ද්වාරය:ඉතිහාසය/හැඳින්වීම

විකිපීඩියා වෙතින්

පුර්ව ශිලා යුගයේ දී ද ශ්‍රී ලංකාවේ ආහාර රැස්කරන්නන් සහ වී ගොවීන් සිටි බවට සාක්ෂි මෑතක දී කරන ලද කැණීම්වලින් හෙළි දරවු වී තිබේ. මේ අවධිය පිළිබඳ දන්නා කරුණු ඉතා අල්ප ය. අපේ ලිඛිත ඉතිහාසහ ඇරඹෙන්නේ උතුරු ඉන්දියාවෙන් ආර්යයන්ගේ පැමිණීමත් සමග ය. ආර්ය ජනාවාස අතුරින් අනුරාධපුරය පණ්ඩුකාභය රජුගේ පාලනය යටතේ බලවත් රාජධානියක් බවට පත් විය. සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව අනුරාධපුරයේ නිර්මාතෘවරයා වශයෙන් පිළිගැනෙන්නේ ඔහු ය.

පණ්ඩුකාභයගෙන් පැවතෙන්නකු වන දේවානම්පියතිස්ස රජුගේ පාලන සමය තුළ ක්‍රි.පූ. 247 දී මෙරටට බුදුදහම හඳුන්වා දෙන ලද්දේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිදු මහ රහතන් වහන්සේ විසිනි. බුදුදහම මෙරට සංස්කෘතික ශ්‍රේෂ්ඨත්යට මං පෑදූ බැවින් මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අති වැදගත් සිද්ධියකි. මෙබඳු නව ශිෂ්ටාචාරයක් මල් පල දැරීමක් සමග ශ්‍රී ලංකාව සරුසාර වූ ද සමෘද්ධිමත් වූ ද රටක් බවට පත්විය.

ක්‍රි.පූ 2වන සියවස මැද භාගයේදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විශාල කොටසක් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයකුගේ අණසකට පත්විය. ක්‍රිස්තු යුගය ආරම්භයේ සිට ක්‍රි.ව. 4වන සියවස දක්වා ශ්‍රී ලංකාව පාලනය කරන ලද්දේ වාරිමාර්ග සංවර්ධනය කෙරෙහි සුවිශාල අවධානයක් දැක්වූ අඛණ්ඩව පැවත ආවා වූ ද ලම්බකර්ණ පරපුර විසිනි. මේ පරපුරේ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ (ක්‍රි.ව. 3 වන සියවසේ) මහසෙන් රජු සුවිශාල වැව් හෙවත් වාරිමාර්ගික ජලාශ ඉදි කිරීම ආරම්භ කළේය. වැව් ඉදිකළ තවත් ශ්‍රේෂ්ඨ රජෙක් වූයේ ධාතුසේන රජු ය. මේ රජු මරා දැමූ ඔහුගේ පුත් කාශ්‍යප සීගිරිය තම රාජකීය පුරවරය බවට පත් කරගෙන සීගිරිය පර්වත මස්තකය තම බලකොටුව අගනුවර කර ගත්තේය.

දකුණු ඉන්දියානු ආක්‍රමණවල ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 10වන සියවස අගදී බිඳ වැටුණේය. 1වන විජයබාහු රජු ආක්‍රමණිකයන් පලවා හැර ක්‍රිස්තු වර්ෂ 11වන සියවසේ දී පොළොන්නරුව සිය අගනුවර කර ගත්තේය. පොළොන්නරුවේ රජ කළ අනෙකුත් ශ්‍රේෂ්ඨ රජවරුන් අතර මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල රජවරු සිටි අතර ඔවුහු ගෘහනිර්මාණ ශිල්පීය අගයෙන් යුත් ගොඩනැගිලි රැසක් නිර්මාණය කොට නගරය අලංකාර කළහ.

සතුරු ආක්‍රමණ වරින්වර හටගත් බැවින් අගනුවර තැනිත් තැනට මාරු කරන ලදුව 1505 දී පෘතුගීසීන් ආක්‍රමණය කරන විට බටහිර දිග තැනිතලා ප්‍රදේශයට අයත් කෝට්ටේ ප්‍රධාන නගරය බවට පත්ව තිබිණි. පෘතුගීසීන් පැමි‍ණියේ කුළුබඩු වෙළඳාමට ය. එහෙත් මුහුදුබඩ ප්‍රදේශ පාලනයෙහි ඔවුන් 1656 වන තෙක් නියැලී සිට අතර ඉන්පසු ඊට ආක්‍රමණය කළ ඕලන්ද ජාතිකයෝ ඒ දෙයම කළහ. ඕලන්ද පාලනය 1656 සිට 1796 දක්වා පැවතිණි. 1796 දී ඔවුන් පලවා හැර බ්‍රිතාන්‍ය ජාතිකයෝ පාලනය සිය අතට ගත්හ. මේ අවධියේ කඳුකරයේ රාජධානිය මහනුවර අගනුවර වශයෙන් තබා ගෙත රටේ ඉතිරි ප්‍රදේශ පාලනය කළ විදේශීය බලවතුන් පුන පුනා පහර දෙද්දී තම නිදහස රැකගෙන සිටියේය. 1815 දී මහනුවර රාජධානිය බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතට පත් වූයෙන් ඔවුහු මුළු දිවයිනේම පාලනය තහවුරු කර ගත්හ. නූතන සන්නිවේදන ක්‍රම, බටහිර වෛද්‍ය සේවා, ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන් ම වැවිලි කර්මාන්තය ද (පළමුව කෝපි, ඉන්පසු තේ අනතුරුව රබර් සහ පොල්) යන මේවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වර්ධනයට පත් විය. සාමකාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පරිණාමයකින් පසු ශ්‍රී ලංකාව තම නිදහස 1948 දී යළි ලබා ගත්තේය. දැන් ස්වෛරී ජනරජයක් වන ශ්‍රී ලංකාව පොදු රාජ‍්‍ය මණ්ඩලයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සාමාජිකත්වය දරන රටකි.