ප්‍රවේණික විකෘති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ප්‍රජනනයේදී ප්‍රවේණිගත විය හැකි පරිදි හෝ සෛල විභාජනයේදී දුහිතෘ සෛල වලට ගමන් කල හැකි වන පරිදි හෝ ප්‍රවේණි ද්‍රව්‍යයේ සිදු වන ස්ථාවර වෙනස් වීම් විකෘති ලෙස හැඳින්වේ.

විකෘති ඇති වීමට හේතු[සංස්කරණය]

  1. ඌනන විභාජනයේදී වර්ණදේහ ව්‍යුක්ත වීම අසාමාන්‍ය ලෙසට සිදුවීම. (නිර්විසම්බන්ධය)
  2. DNA ප්‍රතිවලිත වීමේදී දෝෂ ඇති වීම.(අනුපුරක නොවන භෂ්ම යුගලනය)
  3. විකෘතිකාරක රසායනික සංයෝග වල බලපෑම
  4. UV කිරණ, X කිරණ වල බලපෑම

විකෘති වර්ග[සංස්කරණය]

විකෘති

විකෘති ප්‍රධාන වර්ග දෙකකි. ඒවා නම්,

  1. වර්ණදේහ විකෘති (Chromosomal mutations)
  2. ජාන විකෘති හෙවත් ලක්ෂ්‍ය විකෘති (Point mutations)
වර්ණදේහ විකෘති තවදුරටත් බෙදා දැක්විය හැකිය. ඒවා නම්,
  • වර්ණදේහ වල ව්‍යුහයේ වෙනසක් නිසා ඇතිවන විකෘති
  • වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති
වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති, ප්‍රධාන වර්ග දෙකකි. ඒවා නම්,
  • විෂමගුණකතාවය
  • බහුගුණකතාවය

ජාන විකෘති[සංස්කරණය]

වර්ණදේහ වල ජාන වල ව්‍යුහය හෙවත් DNA වල නියුක්ලියොටයිඩ අනුපිළිවෙල වෙනස් වීම නිසා ජාන විකෘති ඇති වේ.

  • ඇලිභාවය *සිස්ටික් ෆයිබ්‍රොසිස් *හිමොෆිලියාව *වර්ණාන්ධතාව *දෑකැති හැඩැති සෛල රක්ත හීනතාව *තැලසීමියාව යන තත්ත්ව තනි ජානයක ඇති වන විකෘති නිසා හට ගනී.

මෙම විකෘති ජාන නිලීන ජාන වෙයි. නිලීන සමයෝගී අවස්තාවේදී ඒවා ඉස්මතු වීමෙන් අදාළ ලක්ෂණය ඇති වේ. කලාතුරකින් ඇතිවන සමහර විකෘති, ප්‍රමුඛ විකෘති වේ. උදා: හන්ටින්ඩන් රෝගය

  • ලක්ෂ්‍ය විකෘති බොහොමයක් ඇති වන්නේ DNA ප්‍රතිවලිත වීමේදී ඇති වන දෝෂ නිසාය. DNA ප්‍රතිවලිත වීමේදී එහි වූ අනුපුරක පට දෙක වෙන් වී පට දෙකම වෙන වෙනම නව අනුපුරක පට නිපදවනු ලබයි. මෙහිදී සමහර විට අනුපූරක නොවන වැරදි නියුක්ලියොටයිඩයක් ඈඳීම සිදු විය හැකිය. නැතහොත් නියුක්ලියොටයිඩයක් අඩුවෙන් හෝ වැඩියෙන් ඈඳීම සිදු විය හැක. එවැනි වැරදීම් සහිතව නිපද වූ DNA අණුවක් නැවත ප්‍රතිගුණනය වන අවස්තාවේදී වැරදි නීයුක්ලියොටයිඩ වලට අනුපූරක නීයුක්ලියොටයිඩද එකතු වීම නිසා භෂ්ම අනුපිළිවෙල මුළුමනින්ම වෙනස් වූ DNA අණුවක් ඇති වේ. මෙවැනි වෙනසක් ඇති වීමේ සම්භාවිතාව දස දහසකට එකකටත් වඩා අඩුය.
  • ජානයක භෂ්ම අනුපිළිවෙල වෙනස් වුවහොත් එම ජානය මගින් නිපදවන ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල වෙනස් වේ. මේ නිසා එම ප්‍රෝටීනයට අදාළ කාර්යය සිදු කල නොහැකි වේ. එනම් අක්‍රිය වේ. නැතහොත් කලින් ප්‍රෝටීනයේ නව ක්‍රියාකාරීත්වයක් විකෘති ප්‍රෝටීනයේ ඇති වේ.

වර්ණදේහ විකෘති[සංස්කරණය]

වර්ණදේහ වල ව්‍යුහයේ වෙනසක් නිසා ඇති වන විකෘති[සංස්කරණය]

සෛල වල ඌනන විභාජනය සිදු වන අවස්ථාවේදී සමජාතීය වර්ණ දේහ දෝෂ සහිතව යුගල් විය හැක. එවැනි අවස්තාවක අවතරණයක් ඇති වුවහොත් දෝෂ සහිතව කොටස් හුවමාරු වූ වර්ණදේහ ඇති වේ. සෛලයක ක්‍රියාකාරීත්වය සඳහා එක් එක් ජානයක් වෙන වෙනම වැදගත් කාර්යයක් ඉටු කරනවා මෙන්ම වෙනස් ජානයන්හි ක්‍රියාකාරීත්වයන්ද මනාව සමායෝජනය කල යුතු වේ. ජාන වල ක්‍රියාකාරීත්වයන් නිශ්චිත අනුපිළිවෙලකට සමතුලිතව සිදු විය යුතු වේ. ජාන වර්ණදේහයේ පිහිටන ස්ථානය වෙනස් වූ විට හෝ ජාන සංක්‍යාව වෙනස් වූ විට විකෘති ලක්ෂණ ඇති විය හැකිය.

  • වර්ණදේහ වල කොටස් කැඩී ඉවත් වීම.
  • වර්ණදේහයකින් කැඩී ඉවත් වූ කොටසක් වෙනත් වර්ණදේහයක් මත තැන්පත් වීම.

වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති[සංස්කරණය]

විෂමගුණකතාවය[සංස්කරණය]

බහුගුණකතාවය[සංස්කරණය]

විකෘතිකාරක[සංස්කරණය]

ස්වයංසිද්ධව සිදු වන විකෘති වලට අමතරව බාහිර සාධක වල බලපෑම නිසාද ජීවීන් තුල විකෘති ඇති වේ. මෙලෙස විකෘති ඇති කල හැකි බාහිර සාධක විකෘතිකාරක ලෙස හැඳින්වේ. විකෘතිකාරක රසායනික හෝ භෞතික විය හැක.

රසායනික විකෘතිකාරක[සංස්කරණය]

  • නයිට්රස් අම්ලය, මස්ටඩ් වායුව - DNA වල භෂ්ම වල රසායනික ව්‍යුහය වෙනස් කිරීමේ හැකියාවක් ඇත.
  • කොල්විසීන් - ඌනන හෝ අනුනන විභාජනයේ දී ඇති වන තර්කුවේ තර්කු තන්තු කඩා බිඳ දැමීමේ හැකියාව සහිතය.

භෞතික විකෘතිකාරක[සංස්කරණය]

  • UV කිරණ - DNA වල භෂ්ම අතර අතිරේක සහ සංයුජ බන්ධන ඇති කරයි.
  • X කිරණ - DNA වල පොලිනියුක්ලියොටයිඩ දාම කැඩීම සිදු කරයි.

විකෘති සහ පරිණාමය[සංස්කරණය]

කලාතුරකින් ඇති වන විකෘති ජීවියාට වඩා වාසි දායක ලක්ෂණ ඇති කරන ඒවා විය හැකිය. එසේ සිදු වන්නේ ජානයක විකෘතියක් නිසා ඇති වන ප්‍රෝටීනය වඩාත් කාර්යක්ෂම වන විටය. එසේ වූ විට එය ජීවියාගේ පැවැත්මට හෝ නව පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනයට හේතු විය හැක. එකම විශේෂයේ ජීවීන්ගේ ගෙනොම වල විකෘතීන් එකතු වීම නිසා විශේෂය තුල ජීවීන් අතර ප්‍රවේණික විවිධත්වයක් ඇති වේ. ස්වභාවික වරණයට භාජනය වන්නේ මෙම ප්‍රවේණික විවිධත්වයයි. ගහණ වල ජීවීන් අතර ඇති තරඟකාරීත්වය නිසා වඩා යෝග්‍ය ලක්ෂණ සහිත ජීවීන්ට වැඩි වාසි ලැබේ. මේ නිසා දිගු කාලයක් තිස්සේ සිදු වන ප්‍රජනනයේදී වඩා වාසිදායක ලක්ෂණ සහිත ජීවීන්ට ජනිතයින් බිහිකිරීම සඳහා ලැබෙන අවස්ථාවන් වැඩි වේ. මේ අන්දමින් ගහණයේ වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් වැඩි වන අතර අවාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් අඩු වේ. මෙලෙස, ජීව විශේෂ වල ස්වභාවික වරණය සහ පරිණාමය කෙරෙහි මූලික වන්නේ විකෘති බව පැහැදිලිය.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රවේණික_විකෘති&oldid=323329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි