දේශපාලන විද්‍යාවේ ස්වභාවය.

විකිපීඩියා වෙතින්

ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා බලය පිළිබඳ අධ්‍යනයක යෙදීම ගැනත් බලය ක්‍රියාත්මක කිරීම ගැනත් අවධානය යොමුකර ඇත. පුරාතන ඉන්දියානු, චීන, ග්‍රීක හා රෝම ජාතිකයෝ, පාලකයා හා පාලිත පක්ෂය හෙවත් වැසියන් අතර පවත්නා සබඳතාවයනගේ ස්වභාවයත් දේශපාලන සංවිධානයයෙහි පදනමත් ස්වකීය සම්ප්‍රදායනට අනුව විමසිල්ලට ලක් කලහ. ඔවුහුත් ඔවුන්ගෙන් පසුව පහල වු අයත් දේශපාලන බලයට පදනම් වු, විශ්ව සාධාරණ යැයි තමන් සැලකු සදාචාරාත්මක, දාර්ශනික හෝ දේවදධාර්මික මූලධර්ම සකස් කිරීමට වෙර දැරූහ. දේශපාලන විද්‍යාව පිළිබඳ අධ්‍යනය හා විමර්ශනය අරභයා මෙතරම් දීර්ඝ සම්ප්‍රදායක් ඇතද අද එම විෂය හදාරන්නට මූලික ප්‍රශ්න රැසකට ම මුහුණ පෑමට සිදුව තිබේ. මෙහි හුදු විෂය ක්ෂේත්‍රයම අද විවාදයට ලක්ව ඇත. එය අධ්‍යනය කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම හා මාර්ග මත භේදයනට තුඩු දී තිබේ. ඒ පිළිබඳව පිළිගත් වාග් මාලාවක් නොමැත. මෙම විෂයට අදාල මූලික යෙදුම්, සංකල්ප, හා මූලධර්ම විවිධ දේශපාලන විද්‍යාඥයින් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇත. "දේශපාලනය පිළිබඳ අධ්‍යනය විද්‍යාවක් නොව කලාවක්" යැයි සමහරුන් පෙන්වාදි ඇත. මානව සංවිධාන, මානව චර්යාව හා මානව සම්බන්ධතා පිළිබඳ අධ්‍යනය, සංකීර්ණ මෙන්ම ව්‍යාකූල ද වනු නියතය. මෙම කාර්යට මුහුණ දිය යුත්තේ විද්‍යාත්මක චිත්තාකල්පයකින් යුතුවය.


දේශපාලන විද්‍යාව නැමති පුඵල් ක්ෂේත්‍රය, පහසුවෙන් ම ප්‍රධාන අංශ හතරකට බෙදිය හැකිය. ඉන් පළමු වැන්න වනුයේ, දේශපාලන දර්ශනය හෙවත් දේශපාලන හා සමාජ න්‍යායයි. දාර්ශනික, ආගමික හා සදාචාරාත්මක දෘෂටිකෝණයක් අනුව දේශපාලන සංවිධානයෙහි හා දේශපාලන බැඳිමෙහි ස්වභාවය මින් විවරණය වේ. දේශපාලන දර්ශනය හුදෙක් දේව ධර්මයෙහි හෝ පොදු දර්ශනයෙහි ම හෝ අනුබද්ධ අංශයක් වශයෙන් හැදෑරු යුගයක් විය. දෙවැන්න දේශපාලන ආයතන වශයෙන් වර්ග කෙරේ. මෙයින් විග්‍රහ කරනුයේ ප්‍රාදේශීය, ජාතික හා අන්තර්ජාතික යනාදි විවිධ මට්ටම්වලදී දේශපලන බලය ක්‍රියාත්මක කිරිමට උපයෝගි කර ගනු ලබන ආයතනික සැකස්මයි. ප්‍රධාන රාජ්‍ය පාලන ආයතනයන් බිහි කොට ඒවා හසුරුවන ආණ්ඩු ක්‍රම, ව්‍යවස්ථා, රාජ්‍ය විධි නීතීය, රාජ්‍ය පරිපාලනය හා පරිපාලන නීතිය හා තුලානාත්මක ආණ්ඩුක්‍රම යනාදිය මීට අයත් වේ. තෙවැනි ප්‍රධාන අංශය වනුයේ දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, මහජන මතය පිළිබඳ අධ්‍යනයන් වේ. එක් අවධියකදී දේශපාලන විද්‍යාඥයින් බොහෝ දෙනෙක් යම් රටක ඇති ව්‍යවස්ථාවනත නොවන හෙවත් ව්‍යවස්ථාවනතභාවයෙන් බාහිර සංවිධාන, දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි දක්වන බලපෑම පිරික්සා නොබලා එරටෙහි දේශපාලන තත්වය සාකච්චා කිරිමෙහි යෙදුනහ. එහෙත් දේශපාලන ක්‍රමයෙහි ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීම් වස්, දේශපාලන පක්ෂ, වෘත්තීය සංගම්, සේවා යෝජක සංවිධාන හා එම දේශපාලන ක්‍රමය ඇතුලතම පවත්නා වෙනත් සාමාජීය, ආර්ථික හා සංස්නෘතික කණ්ඩායම් හා සමිති පිළිබඳ මෙන්ම මහජන මතය සකස් කොට එය වෙනස් කිරීමටද තුඩු දෙන සාධක පිළිබඳවද දැනුමක් අවශ්‍ය වන බැව් අද වනවිට පොදු වශයෙන් පිළිගෙන ඇත. දේශපාලන විද්‍යාවේ සිව් වැනි අංශය අන්තර්ජාතික සම්බන්ධතාවයන්ගෙන් සමන්විත වේ. යුද්ධය හා සාමය විවිධ මානව ව්‍යාපාර ක්ෂේත්‍රයන්යෙහිලා අන්තර්ජාතික සහයෝගිතාවය ඇති කිරිමේ ප්‍රයත්නය, ජාතින් අතර පැන නගින අරගල නිරාකරණය කිරිමත් පොදු ආර්ථික හා සමාජ ප්‍රශ්න විසදිමත් උදෙසා පිහිටුවා ඇති ආයතන සහ අන්තර්ජාතික නීතිය යන කරුණු පිළිබඳ අධ්‍යනය මෙම අංශයට අයත්ය.


දේශපාලන විද්‍යාය හදාරන්නා විසින් තම විමර්ශන ආරම්භ කිරීම සඳහා පහසු සීමාවන් තෝරා ගැනීම අවශ්‍ය මෙන්ම ප්‍රයෝජනවත් ද වේ. නූතන ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් වැදගත් වූත්, විශ්ව ප්‍රචලිත වූත්, ආයතනය වනුයේ රාජ්‍යයයි. සෑම පුද්ගලයෙක්ම අනිවාර්යෙන්ම, යම් කිසි රාජ්‍යක සාමාජිකයෙක් වේ. මේ ආකාරයට බලන විට දේශපාලන විද්‍යාව අධ්‍යනයෙහිලා ආරම්භක සීමාව ලෙස අපට පහසුවෙන්ම "රාජ්‍ය" තෝරා ගත හැකිය. මේ අනුව දේශපාලන විද්‍යාවේ සමස්ථය "රාජ්‍ය" මත පදනම් වන බවක් දක්නට ලැබේ.

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

දේශපාලන විද්‍යාව