Jump to content

දහං ගැට

විකිපීඩියා වෙතින්

දහං ගැට

[සංස්කරණය]

දහම් ගැට පද හෙවත් ධර්මය ව්‍යංගයෙන් ඉදිරිපත් කිරීම සඳහා දහංගැට හෙවත් දහම් ගැට පද නිර්මාණය වී ඇත. මේවා කවුරුන් විසින් කුමන අවස්ථාවක නිර්මාණය කලේ දැයි නොදන්නා (කතෘ අඥාත) නමුත් හෙල බොදු සංස්කෘතියේ සහ සාහිත්‍යයේ දියුණුව මෙන්ම දහම් දැනුම ගැන ද මොනවට අවබෝධ කල හැකි නිර්මාණ විශේෂයකි. සම්බුද්ධ දේශණාවන් ගැමියාට වඩාත් සිත්ගන්නා සුළු සහ විනෝදාත්මක ආකාරයෙන් මනසට ඇතුළු කිරීම මෙවැනි දහංගැට හෙවත් දහම් ගැට පද තැනීමේ අරමුණ වෙනැයි සිතිය හැක.

උදාහරණ:

[සංස්කරණය]

ඉස්සන් පිසාපිය - රා කළයක් ම බීපිය
මූව අඹවාපිය - මෙතුන කරලා මාව කාපිය

බැලූ බැල්මට මෙහි ඕලාරික අර්ථය ග්‍රාම්‍ය වුවත් මෙහි පද අතර සැඟවී ඇති අරුත ඊට හාත්පසින්ම වෙනස් එකකි.
ඉස්සන් පිසාපිය - ඊර්ෂ්‍යාව පිස දමන්න
රා කළයක්ම බීපිය - බීමෙන්, කළයක් හිස් වෙයි. රා යන්නෙන් අදහස් කරන්නේ රාගයයි. මෙහි අදහස වන්නේ කළයක් හිස් කරන ලෙසින් රාගය හිස් කරන ලෙසයි
මූව අඹවාපිය - මූව යනු මෝහයයි. අඹවනවා යනු එළැවීමයි. එනම් මෝහය එළවා දමන්න යනු මෙහි අදහසයි.
මෙතුන කරා මාව කාපිය - ඉහත ක්‍රියවන් තුන සිදු කල පසු මමය මාගේය යන හැඟීම ශුන්‍ය වේ. "මාව කාපිය" යන්නෙන් අදහස් කලේ මෙයයි.

අම්බලමේ පිනා

වළං කදක් ගෙනා

ඒක බිඳපි ගොනා

ඒකට මට හිනා

අම්බලමක ට පැමිණි මිනිසෙකුට සිදුවුන හාස්‍ය ජනක අකරතැබ්බයක් ලෙස සරල ඕලාරික අර්ථයෙන් මෙය දැකිය හැකි ය. නමුත් මෙහි ගැඹුරු දහම් අරුත සැලකූ විට, අම්බලම යනු පැරැන්නන් දුර ගමන් යන විට විඩා සංසිඳුවා ගැනීමට තාවකාලිකව නතරවන නවාතැනකි. මෙම කවියෙහි අම්බලම යනු දිගු සසර ගමනේ තාවකාලිකව ලබා ඇති මේ ජීවිතයයි.
මෙම කවියේ පිනා යනුවෙන් හැඳින්වෙන්නේ පින් කළ තැනැත්තා හෙවත් මනුෂ්‍යයා අර්ථයෙනි. කදක දෙපැත්තක් තියෙනවා. මෙහි වළං කද යනු සසර පුරා අප රැගෙන යන පින් සහ පව් යන දෙකොට්ඨාසය යි. වළඳෙහි ලක්ෂණ කිහිපයක් තියෙනවා. වළඳ යම් වටිනාකමක් සහ භාවිතයේ දී කිසියම්උ පයෝගීතාවයක් තියෙනවා. යම් අවස්ථාවක දී වළඳ බිඳී යනවා. සියළු සංස්කාර වළං කද හා සමානයි. ඒක බිඳපි ගොනා යනුවෙන් මෙහි සඳහන් වේ. ගො නා යනු ගෝතම නා හිමි හෙවත් ගෞතම නායකයන් වහන්සේ ය. සසර සැරිසරන සත්ත්වයින් (මිනිසුන්) අම්බලමට රැගෙන ආ පින් සහ පව් සහිත වළං කද බිඳ දැමුවේ ගෞතම නායකයන් වහන්සේ ය. එනම් සංස්කාර ගොඩ නැගීම නවත්වන ආකාරය අපට පෙන්වා දුන්නේ උන් වහන්සේ ය.
ඒකට මට හිනා යනුවෙන් අදහස් කලේ ඒ ගැන මා සතුටට පත් වන බවයි. එනම් සුතවත් ආර්ය ශ්‍රාවකයා බුදුන් කෙරෙහි අවබෝධයෙන් අචල ශ්‍රද්ධාවට පත් වන බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=දහං_ගැට&oldid=563658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි