දෝලාව
වර්තමාන සමාජයේ පවතින ආකාරයෙන් සුඛෝපභෝගී අයුරින් නොව වහල් මෙහෙය නැතහොත් වැඩවසම් සමාජ පසුබිමක් පැතිර පැවතියා වූ සිංහලයේ රාජ්‍ය පාලන අවධීන් තුළදී රජුන් ප්‍රධාන ඇමැතීන්, රදලයින්, නිලමේවරුන්, දිශාවේවරුන් යනාදී සිංහල ප්‍රධානීන් ගමනාගමනය උදෙසා (ප්‍රවාහනය) යොදාගනු ලැබූ ක්‍රමෝපායන් කිහිපයක් පැවතුණි. එහිදී මූලික වශයෙන්ම යොදාගත් ක්‍රමයක් ලෙස අලි ඇතුන් හෝ අශ්වයින් යොදා ගනිමින් ගමන් කිරීම සිදුවිය. මේ ක්‍රමයෙන් පසුව වඩාත් ප්‍රචලිත ක්‍රමයක් වශයෙන් සමාජය තුළ දක්‌නට ලැබෙනුයේ දෝලාව මගින් ගමන් කිරීමය. එකල සමාජය තුළ වැඩි වශයෙන්ම යොදාගනු ලැබුයේද දෝලා භාවිත කරමින් ගමනාගමනය සිදු කිරීමය. අලි ඇතුන් හා අශ්වයින් යොදාගත් ක්‍රමය බොහෝ සෙයින් දේශපාලනික වශයෙන් ඇතිවූ යුද්ධ වැනි හදිසි අවස්‌ථාවලදී පමණි. එහෙත් අශ්වයින් හා අලි ඇතුන් බඳින ලද රථද එකල සමාජයේ ගමනාගමන කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවී තිබිණි. කෙසේ වෙතත් එසේ ගමනාගමන කටයුතු සිදු කිරීමේදී ප්‍රායෝගිකව එය සිදු කිරීම අපහසු වී ඇත. එනම් අශ්වයන් හා අලි ඇතුන් යෙදූ රථ ගමන් කිරීමට යෝග්‍ය පරිදි දිවූ මාර්ග එකල නොවීමයි. එහෙයින් ගමනාගමන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි පහසුම ක්‍රමය දෝලාව යොදා ගැනීම විය. වඩාත් සුඛෝපභෝගී ක්‍රමයකට අනුගතව සාදන ලද දෝලාව මිනිසුන් යොදා ගනිමින් ඔසවාගෙන යන ලදී. එපමණක් නොව පුද්ගල ආරක්‌ෂාව හොඳින් මෙමගින් සැලසුණි. අශ්වයින් හෝ අලි ඇතුන් පිටින් ගමන් ගැනීමේදී මෙන් නොව වඩා සුරක්‌ෂිත භාවයක් මෙතුළින් ලැබී තිබේ.
සිංහල රාජධානි සමයන් තුළදී යොදා ගනු ලැබූ දෝලාව එකල සමාජයේ ජීවත් වූ සෑම පුද්ගලයෙකුටම යොදා ගැනීමට පුළුවන්කමක් නොතිබිණි. විශේෂයෙන් එය භාවිතා කළ හැකි වූයේ මේ කාලයේ රටේ උසස් නිලධාරි පංතියට පමණි. එනම් රජ, රදළ. අගබිසව් රජුගේ අවශේෂ බිසෝවරුන්ට හා එකල සමාජයේ වැඩ සිටි ප්‍රධාන නායක සංඝයාටය. කිසි විටෙක මොනයම් ආකාරයකින් වුවද සාමාන්‍ය ජනතාවට දෝලාව තහනම් එකක් වී ඇත. පෙර දැක්‌වූ පරිදි සමාජයේ විශේෂිත වූ කොටසකට දෝලාව පරිහරණය කළ හැකි වුවත් ඒවා විවිධාකාර විශේෂත්වයන්ගෙන් යුක්‌තව පැවතී ඇත. සිංහල සමාජයෙහි භාවිතයට යොදාගත් දෝලා වර්ග රාශියක් පැවතුණි. ඒ අතරින් සමාජයේ දරනු ලැබූ එක් එක් නිලයට නැතහොත් සුවිශේෂී පුද්ගලයන්ට වෙන්වූ විශේෂිත නාමයකින් හඳුන්වනු ලැබූ දෝලාවන් විය. එනම්,
"කූණම" - රජු විසින් භාවිතා කරනු ලැබූ දෝලාව
"දොලීය" - අග බිසවගේ දෝලාව
"ඉදෝලීය" - සෙසු බිසෝවරුන් යොදාගනු ලැබූ දෝලාව
"පල්ලැක්‌කිය" - ප්‍රධාන නායක හිමිවරුන් සඳහා වෙන්වූ දෝලාව
"දෝලාව" - රදලයින් හා අමාත්‍යවරුන් සඳහා යොදාගත් දෝලා
''රන් දෝලිය'' - දේවාභරණ වැඩම කරවීමට
''රන් සිවිගේ'' - ධාතු වැඩම කරවීමට
යනාදී වශයෙන් විවිධ නාමකරණයෙන් යුක්‌තව විශේෂත්වයකින් යුක්‌තව දෝලා යොදා ගන්නා ලදී. එපමණක් නොව පූජ්‍යස්‌ථානයන්හි කරඬු, දේවාලයන්හි දේවාභරණ වැඩමවීම සඳහා භාවිතා කරනු ලැබුවේ රන්දෝලීය හෙවත් රන් දෝලාවයි. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩමවීමේදී රන් සිවිගෙය භාවිත කර ඇත.
මේ ආකාරයෙන් දෝලා වර්ග ගණනාවකින් යුක්‌ත වූ අතර එසේ පැවති දෝලා සකස් කිරීමේදී එකිනෙකට වෙනස් අයුරින් ඒවා සැකසීම සිදුව ඇත. මෙහිදී රජු උදෙසා ඉදිකරන ලද දෝලාව (කූණම) සුවිශේෂී වූවකි. මෙය දෝලාවේ පියස්‌ස රිදියෙන් නිමවා ඇති අතර එහි මුදුනෙහි රනින් කරන ලද කොත් කැරලි පහකින් යුක්‌ත විය. එයින් හතරක් පියස්‌සේ සිවි කොනට යොදන ලදී. ඉතිරි කොත් කැරැල්ල පියස්‌ස මධ්‍යයේ යොදා ඇත. දෝලාවේ අභ්‍යන්තරය ඉතා සුව පහසු වටිනාකමකින් වැඩි රෙදිපිළි යොදා හිසට හා පයට කොට්‌ට මෙට්‌ට අතුරා සුවසේ සැතපී අවට පිරික්‌සමින් ගමන් කිරීමට හැකිවන අන්දමින් නිමවා තිබේ. දළ වශයෙන් කූණම (රජුගේ දෝළාව) දිගින් අඩි හයක්‌ද, පළලින් අඩි හතරක්‌ද වන සේ නිමවා තිබූ බව ඓතිහාසික තොරතුරු බොහෝ ප්‍රමාණයෙන් අන්තර්ගතව ඇති Ceහකදබ aබා සඑs ජ්ච්ඉසකසඑසැs ග්‍රන්ථයෙන් සඳහන් වී ඇත. බොහෝ දුරට රජුගේ දෝලාව (කූණම) අනෙකුත් ප්‍රභූන්ගේ දෝලාවන්ට වඩා විවිධත්වයකින් යුතුව නිමවා තිබිණි. නිමවන ලද අනෙකුත් දෝලාවන් රැගෙන යැමේදී සෘජු පොල්ලක් යොදනු ලැබූවද පූණම සඳහා යොදාගනු ලැබුයේ මැදින් මදක් නැමීගිය පොල්ලකි. එහිදී වැඩි වශයෙන්ම ඒ සඳහා යොදාගත් දැවයන් වූයේ කළු උණ ගොබිල් සහ නුග, අරළු යනාදියයි.
මේ ආකාරයට කූණම රැගෙන යැමේදී යොදා ගන්නා ලද පොල්ල නැවීම සඳහා යොදාගනු ලැබූ තාක්‍ෂණය සුවිශේෂී වූවකි. එනම් කළු වුණු ලීයක් යොදා ගන්නේ නම් ප්‍රථමයෙන් එය අවශ්‍ය ආකාරයට කපා ගැනීම සිදුකොට අනතුරුව එක් කෙළවරක ගැටයක් ඉවත්කොට අනෙක් ගැට සියල්ල යකඩ කූරක් යොදා ගනිමින් හිල් කරනු ලබයි. ඉන්පසු ඒ සිදුරු තුළින් ඇතුළතට තල තෙල් පුරවා අනෙක් කෙළවරට ඇබයක් සිරකර ගනී. මෙලෙස දින කිහිපයක් තබා ගැනීමෙන් පසුව ලීය තෙල් උරා ගැනීමෙන් අනතුරුව ලීය සමතලා බිමක තබා රඳවා ගැනීමට කූඤ්ඤ තදකරනු ලැබේ. එසේ කූඤ්ඤ තද කිරීමෙන් අනතුරුව අවශ්‍ය ස්‌ථානයේ උවමනා ආකාරයට ලීය නමා ගැනීමට හැකිවී ඇත. මේ අයුරින් සුවිශේෂී ක්‍රමයක් මගින් දෝලාවේ පොල්ල නිමවා තිබේ. කූණම නිමවීමේදී නැමුණු පොල්ල භාවිතයට ගැනීම අනිවාර්ය වූවක් විය. එමෙන්ම කිසිම විටෙක අනෙකුත් දෝලාවන් සඳහා මෙලෙස පොලු යොදා ගැනීම සිදු කිරීමට නොහැකි විණි. මේ ක්‍රමය පිළිගත් චාරිත්‍රාංගයක් වශයෙන් පැවති අතර මොනයම් ආකාරයකින් වුවද එය උල්ලංඝනය කිරීමට නොහැකි විය. කෙසේ හෝ එලෙස පැවති රජුගේ ආඥව කඩ කළහොත් ඒ තැනැත්තාගේ සියලු දේපළ රජු විසින් අහිමි කරදමන බවට නීති පැවති බව තොරතුරු සඳහන් වී ඇත.
දෝලාවන් රැගෙන යැමේදී ඒ කාර්යයන් සඳහා වෙන්වූ පිරිසක් එකල සමාජයේ ජීවත් විණි. කූණම, දෝලීය, ඉදෝලීය ඔසවාගෙන යැම සඳහා "මඩුවේ ඇත්තන්" වශයෙන් විශේෂිත වූ පිරිසක් විය. රජ පවුලට අයත්ව පැවති දෝලා සුරක්‍ෂිතව තැබීමට වෙන්වූ ස්‌ථානයක්‌ද වූ අතර එය කූනම් මඩුව වශයෙන් හැඳින්වේ. කූනම් මඩුව සෑම විටම රජමාලිගය අසල පිහිටා තිබූ අතර දෝලා සේවය සඳහා පැමිණීම අත්‍යවශ්‍ය රාජකාරියක් වී පැවතුණි. කූනම් මඩුවේ සියලු කාර්යයන් (ධුරාවලිය) භාරව කටයුතු කිරීමේ වගකීම කුනම් මඩුවේ ලේකම් නම් ප්‍රධාන නිලධාරියාට පැවරිණි. මොහුගේ සහාය සඳහා තවත් අතිරේක ලේකම්වරු දෙදෙනකු වූ අතර ඔවුන් දෙදෙනාගේ සහාය සඳහා "ඝට්‌ටම්බිලා" යන නිලධාරියා විය. මොවුන් සෑම විටම රජ වාසලින් කැඳවීමක් ලැබෙන තුරු බලා සිටි අතර එක් වාරයකට ඝට්‌ටම්බිලා දෙදෙනෙක් සේවය සඳහා පෙනී සිටියහ. ඝට්‌ටම්බිලාට ලැබෙන නියෝගයන් යටතේ දෝලාව රැගෙන යැම සඳහා "ගමයන්" සේවයේ නියෑලුනි. ලේකම්වරුන් යටතේ පැවතියා වූ කූනම් මඩුව කොටස් දෙකකින් යුක්‌ත වූ අතර එයින් එක් කොටසකට පේරු (පංගු) පහ බැගින් බෙදී පැවතුණි. එසේ පැවති පේරු (පංගු) දහයක් වශයෙන් කොටස් දෙකෙහිම එකතුවක්‌ව පැවතී ඇත. එසේ පැවති පේරු දහයේ එක් පෙරුවක නායකත්වය උසුලනුයේ ඝට්‌ටම්බි විසිනි. ඒ අනුව පේරු දහය සඳහා එක් පේරුවකට ඝට්‌ටම්බිලා එක් අයෙකු බැගින් දසදෙනකු විය. තවද මේ එක් පේරුවක් සඳහා ගමනයන් විසිඅටකු විය. එහෙයින් කුනම් මඩුවේ සිටි මුළු ගමයින්ගේ සංඛ්‍යාව දෙසීය අසූවකි. ලාංකීය රාජ්‍ය පාලන අවධිය තුළදී කූණම් මඩුවේ ගමයෝ යනුවෙන් වෙනම සමාජය තුළ කුලයක් පැවතුණි. මොවුන්ගේ ප්‍රධාන මෙහෙය වූයේ කූණම් රාජ්‍යය නියෝගයට අනුව අදාළ ස්‌ථානය වෙත රැගෙන යැමයි. මේ ආකාරයට කූණම් රැගෙන යැම සඳහා එකල සමාජයේ ගමනයන් පවුල් 300-400 ක් පමණ ජීවත් වූ බව පෙන්වා දී තිබේ. මේ අන්දමට කුණම් රැගෙන යන්නවුන් "ඌලියක් කාරයෝ" නමින්ද හඳුන්වා ඇත.
ඝට්‌ටම්බිලා පත්කරනුයේ කූනම් මඩුවේ භාරකාරත්වය හිමි ප්‍රධාන ලේකම් විසිනි. ඝට්‌ටම්බිලාට පැවරී තිබූ සුවිශේෂී කාර්ය වූයේ සෑම විටම පේරුවට අයත් දස දෙනාගෙන් යුත් පිරිස රජ මාලිගය පිහිටි නුවර සමීපයේ නැවතී සිටීමයි. මොවුන්ගේ රාජකාරිය ඉතා උසස් අන්දමේ එකක් වූ හෙයින් මොවුන් සිදු කරනු ලැබූ වරදවල් සඳහා කිසි විටෙකදී ශාරීරික වධ හිංසනයන් සහිත දඬුවම් ලබාදීම කළ නොහැකි විය. එපමණක් නොව ඝට්‌ටම්බිලාට දෝලා රාජකාරියට අමතරව පැවරුණු රාජකාරි සේවාවක්‌ද විය. එනම් රජ මාලිගය තුළ රජු යහන්ගතව නිදා සිටින මොහොතේ ඝට්‌ටම්බිලා දෙදෙනෙකු යහනට යාර හරතක් හෝ පහක් ඈතින් හිඳ මුර කිරීම පැවරී තිබිණි. මෙසේ පැවරී තිබූ කටයුත්ත "යාම කිරීම" යනුවෙන් හඳුන්වා දී ඇත. විටින් විට එනම් යාමයෙන් යාමය ඝට්‌ටම්බිලා දෙදෙනකු බැගින් මාරු වී මේ රාකාරිය සිදු කරන ලදී.
එකල සමාජයේ රාජ්‍ය පාලනය ගෙන යනු ලැබූ රජුගේ ගමන් කොටස් දෙකක් වශයෙන් සිදුවිණි. එනම් දහවල හා රාත්‍රී යනාදී වශයෙනි. එසේ රජු ගමන් කරනු ලැබූ සෑම මොහොතකදීම කූණම් මඩුව තුළ ගමයෝ විසිඅටදෙනාම රාජකාරියට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුය. ඇතැම් අවස්‌ථාවලදී රජු විවිධ කාර්යයන් සඳහා රාත්‍රී කාලයේ ගමන් කරන විට පන්දම් රැගෙන යන්නන් ඉදිරියෙන් ගමන් කරනු ලබති. පන්දම් ගෙන යැම සිදු කරනු ලබන්නේද කුණම් මඩුවේ සේවයේ නියුතු ගමයන් විසිනි. දහවල් කාලයේ රජු ගමන් යැමේදී දෝලාව සමග තල්පත් වඩන්නෝද දෙපසින් ගමන් කරනු ලබයි. එම තල්පත් ගෙන යැමේ කාර්යයද සිදු කරනුයේ කුණම් මඩුවේ ගමයන්මය.
අගබිසව සඳහා වෙන්වූ දෝලීය, අවශේෂ බිසවුන් සඳහා වෙන්වූ ඉදෝල රැගෙන යැමද කූණම් මඩුවේ ගමයන් අතින්ම සිදුවිණි. ඇතැම් අවස්‌ථාවලදී අග බිසවගේ ගමන් එතරම් දීර්ඝ නොවූ කෙටි ඒවා වූ අතර එම දෝලාව (දෝලීය) ඇතුළත කිසිවෙකුටත් නොපෙනෙන ආකාරයෙන් සළු පිළිවෙලින් සරසා තිබිණි. ඇතුළතින් පිටත පෙනෙන අකාරයෙන් මිස පිටත සිටින්නෙකුට ඇතුළ නොපෙනෙන අයුරින් මනාව සළු පිළි දෝලියට යොදා තිබේ. කෙසේ වෙතත් දෝලීය නිර්මාණය කර තිබෙන ආකාරයට එය කාගේද යන්න මහජනයා විසින් අවබෝධ කරගනු ලබයි. අවශේෂ බිසවුන් ගමන්ගත් ඉදෝලීය සඳහා යකඩ දෝලීය හා රිදී දෝලීය වශයෙන් නම්කර ඇත. ගමයන් විසින් රැගෙන යනු ලැබූ මේවා කූණම් මඩුවේ තැබූ අතර බොහෝ සෙයින් දෝලියට සමාන අයුරින් නිමවන ලදී.
තවද එකල සමාජයෙහි මහත් ගෞරවාදරයෙන් යුකත්ව පුද ලද පිරිස මහා සංඝරත්නයයි. සෑම විටකදීම රජුගේ උපදේශකත්වයටත් සමාජයේ යහ පැවැත්ම උදෙසාත් විශාල මෙහෙවරක් සංඝ සංස්‌ථාව විසින් ඉටුකරන ලදී. එහිදී ප්‍රධාන නායක හිමිවරුන් විශේෂත්වයෙහිලා සැලකුම් ලැබූ පිරිසක් විණි.
නායක භික්‌ෂුන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා දෝලා (පල්ලැක්‌කි) යොදාගනු ලැබිණි. නායක හිමිවරුන් ගමන්ගත් පල්ලැක්‌කි රැගෙන යැම ගම්වල ජීවත් වූ මිනිසුන් විසින් සිදු කරනු ලැබූ අතර ඒ සඳහා විහාරගම් වැසියන් සේවයට කැපවී සිටියහ. විහාරගම් යනු පෙර රජ දවස බෞද්ධ විහාරයක් නඩත්තුව සඳහා ප්‍රදානය කරනු ලැබූ ඉඩකඩම්ය. මේ විහාරගම්වල ජීවත් වූ මිනිසුන් පල්ලැක්‌කි රැගෙන යැම ප්‍රධාන සේවාවක් වශයෙන් සිදු කර ඇත. 1815 දී ඇතිවූ උඩරට ගිවිසුම් ප්‍රකාර එසේ පැවතියා වූ විහාරගම් එලෙසින්ම පැවතීමට වගන්තියකින් බ්‍රිතාන්‍යයන් සම්මත කරන ලදී. එපමණක් නොව මෙකල සමාජයේ ජීවත් වූ රදලයන්ගේ දෝලා රැගෙන යනු ලැබූයේ ඔවුන් අයත් වූ නින්දගම්වල ජීවත් වූ දෝලා සේවයටම කැපවූ මිනිසුන්ය.
රන්දෝලිය යනු සුවිශේෂ වූවකි. ප්‍රධාන වශයෙන්ම යොදාගෙන ඇත්තේ දේවාලයන්හි වැඩ සිටිනා දෙවිවරුන්ගේ දේවාභරණ වැඩමවීම සඳහා භාවිතා කරනු ලැබූ එකක් වශයෙනි. එහෙත් මීට ඉහතදී රන්දෝලි භාවිතා කිරීම රජු විසින් සිදු කළද මහනුවර රාජ්‍ය පාලකයා වූ කීර්ති රාජසිංහ රජු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දේවාලයන්හි දේවාභරණ වැඩමවීමට රන්දෝලි පූජා කිරීමෙන් පසුව ඒ සඳහා පමණක් යොදා ගන්නා ලදී. අනතුරුව බලයට පත්වූ රාජ්‍ය පාලකයන් ද එය කඩ නොකරමින් ඉදිරියටම පවත්වාගෙන යන ලදී. රන්දෝලිය නිර්මාණය කිරීමේදී රත්තරන් කොත් කැරලි පහකින් යුක්‌ත වන ආකාරයෙන් නිමවා ඇති අතර සර්වඥ ධාතූන් වැඩම වීම සඳහා යොදා ගනු ලැබූ රන්සිවිගේ සුවිශේෂී අන්දමට නිමවා ඇති අතර ප්‍රධාන වශයෙන්ම එය අලංකාර මහල් කිහිපයකින් යුත් නිර්මාණයක් විය.
එපමණක් නොවූ රජු කූණමෙන්ද, රදලයන් දෝලාවෙන්ද ගමන් කිරීමේදී ඒ සඳහා සාමාන්‍ය ජනතාව විසින් ඉටුකළ යුතු චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් පැවතී තිබිණි. ඒ අනුව විමසා බලන විට මහා මාර්ගයේ ගමන් ගන්නා විට කුණම් හෝ දෝලා මුණගැසුන විට ඊට ගෞරවයෙන් යුක්‌තව හිස නමා ආචාර දැක්‌විය යුතු විය. එපමණක් නොව එය ගමන් කිරීමට මාර්ගයේ ඉඩ සලසා පසෙකට වී සිටිය යුතුය. එහෙත් එකල සමාජයේ පැවති පහත් යෑයි සම්මත ඇතැම් කුලයන්ට එසේ කිරීමටද ඉඩක් නොවිණි. එනම් කුණම් හෝ දෝලාවක් ගමන් කිරීමේදී එය නෙපෙනෙන පරිදි සැඟවී සිටිය යුතු විය.
අධිරාජ්‍යවාදී පාලන සමයේදී කන්ද උඩරට රාජධානිය ප්‍රධාන කරගනිමින් ඇතිවූ 1818 උඩරට මහ කැරැල්ල සඳහා මුල්වූ සිදුවීමක් වශයෙන් දෝලා භාවිතා කිරීම පෙන්වාදිය හැකි වේ. බොහෝමයක් ඉතිහාසඥයන් ඇතිවූ තත්ත්වයට එය ප්‍රධාන ලෙසම බලපානු ලැබූ බවට තොරතුරු දක්‌වා ඇත. එනම් එකල සමාජයේ රදලයන් දෝලාවලින් ගමන් කරන විට සාමාන්‍ය රවැසියා ඒ සඳහා මහත් ගරුසරු දැක්‌වූ අතර එය දුටු සාමාන්‍ය ඉංග්‍රීසි සොල්දාදුවෝ ද මෙතුළින් ගමන් කිරීමට විය. මෙසේ ගමන් කිරීමේදී දෝලාවෙන් ගමන් කරනුයේ තමන්ගේ ප්‍රධානීන් යෑයි සිතූ සාමාන්‍ය ජනතාව මේවා මහා මාර්ගයේදී හමුවන සෑම අවස්‌ථාවකදීම ඊට ගෞරව කරන ලදී. කෙසේ වෙතත් එහි ගමන් කරනුයේ සාමාන්‍ය ඉංග්‍රීසි සෙබළුන් බව දැකීමෙන් අනතුරුව සිංහල ජනයා බොහෝ සෙයින් කළකිරීමට පත්විණි. මෙලෙස ඇතිවූ තත්ත්වය වඩාත් උත්සන්න වූයේ එසේ දෝලාවෙන් ගමන් කරනු ලැබූ සොල්දාදුවන් සිංහල වැසියාගේ මේ සුවිශේෂී ගරුත්වය දෙස උපහාසයෙන් යුතුව බැලීමයි. මේ තත්ත්වය රදළයින්ගේ බලවත් අප්‍රසාදයට මෙන්ම කලකිරීමට ඉවහල් විය. මේ ක්‍රියාව රදලයන්ගේ සමාජ තත්ත්වයට ඉංග්‍රීසින් තමන්ගේ හිතුමනාපයට සිදු කරනු ලැබූ අපහාසාත්මක ක්‍රියාවක්‌ව සැලකිය.
වර්තමාන සමාජ සංස්‌ථාව තුළ පවත්නා වූ ධනවාදී සමාජ ක්‍රමය තුළ දෝලාව අත්‍යවශ්‍ය නොවූත්, නොවැදගත් එකක් වශයෙන් බැහැර වූවකි. එය බොහෝ සෙයින් ප්‍රාථමික සමාජ ක්‍රමයක් පැවතියා වූ සමාජ පසුබිමක යල්පැනගිය එකක් විය. කෙසේ වෙතත් භූමිය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ වැඩවසම් සමාජ පසුබිම තුළ ඊට පැවතියේ වැදගත් වූත්, අත්‍යවශ්‍ය වූත් සමාජ පසුබිමකි. එමෙන්ම බොහෝ සෙයින් ගෞරවාදරයෙන් යුක්‌ත වූ කාර්ය භාරයකි. වර්තමාන සමාජය තුළ එය කෙතරම් නොවැදගත්ද යන්න පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයන්ට අනුගතව මෙරට පවත්වනු ලබන ප්‍රධාන පෙරහැර මංගල්‍යයන් සඳහා පවා දෝලා යොදා ගැනීම අතහැර දමා ඇත. කෙසේ වෙතත් වර්තමානයේදී අතීතයේ සිට පැවති මේ ක්‍රමය අදටත් මහියංගන පෙරහැර තුළ දෝලා ගමන් කිරීම දක්‌නට ලැබේ. ක්‍රමික විකාශනයකින් යුක්‌තව සුවිශේෂී පසුබිමක් මත නිර්මාණය වූ අතර රාජ්‍ය පාලන අවධිය තුළ විධිමත් ප්‍රවාහන සංස්‌ථාවන් වශයෙන් එකල සමාජයේ ප්‍රභූ ප්‍රවාහනයට යොදාගත් බව පැහැදිලිව දක්‌නට හැකි වේ.