරා ඇත.


පාහියංගල ලෙනෙහි පිහිටීම සහ විශාලත්වය.[සංස්කරණය]

බස්නාහිර පලාතට අයත් කළුතර දිස්ත්‍රික්කසේ නැගෙනහිර පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පිහිටි මෙම ස්වභාවික ගල්ලෙන පස්යොදුන්-කුකුළු යන දෙකෝරළ මායිමෙහි පිහිටා තිබේ. මෙරටෙහි ගල්ලෙන් අතර ප්‍රකටව පවත්නා දඹුලු ලෙන, මාතලේ අළුලෙන, කුරුණෑගල

දේවමැදි හත්පත්තුවේ වාරියපොළට නුදුරින් පිහිටි කබල්ලෑලෙන, රුහුණේ මුල්ගිරිගල, සියනෑ කෝරළයේ වාරණ ලෙන ආදී ලෙන් විහාර ප්‍රථම වරට දුටු අයෙකු විස්මයට පත්වන බැව් ප්‍රථම වර දුටු අය පවසති. පාහියංගල ලෙනද එලෙසම ප්‍රථම වරට දුටු ඇස් විස්ම කරවන ස්වභාවික නිර්මාණයකි. කොළඹ සිට කළුතර ඔස්සේ දිවෙන මාර්ගයේ සැතපුම් පනහක්ද(50),කොළඹ සිට කැස්බෑව ඔස්සේ හොරණ-කලවැල්ලාව මාර්ගයේ සැතපුම් හතලිහක්ද(40),පසුකළ විට මෙම ලෙන හමුවේ.

ලෙනට පිවිසෙන මග


සමුද්‍ර මට්ටමින් අඩි 400ක් පමණ උසින් පිහිටි මෙම පාහියංගල ලෙනට යාම සඳහා ගල්පඩි 496ක් පසු කළ යුතුය. එතැන් සිට නයි පෙනයක හැඩයෙන් අඩි 468ක් උසට නැගීගිය මෙය පිහිටා තිබෙනුයේ ලෙන් කට අඩි 150ක් පමණ උසින් සහ අඩි 175ස් පමණ පළලින් අර්ධ කවාකාරවය. ලෙනේ මුළු දිග අඩි 282ක් වන අතර පළල ඉතා අධික තැන අඩි 160ක් පමණ වේ.එය ලංකාවේ අති විශාල ගල්ලෙන ලෙස ප්‍රකට දඹුලු ලෙනේ පළල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මේ ගල්ලෙනට අයත් නොතෙමී සිටිය හැකි මුළු භූමි ප්‍රදේශයෙහි මිනිසුන් 3000 කට පමණ රැස්වී සිවිය හැකියැයි විශ්වාස කරයි.‍ මේ අනුව බලන විට ලංකාවේ දැනට පවත්නා විශාලතම ගල්ලෙන මෙය බැව් පැවසීම නිවැරදිය


පාහියන් නාමය.[සංස්කරණය]

පස්යොදුන් සහ කුකුළු යන දෙකෝරළයේ මායිම්ගලව පිහිටි මෙම සුවිසල් ලෙන් පර්වතය සඳහා පාහියංගල යන නාමය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව විමසා බැලුව හොත් විවිධ ජනප්‍රවාද පවතී. ක්‍රි.ව. 5වන සියවසේ මුල් භාගයේ පමණ අනුරාධපුර රාජධානියේ රජකම් කළ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව මේ ලෙනෙහි වැඩ වාසය කළ හෙයින් පසු කලෙක මායිම්ගල පාහියංගල නම් ලද බැව් ජනප්‍රවාදයේ පවතී. සුප්‍රකට දේශ සංචාරකයෙකු වූත්,ධර්ම ගවේශිකයෙකු වූත් චීන ජාතික පාහියන් භික්ෂුව ලංකාවට පැමිණ දෙවර්ෂයක් පමණ මෙරට නොයෙකුත් පලාත්වල සංචාරය කොට ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඵෙතිහාසික තොරතුරු රැස්කර ගෙන සිය රටට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ,පාහියන්ගේ ගමන් විස්තරය, නමින් ඔහු විසින්ම රචිත ඓතිහාසික ග්‍රන්ථයෙන් උන්වහන්සේගේ ගමන් බිමන් සහ ඇස දුටු දේ පිළිබඳව සවිස්තරයක් පැනෙන මුත් ශ්‍රී ලංකාවේ ගතකළ දෙවර්ෂය තුළ වැඩ වාසය කළ ස්ථාන පිළිබඳව සඳහන් නොකරන ලද බැව් එය පරිශීලනය කළ අයගේ අදහසයි.


පාහියන් භික්ෂුව මෙම ලෙනෙහි වැඩ වාසය කළා යැයි යන මතය සාක්ෂාත් කිරිමට තරම් ඵෙතිහාසික සාධකයක් පෙන්විය හැකිව නැති නමුත් චීන ජාතිකයින් අතර මේ පිළිබඳව බලවත් විශ්වාසයක් පවතින බැව් පැවසේ. ක්‍රි.ව.1940 දී පමණ ලංකාවට පැමිණි චීනයේ තායිෂූ සංඝරාජ තුමා දිවයිනේ ගතකළ කාලය තුළදී සිය ජාතික ඉතියාසයට ආලෝකයක් ගෙන දුන් පාහියන් නාමයට ගරුකරනු වස් මෙම ලෙනට පැමිණ තොරතුරු පරික්ෂාකර ගිය බවට වාර්තා වේ. මෙතුළින් චීන ජාතිකයින් අතර පවත්නා විශ්වාසය මැනවින් පිළිඹිබු වේ.


පාහියන් ලෙන විහාරයක් වීම සහ එහි සඟ පරපුර.[සංස්කරණය]

පරෝගම හිමියන් විසින් තනනලද ඉපැරණි උළුවස්ස

මෙම ඵෙතිහාසික පාහියන් ලෙන භික්ෂූන් වහන්සේලාගේ පාලන තන්ත්‍රයට පත්ව ශත වර්ෂ දෙකහාමාරකට වඩා නොවන බැව් පැවසේ. මෙම වකවානුවේදී ප්‍රථමව මෙම ලෙන සොයා භික්ෂු වාසයට යෝග්‍ය පරිදි සකස් කිරිසමහි ලා පූලිකව ක්‍රියා කන ලද්දේ පොරවගම උන්වහන්සේ නමින් ප්‍රකටව සිටි භික්ෂූන් වහන්සේ නමකි. ඒ හෙයින් මෙම පාහියංගල ලෙන් විහාරයෙහි නාර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ උන්වහන්සේය. උන්වහන්සේ ගුහාව අවහිර කරමින් වැටී තිබුණු ගල් කුට්ටි කඩා ඇද දමා බිම සමතලා කොට වර්තමාන දියුණුවේ අඩිතාලම දැමීමට පුරෝගාමි වූහ. යෝධ පුරුෂයෙකු යැයි කියන පොරෝගම උන්වහන්සේ ගල් කැඩීම සඳහා භාවිතා කර තිබෙනුයේ යකුළක් නොව අඩි 6ක් පමණ දිගැති එවැනිම වූ ගල් ආයුධයකි.මෙකල මිනිසුන් සිව් දෙනෙකු විසින්වත් එසවිය නොහැකි තරම් යැයි කියනු ලබන එය දැනට ලෙන තුළ බැඳ තිබෙන මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පාදමට තබා වඳින ලදැයි පැවෙස්. එලෙසම පොරොවගම හිමියන් ගල්ලෙන භික්ෂු වාස භූමියක් බවට පත්කරලීම උදෙසා උන්වහන්සේ විසින්ම කපා ඔපදැමූ යෝධ උළුවහු දෙක අද්‍යතනයේ පවා මෙම ලෙන් විහාර භූමිය තුළින් දැක බලා ගත හැකිවනු ඇත. පොරෝගම උන්වහන්සේගෙන් අනතුරුව පිළිවෙලින් යේරවත්තේ සෝභිත, වෑවල ධම්මජෝති, උඩුමුල්ලේ සරණංකර, උඩුවලකන්දේ ජිනානන්ද, ජඹුරලියේ පඤ්ඤානන්ද, වෑවල ධම්මරංසි, කඳනේ පඤ්ඤාශේකර යන ස්ථවීරපාදයන් වහන්සේලා මෙහි අධිපති ධූරහට පත්ව ඇත. වෑවල ධම්මරංසි හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය කඳනේ පඤ්ඤාශේකර හිමියන් යන දෙදෙනාගේම ශිෂ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී යටගම්පිටියේ චන්දිම හිමියන් වර්තමාන විහාරාධිපතිත්වය උසුළනු ලබන අතර උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන් 40කගේ පමණ ගුරු ස්වාමීන් වහන්සේ වනු ඇත.


පාහියංගල මානවයා[සංස්කරණය]

ආදී මිනිසා විසින් භාවිතා කළ ක්ෂුද්‍ර ගල් මෙවලම්

පාහියංගල ගල්ලෙනෙහි පුරා විද්‍යා පර්යේෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ 1986/87 වර්ෂ වලදීය. මෙම කටයුතු ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී. විශේෂයෙන්ම මෙම කැනීම් කටයුතු හා ගවේෂණ කටයුතු කෙරුණේ ලංකාවේ ආදි වාසින් පිළිබඳව තොරතුරු සොයනු වස්ය.මෙම පර්යේෂණ වලදී ආසියාවේ වාසය කරන නූතන මිනිසාට සමාන ලක්ෂණ ඇති පැරණිම මානව අවශේෂ සොයාගන්නා ලදී. මෙම මානව භෂ්මාවශේෂ කැනීම් වලෙන් මතුපිටට ගැනීමට පාහියංගල ලෙනට ඇමෙරිකාවේ කෝනර් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යයවරයෙකු වන කෙනත් කෙනඩි මහතාද පැමිණ ඇත. මෙලෙස භෂ්මාවශේෂ හමුවූ මී මුත්තාගේ වයස අවු:37000කි. කාබන් 14 නැමති විද්‍යාත්මක කාල වාර්තා ක්‍රමය උපයුක්ත කොට දියුණු රසායනාගාර තුළදී මෙකී වයස තීරණය කොට ඇත. ආසියාවේ ජීවත්වන නූතන මිනිසාගේ ඉපැරණි මිනිසා කුරුවිට බටදොඹ ලෙනින් සොයාගත් බලංගොඩ මානවයා බැව් මෑතක් වන තුරුම පිළිගෙන තිබුණි. එකී මානව යුගයට අයත් එනම් වසර 28000කට පෙර ජීවත් වූ මිනිසාගේ හිස් කැබලි ද, මෙකී පර්යේෂණ භූමිය තුළින් සොයාගෙන ඇති බැව් පැවසේ. මෙය මොසෝතික් යුගයට අයත් හෝමෝ සේපියන්ගේ මුල්ම අවධිය ලෙස සැලකේ. එබැවින් පාහියංගල මානවයාට,බලංගොඩ මානවයාට වඩා ඉපැරණි ඵෙතිහාසිකත්වයක් ඇති බැව් මෙම පර්යේෂණ තුළින් පිළිඹිබු වීමෙන් ශ්‍රී ලංකාවේ විසූ ආදීම මිනිසා පාහියංගල මානවයා බැව් මේ වන විට සාක්ෂාත් වී ඇත.


අවුරුදු දස දහස් ගණනක් පැරණි ඝන දූවිලි තට්ටුවකින් වැසී ඇති මෙම පුරා බිමෙහි ප්‍රාග් ඓතිහාසික පිහිටි බිම ඇත්තේ දැනට පිහිටා ඇති පොළොව මට්ටමෙන් මීටර් 16ක් පමණ පහළින් බව සොයාහෙන ඇත. තවදුරටත් කරන පර්යේෂණ කටයුතු වලදී මෙම ගල්ලෙනෙහි වාසය කරන ලද ආදිවාසින් ගල් අවි තාක්ෂණයේ දියුණුම අවි වන ක්ෂුද්‍ර ගල් මෙවලම් භාවිතාකර ඇති බව සොයා ගෙන ඇති අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් ද යුක්ත බැව් හමුවූ ගල් මෙවලම් තුළින් මැනවින් පසක් වෙනු ඇත. එලෙසම මෙම ලෙනෙහි විසූ ආදි මානවයා ගින්දර භාවිතා කළ බවට වසර දස දහස් ගණන් පැරණි,කැනීම් කටයුතු වලදී සොයාගන්නා ලද අඟුරු සාක්ෂි දරයි.

ස්වභාවික ශාඛ සාරයෙන් වර්‍ණ ගැන්වූ සිතුවම්


ලෙන් විහාරයෙහි පවතින සිතුවම් සහ මූර්ති.[සංස්කරණය]

මෙම ලෙන් විහාරයෙහි ගල්ලෙන දකුණු පසට වන්නට කුඩා විහාරයක් පවතී. මෙහි විහාරාධිපතිව වැඩ විසූ වෑවල ධම්මජෝති ස්වාමිපාදයන් වහන්සේගේ පාලන සමයෙහි මෙය තනන ලදැයි පැවසේ.මෙම තුඩා විහාරයෙහි මහනුවර යුගයට අයත් සිතුවම් හා මූර්ති දක්නා ලැබේ.මුචලින්ද නාග දරණය මත වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ,දෑගසව් දෙනම සහ විෂ්ණු,සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමාවන් මෙහිදී දක්නා ලැබෙනු ඇත.මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දෑගසවු වහන්සේලාගේ මූර්තිවල විශේෂිත වූ ලක්ෂණයක් දක්නා ලැබෙනු ඇත. එනම් සිවුරේ රැළිති සහ අත්ලේ රේඛාවන් ඉතා ක්‍රමානුකූලව දක්වා තිබීම එකී වි‍ශේෂත්වයයි. එලෙසම මීට ඇතුළු වන ස්ථානයේ දොරටුව දෙපස අසිපතක් රැගත් දොරටුපාල රූප දෙකක් චිත්‍රයට නගා ඇති අතර දකුණුපස දොරටුපාල රූපය අසල සක් පිඹින අයෙකුගේ සිතුවමක් ද දක්නා ලැබේ. මීට අමතරව විහාරගෙය ඇතුළත බිත්ති මත නෙළුම් මල් මෙන්ම ලියතඹරා මල් ද සිතුවම් කර තිබෙනු දක්නා හැකිය. මෙකී සිතුවම් හි විශේෂිත ලක්ෂණය වනුයේ එකී සියළුම සිතුවම් වර්ණ ගැන්වීමේදී උපයුක්ත කොට ගෙන ඇත්තේ ස්වභාවික වනයෙන් ලබාගන්නා ලද ගස්වල මුල්, කොළ, අතු සහ පොතුවලික් සාදාගන්නා ලද වර්ණයන් වීමයි. මෙලෙස වර්ණ ගැන්වූ සිතුවම් අද්‍යතනයේ පවා නොනැසී පවතින අයුරු එය නරඹන්නට යන අයට දැක බලාගත හැකිවනු ඇත.


අවට වන ලැහැබ.[සංස්කරණය]

අවට_පරිසරය

පාහියංගල ගල්ලෙන සුවිශේෂත්වයක් උසුළනුයේ මානව වංශ විද්‍යාව,පුරා විද්‍යාව හෝ ප්‍රාග් ඓතිහාසිකත්වය අතින් පමණක් නොවේ. පාරිසරික විද්‍යාව අතින් ද ඉහළ වටිනාකමක් මේ සඳහා හිමිවනු ඇත. මන්ද පස්යොදුන්,කුකුළු යන දෙකෝරළයේ මායිමට මැදිවු සොඳුරු වන පෙතක මෙහි පිහිටීම සනිටුහන්ව ඇති නිසාවෙනි. මෙ‍ම රක්ෂිත වන පෙදෙස පහතරට නිවර්තන තෙත් කලාපීය වනාන්තර ගනයට අයත් යැයි කියන අතර මීට දකුණු දෙසින් දිවෙන සිංහරාජ වනය ද,ඊසාන දෙසින් දිවෙන මා කෙළි වනය ද මේ හා සමාන කමක් දක්වයි. මෙම වන පෙතෙහි පිහිටි සමුද්‍ර මට්ටමින් අඩි 200-400 දක්වා භූමි ප්‍රමාණය ලෙනට අයත් ප්‍රදේශය ලෙස සලකන අතර අඩි 400-1100 දක්වා දළ බෑවුම් සහිත ප්‍රදේශය කඳු මුදුන වන අතර ඊසාන දිශාවට මුහුණලා මෙම පර්වත ප්‍රදේශයේ අක්කර 80 ක පමණ වන ප්‍රදේශයක් පවතී. දිවයිනේ තෙත් කලාපයේ පිහිටි මෙම වනයට වර්ෂාපතනය ලැබෙනුයේ නිරිත දිග මෝසම් වැසි වලිනි. මෙලෙසින් ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 2060300ක් පමණ වේ. තුරුලතා වැඩීමට මනා උෂ්ණත්වයක් මෙහි පවත්නා අතර වෘක්ෂලතා විශේෂ 49ක් ද, වැල් වර්ග 11ක් පමණ ද, ජලජ පැලෑටි විශේෂ 8ක් පමණ ද, සත්ව විශේෂ 10ක් පමණ ද හඳුනාගෙන ඇත. මීට අමතරව උඩවැඩියා විශේෂ 23 ක් පමණ ද මෙම සොඳුරු වන පෙත තුළින් හඳුනාගෙන ඇත.


පිංතූර ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

1. පූජ්‍ය ජෝතිපාල,ගෝනහේනේ. පාහියංගල පුරාණය.

2. දෙසතිය සඟරාව, 1995 ජූලි


අඩවියෙන් බැහැර පිටු.[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පාහියංගල&oldid=307057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි