අනුරාධපුර-නගරය පුළුල් වෙයි

විකිපීඩියා වෙතින්
(නගරය පුළුල් වෙයි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

පූජනීය මධ්‍යස්ථානයක් ලෙස සහ පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස නගරයේ ජනප්‍රියතාවය වැඩි විය. නගරයේ ස්ථිර පදිංචිය සඳහා විශාල පිරිසක් ඇදී ආහ. වැඩි වන ජනගහණයට සරිලන පරිද්දෙන් පහසුකම් වැඩි කරන ලදී. වසභ රජතුමා පොකුණු විශාල සංඛ්‍යාවක් තැනෙව්වේය. නගරයට ජලය සැපයීම සඳහා භූගත වාරි ක්‍රම ජාලයකින් මෙම පොකුණුවලට ද ජලය සැපයුණේය. තිස්ස සහ අභයවාපිය ද, නුවර වැවද සාදන ලදී. මල්වතු ඔය හරහා වේල්ලක් බැඳ නාච්චිදූව වැව නිර්මාණය කළේය. එහි විශාලත්වය අක්කර 4408 කි.

නගරයෙහි උද්‍යානද සකස් කර තිබුණි. තිසා වැව (තිස්සවාපී) බැම්මට පහළින් වූ රන්මසු උයන එවැන්නකි. එහෙත් එය සම්පූර්ණයෙන්ම වෙන් වූයේ රාජකීයන් සඳහාය. බලධාරීන් විශේෂ අවධානයක් යොමු කළ අනෙක් කරුණු දෙක වූයේ සෞඛ්‍ය සේවාවන් සහ අධ්‍යාපනයයි. නගරය තුළ රෝහල් කීපයක් තිබුණි. හතර වැනි සියවසේ දෙවැනි උපතිස්ස රජතුමා ආබාධිතයන්ට සහ අන්ධයින්ට නිවාස සහ වාසස්ථාන සැපයුවේය. බුද්ධදාස (337-365) ඉතා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුද වූයේය. ඔහු සෑම ගම් දහයකටම එක් කාර්ය භාර වෛද්‍ය වරයෙකු පත් කළේය. මෙම වෛද්‍යවරුන්ගේ නඩත්තුව උදෙසා කුඹුරුවල ආදයම් වලින් දහයෙන් එකක් වෙන් කෙරිණි. ඔහු සෑම ගමකම රෝගී පුද්ගලයන් සඳහා ආරක්ෂිත ස්ථාන පිහිටෙව්වේය. සතුන් ගැන සොයා බැලීමටද වෛද්‍යවරු යෙදවුයේය. කස්සප (914-923) අනුරාධපුර දකුණු දොරටුව ආසන්නයේ රෝහලක් ආරම්භ කළේය. සෙන්පති සේන දහවැනි ශත වර්ෂයේදී උත්සව වීදිය (මන්ගල වීදිය) ආසන්නයේ රෝහලක් ඉදි කළා යයි විශ්වාස කෙ‍ෙර්. පණ්ඩුකාභය රජු නගරයේ සනීපාරක්ෂක කටයුතු සඳහා ගත් ක්‍රියා මාර්ගයේදී රෝහලක් ගොඩ නැගුවේය. එසේ විස්තර සඳහන් වීමෙන් සනීපාරක්ෂක කටයුතු පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ.4 වැනි සියවස දක්වා දිවයන බව පෙනේ. නගරය පිරිසිදුව තබා ගැනීමේ භාර දූර කාර්ය විශාල ශ්‍රම හමුදාවකට පවරා තිබුණි.

කුඹුරුවලට ජලය සැපයීම සඳහා මෙන්ම නගරයට ජලය සැපයීමට ද නගර පාලකයෝ විශාල වැව් තනවන ලදී. නුවර වැව සහ තිසා වැව නගරය තුළ එසේ සාදන ලද ප්‍රසිද්ධ වැව් විය.

මහ නගරය

ක්‍රිස්තු යුගය ආරම්භ වන කාලය වන විට අනුරාධපුර නගරය ශ්‍රී විභූතියෙන් උච්ඡස්ථානයට පත් වී තිබුණි. එය ශ්‍රේෂ්ඨත්වයෙන් නයින වේ. (Nineveh) සහ බැබිලන්වලට නොදෙවෙනි විය. විශාලත්වය ද එවැනිය. සැතපුම් 256 ක පෙදෙසක් ආවරණය වනසේ තැනූ, එක් පැත්තක් සැතපුම් 16 ක් දික් වූ පවුරු හතර එහි වාසය කළ අති විශාල පිරිස, අලංකාර සිද්ධස්ථාන හා විශාල ප්‍රමාණයක මන්දිර, මේ හැම එකක්ම මහා පරිමාණයෙන් විය. පුරාණ ලෝකයේ අති විශිෂ්ට වාරී සංකීර්ණ ක්‍රමයන් ගෙන් කිහිපයක් එහි තිබුණේය. මේවා වියලි කලාපයෙහි පිහිටියේය.පාලකයෝ වගා බිම්වලට ජලය සැපයීම සඳහා බොහෝ ප්‍රමාණයක් වැව් ඉදි කළහ. මේවායින් බොහොමයක් අද ද සුරැකිව පවතී. මෙම වැව්වලින් කිහිපයක් අදටත් ලෝකයේ සුරැකිව පවත්නා පැරණිතම ජලාශයන් යයි විශ්වාස කරනු ලැබේ.