දුම්රිය ටැබ්ලට් සංඥා යන්ත්‍රය

විකිපීඩියා වෙතින්
සම්පූර්ණ ටැබ්ලට් යන්ත්‍රයක්
ටැබ්ලට් යන්ත්‍රයේ එක් පසකට ගමනාගමනය සඳහා වෙන් වූ කොටස

මෙය ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය (Tyers Electric Train Tablet) ලෙසද හඳුන්වනු ලබයි.

1874දී පුද්ගලයින් 21 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරකින් පසු නැවත එවැන්නක් සිදු නොවීම පිණිස 'එඩ්වඩ් ටයර්' නම් ඉංජිනේරුවෙක් විසින් මහා බ්‍රිතාන්‍යයේදී මෙම ක්‍රමය නිර්මාණය කරන ලදි. මෙය ඉතා පැරණි ක්‍රමයක් වුවද ශ්‍රී ලංකාවේ තවමත් පාවිච්චියට ගැනෙන අතර, ආරක්ෂිතම සංඥා ක්‍රමය ලෙසද සැලකෙයි.

තනි දුම්රිය මාර්ගයක ගමන් කරන දුම්රියකට එම මාර්ග කොටස ආරක්ෂිතද යන්න පිළිබඳ භෞතික සහතිකයක් ලබාදීම මෙම ක්‍රමයේ අරමුණයි. ටැබ්ලටයක් අතැතිව දුම්රියක් දුම්රිය මාර්ගයේ ගමන් ගනිද්දී කිසිම විටෙක අනෙක් පසින් දුම්රියක් පැමිණිමට ඉඩක් නැත.

ක්‍රියාකාරීත්වය[සංස්කරණය]

ඇරඹීම[සංස්කරණය]

  • යන්ත්‍ර දෙකම Closed (“වසා ඇති“) තත්ත්වයේ තිබිය යුතුයි.
  • A දුම්රිය ස්ථානාධිපති සිට B දුම්රිය ස්ථානාධිපතිට බෙල් සංඥාවක් යවා දුම්රියක් සඳහා මාර්ගය බාධාවකින් තොරදැයි විමසයි.
  • බාධා රහිත නම් B දුම්රිය ස්ථානාධිපති විසින් A දුම්රිය ස්ථානාධිපතිට ඒ බව බෙල් සංඥාවකින් දැනුම් දෙයි.
  • ඉන්පසු A දුම්රිය ස්ථානාධිපති විසින් බෙල් ප්ලන්ජරය තද කරගෙන සිටී
  • එවිට B දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය මඳක් එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය "Train Approaching" (“දුම්රියක් ළඟාවෙයි“) යන්න පෙන්වයි.
  • ඉන්පසු B දුම්රිය ස්ථානාධිපති බෙල් ප්ලන්ජරය ඔබනු ලබයි.
  • එවිට A දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය සම්පූර්ණයෙන්ම එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය "Train On Line" (“දුම්රියක් මාර්ගයේ ඇත“) යන්න පෙන්වයි. මෙවිට ටැබ්ලටය එළියට එයි.
  • දැන් A දුම්රිය ස්ථානාධිපති ටැබ්ලටය B කරා යන දුම්රියේ රියදුරුට ලබාදෙයි.

යන්ත්‍ර විසන්ධි කිරීම[සංස්කරණය]

  • දුම්රිය රියදුරා B දුම්රිය ස්ථානයට පැමිණි පසු ස්ථානාධිපතිට ටැබ්ලටය බාරදෙයි.
  • B දුම්රිය ස්ථානාධිපති යන්ත්‍රෙය් ඉහළ කොටස එළියට ඇද ටැබ්ලටය එහි තැන්පත් කරනු ලබයි. ඉන් පසු ඉහළ සහ පහළ කොටස් දෙකම ඇතුළට යවයි. මෙවිට යන්ත්‍රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.
  • B දුම්රිය ස්ථානාධිපති බෙල් සංඥාවක් මගින් A හි ක්‍රියාකරුට, දුම්රිය අදාළ කොටසින් ඉවත්ව ගිය බව දැනුම් දෙයි.
  • A දුම්රිය ස්ථානාධිපති සවිච් ප්ලන්ජරය ඔබා යන්ත්‍රෙය් යට කොටස වසා දමනු ලබයි. මෙවිට යන්ත්‍රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.

භාවිතා වන ප්‍රදේශ[සංස්කරණය]

උඩරට මාර්ගයේ රඹුක්කනින් එපිට, කැළණි වැලි මාර්ගයේ මරදාන හා අවිස්සාවේල්ල අතර, උතුරු, ත්‍රි‘මලේ, මඩකලපු මාර්ගවල පොල්ගහවෙලින් එහා සහ වෙරළබඩ මාර්ගයේ කළුතරින් එපිට.