පරිශීලක:බිඟුවා/රචනා/හැසිරීම

විකිපීඩියා වෙතින්

සෑම ප්‍රජා කොට්ඨාශයකම එකිනෙකට වෙනස් මත දරන්නෝ සිටිති. ඔවුනොවුන්ගේ එකිනෙකට පරස්පර මත හා ආකල්ප නිසා බොහෝ විට නොයෙකුත් ආරවුල් ගැටළු නිතැනින්ම මතු වේ. එසේවුවද සමාජයේ හෝ එම සමාජ සංස්ථාවෙහි හෝ පැවැත්ම සඳහා මෙවැනි මත ගැටුම් බෙහෙවින් ඉවහල් වෙයි. එවැනි නව මත මතු නොවන කල්හී සමාජය හෝ සමාජ ආයතන හෝ එක තැන පල් වීම සිදුවෙයි. මෙවැනි මත ගැටුම් ඇති වූ කළෙක බොහෝ දෙනාගේ කැමැත්ත ජය ගනිමින් මෙම සංවාද අහවර වන්නේය. සමාජයක හෝ සමාජ සංස්ථාවන හෝ විය යුත්තේද මෙයමය. බහුතර කැමැත්තම සම්මතය විය යුත්තේය. එයට පිටතින් යමක් සම්මතය විය නොහැක. එනමුදු සංවාදයකට ඉඩ නොතබමින් කිසියම් රාජ්‍ය හෝ වෙනත් නීතිමය ආයතනයක් විසින් නීති රීති පැනවිය හැක. එවිට සමාජය හෝ සමාජ ආයතනය හෝ එයට අනුගත විය යුතුය. එහෙත් එහිදී සම්මුතියක් ඇති නොවේ. විකිපීඩියාවද සම්මුතිය මත පදනම්වූ තවත් එක් ප්‍රජා ස්ථානයකි.

පෙර කී මෙන් මෙම ප්‍රජාව තුළද නොයෙකුත් මත දරන්නන් බහුලය. බොහෝ විකිපීඩියාවල මෙම තත්වය සාමාන්‍යය ස්වරූපයක් ගනී. සිංහල විකිපීඩියාවේ මෙම තත්වය සංවාදයට නැගිය යුතු තරම් එකකි. සිංහල විකිපීඩියාව තුළ ඉතා සීමිත නියම විකිපීඩියානුවන් පිරිසක් සිටිති. ඔවුන් නියම යනුවෙන් හැඳින්වීම කිසිවිටෙක වරදක් නොවේ. ඔවුන් සත්‍ය වශයෙන්ම විකිපීඩියාවේ දියුණුව උදෙසා, එනම් එක් ප්‍රජා සත්කාරයක දියුණුව උදෙසා කැපවීමෙන් හා උනන්දුවෙන් තම කාර්යය කරන්නෝය. බොහෝ විට තම අනන්‍යතාව ගැන සැලකිළිමත් වන්නෝය. පැහැදිළි ප්‍රතිපත්තියක සිට ජීවත් වන්නෝය. නමුත් සිංහල විකියේ සිටින පරිශීලක්යින්ගෙන් බහුතරයක් මේ අය අතර නොවෙති. ඔවුනට මෙය තවත් එක් වෙබ් පිටුවකි. බොහෝ විට යමෙකෙක් කිසියම් නව අදහසක් ගෙන එන්නේ නම් ඔහුගේ කකුලෙන්ම අදින්නට බලයි. එහි හොඳ නරක විමසීමක් නොකරම එපා කියන්නටම බලයි. මෙය හොඳ සමාජයක ගති ලක්ෂණක් නොවන්නේය.

තමා මෙහි පැරණි සාමාජිකයෙකි. එමනිසා නවකයා තමන්ට අවනත විය යුතුය, නවකයා දන්න බම්බුවක් නොමැත යැයි සිතමින් තමාගේ මතයම ක්‍රියාමත්මක කිරීමට තැත් දරන්නන් පිරිසක්ද මේ අතරම වෙයි. මෙවන් පුද්ගලයෝ බොහෝවිට නිහතමානී නොවන කුලකයේ අය වෙති. ඔවුන් තමන්ගේ මතය වැරදියැයි පිළිගැනීමට කැමති නැත්තෝය. එය පිළිගත්තේ වී නම් තමාගේ ප්‍රතිරූපයට එය හානියක් යැයි සිතති. නමුත් එය වරදි අදහසකි. පරිණත වෙන්න වෙන්න නිහතමානී වීම ඉතා උතුම් ගුණයකි.

තවත් සමහරෙක් තමන්ට යම් යම් බලතල ඇත්යැයි සිතමින් ඒ ගැන මහ ලොකුවට සිතාගෙන සිටිති. එම බලතල අනිසි ලෙස භාවිතා කිරති. ඒවා භාවිතයෙන් තමන්ගේ මතයම ස්ථාපිත කිරීමට සිතති. තමන්ට බලතල ලැබුණේ කොයින්ද, කුමක් සඳහද යන්න අමතක කරති. තමා පොර යැයි සිතති.