පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමි

විකිපීඩියා වෙතින්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය ප්‍රදේශයේ පහමුනේ නම් ගම්මානයේ ඒකනායක මුදියන්සේලාගේ රන්හාමි මධුරසිංහ වෙද මහතාගෙත්, රැකව පත්තු කෝරළයේ හේනෙපොල එල්ලන්දකොටුවේ වලව්වේ ජයසුන්දර රාළහාමිලාගේ උක්කුඅම්මා මහත්මියගේ වැඩිමහල් දරුවා ලෙස 1851 වසරේදී උපත ලැබූ මුන්වහන්සේගේ ගිහිනම වූයේ කිරිබණ්ඩාය.

කුඩාකාලේදිම දෙමව්පියෝ මියගිය බැවින් පියාගේ ගිහිකල බාල සහෝදරයා වූ බඩගමුව රාජමහා විහාරාධිපති පහමුනේ ශ්‍රී සුමන හිමියන් යටතේ සිටි කිරිබණ්ඩා දරුවා 1863 දී පැවිදිබිමට පත්විය . උන්වහන්සේගේ ගිහිකල බාල සහෝදරයා කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ අධ්‍යාපනය ලැබ කිතුණු පූජකයෙක් විය. ඔහු ජෝන් පහමුනේ පියතුමාය.

1871 වසරේදී එවකට මල්වතු මහානාහිමි වූ මැදගම දේවමිත්ත මහානාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් , වැව්ගොන්නේ විපස්සී නාහිමියන්ගේ කර්මාචාර්‍යත්වයෙන් උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1877 දී කාරක සභාවට තේරිපත්විය. ඉන් අනතුරුව වයඹ පලාතේ ප්‍රධාන සංඝනායක හිමියන් වූ උන්වහන්සේ 1922 දී අනුනායක ධුරයට තේරිපත්විය.

1927 දෙසැම්බර් 9 දා අඹන්වැල්ල ශ්‍රී සුමංගල මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ මහානාහිමි වූ පහමුනේ සුමංගල මහානාහිමියන් වසර 18 ක් ධුරය දරමින් 1945 දෙසැම්බර් 2 දා අපවත්වූහ.