ගුවන් විදුලි නාට්‍ය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රව්‍ය කලා මාධ්‍යක් වන ගුවන් විදුලි නාට්‍ය හඩ මූලික කරගත් කලා මාධ්‍යකි.රේඩියෝ නාට්‍යය ලොව බිහි වූ අටවැනි කලාව ලෙසට නම් කෙරේ. "රේඩියෝ ප්ලේ", "රේඩියෝ ඩ්‍රාමා", "ඕඩියෝ තියටර්", "රේඩියෝ තියටර්", "ඉන්විසිබල් ප්ලේ" යන ඉංග්‍රීසි චචන සඳහා සිංහලෙන් "ගුවන් විදුලි නාට්‍යය", "රෙදෙව් නාටක", "හඬනළුව", "ශාබ්දික රංගය" ආදී වචන අපට හමුවේ.

රේඩියෝ නාට්‍යයේ නූතන යුගය එක් දහස් නවසිය පනහ දශකයේදී සැමුවෙල් බෙකට්, ගයිල්ස් කූපර්, බැරී බර්මෙන්ජ්, මසී කොන්ක්‍රෙට්, රිස් ඇඩ්‍රියන්, ෆෙඩ්‍රික් බර්ඩ්නම්, හැරල්ඩ් පින්ටර්, ජේම්ස් සුන්ඩර්ස්, ජෝ ඕටර්න්, ටොම් ස්ටොපර්ඩ් ආදී රචකයන්ගේ නව භාවිතාමය ආඛ්‍යාන තුළ හමු වේ.

ලාංකීය සමාජය සඳහා රේඩියෝ නාට්‍යය සංස්කෘතිය හිමිවන්නේ එකදහස් නවසිය විසිපහ තරම් ඈතකදීය.ආරම්භක යුගයේ නාට්‍යය බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙනි. මෙකල ගුවන් විදුලි නාට්‍යවල රඟපෑම කළේ විනෝදාස්වාදය සඳහා වන අතර මෙම නාට්‍යය බහුතරයක් බී.බී.සී. ආයතනය විසින් නිෂ්පාදනය කළ නාට්‍යයන්හි සිංහල පරිවර්තන හෝ අනුවර්තනයන්ය. උදාහරණ ලෙසට ජෝර්ජ් බර්නාඩ්ෂෝගේ "ද ඩොක්ටර් ඩයිලේමා" නාට්‍යය "වෙදහටන" ලෙසත්, ගීද මෝපසාන්ගේ "නෙක්ලස්" "දියමන්ති මාලය" ලෙසත්, ඇනටොල් ෆ්‍රොන්ස්ගේ "ද මෑන් හූ මැරීඩ් ඩම්බ් වයිෆ්" නාට්‍යය "ගොළු බිරිඳ" ලෙසත් නිෂ්පාදනය වූ ඉතිහාසය දැක්විය හැකිය. එමෙන්ම ආර්.එල්. ස්පිට්ල්, ලෙනාඩ් වුල්ෆ්, පියදාස සිරිසේන, ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ ආදී රචකයින්ගේ කෘති නාට්‍යය ලෙස අනුවර්තනය කොට ප්‍රචාරය වූ සංස්කෘතියක් අනෙක්පසින් හමුවේ.

ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රවණ පර්යේෂණ අංශය සිදු කළ "ගුවන් විදුලි නාට්‍යය, ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යය, නාට්‍යය ශිල්පීන් හා නාට්‍යය රචකයින් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණ වාර්තාව" එක් දහස් නවසිය අසූ හත වැනි කාල වකවානුවක නාට්‍යය ශ්‍රාවකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් බව අනාවරණය කර ගැනීමට සාක්ෂි දරයි. එහිදී "සුගන්ධිකා" පළමු තැනටත්, "ගුවන් විදුලි රඟමඬල" දෙවැනි තැනටත්, "ගජමුතු" තෙවැනි තැනටත්, "මුවන්පැලැස්ස" සිව්වැනි තැනටත්, "සේසතයි කුමරියයි" පස්වැනි තැනටත්, "මේධා" හයවැනි තැනටත්, "ළමා රංග පීඨය" හත්වැනි තැනටත්, "රක්ෂණ රංග" අටවැනි තැනටත්, "සඳගලතැන්න" නවවැනි තැනටත් පාඨක රුචිකත්වය ලබා තිබිණ. මෙම සමීක්ෂණයේදී රේඩියෝ නාට්‍යය ප්‍රිය නොකළ අය කිසිවකු නොසිටි අතර රූපවාහිනිය ප්‍රිය නොකළ අය සියයට එකක් විය.

රේඩියෝ කතා රචකයෙකු සෙසු රචකයින්ට වඩා අසීමිත පරිකල්පනීය වපසරියක් භුක්ති විඳියි. එහිදී ශබ්දමය "මොන්ටාජ්කරණය" හෙවත් ප්‍රතිවිරුද්ධ ශබ්ද එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් වෙනත් අර්ථ උත්පාදනය කළ හැකිය. පරිසරයන් හා චරිතයන් නිර්මාණය කිරීමේදී සෙසු රචකයින් අභිභවා රේඩියෝ නාට්‍යය රචකයාට නිරන්තරයෙන් හිමිවේ. එම පරිකල්පනීය කලාත්මක අවකාශ තම දැනුම ඔස්සේ අර්ථ ගන්වමින් විඳගැනීමට රේඩියෝ නාට්‍යය ශ්‍රාවකයාට එක සේ දොරටු විවර වේ.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්_විදුලි_නාට්‍ය&oldid=438867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි