Jump to content

චුල්ල හත්ථි පදෝපම සූත්‍ර

විකිපීඩියා වෙතින්

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි ජාණුස්සොණි බ්‍රාහ්මණ තෙම් සවිසුදු වෙළෙඹුන් යෙදූ රියකින් දෙවෙන්දාවල් සැවැත්නුවර පැදකුණු කරයි.

2. ජාණුස්සොණි බ්‍රාහ්මණ තෙමේ එන්නා වූ පිලොතිකා පරිව්‍රාජකයා දුර දී ම දැක්කේය. දැක මෙසේ කීයේය:

“භවත් වාත්ස්‍යායන තෙමේ දැන් දෙවෙන්දාවල් කොහි සිට එන්නේ ද”

“පින්වත, මම මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”

“භවත් වාත්ස්‍යායන තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව හා වියත්බව කිමැයි හඟනේ ද? පණ්ඩිතයෙකැ යි සිතන්නේ ද”

භවත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දැනීමෙහි මම කවරෙකිම් වෙම් ද, යමෙක් ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දන්නේ නම්, හෙතෙමේත් ඒකාන්තයෙන් එවැනි (බුදුවරයෙක්) වන්නේ ම ය.

“පින්වත් වාත්ස්‍යායන තෙමේ උදාර වූ ප්‍රශංසාවෙන් භවත් ගෞතමයන් පසසයි”

“පින්වත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන් පැසසීමෙහි මම කවරෙකිම් වෙම් ද, ඒ භවත් ගෞතම තෙමේ ප්‍රශස්ත ගුණයෙන් ප්‍රශස්තය, නොහොත් ප්‍රශස්තයන් විසින් ප්‍රශස්තය. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ ය.

“පින්වත් වාත්ස්‍යායන තෙමේ කවර කරුණක් දක්නේ ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ වෙසෙසින් පැහැදුණේ ද”

3. “පින්වත, යම් සේ නාගවනවාසී (ඇතුන් වසන වනයෙහි වසන) දක්ෂ පුරුෂයෙක් ඇත්වනයට ඇතුළු වේ ද, හෙතෙම නාගවනයෙහි දිගිනුදු දික් වූ සරසිනුදු පුළුල් වූ මහඇත්පියක් දක්නේ ද, හෙතෙමේ ‘පින්වත, මහ ඇතෙකැ’ යි නිශ්චයට පැමිණෙන්නේ ය. පින්වත, එසේ ම මම යම් තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් වෙත ඤාණපද සතරක් දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ ‘සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය’යි නිෂ්ඨාවට පැමිණියෙමි.

4. කවර ඤාණපද සතරෙක් ද යත්:

පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳින්නාක් මෙන් හැසිරෙද්ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවෙධි දුනුවාවන් වැනි වූ ඇතැම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙකුන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ‘අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේ ය’යි අසත්. ඔහු ප්‍රශ්න අභිසංස්කරණ කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, මෙසේ අපි ඔබට වාදාරෝපණය කරන්නෙමු. මෙසේත් අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, ඔබට මෙසේත් අපි වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.

ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියේය’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට‍ දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තියුණු කරවති. සතුටු කරවති. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයන් අතින් ප්‍රශ්න නො විචාරත්ම ය. කොයින් උන්වහන්සේට වාදාරෝපණය කරන්නාහු ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ පළමුවන පදය දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’’යි නිශ්චයට ගියෙමි. [පළමුවැනි ඥානපදය]

5. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවෙධි දුනුවායන් වැනි වූ ඇතැම් බමුණුපඬිවරුන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේය’යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද්දේ මෙසේ විසඳන සේක. අපි මෙසේ උන්වහන්සේට වාදාරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද උන්වහන්සේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.

ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ ගෞතම තෙමේ ඔවුන්ට‍ දැහැමි කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තියුණු කරවනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත් ද? ඒකාන්තයෙන් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවන ඥානපදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ. ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය’’යි නිශ්චයට පැමිණියෙමි. [දෙවැනි ඥානපදය]

6. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවෙධි දුනුවායන් වැනි වූ ඇතැම් ගෘහපතිපණ්ඩිතයන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා එළඹ විචාරන්නෙමු. මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.

ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට‍ දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තෙදගන්වනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණගෞතමයන් ප්‍රශ්න නොවිචාරත් ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, මම යම් දිනෙක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ තුන්වන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [තෙවැනි ඥානපදය]

7. නැවත ද අනිකක් වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවෙධි දුනුවායන් වැනි වූ ඇතැම් ශ්‍රමණ පතිපණ්ඩිතයන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.

8. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් කරාපැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ට‍ දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, සතුටු කරවන ලද, ඔහු ශ්‍රමණගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගේ අවසර යදිත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන් මහණ කරවති. උපසපන් කරවති. එහි පැවිදි වූ ඔහු එකලා වූවාහු (ගණයා කෙරෙන්) වෙන් වූවාහු සිහියෙන් යුක්ත වූවාහු කෙලෙස් තවන වැර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වාසය කරන්නාහු නොබෝ කලකින්ම - යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද - නිරුත්තර වූ මගබඹසර කෙළවර කොට ඇති ඒ අරහත්වය ඉහාත්මයේදී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරෙත්. ඔහු මෙසේ කීහ: ‘පින්වත, අපි ඒකාන්තයෙන් මදකින් (නොපැමිනීම් මතුයෙන්) නැසූණම්හ. පින්වත, ලේසයකින් වැනසුණම්හ. අපි පෙර නොමහණව ‘මහණම්හ’යි පිළින කළෙමු. නොබමුණු ව ‘බමුණම්හ’ යි පිළින කෙළෙමු. නො රහත්ව ‘රහත්ම්හ’යි පිළින කෙළෙමු. දැන් මහණමෝ වම්හ. දැන් බමුණෝ වම්හ. දැන් රහත්මෝ වම්හ’යි කියායි. පින්වත, යම් කලෙක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ සිවුවන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන්වහන්සේ සම්‍යක්සම්බුද්ධ යහ. ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [සිවුවැනි ඥානපදය]

9. පින්වත, යම් තැනෙක පටන් මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ ඥානපද සතර දිටිම් ද, එකල්හි මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි.

10. මෙසේ කී කල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ සව්සුදු වෙළඹ රියෙන් බැස උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දෙස ඇඳිලි බැඳ “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා”යි තුන් යළක් උදන් ඇනී ය. ‘අපි කිසියම් කලෙක්හි ඒ භවත් ගෞතමයන් වහන්සේ සමග එක් වන්නමෝ නම්, මැනව. කිසියම් කථා සල්ලාපයෙක් වන්නේ නම්, මැනැවැ’යි ද කීය.

ඉක්බිති ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවී ය. සතුටු විය යුතු සිත ඇලවිය යුතු කථාව කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ පිලොතිකා පරිව්‍රාජකයා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය.

14. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝණී බ්‍රාහ්මණ හට මෙය වදාල සේක: “බමුණ, මෙපමණකින් හස්තිපදොපමය විස්තර වශයෙන් සම්පුර්ණ වූයේ නො වේ. බමුණ, යම්සේ හස්තිපදොපමය විස්තර වශයෙන් සම්පූර්ණ වේ ද, එය ශ්‍රවණය කරව, මනා කොට මෙනෙහි කරව. කියන්නෙමි”. “පින්වතුන් වහන්ස, එසේ ය” යි කියා ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

15. බමුණ, යම්සේ ඇත් වනයෙහි වාසය කරන්නෙක් ඇත්වනයට පිවිසෙන්නේ ද, හෙතෙම ඇත් වනයෙහි දිගිනුදු දික්වූ, සරසිනුදු පුළුල් වූ මහත් ඇත්පියක් දක්නේ නම් දක්‍ෂ වූ යම් නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ටාවට නොපැමිණෙයි. එ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති වාමනිකා නම් (මිටි වූ) ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් ද දකියි. යමෙක් දක්‍ෂ වූ නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ටාවට නොමපැමිණෙයි. ඒ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති (උස් පහත් දළ ඇති) උච්චා කාළාරිකා නම් ඇතින්නෝ ද ඇත්තාහුමය. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා දකියි. යමෙක් දක්‍ෂ වූ නගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ටාවට නො යේ ම ය. ඒ කවර හෙයින යත්: බමුණ ඇත්වනයෙහි (යටි වැනි උස් වූ පාද ඇති) උච්චා කණේරුකා නම් මහ පිය ඇති ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල උස් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා උස් තැන්හි බුන් අතු හා දකියි. ගසක් මුලට ගියාවූ හෝ අබ්භ්‍යවකාශයට ගිය වූ හෝ ඇවිදිනා වූ හෝ සිටිනා වූ හෝ හුන්නා වූ හෝ වැද හොත්තා වූ හෝ ඒ ඇතු ද දකියි. ‘මේ ඒ මහා ඇතා ම ය’යි හේ නිශ්චයට යෙයි.

16. බමුණ, මේ පරිද්දෙන් ම මේ ලෝකයෙහි අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණයෙන් යුක්ත වූ, සුගත වූ, ලෝකය දන්නා වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ පහළ වෙයි. හෙ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව ද තෙමේ විශිෂ්ඨඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හෙ ආදි කල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්යාවසානකල්‍යාණ කොට අර්ථසහිත කොට බ්‍යඤජන සහිත කොට කේවල සම්පුර්ණ කොට පිරිසුදු කොට ධර්‍මය වදාරයි, ශාසනබ්‍රහ්මචර්යය ප්‍රකාශ කෙරෙයි.

17. ඒ ධර්මය ගැහැවියෙක් හෝ ගැහැවිපිතෙක්‌ හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්ගයෙකි. පැවිද්ද එලිමහනක්‌ වැන්න, ඒකාන්තයෙන් පරිපූර්ණ වූ ඒකාන්තයෙන් පිරිසුදු වූ මේ ශඞ්ඛලිඛිත බ්‍රහ්මචර්යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වෙයි. මම කෙස්රවුළු බහා කහවත් ඇඳ ගිහිගෙන් නික්ම අනගාර්යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසුකලයෙක ස්වල්පවූ හෝ භෝගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑපිරිවර හැර මහත් වූ හෝ නෑපිරිවර හැර කෙස්රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාර්යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.

18. හෙතෙමේ මෙසේ පැවිදි වූයේ භික්ෂුන්ගේ ශික්‍ෂාපද සඞඛ්‍යාත සාජීවයට පැමිණියේ සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ වෙයි. බහා තැබූ ශස්ත්‍ර ඇත්තේ වෙයි. ලජ්ජායෙන් යුක්ත වූයේ දයාවට පැමිණියේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරෙයි. නුදුන් දෙය ගැන්ම හැර නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. දුන් දෙය ගන්නාසුලු වූයේ දුන් දෙය කැමැති වන සුලු වූයේ සොර නොවූ පිරිසුදු වූ සිතින් වාසය කෙරෙයි. අශ්‍රේෂ්ඨචර්යාව හැර ශ්‍රේෂ්ඨචර්යා ඇත්තේ අයහපත් හැසිරීමෙන් දුරු වුයේ වෙයි. ග්‍රාමධර්‍ම යයි කියන ලද මෛථුනයෙන් වැළකුණේ වෙයි. මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වෙයි, සත්‍ය කියනසුලු වුයේ සත්‍යයෙන් සත්‍ය ගලපනුයේ ස්ථිරකථා ඇදහිය යුතු බස් ඇත්තේ ලෝකයා බොරුවෙන් නොරවටන්නේ වෙයි. පිසුනුබස් හැර පිසුනුබසින් තොර වුයේ වෙයි. මෙතනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ නොවෙයි. එතනින් අසා ඔවුන්ගේ භේදය පිණිස මෙතැන කියන්නේ නොවෙයි. මෙසේ බිඳුණවුන් සමගි කරන්නේ සමගි වූවන්ට අනුබල දෙන්නේ සමගියට කැමැත්තේ සමගියෙහි ඇලුණේ සමගි වුවන් දැක සතුටු වනසුලු වූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි. රළුබස් හැර රළුබස් කීමෙන් වැළකුණේ වෙයි. යම් ඒ වචනයක් නිදොස් ද, කනට සුව ද, ප්‍රේමණීය ද, ළ ගන්නාසුලු ද, නාගරික ද, බොහෝ දෙනා කැමැති ද, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද, එබඳු වචන කියන්නේ වෙයි. හිස බස් තෙපලීමෙන් වෙන් වූයේ වෙයි. කල් බලා කියනසුලු වූයේ වූවක් කියනසුලු වූයේ අර්ථයක්ම කියනසුලු වූයේ ධර්මයක් ම කියනසුලු වූයේ විනයක් ම කියනසුලු වූයේ වෙයි. ළෙහි තැන්පත් කර ගත යුතු කරුණු සහිත වූ පිරිසිඳිම් ඇති අර්ථයෙන් යුත් වචන නිසි කල්හි කියන්නේ වෙයි.

19. හේ බීජසමූහ (පැළවන දෑ) ද, භූතසමූහ (පැළවුන දෑ) ද, සමාරම්භයෙන් (නැසීමෙන්) වෙන් වූයේ වෙයි. එක වේලේ වළඳන්නේ රාත්‍රීභොජනයෙන් වැළක්කේ විකල් බොජුනෙන් වෙන් වූයේ වෙයි. නටනු ගයනු වයනු විසුලු දස්නෙන් දුරු වූයේ වෙයි. මල් ගඳ විලෙවුන් ඇඟ දැරීම, අඩු තැන් පිරවීම, සැරසීම යන මෙයින් වෙන් වූයේ වෙයි. උස්යහනින් මහයහනින් දුරු වූයේ වෙයි. රන්රිදී මසු කහවණු පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමු ධාන්‍යවර්ග පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ස්ත්‍රීන් කුමරියන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි.එළු බැටෙළුවන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. කුකුළන් ඌරන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ඇත ගව අස් වෙළඹුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ගිහීන්ගේ පණිවුඩ හා ගෙන් ගෙට හසුන් ගෙනයාමෙන් දුරු වූයේ වෙයි. වෙළඳ ගනුදෙනුවෙන් දුරු වූයේ වෙයි. හොර තරාදියෙන් කිරුම, නොරන් බඩු රන් බඩු සේ දක්වා දීම, හොර මිනුම යන මෙයින් දුරු වූයේ වෙයි. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා කරණ මායාව යන කුටිල (වඞ්ක) ප්‍රයෝගයෙන් වැලකුනේ වෙයි. අත් පා කැපීම, මැරීම, විලංගු ආදිය ලා බැඳීම, මංපැහැරීම, ගම්පැහැරීම, සැහැසිකම යන මෙයින් වැලකුනේ වෙයි.

20. හෙතෙම කය පරිහරණය කිරීමට ප්‍රමාණ වූ සිවුරෙන් ද, කුස පරිහරණය කිරීමට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙතෙම යම් යම් තැන යේ ද, පාසිවුරු රැගෙන ම යෙයි. යම් සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් දිගෙක පියාඹයි ද, පියාපත් බර සහිත ව ම පියාඹයි. මෙපරිද්දෙන් ම භික්‍ෂු තෙමේ කය පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන්ද කුස පරිහරණය කිරීමට ප්‍රමාණවත් පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙ තෙම යම් යම් තැන යේ නම්, පාසිවුරු රැගෙන ම යෙයි. හෙ තෙම මේ ආර්යශීලස්කන්ධයෙන් යුක්ත වූයේ ස්වසන්තානයෙහි නිරවද්‍ය වූ සැපය විඳීයි.

21. හෙ තෙම ඇසින් රූප දැක ස්ත්‍රී පුරුෂාදී වශයෙන් නිමිති ගන්නේ නො වේ. හස්තපාදාදි අවයවයන් ආකාරය නොගන්නා සුලු වේ. යම් කාරණයකින් චක්‍ෂුරින්ද්‍රිය සංවරණය නො කොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්මනස්‍යයෝ අනු බඳනාහු ද, ඒ චක්‍ෂුරින්ද්‍රිය සංවරණය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්ද්‍රියයෙහි සංවරණයට පැමිණේ, කණින් ශබ්ද අසා ... නාසයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්ශ කොට... සිතින් ධර්මාලාම්බනය දැන නිමිති නොගන්නා සුලු වේ. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වේ. යම් කරුණකින් මනින්ද්‍රිය සංවරණය නොකොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්ම වූ අභිධ්‍යාදෞර්මනස්‍යයෝ අනුබඳනාහු ද, ඒ මනින්ද්‍රියාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි. මනින්ද්‍රියෙහි සංවරණයට පැමිණේ. හෙ තෙම මේ ආර්ය්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් යුක්ත වූයේ සිය සිත්සතන්හි කෙළෙසුන් වැගුරුණූ නො කිලිටි සැපය විඳියි.

22. හෙ තෙම ඉදිරියට යාමෙහි පෙරළා ඊමෙහි සම්පජානකාරී (මැනවින් දැන කරන සුලු) වෙයි. ඉදිරි බැලීමෙහි ආපසු බැලීමෙහි සම්පජානකාරී වෙයි. අත් පා හැකිලීමෙහි දිග හැරීමෙහි සම්පජානකාරී වෙයි. අනුභවයෙහි පානයෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි සම්පජානකාරී වෙයි. මල මූ පහ කිරීමෙහි සම්පජානකාරී වෙයි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි සම්පජානකාරී වෙයි.

23. හෙ තෙම මේ ආර්ය වූ ශීලස්කන්ධයෙන් ද යුක්ත වූයේ මේ ආර්ය වූ ඉන්ද්‍රියසංවරයෙන්ද යුක්ත වූයේ මේ ආර්ය වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් ද යුක්ත වූයේ ජනයාගෙන් තොර ආරණ්‍ය, වෘක්‍ෂමූලය, පර්වතය, කඳුරැලිය, පර්වතගුහාව, සොහොන, වනලැහැබ, අබවස, පිදුරුකුටි යන සෙනසුනක් භජනය කරයි.

24. හෙ තෙම පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැක්කේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්මස්ථානාභිමුඛ කොට හිඳියි. හෙ තෙම ස්කන්ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්‍තව වාසය කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාදයට නො පැමිණ ව්‍යාපාද සඞඛ්‍යාත වූ ප්‍රකර්ශ ද්වේෂය හැර විරුද්ධයට නොපැමිණි සිතැත්තේ වාසය කරයි. සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරණසුලු වූයේ ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්‍රකර්ෂද්වේශය කෙරෙන් සිත පිරිසිදු කරයි. ථිනමිද්ධය හැර පහ වූ ථිනමිද්ධ ඇති ව වාසය කරයි. රාත්‍රියෙහි ද ආලෝක සංඥාව ඇත්තේ සිහි ඇත්තේ යහපත් නුවණ ඇත්තේ ථිනමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උද්ධත නො වූයේ තමා තුල සන්හුන් සිත් ඇත්තේ වාසය කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට පහ වූ විචිකිත්සා ඇත්තේ කුශලධර්‍මයන්හි කෙසේ කෙසේදැ’යි පැවැති සැක නැත්තේ වාසය කෙරෙයි. විචිකිත්සාව කෙරෙන් සිත පිරිසිදු කෙරේ.

25. හෙතෙම මේ චිත්තය පිළිබඳ උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරණ පඤචනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හට ගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බ්‍රාහ්මණය, මෙය ද තථාගතයන් වහන්සේගේ ඤාණපද යයි කියා ද තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති ඉළඇට ඉලූ තැන යයි ද, තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දළයෙන් සිඳි තැන යයි ද කියනු ලැබේ. ආර්ය ශ්‍රාවක තෙමේ එපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.

26. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ විතර්ක විචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකොදිභාවය ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති දවීතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.

27. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වාසය කෙරෙයි. කයින් සුව විඳියි. ආර්යයෝ ඒ යමක් ‘උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සුඛවිහරණ ය’යි (ගුණවර්ණනා වශයෙන්) කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි කියා ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.

28. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ සුඛප්‍රහාණයෙන් ද, දුක්ඛප්‍රහාණයෙන් ද, පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සුව නැති උපේක්ෂාස්මෘති දෙදෙනාගේ පිරිසිදුබව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතයන් වහන්සේගේ තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්යයශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා ව දෙසන ලද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණෙ යි.

29. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙනබවට පත්වූ සමාහිත සිත ඇති කල්හි පෙර වුසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම නන් වැදෑරුම් පෙර විසු කඳපිළිවෙළ සිහි කෙරෙයි. එනම්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්‍ෂයක් ද, නොයෙක් නස්නා කල්පයන් ද, නොයෙක් හටගන්නා කල්පයන් ද, නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද සිහි කරයි: ‘අසුවල් තැන මෙ නම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි පැහැ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි, ඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි, එහිදී ද, මෙනම් ඇත්තෙම් වීමි, මෙ නම් ගොත්‍ර ඇත්තෙම් වීමි, මෙවැනි පැහැ ඇත්තෙම් වීමි, මෙවැනි ආහාර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි.” යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙල සිහි කෙරෙයි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.

30. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ සමාහිත සිත ඇති කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙ යි. හෙතෙම පිරිසුදු වූ මිනිස් ඇස ඉක්ම සිටියා වූ දිවැසින් චුත වන්නා වු උපදින්නා වූ හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ වූ සුගතිගත වූ දුර්ගතිගත වූ සත්ත්වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්වයන් බලයි. ‘මේ භවත් සත්වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්ය්‍යයන්ට උපවාද කළාහුය මිසදුටුවෝ ය. මිසදිටුකම් ගැනුම් ඇත්තෝ ය. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු ය. මේ භවත් සත්වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්ත වූවාහු. වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යොපවාද නො කළාහු සම්දිටු වූ වාහු සම්දිටුකම් ගැනුම් ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු’ යයි කම් වූ පරිදි මිය පරලොව ගිය සත්වයන් දනියි. මෙසේ පිරිසිදු වූ මිනිස් ඇස ඉක්මවා පැවැති දිවැසින් චුත වන උපදින හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගතිගත දුර්ගතිගත සත්වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්වයන් දැනගනියි. බමුණ, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.

31. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ භාවනාකර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙන බවට පත්වූ සමාහිත සිත ඇති කල්හි ආශ්‍රවක්ෂයකර ඥානය පිණිස සිත නැඹුරු කෙරෙ යි.

හෙ තෙම මෙය දුකය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ දුඃඛනිරොධය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවනිරොධය යි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවනිරොධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණෙයි.

32. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි. භවාශ්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි ඥානය වෙයි. ජාතිය ගෙවී ගියා ය. බඹසර වැස නිමවන ලද කළ යුතු දේ කරන ලද මින්පසු මේ අර්හත්වය පිණිස කටයුතු අනිකක් නැතැයි දැන ගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට පැමිණියේ වෙයි. බ්‍රාහ්මණ ය, මෙපමණෙකින් වනාහි ඇත්පිය උපමාව පරිපූර්ණ වූයේ වේ.

33. මෙසේ වදාළ කල්හි ජාණුස්සොණි බ්‍රාහ්මණ තෙම් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටි කුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවහුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තා හු රූප දක්නාහු ය යි අන්ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එ පරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද සඞ්ඝයා ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක්වායි.


නිමි