දළදා මාලිගාවේ සිතුචම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දළදා මාලිගාවේ සිතුචම්[සංස්කරණය]

හැඳින්වීම[සංස්කරණය]

මහනුවර පිහිටි දළදා මාලිගාව සිතුවම් කලාව හදාරන්නාට හොඳ මූලාශ්‍රයක් වෙයි.උඩරට සිතුවම් කලාව යනුවෙන් කලා විචාරකයන් හඳුන්වන චිත්‍ර සම්ප්‍රදායේ අංග ලක්ෂණ හොඳින් හඳුනා ගැනීමට මෙ‍ම සිතුවම් ඉවහල් වෙයි.මෙම සිතුවම්වලින් මතු වන්නේ සිංහල සිත්තරාට ආවේණික වූ සරල,නිර්ව්‍යාජ,ගැමි චිත්‍ර සම්ප්‍රදායකි.දළදා මාලිගාවේ සිතුවම් ස්ථාන තුනකින් හමුවෙයි. 01)මාලිගාවට පිවිසෙන තැනම පිහිටි අඹරාවෙහි 02)දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවේ යටි මාලයෙහි හා උඩු මාලයෙහි බිත්තිවල හා සීලිමෙහි 03)පල්ල මාලෙ බිත්තිවල


දළදා මාලිගාවේ සිතුවම්[සංස්කරණය]

බුද්ධ චරිතය දක්වන සිතුවම් අතරෙහි සත් සතිය,බුද්ධ වංශය දක්වන සිතුවම් අතරෙහි සූවිසි විවරණය,ජාතක කථා අතුරෙහි වෙස්සන්තර ජාතකය,බුද්ධ ශාසන ඉතිහාසය දක්වන සිතුවම් අතුරෙහි‍ සොළොස්මස්ථාන හා අටමස්ථාන,බෞද්ධ පුරාණෝක්ති දක්වන සිතුවම් අතුරෙහි හිමාලය හා දිව්‍ය ලෝක මුල්තැන ගනී.බෞද්ධ ජීවන මාර්ගයත් සදාචාරයත් පිළිබඳ කරැණු වටහා ගැනීමට අනුබල දුන්නේ අපාය පිළිබඳ සිතුවම්ය. නුවර යුගයේ මුල්ම බිතු සිතුවම් දක්නට ලැබෙන්නේ දළදා මාලිගාවේ ඇතුල් මාලිගයෙහිය. මහනුවර බිතුසිතුවම් කිරීම පටන් ගත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේය.(1747-1786)

බුද්ධ රෑපය[සංස්කරණය]

මෙම බුද්ධ රෑපය ඇඳ තිබෙන්නේ සමාධි මුද්‍රාව නම් ඉරියව්වෙනි.මෙහි දෙපා නිරෑපණය කොට ඇත්තේ වම් සිරිපතුල මත දකුණු සිරිපතුල පිහි‍ටා සිටින ආකාරයෙනි.මෙම ආසනය වීරාසනය නමිනි.දෑත් නිරූපණය කොට ඇත්තේ වම් අත මත දකුණු අත සිටින ආකාරයෙනි.කන් ලම්බකර්ණ වන අතර හිස මුදුනේ සිරස්පතක් ද වෙයි. බුදුන් වහන්සේ හිඳගෙන සිටින්නේ මකර තොරණක් යටය.මෙම බුද්ධ රූපය ඇත්තේ හඳුන්කුඩමේ බිතුසිතුවම් අතරය.

සූවිසි විවරණය[සංස්කරණය]

මෙම සිතුවම් ඇත්තේ හඳුන්කුඩමේ බිත්තිවල ඉහළම තීරුවෙහිය.මෙහි දක්නට ලැබෙන්නේ බෝසතුන් අතුල නම් දිව්‍ය නාග රාජව සිටි කල විපස්සී බුදුන්ගෙන්ද,අරින්ද නම් රජව සිටි කල සිඛී බුදුන්ගෙන්ද විවරණය ලැබූ පුවතයි.බුද්ධ රූපවල දෑත් නිරූපණය කොට ඇත්තේ විතර්ක මුද්‍රාවෙනි.

මහා බ්‍රහ්ම රාජයා[සංස්කරණය]

මෙම සිතුවම් ඇත්තේ වැඩ සිටින මාලිගාවේ ඉදිරිපස දොරටුව අසල සීලිමේ දකුණු කෙළවරය.මෙහි දැක්වෙන්නේ මුහුණු තුනක් පමණකි.අත් සතරකි.ඉන් තුනක වස්තු තුනකි.ඉදිරියෙහි ඇති දකුණු අතෙහි කිසිඳු වස්තුවක් නැත.ඉදිරිපසින් ඇති වම් අතෙහි චක්‍රයකි.පිටිපසින් ඇති එක් අතක පුස්කොළ පොතක්ද එක් අතක චත්‍රයක්ද වෙයි.

ශක්‍ර දිව්‍ය රාජයා[සංස්කරණය]

මෙම සිතුවම ඇත්තේ වැඩ සිටින මාලිගාවේ ඉදිරිපස දොරටුව අසල සීලිමේ වම් කෙළවරය.මෙම රූපයේ ඇස් දහසක් දක්වා නැත.එහි දකුණු අත්ල උඩු පැත්තට හරවා ඔ‍ඩොක්කුවේ තබාගෙන ඇති අතර වම්අත ආශීර්වාද කෙරෙන මුද්‍රාවෙන් නිරූපිතය.

දේව රූප[සංස්කරණය]

මෙම රූපවල දෙවිවරුන් අතුරෙහි ප්‍රධානීන් හඳුනා ගනු පිණිස යම්යම් වස්තු හෝ ආභරණ ඔවුන්ගේ අත්වල දැක්වේ.හක්ගෙඩි,චක්‍ර ආදිය මේ වස්තු අතරෙහි දක්නට ලැබේ.හිස් ඔටුනු වලින් සරසා ඇත.

විමලධර්මසූරිය රජතුමා[සංස්කරණය]

වැඩසිටින මාලිගාවට පිවිසෙන ප්‍රධාන දොරටුවට දකුණු පැත්තේ සීලිමෙහි මෙම රූපය දක්නට ලැබේ.වම් අතෙහි සැරයටියකි.දකුණු අතෙහි මලකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා[සංස්කරණය]

වැඩ සිටින මාලිගාවට පිවිසෙන ප්‍රධාන දොරටුවට වම් පැත්තේ සීලිමෙහි මෙම රූපය දක්නට ලැබේ.

වෙස්සන්තර ජාතකය[සංස්කරණය]

පූජක බමුණා ලියමනක්ද සහිතව වංකගිරියෙහි ගමන් කරන විට දඩ බල්ලන් දෙදෙනෙකුට හා දඩයම්කරුවෙකුට මුහුණදුන් ආකාරය එක් සිතුවමකින් දැක්වේ.මෙය ඇත්තේ වැඩ සිටින මාලිගාවේ වම් පැත්තේ බිත්තියේ මුදුනෙහිය. වෙස්සන්තර රජු අත පැන් වත්කොට දරුවන් දෙදෙනා පූජක බමුණාට පැවරූ ආකාරයත් බමුණා දරුවන් කැටුව යන ආකාරයත් අනික් සිතුවමෙහි දැක්වේ.එය ඇත්තේ පල්ලෙ මාලයෙහිය.

මනුෂ්‍ය රූප[සංස්කරණය]

දළදා වහන්සේ වැඩ සිටින දෙමහල් මන්දිරයේ යටි මාලය වටා ඇති ගල් කුලුණු වල ඉහළම කොටසෙහි මෙම රූප දක්නට ලැබේ.ප්‍රභූවරුන් හා සාමාන්‍ය පුද්ගලයන් ‍මෙම රූපවලින් නිරූපිතය.

චතුර්නාරි පල්ලැක්කිය හා නව නාරි කුංජරය[සංස්කරණය]

මෙම රූප වැඩ සිටින මාලිගාවෙහි උඩුමාලේ පිහිටි හඳුන්කුඩමට පිටින් ඇති බරාදිවලය.චතුර්නාරි පල්ලැක්කිය යන රූපයෙන් නිරූපණය වන්නේ පල්ලැක්කිය ඔසවාගෙන යන ආකාරයයි.නව නාරි කුංජරය යන රූපයෙහි ඇතාගේ සතරපාද සඳහා කාන්තා රූප හතරක්ද,හොඬවැල සඳහා එක් කාන්තාවකගේ කකුලක්ද,දළ සඳහා එක් කාන්තාවකගේ දිගුකළ දෑත්ද,වල්ගය සඳහා එක් කාන්තාවකගේ කේශ කලාපයද යොදාගෙන ඇත.

සප්ත නාරි රථය[සංස්කරණය]

මෙය හඳුන්කුඩමට පිටින් ඇති බරාඳයෙහි දක්නට ලැබෙන්නකි.මේ සිතුවමෙහි නිරූපිත රථයෙහි රෝද දෙක වශයෙන් දක්වා ඇත්තේ එක් අතකින් පයක් අල්ලාගෙන සිටින සේ කවාකාරව නැමුණු කාන්තාවෝ දෙදෙනෙකි.රථය මැද පිරිමි රූපයකි.ඒ අනංගයාය.ඔහුගේ අත්වල දුන්නක්ද හීතලද වෙයි.

පංච නාරි රථය[සංස්කරණය]

මෙය වැඩ සිටින මාලිගාවෙහි උඩු මාලයෙහි හඳුන්කුඩමට පිටින් ඇති බරාඳයෙහි දක්නට ලැබේ.මෙහි ඉහළින්ම සිටින කාන්තාව දෑතින් මල් දෙකක් රැගෙන සිටී.පහළින්ම සිටින කාන්තාව තවත් කාන්තාවන් තිදෙනෙකු හිසින් හා දෑතින් දරා සිටී.

මල්ලව පොරකාරයෝ[සංස්කරණය]

මෙය වැඩ සිටින මාලිගාවෙහි යටි මහලේ දෙපැත්තේ ඇති දොරටු දෙකට ඉහළින්ඇති සීලිමෙහි දක්නට ලැබේ.එක් සිතුවමක මොවුහු සිය දෑත් එකට පටලවා ගෙන සිටිති.අනිකෙහි මොවුහු එක් අතකින් අනෙකාගේ කෙස් කළඹ අල්ලාගෙන සිටින අතර අනික් අතින් අනිකාගේ අත පටලවාගෙන සිටී.

සඳ කිඳුරියෝ[සංස්කරණය]

සද කිඳුරියන් සතර දෙනෙකු සහිත මේ සිතුවම හමුවන්නේ වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ සීලිමෙහිය.මොවුන්ගේ උඩුකය මිනිසෙකුගේද යටිකය සත්වයෙකුගේද හැඩයෙන් යුක්තය.

නාරිලතා වැල[සංස්කරණය]

එක් සිතුවමක් වැඩ සිටින මාලිගාවේ යටිමාලේ බිත්තියකද අනික යටිමාලේ සීලිමෙහිද දක්නට ලැබේ.ලියවැලක් අතින්ගත් කාන්තාවකගේ උඩුකය පමණක් ඇඳීමෙන් මෙය සිත්තම් කර ඇත.

සිංහ රූප[සංස්කරණය]

වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ පිට බිත්ති සරසා ඇත්තේ අඹන ලද සිංහ රූප වලිනි.එක් සිත්තමක එකිනෙකා දෙස බලාගත් සිංහයෝ දෙදෙනෙකි.දෙදෙනාටම ඇත්තේ එක් මුහුණකි.සිනාසෙන ආකාරයෙන් නිරූපිත මේ මුහුණු වටා කේශර ඇති හෙයින් එය කේශර සිංහයෙකුගේ මුහුණක් බව පැහැදිලිය.ඔහුගේ කටේ දෙකෙළවර දළ දෙකක්ද වෙයි. වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ සීලිමට පහළින් ගජසිංහ රූපය සිතුවම් කර ඇත.මෙය සිංහයෙකුගේ කඳකින්ද ඇතෙකුගේ හිසකින්ද යුතුය.ඇතා ආපසු හැරී බලන විලාසයෙන් නිරූපිත මෙහි සොඬය මදක් හකුලුවා ‍ගෙන ඇති අතර දළ දෙක උඩට විහිදුවා ඇත.වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ සීලිමට මදක් පහළින් මේ සිතුවම හමුවේ.

වෘෂභ කුංජරය[සංස්කරණය]

මෙම සිතුවම දක්නට ලැබෙන්නේ වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ සීලිමට මදක් පහළිනි.ගවයෙකුත් ඇතෙකුත් සටනකට මෙන් එකිනෙකාට මුහුණලා සිටිති.ගවයා පිට මෙන්ම ඇතා පිටද මිනිසෙක් සිටී.එවුන් දෑත් එක්කොට වඳින ස්වරූපයක් සිතුවම් කොට ඇත.

හංස පූට්ටුව හා කුරුලු පූට්ටුව[සංස්කරණය]

වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ සීලිමේ ඇති හංස පූට්ටු සිතුවම් දෙවර්ගයක් නිරූපණය කරයි.එහි එකක මැදම ඇති චක්‍රයෙහි හංසයෝ හතර දෙනෙකි.මේ චක්‍රයට පිටින්ද හංස පූට්ටු හතරකි. වෙනත් පක්ෂීන්ගෙන් සැදුණු පූට්ටු මාලිගාවේ යටි මාලයේ සීලිමෙහි සිතුවම් අතරෙහි ඇත.

මල් රූප[සංස්කරණය]

මල් රූප අතරෙහි අන්නාසි මල්,කඩුපුල් මල්,දෙලුම් මල්,කතුරු මල්,මානෙල් මල්,නෙලුම් මල්,දෑසමන් මල්,සපු මල් බහුලව හමුවේ.එහි පෙති ගණන,පෙති විහිද යන ආකාරය,ඒ හා සම්බන්ධ වැල් ආදිය පැහැදිලි ජ්‍යාමිතික රටාවකට අනුගතය.

ඇසළ පෙරහැර[සංස්කරණය]

වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ සීලිමට මදක් පහළින් ඇති පේකඩ වල මෙම රූප දක්නට ලැබේ.අලි ඇතුන්,බෙරකාරයන්,නැට්ටුවන්,බොරුකකුල්කාරයන්ද සිතුවම් කර ඇත.

මිනිස් පූට්ටු[සංස්කරණය]

අත් පා පටලවා ගත් මිනිස් රූප කිහිපයක් සංයෝගයෙන් සැදුණ පූට්ටු විශේෂයක් මාලිගාවේ සිතුවම් අතර හමුවෙයි.ක්‍රීඩාවෙහි යෙදී සිටින අය බව ඇඳුම් වලින් හෙළි වේ.

නව ග්‍රහ මණ්ඩලය[සංස්කරණය]

වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ වම් පැත්තේ සීලිමේ මුලම සිතුවමේ දක්වා ඇති සැටියට රවි ග්‍රහයා අශ්වයෙකු පිට ගමන් කරයි.චන්ද්‍ර ග්‍රහයා ඇතෙකු පිට ගමන් කරයි.නව ග්‍රහ මණඩල සිතුවම ඇඳ තිබෙන්නේ මැද පිහිටි ලක්ෂයකින් පිටතට විහිද යන මල් පෙති වැනි කොටස් තුළ මේ නව ග්‍රහයන් සතුන් පිට ගමන් ගන්නා විලාසයෙනි.ඔවුන්ගේ අත්වල ආයුධ වේ.

පැරණි දොරටු සිතුවම්[සංස්කරණය]

දළදා මාලිගාවේ දොරවල්වල සිතුවම් සමහරක් පැරණි ගොඩනැගිලි වලට අයත්ය.පුන් කලස්,මල් හා ලියවැල් රටා මෙහි දක්නට ලැබේ.නිල්,රතු,කහ,සුදු වැනි සියුම් රේඛාත් යොදාගෙන තිබේ.

නව බුදු මැදුරේ චිත්‍ර[සංස්කරණය]

නව බුදු මැදුරේ ඵලකවල ඇඳ ඇති චිත්‍ර නව සිතුවම් රීතියක් පිළිබිඹු කරයි.දළදා වහන්සේ පිළිබඳ වංශ කථාව කියාපාන මේ චිත්‍ර උපසේන ගුණවර්ධනගේ නිර්මාණයි.


ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

සිත්තර මහිම-ජේ.බී.දිසානායක(2000)

ලංකා බිතු සිතුවම්

මධ්‍යකාලීන සිංහල කලා-ආනන්ද කුමාරස්වාමි

"https://si.wikipedia.org/w/index.php?title=දළදා_මාලිගාවේ_සිතුචම්&oldid=56857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි