ප්‍රාග් ඓතිහාසික සමාජය

විකිපීඩියා වෙතින්

කාල්මාක්ස්ගේ සමාජ විග්‍රහයේදී ඔහු විසින් දක්වන ප්‍රථම යුගය ප්‍රාග් ඓතිහාසික සමාජය යි. මේ තුළ මිනිසුන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ අවශ්‍යතා සරල ඒවා විය. මේ තුළ තරගකාරීත්වයක්ද දක්නට නොලැබුණු අතර, ක්‍රමයෙන් සමාජ වර්ධනයත් සමඟ අවශ්‍යතා සංකීර්ණ වීමත්, සම්පත් සීමිත වීමත් සිදු විය. එම ක්‍රියාදාමය දඩයම් යුගය, එ‍ඬේර යුගය, ගොවි යුගය යන යුග තුන ඔස්සේ සමාජ වැඩ පිළිබදව අවධානය යොමු කිරීමෙන් පැහැදිළි වේ.

ප්‍රාග් ඓතිහාසික සමාජයේ වැඩ යනු කුමක් ද ?[සංස්කරණය]

වැඩ යන්න පිළිබඳ දැක්වීමේදී මිනිසුන් ලොව පහළ වූ දින‍යේ සිට සෑම පුද්ගලයෙක්ම නිරතුරුවම යම් යම් වැඩ වල නිරත වීමක් දක්නට ලැබේ. ඒ අනුව මානව ඉතිහාසය පටන් ගැන්මේ සිටම වත්මනය දක්වාම වැඩ පිළිබඳව සාරාංශ කිරීමක් කළ නොහැක. වැඩ යනු සමාජමය කාර්යයක් මිස පෞද්ගලික කාර්යයක් නොවේ. මිනිසුන් තනි තනි පුද්ගලයන් ලෙස විවිධ වැඩ වල නිරත වුවද, එය සිදු වන්නේ සමාජමය නිෂ්පාදනමය ජාලයක් තුළය. ඒ අනුව මිනිසුන් එදිනෙදා වැඩ කරන්නේ තනි තනිව වුවද, එය සිදු වන්නේ සමස්ථ සමාජයේ අවශ්‍යතාවය මතයි.අතීතයේ සිටම මිනිසුන් වැඩ වල නිරත වූ අතර, අතීතයේ නියලුණු එම වැඩ සමාජ සංවර්ධනයත් සමඟ සංවර්ධනය වෙමින් වෙනස් වෙමින් ක්‍රමයෙන් වර්ධනය වීමක් දක්නට ලැබේ. ප්‍රාග් ඓතිහාසික සමාජයේ වැඩ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් සමාජ වැඩ පිළිබඳ ඓතිහාසික දෘශ්ටිකෝණයක් විවරණය වේ. මේ අනුව වැඩ සංකල්පය සෑම යුගයකටම සම්බන්ධ වන බව පැහැදිළි වේ. සමාජ වැඩ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී නූතනයේ පවතින වැඩ අතීතයේ පැවති වැඩ වලට වඩා වෙනස් වේ. මෙය තේරුම් ගැනීම සඳහා සමාජයේ පැවති එක් එක් යුග වල වැඩ සම්භන්ධ ව තොරතුරු සොයා බැලීම වැදගත් වේ. කාල්මාක්ස්ගේ විග්‍රහයට අනුව ඔහු විසින් යුග පහක් දක්වා ඇති අතර, මේ තුළ ඔහු දැක්වූ ප්‍රථම යුගය වන ප්‍රාග් ඓතිහාසික යුගයේ සමාජ වැඩ පිළිබඳව මෙසේ කරුණු දැක්විය හැකිය.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සමාජය වර්ග කිරීම[සංස්කරණය]

කාල්මාක්ස්ගේ සමාජ විග්‍රහයට අනුව ප්‍රථමයෙන්ම ඇති වූ සමාජය වන්නේ ප්‍රාග් ඓතිහාසික සමාජය යි. එම සමාජය තුළ වැඩ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මාක්ස් දක්වන ආකාරයට පොදු දේපළ ක්‍රමයක් මෙන් ම මිනිසුන් රංචු වශයෙන් ජීවත් වීමක් දැකිය හැකි විය. මේ තුළ පුද්ගලයින් අතර පෞද්ගලික අයිතීන් නැත.ඒ නිසා කිසිඳු බෙදීමක් දක්නට නොමැති අතර කිසිඳු තරඟකාරීත්වයක් ද දක්නට නොලැබෙන බව මාක්ස් දක්වයි. මෙය ලෝකෙටම විවෘත වූ තත්වයක් බවද මාක්ස් දක්වයි. මේ සම්බන්ධ ව ලංකාවේ තත්වය සළකා බලන විට ප්‍රාග් ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන් දඩයම් යුගය, එ‍‍‍ඬේර යුගය සහ ගොවි යුගය ලෙස වර්ග කළ හැකිය. ප්‍රාග් ඓතිහාසික සමාජයේ වැඩ වල ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එක් එක් යුගයන් වෙන වෙනම සාකච්ඡා කිරීම වැදගත් වේ.

  1. දඩයම් යුගය
  2. එ‍ඬේර යුගය
  3. ගොවි යුගය


දඩයම් යුගය[සංස්කරණය]

ලංකාවේ සමාජය තුළ ප්‍රථමයෙන්ම ඇති වූයේ දඩයම් යුගයයි. දඩයම් යුගය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මිනිසුන් සතුන් මරා ඔවුන්ගේ මස් අනුභව කරමින් ජීවත් වූහ. මේ අනුව දඩයම් යුගය තුළ ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ වශයෙන් වැඩ බෙදීමක් දක්නට ලැබුණි. ඒ අනුව පුරුෂ පාර්ෂවය දඩයමේ යාම සිදු කළ යුතු විය. ඔවුන්ට මසුන් මැරීම වැනි කාර්යයන් සිදු කළ යුතු විය. ස්ත්‍රීන්ට ආහාර එකතු කිරීම, දිය ගෙන ඒම, ආහාර පිසීම, දරුවන් රැක බලා ගැනීම හා පෝෂණය කිරීම ආදී වශයෙන් වැඩ බෙදීමක් දක්නට තිබුණි. සරල වශයෙන් මේ අනුව දඩයම් යුගය තුළ ප්‍රථම වරට වැඩ බෙදීමක් දැකිය හැකිය. එසේම සම්පත් පොදුවේ භුක්ති විඳි අතර, එදිනෙදා වශයෙන් අවශ්‍යතා සපුරා ගැනීමක් දක්නට ලැබීමත්, මේ නිසාම තරඟකාරීත්වයක් දැකිය නොහැකි වීමත්, සූරාකෑමක්ද සිදු නොවීමක් ලාංකීය දඩයම් සමාජය තුළ දක්නට ලැබිණ.

එ‍ඬේර යුගය[සංස්කරණය]

ලංකාවේ

 ප්‍රාග්   ඓතිහාසික   සමාජය  තුළ    මීළඟට  ඇති  වූයේ  එ‍ඬේර   යුගයයි. මේ  සමාජය  තුළ  සතුන්  මැරීමක්  දක්නට  නොලැබුණු  අතර, සතුන්ට  අවශ්‍ය   ආහාර   ලබා  දෙමින්  ඔවුන්  ආරක්ෂා  කරමින් කටයුතු  කරන  ආකාරයක්  දැකිය  හැකි  විය.  ඒ  අනුව  දඬයම්  යුගය  මෙන්  නොව  එඬේර  යුගයේ දී   සතුන්  ඇති  කිරීම  මිනිසුන්  විසින්  සිදු  කළහ.  මේ  තුළ  වැඩ  බෙදීමක්  දක්නට  ලැබෙන  අතර,  පුරුෂයන්  විසින්  සතුන්  ගාල්  කිරීම   සිදු  කළ  අතර, ස්ත්‍රීන්ට   දරුවන්  බලා  ගැනීම, පළතුරු  හා  එළවළු  රැ‍ගෙන  ඒම, ජලය  ගෙන  ඒම  වැනි   කාර්යයන්  අයත්  විය.  මේ  අනුව  ස්ත්‍රී   පුරුෂ   වශයෙන් කාර්යයන්  විභේදනය  වීම  කෙරෙහි  ශාරීරික   වෙනස්කම්  බලපාන්නට  ඇතැයි  සිතිය  හැකිය.  මෙහිදී ස්ත්‍රියට  වඩා  පුරුෂයා  කායික  ශක්තියෙන්  වැඩි  නිසා  බර  වැඩ  ඔහුට  නියම  විය.  එසේම  ශ්‍රම  විභේදනය වයස  මතද  රඳා  පවතින  බව  දැක්විය  හැකිය.  කුඩා  ළමුන්ට  වැඩ  කිරීමට  අපහසුය.  ඇතැම්  සමාජ වල  ප්‍රධානම  වටිනාම   භාණ්ඩය  හරක්ය.   නිදසුනක්  ලෙස  අප්‍රිකාව  ගත්  විට  එහි   අවුරුදු  6  සිට  11 දක්වා  සිටින  දරුවෝ  තම   දෙමව්පියන්ගේ    නිවෙස්  වල   හරක්  බලා  ගැනීම   සිදු  කරයි.

ගොවි යුගය[සංස්කරණය]

ප්‍රාග් ඓතිහාසික යුගය තුළ දක්නට ලැබෙන මීළඟ අවධිය ලෙස කෘෂිකාර්මික යුගය දැක්විය හැකිය. කලින් දැක් වූ යුග වලට වඩා වර්ධනයක් මේ තුළ දැකිය හැකිවිය. කෘෂිකාර්මික යුගය තුළ ගොවිතැනට මුල් තැන ලැබිණ. ඒ අනුව වැඩ වල ක්‍රමික වර්ධනයක් සිදු වී ඇති අතර, මේ තුළ වැඩ වල විවිධත්වයක්ද දක්නට ලැබිණ. මේ තුළ ක්‍රමයෙන් එඬේර යුගයට වඩා නවීන උපකරණ භාවිතයන්ද දැකිය හැකි විය. එසේම විවිධ ජල සපයන ක්‍රම යොදා ගැනීමත්, මේ සමාජ ක්‍රමයෙන් විශාල වී නගර පහළ වීමත්, මේ තුළ දක්නට ලැබේ. එසේම මෙම කෘෂිකාර්මික සමාජයේ ක්‍රමයෙන් වැඩ වල සංවර්ධනයත් සමඟ අතිරික්ත නිෂ්පාදනයක්ද දැකිය හැකි විය. එසේම මේ තුළ හුවමාරු ක්‍රමය දක්නට ලැබෙන අතර, අන්තර් ක්‍රියාවන්ද ක්‍රමයෙන් වර්ධනය විය. මෙලෙස නිෂ්පාදන ධාරිතාව වැඩි වූ විට සමාජයේ යම් පිරිසකට එම වැඩ අහිමි තත්වයක් දක්නට ලැබේ. කෘෂි අතිරික්ත නිෂ්පාදනය ඇති වන විට ඒ සඳහා යෙදවිය යුතු ශ්‍රමය ඉතිරි වන අතර, එහි කාර්යක්ෂමතාවය වැඩි වී මිනිසුන්ට නිකරුණේ ගත කිරීමට හැකි කාලය දිගු විය. මෙලෙස පවතින විවේකයත් සමඟ මිනිසුන් යකඩ, ලී වැඩ, රෙදි වැඩ, ඖෂධ සෙවීම වැනි අතුරු කාර්යයන් වල නිරත වීමට පටන් ගත්හ. එසේ මිනිසුන් විවිධ වූ කාර්යයන් වල නියලීම තුළින් විවිධ දේ නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව, භාණ්ඩ හුවමාරු කර ගැනීමට ක්‍රියා කළහ. මෙලෙස කෘෂිකාර්මික සමාජය තුළ මිනිසුන් තමන්ගේ කාර්යයන් කඩිනමින් නිමකරවා වෙනත් කාර්යයන්හි නියලීමට කටයුතු කිරීම මත එකිනෙකාගේ ආදායම් ප්‍රමාණය විවිධ වීමක් දක්නට ලැබෙන අතර, එම හේතුවෙන් වෙනස් වූ සමාජ පංති බිහි වීමට පදනම සකස් වූ බවද දැක්විය හැකිය. මෙලෙස ප්‍රාග් ඓතිහාසික යුගයේ සමාජ වැඩ පිළිබඳව කරුණු දැක්වීමේ දී දඩයම් යුගය, එඬේර යුගය හා ගොවි යුගය යන යුග තුන ඔස්සේ කරුණු විමසා බැලිය හැකි අතර, සමාජ වර්ධනයත් සමඟ ක්‍රමයෙන් වැඩ වල වර්ධනයක් ද සිදු වී ඇති බව පැහැදිලි වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  • ඊරියගම,තිස්ස.2003,කාර්මික විප්ලවය,කොළඔ 10,මල්පියලි ප්‍රකාශකයෝ
  • රත්නපාල,නන්දසේන.2007,සමාජ විද්‍යාව හා මානව විද්‍යාව,එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස්,ආරිය ප්‍රකාශකයෝ
  • සෙනෙවිරත්න,එස්.ඩී.එච්.1992,අපරදිග අතීතය අදියර 1,විසිදුණු මුද්‍රණ ශිල්පියෝ,බොරලැස්ගමුව