චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
"චැලෙන්ජර්" අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය
Challenger Photo Montage.jpg
චැලේන්ජර් ෂටලය දියත් කිරීම හා පුපුරා යෑම, එහි සුන්බුන් කොටස් සහ ගගනගාමින්ගේ අනුස්මරණ උත්සවයේ ඡායාරූප
වේලාව11:39:13 EST (16:39:13 UTC)
දිනය28 ජනවාරි 1986; වසර ගණනකට 35 ක් පෙර (1986-01-28)
පිහිටුමඅත්ලාන්තික් සාගරය, ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන්
ප්‍රතිඵලයඅභ්‍යවකාශ ෂටල භාවිතය වසර තුනකට අත් හිටවනු ලැබීය. එම කාලය තුල නව ආරක්ෂක ක්‍රමවේද, නව ඝන රොකට් බූස්ටර වැනි දේ අනාගත-දියත්කිරීම් සඳහා ඉදිරිපත් කරන ලදී.
Casualties
මරණ7
Inquiriesරොජර්ස් කොමිෂන් වාර්තාව
චැලෙන්ජර් අභ්‍යවකාශ යානාව දියත් කිරීමෙන් තත්පර 73 කට පසුව එය පුපුරා යන අයුරු දැක්වෙන ඡායාරූපයක්. එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනාම මරුමුවට පත් වූහ.

චැලෙන්ජර් අභ්‍යවකාශ යානා ව්‍යවසනය සිදුවුයේ NASA ආයතනය මඟින් චැලෙන්ජර් අභ්‍යාවකාශ යානාවේ 10 වෙනි දියත් කිරීම සිදුකර තත්පර 73 කට පසුවය. එහි සිටි සාමාජිකයන් හත් දෙනාම මරුමුවට පත් කරමින් යානාව පිපිරී ගියේය. 1986 ජනවාරි 28 වන දින අත්ලාන්තික් මුහුදට ඉහළදී මෙම පිපිරීයාම සිදුවුනි. දකුණු පස ඝන රොකට් බුස්ටරය (Solid Rocket Booster/SRB) නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා හටගත් ගින්න බාහිර ඉන්ධන ටැංකිය වෙත පැතිරුනි. ක්‍රම ක්‍රමයෙන් යානාව විනාශ වන්නට පටන් ගත් අතර යානාව තුල සිටි සියල්ලෝම මරණයට පත් විය. යානාවේ මගීන් සිටින කොටස සහ වෙනත් කොටස් දීර්ඝ වෑයමකින් පසුව අත්ලාන්තික් මුහුදු පතුලෙන් සොයා ගැනිනි.

මෙම විනාශය නිසා අභ්‍යවකාශ යානා වැඩසටහන මාස 32 ක් යන තුරු නතර කිරීමට සිදු විය. එවකට සිටි ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් මෙම ව්‍යවසනය පිළිබදව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරන ලදී. එහිදී පෙනී ගියේ NASA හි සංවිධාන සංස්කෘතියෙහි සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි දුර්වලතා මෙම අනතුර සඳහා බලපෑ ප්‍රධාන සාධක බවය. මෝටර්න් නිකෝල් නමැති කොන්ත්‍රාත්කරුවාගේ SRB නිර්මාණයේ ගැටලු තිබෙන බව 1977 සිටම NASA හි කළමනාකරුවෝ දැන සිටියහ.

නමුත් මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඉතා සීත දිනයක යානාව දියත් කිරීම අනතුරු සහගත බව පිළිබඳ ඉංජිනේරුවන් විසින් කරන ලද අනතුරු ඇඟවීම කළමණාකාරිත්වය විසින් නොසලකා හරින ලද අතර ඒ පිළිබඳව උසස් නිලධාරීන්ට දැන්වීමට ඔවුහු අපොහොසත් වූහ. අභ්‍යවකාශ යානා දියත් කිරීමට පෙර අවශ්‍යතා 9 ක් සපුරාලිය යුතු බව රොජර්ස් කමිටුව විසින් නාසා ආයතනයට දන්වන ලදි.

අභ්‍යවකාශයට ගුරුවරුන් ගෙනයාමේ වැඩසටහනේ ප්‍රථම සාමාජිකයා වූ ක්‍රිස්ටා මැක් ඒලිෆ්, යානාවේ සාමාජිකාවක් වූ බැවින් මෙම යානාව දියත් කිරීම බොහෝ දෙනා විසින් සජීවිව නරඹන ලදී. අනතුර පිළිබඳ මාධ්‍ය ආවරණය අති දැවැන්ත වූ අතර අනතුරෙන් පැයක් ඇතුලත ඇමරිකානුවෝ 85% ක් මෙම පුවත දැන සිටියහ. චැලෙන්ජර් ව්‍යවසනය නිසා ඉංජිනේරු ආරක්ෂාව සහ වැඩපොළෙහි සාරධර්ම පිළිබද විශේෂයෙන් සාකච්ඡා කෙරුණි. මේ සිද්ධිය අළලා 1990 දී 'චැලෙන්ජර්' නමැති චිත්‍රපටය නිර්මාණය විය.

STS-51-L[සංස්කරණය]

STL-51 L යනු චැලේන්ජර් අභ්‍යවකාශ ෂටලයේ 10 වැනි සහ අවසාන පියාසැරිය යි. එය ඇමරිකානු ෂටල ව්‍යාපෘතියේ 25 වැනි දියත් කිරීමද විය. මෙය දියත් කිරීම 1985 ජුලි මාසයේ යෙදී තිබූ නමුත්, පසුව 1986 ජනවාරි මාසය දක්වා ප්‍රමාද කරවන ලදී. මෙහෙයුමේ සමාජිකයන් 1985 ජනවාරි 27 වැනිදා දැනුම් දෙන ලද අතර, අණ දෙන නිලදාරියා වූයේ ගගනගාමී ෆ්‍රැන්සිස් ස්කොබී ය. මයිකල් ස්මිත් යානයේ නියමුවා ලෙස ද, එලිසන් ඔනිසුකා, ජුඩිත් රෙස්නික් සහ රොනල්ඩ් මැක්'නෙයා මෙහෙයුම් විශේෂඥයන් ලෙසද, ග්‍රෙගරි ජාවිස් සහ ක්‍රිස්ටා මැක්'ඔලිෆ් ගුවන් භාණ්ඩ විශේෂඥවරු ලෙස ද මෙහෙයුමට සහභාගි වූහ. ක්‍රිස්ටා මැක්'ඔලිෆ් මෙහෙයුමට එක්වූයේ ගුරුවරයින් අභ්‍යවකාශයට යැවීමේ ව්‍යාතියේ (Teacher in Space) කොටසක් ලෙසයි.

චැලෙන්ජර් යානාවේ ගමන කළ කාර්ය මණ්ඩලයේ ඡායාරූපයක්

මෙහෙයුම දියත් කිරීමට නියමිතව තිබුනේ නැගෙනහිර සම්මත වේලාවෙන් උදාසන 9:38 වූ නමුත්, අයිස් දියවීම සඳහා කාලය ලබාදීමට, එය පැය දෙකක් කල් දැමුනි. උදෑසන 11:00 ට STS-51-L මෙහෙයුම සඳහා චැලේන්ජර් ෂටලය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ LC-39B පීඨිකාවෙන් දියත් විය.

දියත් කිරීම සහ අනතුර[සංස්කරණය]

T=0 යනු දියත් කිරීමේ මොහොතයි. එයට සාපේක්ෂව තත්පර වලින් කාලය දක්වා ඇත. උදා:- T+5 යනු දියත් කිරීමෙන් තත්පර 5කට පසු යන්නයි.

දියත් කිරීම සහ ආරම්භක ආරෝහණය[සංස්කරණය]

T-6 ට ප්‍රධාන එන්ජින දහනය ආරම්භ කරන ලදි. ෂටලයේ ප්‍රධාන එන්ජීන දියර ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක වූ අතර දියත් කිරීමට පෙර මෙහෙයුම අවලංගු කළහොත් ක්ෂනිකව සහ ආරක්ෂිතව ක්‍රියා විරහිත කළ හැකිය. නමුත් ඝන රොකට් බූස්ටර ක්‍රියාත්මක වූයේ ඝන ඉන්ධන වලින් බැවින් ක්‍රියාත්මක කළපසු ඒවා ඉන්ධන අවසන් වන තෙක් දහනය වේ. එම හේතුව නිසා ඝන රොකට් බූස්ටර ක්‍රියාත්මක කරනුයේ යානය දියත්වන අවස්තාවේදි (T=0 හෙවත් උදෑසන 11:00 ට) ම ය. T=0 වන විට රොකට්ටුව දියත් කිරීමේ පීඨීකාවට සම්බන්ධ කර ඇති ආධාරකයන් ඉවත් වෙන ලදී.

යානය පීඨිකාව පසු කරනාවත් සමග ම යානයේ පාලනය කෙනඩි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ජොහ්න්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි මෙහෙයුම් පාලක මැදිරියට යොමු විය. වායුගතික බලයන් මගින් යානයට හානි කිරීම වැලැක්වීම සඳහා සාමන්‍ය ක්‍රියාපටිපාටියට අනුව T+28 ට ප්‍රධාන එන්ජින ත්වරණය වීම අඩු කරන ලදි. T+40 වන විට යානය අඩි 19 000 ක් (මීටර් 5 800 ක්) ඉහළට ගමන් කර තිබූ අතර ඒ වනවිට එහි වේගය ශබ්දයේ වේගය (පැයට සැතපුම් 761) ඉක්මවා ගොස් තිබුනි.

යානය බිඳ වැටීම[සංස්කරණය]

T+72 ට දකුනු පස ඝන රොකට් බූස්ටරය, එය භාහිර ඉන්ධන ටැංකියට සම්බන්ධ කර ඇති මුක්කුවෙන් ඉවතට තල්ලු විය. පසුව නිරීක්ෂනය කරන ලද ටෙලිමිතික දත්තයන්ට අනුව එම මොහොතේ යානය දකුනු පසට පාර්ශ්වික ත්වරනය වීමක් ඇති වූ බවට හෙලිවුනි. ගගනගාමින්ට එය දැනෙන්නට ඇති බවට සැලකේ. කාර්‍ය මණ්ඩල කැබිනයේ තිබූ පටිගත කිරීමේ යන්ත්‍රයට පටිගත වූ යානයේ ගගනගාමින්ගේ අවසාන වචනය පිටවූයේ නියමු මයිකල් ස්මිත් ගෙනි. ඒ "අහ්, ඕහ්" යනුවෙනි. එය ප්‍රධාන එන්ජින කාර්‍ය සාධනය සහ පිටත ඉන්ධන ටැංකියේ පීඩනය වේගයෙන් අඩු වන බව දුටු ඔහු ඊට ප්‍රතිචාර දැක්වූ අයුරු විය හැකිය.

චැලේන්ජර් ෂටලය පුපුරා විනාශ වීම

T+73 ට ද්‍රව හයිඩ්‍රජන් ටැංකියේ පසුපස භාගය අසමත් වූ අතර එයින් ඇතිවූ ප්‍රචාලන බලයෙන් හයිඩ්‍රජන් ටැංකිය, භාහිර ඉන්ධන ටැංකියේ ඉදිරිපස කොටසේ තිබූ ද්‍රව ඔක්සිජන් ටැංකියේ ගැටුනි. එම මොහොතේම දකුනු පස ඝන රොකට් බූස්ටරය ඉදිරිපස මුක්කුව වටා භ්‍රමනය වී බාහිර ඉන්ධන ටැංකි සම්බන්ධ කරන ව්‍යූහයේ සිරවුනි. මේ මොහොතේ භාහිර ඉන්ධන ටැංකිය සම්පූර්ණ ව්‍යූහාත්මක බිඳ වැටීමකට ලක්වූ අතර ද්‍රව හයිඩ්‍රජන සහ ද්‍රව ඔක්සිජන ටැංකි කැඩී ගොස් ද්‍රව ඔක්සිජන සහ ද්‍රව හයිඩ්‍රජන මිශ්‍ර වී, ජ්වලනය වී විශාල ගිනි ජාලාවක් ඇති වූ අතර ක්ෂනයකින් එය මුලු යානයම ආවරණය කරන ලදි.

යානය විනාශ වීම ආරම්භ වූයේ T+73.162 ට, අඩී 48 000 ක උන්නතාංශයකදී ය. භාහිර ටැංකිය කොටස් වලට කැඩී යද්දී චැලේන්ජර් එහි නියමිත ඉරියව්වෙන් වෙන්වී වායු ගතිකයට අනුව වේගයෙන් දිශාව වෙනස් වන්නට ගත්තේය. (මේ අතර නිසි පාලනයක් නොමැති ඝන රොකට් බූස්ටර දිගින් දිගටම දහනය වෙමින් ත්වරණයක් ඇති කරන ලදි) මේ සියල්ල හේතුවෙන් ඇති වූ 20 g ක පමණ ගුරුත්ව බලය 5 g ක් පමනක් දරාගත හැකි ‍යානය ක්ෂනයකින් කඩා විනාශ කර දමන ලදි. නමුත්, ඊට වඩා පීඩනයක් දරාගත හැකි ඝන රොකට් බූස්ටර දෙක පමණක් විනාශ වූ යානයේ සුන්බුන් අතරින් ඉවතට ඇදී, පාලනය-නොකළ බල ගැන්වූ පියාසැරියක යෙදෙන්නට විය. ඝන රොකට් බූස්ටර වල පිටත ආවරණය අඟල් භාගයක් පමන ඝනකමක් ඇතිව වානේ වලින් නිපදවා තිබූ නිසා ඒවා යානයට සහ භාහිර ඉන්ධන ටැංකියට වඩා ශක්තිමත් විය.

මෙහෙයුම් පාලන මැදිරියේ ප්‍රතිචාරය[සංස්කරණය]

පියාසැරි අධ්‍යක්ෂක ජේ ග්‍රීන්, යානය පුපුරා ගිය මොහොතේ

යානය විනාශ වී යාම ගැන මෙහෙයුම් පාලක මැදිරියට මුලින්ම ලැබුනු ඉඟිය යානය සමග තිබූ රේඩියෝ සම්බන්ධය අහිමි වීමයි. මීට අමතරව රූපවාහිනි තිරවල දුම් සහ ජල වාෂ්ප (හයිඩ්‍රජන් සහ ඔක්සිජන දහනයේ ප්‍රතිපලය) වළාවක් ද, කුඩා සුන්බුන් කැබලි පහළට වැටෙන අයුරුද දක්නට ලැබුනි. T+89 ට පියාසැරි අධ්‍යක්ෂ ජේ ග්‍රීන් ඔහුගේ පියාසැරි ගතික නිලධාරියාගෙන් තොරතුරු ඉල්ලා සිටියේය. පියාසැරි ගතික නිළධාරියා පවසා සිටියේ රේඩාරයට මූලාශ්‍ර කිහිපයක් නීරීක්ෂනය වෙන බවයි. එයින් ද සනාථ වූයේ යානය කොටස් ගණනාවකට කැඩි ඇති බවයි. සුලු මොහොතකට පසු බිම්ගත පාලක නිලධාරිය පැවසුයේ රේඩියෝ සහ ටෙලිමිතික දත්ත සම්බන්ධය අහිමි වූ බවයි. ග්‍රීන් සිය කන්ඩායමට උපදෙස් දුන්නේ ඔවුන්ගෙ දත්ත හොඳින් නිරීක්ෂනය කරන ලෙසට යි.

T+110 ට කේප් කැනරවල් ගුවන් හමුදා මූලස්ථානයේ සිටි දුරස්ථ ආරක්ෂක නිළධාරියා විසින් දුරස්ථ ආරක්ෂක පද්ධතියේ තිබූ "විනාශ කිරීමේ" පැකේජ ක්‍රියාත්මක කළේ ඝන රොකට් බූස්ටර් ගුවනේදිම විනාශ කර දැමීම සඳහා ය. ඒ ඒවා තවදුරටත් පාලනයකින් තොරව ගමන් කිරීමෙන් ගොඩබිමට හෝ මුහුදට තර්ජනයක් විය හැඛි බැවිනි.

ගගනගාමින් මරණයට පත්වීම[සංස්කරණය]

ගගනගාමින් සිටි යානයේ කැබිනය නිමවා තිබුනේ ශක්තිමත් ඇලුමිනියම් වලිනි. එය රොකට්ටුවේ පිපිරීමේදි ඇතිවු 20 g ක පමන ගුරුත්ව බලය දරාගන්නට සමත්විය. කැබිනය යානයෙන් වෙන්වී බැලැස්ටික කවයක ගමන් කරන්නට විය. තත්පර දහයක් තුල කැබිනය යටත්ව සිටි ගුරුත්ව බලය බින්දුව දක්වාම අඩුවී එය පොලොව දෙසට වැටෙන්නට විය. මෙම කාලය තුල ඇතිවූ කිසිම බලයක් ගගනගාමීන් මරනයට පත් කිරීමට තරම් ප්‍රමානවත් නැත. එම නිසා ගගනගාමින් සියලුදෙනාම මේ අවස්තාවෙදී ජීවතුන් අතර සිටි බවට සැළකේ.

ගගනගාමින් සහිත කැබිනය විනාශ වූ යානයෙන් පිටතට ගමන් කරන අයුරු

අධික ගුරුත්ව බලය ඔවුන් මරණයට පත් නොකළත් ඔවුන්ගෙන් කිහිප දෙනෙක්වම සිහිසුන් කරන්නට සමත් විය. ගගනගාමින් තුන් දෙනෙකු (ස්මිත්, සහ හඳුනා නොගත් දෙදෙනෙකු) ඔවුන්ගේ පුද්ගලික වායු සැපයුම් ඇසුරුම් ක්‍රියාත්මක කර තිබූ බවට පසුව හෙලිවිය. එයින් පැහැදිලි වූයේ ඔවුන් තිදෙනා ඒ වනවිට මරණයට පත් වී හෝ සිහිසුන්ව නොසිටි බවයි. මීට අමතරව ස්මිත් ගේ දකුනු පස පිහිටි විදුලි පද්ධති ස්විචය පෙර තිබූ ස්ථානයෙන් ඉවත් කර ඇති බව සොයා ගැනුනි. එය තිබෙන තැනින් ඉවත් කිරීමට නම් එයට උඩින් ඇති ලීවර අගුල ඇදිය යුතුයි. පසුව කළ පරීක්ෂන වලින් හෙලිවූයේ මෙලෙස ලීවර අගුල ඉවත්වී ස්විචය තිබූ තැනින් ඉවත් වූයේ පිපිරීමෙන් හෝ ගැටීමෙන් ඇති වූ බලයකින් නොවන බවයි. එනම්, ස්මිත් විසින් ඒවා සිදු කර ඇති බවයි. යානයෙන් වෙන්වූ කැබිනයෙහි විදුලි බලය අහිමි වූ නිසා එය නැවත ලබාගැනීමට ඔහු අසාර්ථක උත්සාහයක යෙදෙන්නට ඇති බවට සිතිය හැකිය.

කෙසේ නමුත් කැබිනය සාගරයේ ගැටෙන මොහොතේ ගගනගාමින් සිහීසුන්ව සිටීම සැකසහිත වන්නේ පිපිරීමෙන් කැබිනයට හානි වී එය අවපීඩනය වූවා දැයි නිවැරදිව නොදන්න බැවිනි. පුද්ගලික වායු සැපයුමෙන් ආශ්වාසයට පමණක් වායුව ලබා දෙන නිසා, කැබිනය තුල වාතය හිස් වුනහොත්, අවපීඩනය නිසා ඔවුන් සිහිසුන් බවට පත්විය යුතුය. (පුද්ගලික වායු සැපයුම ප්‍රයෝජනවත් වූයේ යානය පොලොවෙන් දියත් වීමට පෙර, පොලොව මතදී සිදුවන අවපීඩනයකදී භාවිතා කිරීමට බව සැලකිය යුතුය. නමුත් යානය ඒ වනවිටත් 15 කි.මි. ක් පමණ අහසේ තිබූ බැවින් අවට වායුගෝලය ඉතා තුනී විය.)

ගගනගාමින් හත්දෙනා සිටි කැබිනය, චැලේන්ජර් විනාශ වී මිනිත්තු දෙකයි තත්පර 45 කට පමන පසුව පැයට කිලෝමීටර 333 ක (207 පැ.සැ.) වේගයෙන් අත්ලාන්තික සාගරයේ ගැටුනි. එයින් ඇතිවූ 200 g ක බලය කැබිනයටවත්, එහි සිටි ගගනගාමින්ටවත් දරා ගත හැකි බලයක් නොවීය.

ගගනගාමින්ගෙ සිරුරු ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාසා ආයතනය එකාබද්ධව සති කිහිපයක් තිස්සෙ සිදු කරන ලදි. එයට වෙරළාරක්ෂක නිළධාරින්ගෙන්ද සහය ලබා ගන්න ලදි. මාර්තු 9 වෙනිදා වන විට අධික ලෙස හානිවි විනාශ වී තිබූ කැබිනය සහ එහි සුන්බුන් අතර සිරවී, මුහුදු ජලයෙන් සහ මුහුදු ජීවින්ගේ බලපෑමට ලක්ව විකෘති තිබූ ගගනගාමින්ගේ සිරුරුද සොයාගන්නා ලදි.

අනුස්මරණ[සංස්කරණය]

චැලේන්ජර් ගගනගාමීන්ගේ පවුල්වල සාමාජිකයින් "අභ්‍යවකාශ විද්‍යා අධ්‍යාපනය සඳහා චැලේන්ජර් මධ්‍යස්ථානය" යනුවෙන් ලාභ-නොලබන සංවිධානයක් බිහි කළහ. ඉගෙනීමේ මධ්‍යස්ථාන 43 ක් සහ එක් මූලස්ථාන කාර්‍යලයක් මෙම සංවිධානය විසින් ඉදි කරන ලදි.

ඔවුන් සත් දෙනාගේ නම් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නැරඹුම් සංකීර්ණයේ ඉදි කර ඇති "අභ්‍යවකාශ කැඩපත" නමින් හැඳින්වූ, රාජකාරියේදි මියගිය අභ්‍යවකාශගාමින්ගේ නම් සඳහන් අනුස්මරණ සමරුවට ඇතුලත් කරන ලදි.

අභ්‍යවකාශගාමින්ගේ නම් වලින් ග්‍රහක හතකුත්, හඳේ අදුරු පෙදෙසේ ඇති ආවාට 7 කුත් නම් කරන ලදි.

මූලාශ්‍ර[සංස්කරණය]

Space_Shuttle_Challenger_disaster