දියවැඩියා රෝගීන්ගේ දෙපා

විකිපීඩියා වෙතින්

දියවැඩියා රෝගය නිසා දෙපාවල ස්නායු ටිකෙන් ටික අඩපණ වීම සිදුවේ. මෙසේ ස්නායු අඩපණ වූ විට රෝගියාගේ කකුලේ සංවේදනා දැනීම අඩු වී ගොස් නැත්තටම නැති වී යාමට පුළුවන. පාදයේ සංවේදනා නොදැනී යාමෙන් කිසියම් තුවාලයක් ඇතිවීම, එය පැසවා ආසාදනය වීම හා දිනෙන් දින තුවාලය නරක අතට හැරීම රෝගියා නොදැනුවත්වම සිදුවිය හැක.

බොහෝවිට දියවැඩියා රෝගීන්ගේ දෑත් සහ දෙපා කිසියම් ආකාරයකින් තුවාල වීමකට ලක් වී ඒවා ආසාදනය වීමෙන් හා ඒ ආසාදනය පැතිරී යාම නිසා කකුල් කපා දැමීමට සිදුවීම බහුල තත්ත්වයකි. බොහෝ ශල්‍ය වාට්ටු වලට ඇතුළත් කරගෙන ඇති රෝගීන්ගෙන් 50%ක් පමණම දියවැඩියා රෝගය නිසා දෙපා වල යම් යම් ගැටළු මතු වූ රෝගීහු වෙති.

තදින් ආසාදනයට ලක්වූ දෙපා තුවාල සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදු වනුයේ ඔවුන්ගේ තුවාල සහිත පාදය කපා ඉවත්කර නම් රෝගියාට තමාගේ ඉතිරි මුළු ජිවිත කාලයම පාදයක්/පාද අහිමව ජීවත් වීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇති.

දියවැඩියා රෝගය දෙපා වලට බලපාන ආකාරය[සංස්කරණය]

දියවදියා රෝගීන්ගේ රෝගයේ මුල් අවස්ථාවේදී දෙපා වල පටක අධික ලෙස ක්‍රියාකාරී වීමේ හේතුවෙන් ස්නායු ඉදිමිමකට බඳුන් විය හැකියි. එවිට වාඩිවී සිටියද (වෙහෙස නොවූවද), ඉතාම වෙහෙසකාරී වූ විටෙක මෙන් අධිකව දෙපා රිදෙන්නට පුළුවන. මෙම තද වේදනාව, ක්‍රම ක්‍රමයෙන් දෙපා වල ස්නායු වල සංවේදන හැකියාව නැතිකර දමයි. මේ නිසා සුලබව තුවාල ඇතිවිය හැකි ශරීර කොටසක් වන පාද වල ඇතිවන තුවාල වල වේදනාව නොදැනීමෙන් තුවාල වැඩි වී (වර්ධනය වී) සුවකළ නොහැකි තත්ත්වයකට පත් වේ. දියවැඩියා රෝගීන්ගේ සිරුරේ අනෙක් කොටස් වලට වඩා යටිපතුල් සහ පාදයේ ඇඟිලිකරු අතර තුවාල ඇති වී ආසාදනයට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් දැකිය හැකියි.

සාමාන්‍යයෙන් සිරුරේ ඕනෑම පටකයක යම් ප්‍රතිශක්තිකරණ හැකියාවක් පැවතියද දියවැඩියා රෝගීන්ගේ මෙම ප්‍රතිශක්ති හැකියාව සාපේක්ෂව අඩුය. මේ ප්‍රතිශක්ති හැකියාව අඩු බව නිසා විෂබීජ ආක්‍රමණය වී තුවාල සහ ආසාදන වර්ධනය වීමට හැක. දියවැඩියා රෝගීන්ගේ සුදුරුධිරාණු මට්ටමද නිරෝගී පුද්ගලයන්ට සාපේක්ෂව අඩුය. එබැවින් ද විෂබීජ ආක්‍රමණය වී තුවාල සහ ආසාදන වැඩි වශයෙන් ඇති වේ.

ඉතාම කුඩා තුවාලයක්/සීරීමක් වුවද දියවැඩියා රෝගීන්ට ඉතා බරපතල විය හැකියි. සමේ කිසියම් දිලිර ආසාදනයක් ඇති වුවත් එය විෂබීජ වලින් ආසාදනය වීමෙන් ඉතා බරපතල ලෙස නරක් වන්නට පටන් ගත හැකියි. එමෙන්ම කකුලේ ස්නායු වල ක්‍රියාකාරිත්වය අඩපණ වීම නිසා මෙම රෝගීන්ගේ ගල්තලුම් වැනි තත්ත්වයන් බහුලව ඇති වී කකුලේ පටක වල දියර එකතු වී ඒවා පැසවා ආසාදනය මුළු කකුල පුරාම පැතිර යන්නටද පුළුවන.

ආරක්ෂා වීම[සංස්කරණය]

දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කර ගන්නට අපොහොසත් වීම, විශාල ගැටළු රාශියකට මග පාදයි. විශේෂයෙන් දියවැඩියා රෝගියෙකු නිවසේ ඇති විට පවුලේ අය සතියකට වතාවක්වත් ඔහුගේ/ඇයගේ යටිපතුල් ඇතුළුව දෙපා හොඳින් පරීක්ෂා කර බැලීම වැදගත් වේ. සමේ සුළු වෙනස් වීමක්, දියපට්ටා මතු වීමක්, ඇඟිලිකරු අතර සහ නියපොතු දිලිර ආසාදනයකට ලක් වූ පෙනුමක් ආදිය තිබේදැයි පරික්ෂාකාරී විය යුතුය. එවන්නක හඳුනා ගතහොත් එදිනම වෛද්‍යවරයෙක් වෙත ගොස් අදාළ පරීක්ෂාවන් සිදු කරවාගෙන ප්‍රතිකාර ලබා ගත යුතුවේ.

මෙම රෝගීන් නිවසට වුවද පාවහන් පැළඳීම අවශ්‍ය වේ. එම පාවහන් පවා විශේෂ අවධානයකින් යුතුව තෝරා ගත යුතු වේ. සම සිර වී කැපීම් ඇතිකරන පාවහන් ආදිය තෝරා ගැනීම නොකළ යුතු වේ.