නිර්මාණය

විකිපීඩියා වෙතින්

ප‍්‍රායෝගික කැමරා කාචයක් බොහෝවිට අතුලතට පැමිණෙන ආලෝකය පාලනය කිරීම සඳහා වන කාච සිදුර වෙනස් කිරීමේ යාන්ත‍්‍රණයකින් සමන්විත වෙයි. මුල්කාලීන කැමරාවන් භ‍්‍රමණය වන ඵලකයක් හෝ විවිධ ප‍්‍රමාණයේ සිදුරුවලින් යුත් රූපන කිහිපයකින් සමන්විත විය. මෙවැනි යාන්ත‍්‍රණයන් සාපේක්‍ෂව නවීන විශේෂිත කාචයන්හිද දැකගත හැක. ආලෝකය ඇතුල්වන කාළය පාලනය කිරීම සඳහා ද්වාරයක් ඇති අතර එය කාචය හෝ කාච තලයේ පිහිටවා තිබිය හැක. කලාතුරකින් කාචයට ඉදිරියෙන්ද එය පැවතියහ හැක. පත‍්‍රිකා ද්වාරයන්ගෙන් සමන්විත කාච සහිත කැමරාවන්හි කාච සිදුර වෙනුවට එම කාර්යය ද්වාරය විසින්ම සිදු කරයි.

කාචය නාභිගත කිරීම සාමාන්‍යයෙන් සිදුකරනු ලබන්නේ කාචය සහ රූපය නිර්මාණය වන තලය අතර දුර සීරුමාරු කිරීමෙනි. සමහර කාචයන්හි කාච පද්ධතියේ අංගෝලාංගයන් චලනය කිරීමෙන් මෙය සිදුකරන අතර එය හඳුන්වන නාමය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙයි. Nikon සමාගම එය CRC තාක්‍ෂණය ලෙසින් හඳුන්වන අතර Hasselblad සමාගම එය හඳුන්වන්නේ FLE යන නමිනි.

කාචයේ කොටස් නිර්මාණය කරනු ලබන්නේ පාරද්‍රෘෂ්‍ය අමුද්‍රව්‍යයන්ගෙනි. එහි පවත්නා ද්‍රෘෂ්‍යමය ගතිකයන් හා සීරීම්වලට ඔරොත්තුදීමේ ලක්‍ෂණය හේතුවෙන් වඩාත් ප‍්‍රචලිත ලෙස යොදාගනු ලබන්නේ වීදුරුය. සමහර අවස්ථාවන්හිදී ක්වාර්ට්ස්, ෆ්ලෝරයිට් වැනි අමුද්‍රව්‍යයන්ගෙන්ද කාච නිර්මාණය කරනු ලැබේ. ඇක‍්‍රලික් වැනි විවිධ ප්ලාස්ටික් වර්ගයන්ද මේ සඳහා යොදාගනු ලබයි. තවත් සමහර අවස්ථාවන්හිදී ජර්මේනියම් සහ උල්කාෂ්ම වීදුරුද මේ සඳහා යොදාගනු දැකිය හැක. ප්ලාස්ටික් මඟින් ශක්තිමත් අගෝලීය කාචයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතී. නමුත් ඒවා පහසුවෙන් සීරීම්වලට ලක්වේ. වසර ගණනාවක් තිස්සේ මිළ අඩු කැමරාවන් සඳහා ප්ලාස්ටික් යොදාගැනින. නමුත් ඒවා පිලිබඳව ඇත්තේ අපකීර්තිමත් ප‍්‍රතිචාරයකි. කෙසේවෙතත් නූතන ඉහල කි‍්‍රයාකාරීත්වයක් සහිත (මිළ අධික) ජනපි‍්‍රය නිෂ්පාදකයින් විසින් නිපදවනු ලබන අගෝලීය කොටස් සඳහා අඹරන ලද හෝ දෙමුහුම් ප්ලාස්ටික් යොදාගනු ලබන අතර ඒ අනුව ප්ලාස්ටික් කාචයන් හැමවිටම ගුණාත්මක බවින් දුබල ඡායාරූපයන් ප‍්‍රතිඵල කරන්නේය යන්න තවදුරටත් වලංගු නොවන්නකි.

1951 දී එළිදක්වන ලද එක්සත් ජනපද විභේදන බලය මැනීමේ පරීක්‍ෂණ වාර්තාව ප‍්‍රමිතිගත ආකාරයකින් කාචයේ බලය මැනීමේ ක‍්‍රමවේදයක් විය. කාචය තනා ඇති අමුද්‍රව්‍යයන්හි ගුණාත්මකභාවය, ආලේපනයන් සහ අභ්‍යන්තර නිෂ්පාදනය යන සියල්ල කාචයේ විභේදන බලය කෙරෙහි බලපෑම් කරයි. විවර්තනය හේතුවෙන්ද කාචයේ ගුණාත්මක බව හීන වෙයි. වර්තමානයේ බොහෝ කාචයන් අනවශ්‍ය බලපෑම් අවම කරගැනීම සඳහා ආලේපන තට්ටු කිහිපයකින්ම යුක්ත වෙයි. සමහර කාචයන්හි පාරජම්බූල ආලේපනයක් ගල්වා ඇත්තේ ඡායාරූප සංවේදී ද්‍රව්‍යයන් පාරජම්බූල ආලෝකයට නිරාවරනය වුවහොත් නොගැලපෙන වර්ණ ප‍්‍රතිඵල කිරීම අවම කිරීම සඳහාය. වර්තමානයේ කාච ඇලවීමට භාවිතා කරන ද්‍රව්‍යයන් විසින් පාරජම්බූල ආලෝ්කය නවතනු ලබන බැවින් පාරජම්බූල පෙරනයන් භාවිතා කිරීමේ අවශ්‍යතාවය මඟහැරී ඇත. මේ හේතුවෙන් පාරජම්බූල ආලෝකය සිය ඡායාරූපකරණය සඳහා යොදාගැනීමට අදහස් කරන ඡායාරූප ශිල්පීන්ට ඊට කැමරාවන් සොයාගැනීම අසීරු වී ඇති අතර බොහෝවිට ඔවුහු පවතින කැමරාවක පාරජම්බූල ආලේපනය ඉවත්කර ඒ සඳහා යොදාගනිති.

"https://si.wikipedia.org/w/index.php?title=නිර්මාණය&oldid=469550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි