පරිශීලක:Nadee Senanayaka

විකිපීඩියා වෙතින්

ඊළාම් නිජබිම් සංකල්පය ශාස්‌ත්‍රීයව පුපුරා යැම

අනුභූතිවාදී දාර්ශනික ඩේවිඩ් හි‍ය්‍යුම්ට අනුව 'කිසියම් සංකල්පයක්‌ අර්ථවත් වන්නේ එය කිසියම් උපස්‌ථියක්‌ උදෙසා පවතින විට පමණි'. හි‍ය්‍යුම්ගේ එම වැදගත් අදහස ඊළාම් නිජබිම උදෙසා අදාළ වන්නේ මෙසේ ය.

ඊළාම් යන වචනයේ භාවිතය පිළිබඳ ඓතිහාසික වාග්විද්‍යාත්මක ගැටලුවක්‌ ඇති බව මෑතකදී සංවාදයට ලක්‌විය. යාපන වංසකතාව හෝ මහාවංසය ආදියෙහි නැති 'ඊළාම්' නමැති රාජ්‍යයක්‌ ලංකාවේ පැවැති බව සනාථ කළේ දකුණු ඉන්දීය සෙල්ලිපි පාඨ කීපයක්‌ උපකාරයෙනි. නමුත් එපරිදි පැරණි සෙල්ලිපිවල 'ඊළ' ලංකාව අදහස්‌ කිරීමට භාවිත කර නැති බවත් අනාවරණය කළේ නෙදර්ලන්ත ජාතික දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයකු වන පීටර් ෂෙල්ක්‌ ය. ඔහු ස්‌වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයාය.

දෙමළ භාෂාවෙන් ඊළාම් යන්න මාතෘ භූමිය අදහස්‌ කිරීමට යෙදෙන බව විකීපීඩියා විශ්වකෝෂයේ සඳහන් වේ. ඊළ (Eela) සහ ඊළවර් (Eelavar) සහ ඊළාම් (Eelam) 'සමරූපී ධාතු නිවස්‌න කොටගත්'බව පෙනෙයි. 'ප්‍රත්‍ය ගැන්වූ සමරූපී ධාතු නිවස්‌න කොටගත්' මෙවැනි වචනවල ප්‍රභවය සහ ඉතිහාසය පිළිබඳ හදාරන්නේ නිරුක්‌ති ශාස්‌ත්‍රයෙන (etymology) ඊළ (Eela) සහ ඊලවර් (Eelavar) නිරුක්‌ති ශාස්‌ත්‍රානුකූලව ඊළාම් (Eelam) යන්නට සම්බන්ධය. 'ඊළ' යන්නෙන් භූමි ඒකකක්‌ද, 'ඊළවර්' යන්නෙන් එහි (ඊළ) වැසියා යන්නද අදහස්‌ කෙරෙයි. පැරණි සෙල්ලිපිවල සහ සංගම් සාහිත්‍ය කෘතිවල ඊළ සහ ඊළාම් යන්න එකක්‌ බවත් 'සිහල' යන්නෙන් ඊළම යන්න හැදුණු බවත් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ රොබට්‌ කොඩ්වෙල් (Robert Caldwell (1875)1 නමැති පූජකවරයා ය. මධුරාසියේ දෙමළ ශබ්දකෝෂය ද (Madras Tamil lexicon)2 එම අදහස නැවත ඉදිරිපත් කළේ ය. ඔහුගේ නිරුක්‌ති ගැන්වීම අනුව ඉන්දු-ආර්ය භාෂාවට අයත් 'සිහල' යන්න දෙමළ 'ඊළ' යන්නට මුල් වූ බව කියවිණ. එම ප්‍රතිරෝධීව සංවර්ධනය කළ කතිරගේසු ඉන්ද්‍රපාලා (2007) 3

'ඊළ(ඉල) (Eela(Ila) > හෙල( Hela) > සිහල (ihala ) >සිංහල (Simhala)

ලෙස 'ඊළ' යන්න මුල්කොට ගෙන ඇති වූ ශබ්ද පරිණාමයකින් 'හෙල යන ප්‍රාකෘත වචනයද එයින් භින්න රූපයක්‌ ලෙස සිංහල' යන්න ප්‍රභවය ලබා ඇති බවට අදහසක්‌ පළ කළේ ය. මේ නිසා විකිපීඩියා ශබ්ද කෝෂයේ පවා මෙම අදහස පළකර ඇති අතර දිනපතා ලක්‌ෂ සංඛ්‍යාත පිරිස්‌ එම අදහස කියවනු ඇති බව පෙනෙයි. මේ අදහසට ඔවුන් ප්‍රවිශ්ට වූයේ ක්‍රිස්‌තු වර්ෂ 1 වැනි සියවසේ ලියවුණ තිsරුප්පරන්කුන්රාම් හි ඇති ද්‍රවිඩ බ්‍රාහ්මී සෙල්ලිපියක්‌ පදනම් කරගෙන ය.

'ඊළ' යන්න ලියවුණ තිsරුප්පරන්කුන්රාම් හි අංක-3 වන, ශිලා ලිපිය දිගින් සෙ. මී. 224 කි. එය ක්‍රිස්‌තු වර්ෂ 1 වැනි සියවසට අයත් ය. 1908 තරම් ඈතදී මුලින්ම ප්‍රකාශයට පත් කර ඇති එම සෙල්ලිපිය වරින් වර විවිධ ප්‍රකාශනවල නැවත පළකර තිබුණි. අයිරාවතන් මහාදේවන් 2003 වසරේ දී තම 'පූර්ව දෙමළ බ්‍රාහ්මී ශිලා ලිපි' (Early Tamil Brahmi Inscription) යන ප්‍රකාශනයේ අංක 55 යටතේ (393 පි.) විග්‍රහ කර තිබෙයි.


සිංහල පරිවර්තනය,

'එරුකාටුර් ඊළ කුටුම්පිකන් පොලාලයියන්

චෙයතාන් ආයිචායන් නෙටුචාතන්'

අදහස, 'එරුකාටුර් සිට පැමිණි ඊළ ගෘහපති - එරුකාටුර් හි ගස්‌ නගින්නන්ගේ(පවුලේ) නිවැසියාද

සංඥා නාම තුනකි 1. පොලාලයියන් (654පි.) , එරුකාටුර් ඊළ කුටුම්පිකන් පොලාලයියන්

ඊළ යන්න ගැන වැඩිදුරටත් විස්‌තර කර ඇත්තේද සෙල්ලිපියේ අර්ථ විවරණ කොට සේ නොව, පාදක සටහනකය. එනම්, '9 වැනි පාදක සටහනේ කියවෙන පරිදි, ඊළ [ila] දෙමළ සාහිත්‍යයේ (TL) කියවෙන 'ඊළාම්, [ilam] ශ්‍රී ලංකාව' ද, විකල්ප වශයෙන් 'ඊල, ගස්‌නගින කුලය(treeclimber cast] යන්නට ද දෙමළ සාහිත්‍යයේ 'ඊළ, රා(මත්පැන්) යන්නට ද දෙමළ සාහිත්‍යයේ ඊළ රා (මත්පැන්) යන්නටද කියවෙයි මුල් අර්ථකථනය සන්දර්භයට හොඳින් ගැලපෙයි..'

නමුත් වඩාත් ප්‍රචලිත කළේ ඊල යන්න පුරාණ ලංකාවේ පැවැති ද්‍රවිඩ රාජ්‍යයක්‌ බව මිස 'රා මදින කුලය' යන්න නොවේ. එය ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය සාධාරණීකරණය කළ ප්‍රමුඛතම සාක්‌ෂිය කර ගත්තේය. විවිධ වෙබ් අඩවි, සඟරා සහ පොත්වල මේ වග හැකිතාක්‌ ප්‍රචලිත කළේ ය. නමුත් එම අර්ථ කථනයේ ඇති සදොස්‌ තැන් පෙන්වාදීමට කිසිදු ලාංකිත විද්වතෙකු ඉදිරිපත් නොවීය. මේ නිසා ඊළාම් බෙදුම්වාදයේ න්‍යායික පදනම තිsරුප්පරන්කුන්රාම් සෙල්ලිපියෙන් ශක්‌තිමත් විය.

ලේඛනගතව සිටින සමාන අක්‌ෂර සහ පිල්ලම් සහිත එහෙත් අදහස්‌ වෙනස්‌ වචන වල තේරුම් වෙන කර දක්‌වන්නේ සමරූපද විද්‍යාව හෙවත් හොමොග්‍රැෆි ( homography: Crystal, David., 2008: A Dictionary of Linguistics and Phonetics, 331pp) නමැති වෙනම විෂය ක්‌ෂේත්‍රයකිනි. එක හා සමාන ශබ්ද කිරීම් ඇති එහෙත් අදහස්‌ දෙකක්‌ වන පද පිළිබඳ හදාරන්නේ හොමොෆොනි යන විෂය ක්‌ෂේත්‍රයෙනි. දෙමළ විද්වතුන් තම අදහස ස්‌ඵුට කිරීම සඳහා ප්‍රතිරෝධී අදහස්‌ සැලකිල්ලට ගෙන නැති බවද පෙනෙයි. නමුත් ඊළ යන වචනයට ඉපැරණි දකුණු ඉන්දීය මූලාශ්‍රවල විවිධ අරුත් කීපයක්‌ම භාවිත කර ඇති බව පෙනෙයි.

ඊළ යන ශබ්දකයෙන් සකස්‌ වූ පදක කීපයක්‌ම සංගම් සාහිත්‍යයික කෘතිවල කියවෙයි. සංගම් සාහිත්‍ය කෘතියක්‌ වන පට්‌ටිනාප්පාලායි(Pattinappilai) හි 'ඊලත්තු-උනාවු' (Eelattu-unavu) හෙවත් ඊළමෙන් ගෙනා ආහාර ගැන කියවෙයි. තවද සංගම් කාව්‍යයක්‌ වන ඊළත්තු පෝතන්තේවතර් (Eelattu Poothanthevanar) ඊළමෙන් පැමිණි රචනාවක්‌ බව කියවෙයි. අකනනාරු (Akananuru), කුරුන්තෝකායි (Kuruntokai) සහ නර්රිනයි (Narrinai) යන සංගම් කාව්‍ය ග්‍රන්ථවල ද ඊළත්තු යන යෙදුම තිබෙන බව කියවේ. සංගම් සාහිත්‍යයේ නිතර කියවෙන ඊළම පිළිබඳව, (යාපනයේ දී ලන්දේසි ආණ්‌ඩුකාරයාගේ ඇරයුමෙන්) මයිල්වාහනම් රචනා කළ, 'යාල්පාන වයිපවමාලෙය' නමැති වංස කතාවේ කොතනකවත් සටහන්ව නැති බව පුදුම සහගතය. එපමණක්‌ නොව මයිල්වාහනම් තම කෘතියට පාදක කරගත් 'වයිය කවීන්ද්‍රගේ, කයිලාස මාල සහ වය්යාපාඩල්' හෝ පරරාජශේඛරන් උල හෝ රාඡ් මුරේ හෝ කිසිදු පූර්ව මූලාශ්‍රයක ඊළාම් නමැති පැරණි රාජ්‍යයක්‌ පැවැති බව වාර්තා කර නැත. මේ නිසා සංගම් යුගයේ කියවෙන ඊළම දකුණු ඉන්දියාවේම පිහිටි ස්‌ථානයක්‌ විය හැකිය.

මහාචාර්ය පීටර් ෂෙල්ක්‌ ගේ අදහස,

EL 3දිනේෂ්චන්ද්‍ර සිකාර් සංස්‌කරණය කළ(1965)4, 'ඉන්දියානු ශිලා ලේඛනගත ශබ්ද මාලාවෙහි' ද ඊළාම් යන්න 'රා මදින්නන්' (Elam-puti( tax on toddy srawers)යන අදහසෙහි යෙදී ඇත. තවද 19 වැනි සියවස තරම් මෑතකදී පවා කේරළයේ 'රා මදින්නන්ගේ කුලය'(caste of toddy drawers) ඊළවර් (Eelavar) නමින් හැඳින්වූ බව පෙනෙයි. මේ පිළිබඳ වඩාත් විවාදාපන්න අදහසක්‌ ගෙනහැර පෑවේ උප්සලා විශ්වවිද්‍යාලයේ දේව ධර්මය පිළිබඳ මහාචාර්ය පීටර් ෂෙල්ක්‌( Peter Schalk 2004) නමැති නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකි.

පීටර් ෂෙල්ක්‌ ගේ අදහස්‌ දැක්‌වීම අනුව, වර්තමාන ලංකාවේ කියවෙන අදහසින් 'ඊළ' සහ පැරණි දකුණු ඉන්දීය සෙල්ලිපිවල කියවෙන 'ඊළ' රූප විද්‍යාත්මකව සහ ශබ්ද විද්‍යාත්මකව සමරූපී බව පෙනෙයි. නමුත් යුග දෙකක අන්තරයේ එම ශබ්ද භාවිත කර ඇත්තේ කුමන අදහසක්‌ උදෙසාද යන්න විවරණය කර නැත. එම නිසා වර්තමානය අතීතයට ආරෝපණය කර පැරණි සෙල්ලිපියක්‌ අර්ථගැන්වීම දෙමළ විද්වතුන් කර ඇති බව පෙනෙයි. මේ නිසා පීටර් ෂෙල්ක්‌ මූලාශ්‍ර කීපයක්‌ම 'ඊළ' යන්න කියවීමට දායක කර ගනී.

ක්‍රිස්‌තු වර්ෂ 9 වැනි සියවසට අයත් පල්ලව සහ චෝල ශිලා ලිපි කීපයකම 'රා මදින්නන්ට පනවන ලද බදු ගැන කියවෙන තැන 'ඊළ' ධාතුවෙන් උපන් පදම කීපයක්‌ම වේ. එනම් ඊළත් ෙච්රි( Eelat-cheri) රා මදින්නන්ගේ පංගුව යන්නද, රා බද්ද හෙවත් ඊළප්-පෝඩ්චි ( Eelap-poodchi) ද, රා මදින කුලය ඊළත් චාන්රන් (Eelath-chanran) යන ආදී වශයෙන් ඊළ පදකය ධාතු රූපය කරගත් රූප ගණනාවක්‌ම කේරළයට සම්බන්ධව තිබෙයි. ඊළවර් නැමැති රා මදින කුලයේ වාසභූමියක්‌ දක්‌ෂිණ කේරළයේ පිහිටි බව කියවේ. 'ඊළ කාසු'(Eela-kaasu ) සහ ඊළ කාරුන්ග් කාසු ( Eelakarung-kaasu ) යන වචන මධ්‍යකාලීන යුගයට අයත් තමිල්නාඩු කාසිවල ලියවී තිබෙත්. මේ නිසා දකුණු ඉන්දියාවේ පැරණි සෙල්ලිපිවල කියවෙන 'ඊළ' යන ධාතුව තාල වර්ගයේ ගස්‌ අදහස්‌ කරන්නට යෙදුණු බව පෙනෙයි. ඒ අනුව ඊළ ධාතුව නිවස්‌න කරගත් විවිධ පදක නිර්මාණය වේ. එනම් රා මදින කුලය ඊළත් චාන්රන් ද, ඊළවර් යන්න තල් රා මදින්නන්ගේ වාසභූමියද ලෙස කියවෙයි.

වත්මන් දකුණු කේරළයේ තවමත් ජීවත්වන ඉහවස්‌ (Ezhavas) ජනතාව ඊළාම් යන්නට ඉතාම සමාන වන අතර ඉහවස්‌ ජනතාව පුරාණ සෙල්ලිපිවල කියවෙන රා මදින කුලයෙන් පැවත එන්නන් විය හැකි ය. ඔවුන් හැඳින්වීමට ඊහව( Ilhava), ඉරව(Irava), ඊරව (Erava) යන්නද කියවෙයි. මධ්‍යම ට්‍රවන්කොර් සහ මලබාර් හි මීට වඩාත් සමාන තල් රා මදින වැසියන් වාසය කරයි. මේ නිසා ඊළවර්වරු දකුණු කේරළයේ නිවැසි පිරිසක්‌ බව කීමේ සාක්‌ෂි සෑහෙන තරම් ඇති බව සාක්‌ෂිවලින්ම කියවෙයි. ඊළාම් යන්න ලංකාවේ උතුරුකරය උදෙසා භාවිත වන්නට වූයේ 1950 තරම් මෑතකදී සිට රාජකීය ආසියාතික සංගමයේ සාමාජික විද්වතුන්ගෙන් බව හැඟෙයි. යාපන වංසකතාවේ පවා ඊළාම් යන වචනය භාවිත කර නැති නිසා ඉතිහාසයේ කිසිම යුගයක ඊළාම් යන්න ලංකාවේ කොටසක්‌ අදහසින් භාවිත කර නැත. වෝල අධිරාජ්‍යය සමයේ එහි පරිපාලකයන්ද මුම්මුඩිචෝල මණ්‌ඩලම් යන වචනය මිස 'ඊළාම්' යන්න චෝල පාලන ප්‍රදේශ හැඳින්වීමට භාවිත කර නැත. ඒ අයුරින් ෂෙල්ක්‌ ගේ මැදිහත්වීම නිසා දශක ගණනාවක්‌ පුරා දෙමළ විද්වතුන් ගෙන ගිය ප්‍රචාරාත්මක ප්‍රවාදයක්‌ නිෂ්ක්‍රීය විය. නමුත් මේ වග සිංහල පාඨකයන් සෑහෙන පමණකට දැනුවත් වී නැති බව පෙනෙයි.

'ඊළාම්' යන්නෙහි ශබ්ද ප්‍රකෘතිය 'ඊළ' බව පෙනෙයි. එය අරුත් ගැන්වෙන්නේ වෘක්‌ෂලතා නාම ගැන්වීමක්‌ යටතේ මිස භූගෝලීය හෝ ජාතිය නාමයක (race) නොවන බව පෙනෙන්නට කරුණු තිබෙයි. ඊළ යන්න රචනා කිරීමේ අක්‌ෂර හැම විටම 'ඊ' කාරයේ මාත්‍රා දෙකේ වර්ණය සහ මූර්දජ 'ළ' කාරය බව පෙනෙයි. මේ නිසා හෝමොග්‍රැෆි පදනමකින් මෙම පදකය සටහන්ව ඇති පැරණි අවස්‌ථාව වන තාලවර්ගයේ වෘක්‌ෂ නාමකරණය කළ 'ඊළ' යන්නද රාමදින කුලය හැදින්වීමේ පදකය වන 'ඊළ' ද රාජ්‍යයක නමක්‌ බව කියන 'ඊළ' යන්නද එකම ශබ්දක සහ අක්‌ෂර වලින් කියවෙයි. මෙහි මුල් රූපය ඇසුරින් දෙවැනි හා තෙවැනි රූප සකස්‌ කරගෙන ඇති බව පෙනෙන්නේ රූප විද්‍යාත්මක සමරූපීකම් වලින් ය. මේ නිසා තිරුප්පරන්කුන්රාම් සෙල්ලිපියේ කියවෙන 'ඊළ කුටුම්පිකන්' යන්න 'තල් රා මදින්නන්ගේ පවුල යන්න මිස ලංකාව ගැන කිසිත් නොකියවෙයි. මේ කියන රා මදින්නන්ද වාසය කර ඇත්තේ දකුණු කේරළයේ මිස ලංකාවේ නොවෙයි.

1870 වසර වන විට පවා කළුතර දිස්‌ත්‍රික්‌කයේ 'රා' නිෂ්පාදනය ආරම්භ වී තිබුණි. විලියම් හෙන්රි ගෙගරි ආණ්‌ඩුකාර වරයාගේ කාලයේදී (1873-1877) කළුතර දිස්‌ත්‍රික්‌කයේ 'රා' නිෂ්පාදනය දියුණු කිරීමට ආධාර දී ඇත. මේ යටතේ පොල් රා කර්මාන්තය කළුතර දිස්‌ත්‍රික්‌කයේ ශීඝ්‍රයෙන් වර්ධනය විය. එකල වාද්දුවේ විසූ සුප්‍රකට රේන්දකරුවන් දෙදෙනකු වන එලාරිස්‌ කුරේ සහ එඩ්මන්ඩ් කුරේ විසින් කේරළයෙන් සහ රා මදින්නන් 500 ක්‌ ගෙන්වා ඇති බව කියවෙයි. මෙම වාර්තාව අනුව රාමදින ඊලවර් ජනතාව 1870 න් මෙපිට කාලයකදී මෙරටට පැමිණි පිරිසක්‌ බව පෙනෙන්නට කරුණු සෑහෙන පමණකට තිබෙයි. මේ අනුව 'ඊලාම් සංකල්පය' කිසියම් උපස්‌ථිතියක්‌ (යථා රූපයක්‌) උදෙසා පවතින්නේ නැති බවත් එය අර්ථ විරහිත සංකල්පයක්‌ බවත් පැහැදිලි වෙයි.

පාදක සටහන්

1 "A comparative grammar of the Dravidian or South-Indian Family of Languages". London: Trübner & Co., pt. 2 p. 86.

2 University of Madras (1924-36). "Tamil lexicon". Madras: University of Madras. Archived from the original on 2012-12-12. (Online edition at the University of Chicago)

3 Indrapala, Karthigesu (2007). The evolution of an ethnic identity: The Tamils in Sri Lanka C.300 BCE to C. 1200 CE. Colombo: Vijitha Yapa.ISBN 978-955-1266-72-1.p. 313

4Dineschandra Sircar, 1965; Indian Epigraphical Glossary, pub.Motilal Banarsidass:239pp.

5 G.D.dayaratna. 2013:State of Sri Lanka Alcohol Indrusty and Analysis of Governing Policies Institute of Policy studies of Sri Lanka.3pp B<dï i msgqfjka

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Nadee_Senanayaka&oldid=456670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි