තිබ්බටුවාවේ සුමංගල හිමි

විකිපීඩියා වෙතින්

මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාවේ ග්‍රාමයේ දී මහානාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූහ. තිබ්බටුවාව වලව්වේ බණ්ඩාරනායක වාසල මුදලි ටිකිරි බණ්ඩාර නිලමේතුමාගේ සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි දම්පතීන්ගේ පින්බර කනිටු පුත්‍ර රත්නය ලෙස 1944 මැයි මස 30 වන දා එසේ ජන්ම ලාභය ලැබූහ.

මල්වතු මහා විහාරයීය විහාරාංග සංවර්ධනයෙහි සදානුස්මරණීය මෙහෙවරක් සිදුකළ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සරණංකරාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි එක්වන මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයීය කාරක සභාන්තරගත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන එවකට ඓතිහාසික රිදී විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1957 ජූනි 16 වන දා මල්වතු මහා විහාරයේ දී උතුම් පැවිදි දිවියට පත් වූහ.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන විසි දෙවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි හතරවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමවතී රාජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර ගුණානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රත්තින්දේ අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන කෘතහස්ත ධර්ම විනයධර ධර්මාචාර්යයන් වහන්සේලා වෙතින් මහනුවර ශ්‍රී සංඝරාජ පරිවේනස්ථානයෙන් ධර්ම විනය මෙන් ම ශබ්ද ශාස්ත්‍රය ද හදාරා වර්ග පටිපාටියෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

1964 ජූනි 10 වන දා අති පූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වාහල නාග නාමයෙන් මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත් වූහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ කුඩා කල සිට දැනුමෙන් මෙන්ම ගුණ නුවණින් ද, සීලයෙන් ද පෝෂණය වෙමින් ගත කළ පැවිදි දිවිය නිසාම ශාසනික උසස් තනතුරු ලැබීමට හා දැරීමට ද සුදුසුකම් සපුරාලීය.

මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි ගරුතර මහ සඟරුවනට පැවරෙන භාරදූර වගකීම් අතර ජීවමාන බුදුරජාණන් වහන්සේ වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කෙරෙන සිරි දළදා තේවාව අති උතුම් පූජනීය දුර්ලභ අවස්ථාවකි. 1965, 1981, 1991 වසරවල දී එවකට වැඩ සිටි අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ කාරුණික උපදෙසින් ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධූරයට පත්ව පෞරාණික වත් පිළිවෙත් ආදිය පිළිබඳ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් මනා පරිචයක් ලැබූහ.

අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයට 1968 සැප්තැම්බර් 25 වන දා තෝරාපත් කරන ලදහ. 1969 දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය ධූරයට පත් වූ උන්වහන්සේ ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1974 දී ඓතිහාසික රිදී විහාරය ඇතුළු විහාරස්ථානයන්හි අධිපති ධූරයට පත්වීමෙන් එම විහාරාරාමයන්හි ආරක්ෂාවට හා සංවර්ධනයට ඉටු කළේ උදාර මෙහෙවරකි.

සිරිමල්වත්ත ආනන්ද මහානාහිමි (1973-1989) මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් 1979 මැයි මස 10 වන දා මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ උපලේඛකාධිකාරී ධූරයට පත් වූහ. උන්වහන්සේගේ ම නියමයෙන් 1985 නොවැම්බර් 9 වන දා ගරුතර කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී ධූරයට පත්ව ඊට අදාළ සියලු වගකීම් මැනවින් ඉටු කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසිපස්වැනි මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් එම සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට 1990 දී පත් කොට වදාළහ.

මෙසේ ශාසනික වගකීම් මනා කැපවීමෙන් ඉටු කළ හෙයින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත රතනපාල සෝභිතාභිධාන අනු නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධූරයට පත් කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතිව වැඩ විසූ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ පදවිය වන විසි හයවන මහානායක මා හිමිපාණන් වහන්සේ ලෙස 2004 ජූනි 20 වන දා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ පත් කොට වදාළ අතර 2004 අගෝස්තු 16 වන දා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය සිදු කෙරිණි.