ගෝතමී විහාරයේ චිත්‍ර

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ බිහි වූ 43 කණ්ඩායමේ සිත්තරකු වන ජෝර්ජ් කීට් (1901-1993) විසින් පින්තාරු කරන ලද බිතු සිතුවම් මාලාවක් බොරැල්ල ගෝතමී විහාරයේ ඇත. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු මන්ත්‍රීවරයකු හා හිටපු අමාත්‍යවරයකු වූ සර් ජේම්ස් පීරිස්ගේ මව වූ අපලෝනියා ද සොයිසා පීරිස් විසින් දොඩන්දූවේ පියරතන මහානායක හිමියන්ට 1900 වසරේදී ගෝතමී විහාරය වෙනුවෙන් එය පිහිටි ඉඩම පූජා කොට ඇති අතර ගෝතමී විහාරයේ චිත්‍ර නිමවීම සදහා ජෝර්ජ් කීට් හට අනුග්‍රහය දක්වා ඇත්තේ අපලෝනියා ද සොයිසා පීරිස්ගේ මුනුපුරකු වන හැරල්ඩ් පීරිස් විසිනි. කීට් විසින් නිම කරන ලද එකම බිතු සිතුවම් මාලාව මෙය බව සැළකෙන අතර මේ චිත්‍ර මාලාව 1939 සහ 1940 අතර නිම කරන ලද බව ද සැළකේ. සිතුවම්කරණයට ගැලපෙන පරිදි ප්‍රතිමා ගෘහයේ බිත්ති සකස් කරන ලද්දේ ගෘහනිර්මාණ ශිල්පී ඇන්ඩෲ බොයිඩ් විසින් බව ද කියවේ. මෙහි චිත්‍ර , චිත්‍ර හැටියට නොව තද දුඹුරු පැහැති (Burnt Sienna) වර්ණයෙන් ඩ්‍රෝවින් හැටියට නිමවීම කීට්ගේ උවමනාව උවත් ඒ අනුව නිම කෙරූ චිත්‍ර කීට් විසින් ම පසුව වර්ණ ගැන් වූ බව කියවේ. තෙල්වත්තේ ශ්‍රී අමරවංශ භික්ෂුව ගේ ඉල්ලීම ඒ සදහා බලපා ඇතැයි පැවසේ. මෙම චිත්‍රකරණය සඳහා කීට් කිසිඳු අය කිරීමක් නොකළ බව ද පැවසෙන අතර හැරල්ඩ් පීරිස් හා ජෝර්ජ් කීට් අතර ඇති ඥාති සම්බන්ධයක් ද ඇත‍.

කීට්ගේ මෙම චිත්‍ර මුලුමනින්ම එතෙක් පැවතුණ නුවර ගුරුකුලයේ චිත්‍ර සම්ප්‍රදාය, කෝට්ටේ සම්ප්‍රදාය හා එම්. සාර්ලිස් ගුරුකුලයේ චිත්‍ර ශෛලිීන් වලට වඩා වෙනස් වූ නමුත් ගෝතමියේ කීට් කළ චිත්‍ර වල නුවර සම්ප්‍රදායේ චිත්‍ර වල දක්නට ලැබෙන වර්ණ පටිපාටිය දක්නට ලැබෙයි. ඒ වගේ ම නුවර ගුරුකුලයේ චිත්‍ර අතර පසුබිම හා හිඩැස් පිරවීමට රතු වර්ණය යොදා ගන්නා පරිදි කීට් විසින් ද එම ශිල්ප විධිය ද මේ චිත්‍ර සදහා භාවිතා කොට ඇත. වර්ණ පටිපාටීන් අනුව නුවර සම්ප්‍රදායේ චිත්‍ර සමග ඥාතිත්වයක් තිබුණත් මේ චිත්‍ර වල පර්යාවලෝකන හා මානව සිරුර නිරූපණයේදී පැබ්ලෝ පිකාසෝ හා ජෝර්ජ් බ්‍රාක් ගේ ආභාසය කීට් විසින් ලබාගෙන ඇති බව පෙනේ. ගෝතමී විහාරයේ චිත්‍ර අතර මහමායා සිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, දුනු ශිල්ප දැක්වීම, සරණ මංගල්‍යය, නාටිකාංගනාවියන්ගේ රැඟුම, ගිහි ගෙයි කලකිරීම, සතර පෙරනිමිති, රාහුල පුතු දැකීම, මහා අභිනිෂ්ක්‍රමණය, අනෝමා නදියෙන් එතෙර වීම, කෙස් කපා දැමීම, පිඬු සිඟා වැඩීම, ආලාරකාලාම මුණගැසීම, මාරයුද්ධය යන බුදු සිරිතේ වැදගත් සිදුවීම් පින්තාරු කොට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ගෝතමී_විහාරයේ_චිත්‍ර&oldid=469212" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි