නාත්තන්ඩිය මහජන පුස්තකාලය

විකිපීඩියා වෙතින්

වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි වූ ප්‍රථම පුස්තකාලය ලෙසින් වර්ෂ 1975 දී පමණ ආරම්භ කරන ලද නාත්තන්ඩිය මහජන පුස්තකාලය වර්තමානය වන විට නාත්තන්ඩිය බල ප්‍රදේශයට අයත් පුස්තකාල 13කින් යුත් පුස්තකාල පද්ධතියේ ප්‍රධාන පුස්තකාලය වේ. 1999 ජූලි 30 වනදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් තෙවන ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙසින් නම් කරනු ලැබූ නාත්තන්ඩිය මහජන පුස්තකාලය වර්තමානය වන විට දෙවන ශ්‍රේණියේ පුස්තකාලයක් බවට පරිවර්තනය වී ඇත. ආරම්භයේදී ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේම පවත්වාගෙන ආ මෙම පුස්තකාලය 2009 අගෝස්ත 31 වන දින නව දෙමහල් ගොඩනැගිල්ලක නව මුහුණුවරකින් සියලු පහසුකම් සමගින් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විවෘත විය.

වර්තමානය වන විට පොත් 13000කට අධික ප්‍රමාණයකින් යුත් නාත්තන්ඩිය මහජන පුස්තකාලයේ පාඨක සංඛ්‍යාව 3100 ඉක්මවා ඇත. පොත් බැහැදරීමේ අංශය, විමර්ශන අංශය, ළමා අංශය, පුවත්පත් කියවීම් අංශය, සගරා අංශය, අධ්‍යයන අංශය, විද්‍යුත් පුස්තකාල අංශය, පොත් බැදුම්කරණ අංශය ආදී අංශ වලින් සමන්විත නාත්තන්ඩිය මහජන පුස්තකාලට අයත් ජංගම පුස්තකාල රථයක් සහ පුවත්පත් කියවීම් ශාලා 03ක් වර්තමානය වන විට පවතී. මෙම සේවාවන්ට අමතරව පාඨක සමාජය හරහා නිරන්තව සිදු කරන පාඨක දැනුම ප්‍රවර්ධන වැඩසටහන්, ආගමික වැඩසටහන්, සමාජ සත්කාරක වැඩසටහන් ආදිය නිසා නාත්තන්ඩිය මහජන පුස්තකාලය ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.