පංචායුධය

විකිපීඩියා වෙතින්
පංචායුධයක්

පංචායුධය යනු සිංහල ජන සමාජයේ දෙමාපියන් විසින් සිය කුඩා දරුවන්ගේ කරෙහි, ඉණෙහි පළඳවනු ලබන රත්තරනින් හෝ රිදියෙන් තැනූ අාභරණයකි. අළුත උපන් බිළිඳෙකුගේ ගෙළේ පංචායුධයක් පැළැඳවීම, සම්මත මංගල කරුණක්‌ ලෙස අතීත මාපියන් විසින් සළකන ලදී.

නාමය[සංස්කරණය]

පංචායුධ යන නාමයෙහි අර්ථය අායුධ පහක් යන්නයි. කුඩා දරුවන්ගේ පළඳවනු ලබන පංචායුධයේද අායුධ වර්ග පහක සංඛේත දැකගත හැකිවේ. පංචායුධයක අන්තර්ගත වන එම අායුධ වර්ග පහ වනුයේ,

  • ත්‍රිශූලය
  • කඩුව
  • දුන්න
  • සංඛය
  • පාරා වළල්ල වේ.

පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන පංචායුධ කුමාරයාගේ කතාවද, මෙහි නාමය සමග සබැඳෙන බව විශ්වාස කෙරේ.

විශ්වාසය[සංස්කරණය]

අළුත උපන් බිළිඳු දරුවෙකුගේ ගෙළෙහි පංචායුධයක් පැළැඳවීමෙන්, එම දරුවා ඇස්‌වහ කටවහ දෝෂ, ග්‍රහ අපල දෝෂ අාදී අනෙකුත් පෙනෙන නොපෙනෙන දේෂ වලින් අාරක්ෂා වනු අැතැයිද,[1] එසේම දරුවා තුල ඉන් තේජස ජනිත වේයැයිද, අතීත දෙමාපියන්ගේ විශ්වාසය විය.

කුඩා දරුවන්ගේ පමණක් නොව, උපදින දරුවාද ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් අතීතයේ දී ගර්භනී මවුවරුන්ට ද පංචායුධ පළඳවා ඇති බව පැවසේ.[2]

සබැඳි සිරිත්[සංස්කරණය]

පංචායුධයක් තැනීම හා පළඳීම එකල සුභ නැකැත් අාශ්‍රිතව සිදු විය.

  • පංචායුධය තැනීම - බිළිඳු දරුවා උපන් දවසේම හෝ ඉපිද පස්‌වන දවසේදී (හෝ පසුව) පංචායුධය තනනු ලැබේ. එහිදී පිරිමි දරුවෙකු සඳහා මදටිය ප්‍රමාණයක බරට රත්රන් ප්‍රමාණයක්ද, ගැහැණු දරුවෙකු සඳහා ඉන් භාග ප්‍රමාණයක බරට රත්රන් ප්‍රමාණයක්ද ගනු ලැබූ බව සඳහන් වේ.
  • පංචායුධය ජීවම් කිරිම - සමහර ප්‍රදේශ වල තනනු ලැබූ, පංචායුධය පැළඳවීමට පෙර නිසි පිළිවෙත් පරිදි ජීවම් කිරීම සිදුවෙයි.
  • පංචායුධය පැළඳවීම - කුඩා බිළිඳු දරුවා ඉපදී මාස කිහිපයක් (සමහර තැන්හී එය ඉපිද දින පහත් දහයත් අැතුළත ලෙස දැක්වේ[3]) ගිය පසුව (බොහෝ විට ඉඳුල් කට ගාන දිනයේදී), රත්‍රං පතක කැටයම් කරන ලද අායුධ පහ එනම් පංචායුධය ආභරණය, සුබ මුහුර්තයකින් සියලු චාරිත්‍ර විධි ඉටුකොට දරුවාගේ ගෙළ පැළඳවනු ලබයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "කිරිකැටියාට කිරි කළ හතක් පෙවුණු විට..." සිළුමිණ. 2011-03-27. සම්ප්‍රවේශය 2015-01-20.
  2. "පංචායුධය ආභරණයක්‌ නොව ආරක්‍ෂාවකි". දිවයින. 2014-04-20. සම්ප්‍රවේශය 2015-01-20.
  3. "පංචායුධය පළදවන්නේ ඇයි". නවලිය. 2010-10-18. සම්ප්‍රවේශය 2015-01-20.
"https://si.wikipedia.org/w/index.php?title=පංචායුධය&oldid=469574" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි