චෝල විරෝධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

චෝල හමුදා කස්සප සොයමින් මුළු රුහුණ පුරා සංචාරය කළ නමුත් කස්සපට පක්ෂපාතී පිරිස් විසින් ඔහු ඉතා හොඳින් ආරක්ෂා කරනු ලැබීය. චෝලයින් කුමරු සොයමින් සිටින විට සිංහල සෙන්පතිවරුන් දෙදෙනෙකු ඔවුනට එරෙහිව සටනක් ආරම්භ කළහ. හය මාසයක් කෙරුණු යුද්ධයකින් පසු චෝලයින්ට පොළොන්නරුව දක්වා පසු බසින්නට සිදු විය. ඉන් පසු කස්සප, වික්‍රමබාහු යන නමින් මුළු ශ්‍රී ලංකාවේම ආධිපත්‍යය ආරෝපණය කර ගත් නමුත් ඇත්ත වශයෙන්ම ඔහුගේ සැබෑ පාලනය තිබුණේ රුහුණ ප්‍රදේශයේ පමණි.

වික්‍රමබාහු තමාට අවනත රාජපාක්ෂික තත්වයක් ඇති කර ගැනීමට කටයුතු කළ අතර චෝලයින් සමග කල් පවත්නා ආරක්ෂාකාරී යුද්ධයකට මුහුණ දීම සඳහා යුද්ධමය වශයෙන් ශක්තිමත් වීම ආරම්භ කළේය. චෝලයින් විටින් විට රුහුණු ප්‍රදේශයට කඩා වැදුනෝය. එහෙත් මුලදී වික්‍රමබාහුගේ විරෝධතා යටපත් කිරීම සම්බන්ධයෙන් චෝලයින් විශේෂ සැලකිල්ලක් නොදැක්වූහ.

මෙම කාලයේදීම දකුණු ඉන්දියාවේ ඔවුන් යටත් කර ගෙන තිබුණු පාණ්ඩ්‍ය සහ කේරළ ප්‍රදේශවල චෝල විරෝධතාවයන් වැඩි විය. එසේ සිදු වීමේ ශඛ්‍යතාවය පිළිගත හැකිය. චෝලයින් විසින් යටත් කර ගත් රාජ්‍යයන් 3 ක් වූ ශ්‍රී ලංකාව, පාණ්ඩ්‍ය දේශය සහ කේරළ ප්‍රදේශය එකනෙකා සමග සම්බන්ධතා පවත්වාගෙන ගිය බැවිණි. වික්‍රමබාහු යුද්ධයකට සූදානම් වීම කල් ගත වන කාර්යක් විය. ඔහු යුද්ධයකට සූදානම් වීමේ අවස්ථාව වන විට අවුරුදු 8 ක් ගත වී තිබුණි. කෙසේ වෙතත් ඔහු චෝලයින් සමග යුද්ධයක් ආරම්භ කිරීමට පෙරදීම රෝගාතුර වී දෙවුන්දරදී මිය ගියේය. ඔහුගේ මරණය 1037 සහ 1041 අතර කාලය තුළ සිදු වන්නට ඇතැයි ඉතිහාසඥයෝ සඳහන් කරති.

අනුප්‍රාප්තිකයෝ

වික්‍රමබාහුගෙන් පසු රජකම උරුම වීමට ඍජු හිමිකාරයෙක් නොවීය. ඔහුගේ මරණයෙන් පසු අවුරුදු 10 ක පමණ කාලයක් රටෙහි අස්ථාවර හා අසමගි තත්වයක් තිබුණේය. චෝල අධිරාජ්‍යය මෙම තත්වයෙන් ප්‍රයෝජන ගත්තේය.

වික්‍රමබාහුගේ මරණය සිදු වීමත් සමගම ඔහුගේ සේන්පතියා වූ කිත්ති බලයට පත් විය. දින අටකට පසු ඔහු බලයෙන් පහ කරන ලදී. ඒ මහලාන කිත්ති විසිණි. ඔහු වික්‍රමබාහුගේ ප්‍රධාන ලේකම් තනතුර උසුලා ඇත. එහෙත් ඔහු ගැන තොරතුරු ඇත්තේ ස්වල්පයකි. ඔහු තව අවුරුදු 3 ක් පාලනය කළ නමුත් චෝලයින් සමග යුද්ධයකට පැටලුණේය. ඔහුගෙන් පසු ඉන්දියන් කුමාරවරු කීප දෙනෙක් බලයට පත් වූහ. එසේ වීමට හේතුවක් වූයේ චෝලයින්ට විරුද්ධව සිංහලයින් මෙහෙයවන ඕනෑම කෙනෙකු හා එක් වීමට සිංහලයෝ කැමැත්තෙන් සිටි බැවිණි. කෙසේ වුවත් එම පාලකයින් රුහුණු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබුණෙන් එය පෙර කවදාවත් නොතිබුණු නරකම තත්වයකට පත් විය.

පසුව 1055 දී 1 වැනි විජයබාහු රජු බවට පත් විය. ඒ අවරුදු 17 ක් පුරා සාර්ථකව කෙරුණු උත්සාහයක ප්‍රථිඵලයක් ලෙසිණි. ඔහු චෝලයින් ඉතා සාර්ථක ලෙස රටෙන් පලවා හැර අවුරුදු සියයකට පසු ප්‍රථම වතාවට රට එක්සේසත් කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=චෝල_විරෝධය&oldid=99231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි