ගුරු පුස්තකාලයාධිපති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Library.jpg

පටුන

හැදින්වීම[සංස්කරණය]

පුස්තකාලයක් යනු විවිධ මාදිලියේ විඥාපන සම්පත් එකතුවකි. ඕනෑම් පුද්ගලයෙකුගේ ජීවිත කාලය මුළුල්ලේ පුස්තකාල භාවිතයට මුල පුරන්නේ පාසැල් පුස්තකාලය තුළිනි පාසල් පුස්තකාලය පාසලේ ඇති අංගයකි. පුස්තකාල සේවාව විධිමත් අධ්‍යාපනයට අනුපූරකයකි. මේ අකාරයට පාසල් පුස්තකාලයක් තුළින් අපේක්ෂිත ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමෙහිලා‍, පාසල් පුස්තකාලය වැදගත් බලවේගයක් බවට පත් කිරීමෙහිලා පාසල් පුස්තකාලයාධිපතිගේ කාර්යභාරය ඉතාමත් වැදගත් වේ.

පුස්තකාලයාධිපතිවරයාගේ කාර්යභාරය[සංස්කරණය]

අන්තර්ජාතික පුස්තකාල සංගම් සංවිධානය විසින් නිකුත් කොට ඇති පාසල් පුස්තකාල නියමුව විසින් පුස්තකාලයාධිපතිවරයාගේ කාර්යභාරය විස්තර කර ඇත්තේ පහත සදහන් අයුරිනි.

පාසල් පුස්තකාලයාධිපතිවරයාගේ ප්‍රධානම කාර්යභාරය වන්නේ ඇගයීම් කාර්ය පටිපා‍ටි ඇතුළු පාසලේ මෙහෙවර හා ඉලක්කයන් සපුරාලීම සදහා දායකවීමත් පාසල් පුස්තකාලයේ අරමුණු හා ඉලක්කයන් වර්ධනය කිරීම හා ක්‍රියාත්මක කරවීමත්ය ජ්‍යෙෂ්ඨ පාසල් කළමනාකරුවන්, පරිපාලකයින් හා ගුරුමණ්ඩලයේ ද සහයෝගයෙන් පාසල් විෂයමාලා සැලසුම් වර්ධනය කිරීමටත් ක්‍රියාත්මක කරවීමටත් පුස්තකාලයාධිපතිවරයා සහභාගී වේ. තොරතුරු සැපයීම හා තොරතුරු පිළිබද ගැටළු නිරාකරණය සදහාත් මුද්‍රිත හා විද්‍යුත් සම්පත් පරිශීලනය පිළිබදවත් දැනුම හා කුසලතාවය පුස්තකාලයාධිපතිවරයා සතු වේ. මෙම දැනුම හා කුසලතාව ඒ ඒ පාසල් ප්‍රජාවගේ ඉල්ලුම සපුරා ගැනීමට යොදාගත යුතුය. මෙයට අතිරේක වශයෙන් පුස්තකාලයාධිපතිවරයා ළමයින් සදහා කියවීම් වැඩසටහන්, ළමා සාහිත්‍යය මාධ්යප හා සංස්කෘතිය වර්ධනය කිරීමට කටයුතු කළ යුතුය.”

එක්සත් රාජධානියේ පුස්තකාල සංගමය විසින් පාසල් පුස්තකාලයාධිපතිවරකුගේ දායකත්වය පහත දැක්වෙන අයුරින් විග්‍රහ කරනු ලැබ ඇත.

  • පාඨමාලා සැලසුම් කිරීම හා සංවිධානය
  • සම්පත් සැපයීම
  • කියවීමේ පුරුද්ද වර්ධනය
  • පර්යේෂණ හා විඥාපන නිපුණතා
  • පාඨමාලා ආශ්‍රිත වැඩ
  • බාහිර ආයතන සමග සම්බන්ධීකරණය
  • සේවාස්ථ පුහුණුව (Smith, 1988)

විශේෂයෙන්ම අඩු සම්පත් මධ්‍යයේ වූව ද පුස්තකාලය වැදගත් ක්‍රියාශිලී අංගයක් ලෙස පවත්වාගෙන යාම උදෙසා ගුරු පුස්තකාලයාධිපතිවරයෙකුට ප්‍රමාණවත් වෘත්තීය දැනුමක්, කැපවීමක් හා නිර්මාණශීලීත්වයක් ද අවශ්‍යයය. බියකින් හෝ සැකයකින් තොරව හැම සාමාජිකයෙකුටම ප්‍රයෝජනයට ගත හැකි සන්සුන් ඉගෙනුම් පරිසරයක් මැවීම පුස්තකාලයාධිපතිවරයාගේ වගකීම වේ. පුස්තකාලයේ හැම නිලධාරියෙකුම ළමා හා යොවුන් සිසුන් සමග මිත්‍රශීලී සබදතා ගොඩනගා ගැනීම‍ට සමත් විය යුතුය. මේ අනූව ගත් කල ගුරු පුස්තකාලයාධිපති යනු පළපුරුදු ගුරුවරයෙක් හා තොරතුරු කළමණාකරුවෙකු යන අංශ දෙකම පිළිබදව මනා අවබෝධයක් ඇති තැනැත්තාය.

ගුරු පුස්තකාලයාධිපති සතුවිය යුතු ලක්ෂණ හා ගුණාංග[සංස්කරණය]

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙහිලා ගුරු පුස්තකාලයාධිපතිගේ දායකත්වය තීරණාත්මක වේ. ඒ අනූව ගුරු පුස්තකාලයාධිපති සතු විය යුතු ලක්ෂණ පහත දැක්වේ. එනම්,

  • පාසල් පුස්තකාල වැඩස‍ටහන පිළිබඳ දිගුකාලීන දැක්මක් පැවතීම.
  • පාසල් පුස්තකාල වැඩස‍ටහනේ ඉලක්ක හා අරමුණු පිළිබඳ හොඳ අවබෝධයක් පැවතීම.
  • පාසල් පුස්තකාල වැඩස‍ටහන පාසලේ අනෙකුත් වැඩසටහන් සමග සම්බන්ධ කිරීම.
  • පංති කාමරයේ ක්‍රියාකාරකම් පාසල් පුස්තකාල වැඩස‍ටහනට සම්බන්ධ කරලීමෙන් විෂයමාලාවේ ඉලක්ක සපුරා ගැනීමට හැකිවීම.
  • ඉගැන්වීම හා පාසල් පුස්තකාල වැඩස‍ටහන් පවත්වාගෙන යාමේදී සංවිධානමය හා සැලසුම්කරණ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම.
  • ඉගෙනුම් ක්‍රියාවලියේදී ශිස්‍ය කේන්ද්‍රියතාවය පිළිගැනීම.
  • මනා සන්නිවේදන හා අන්තර්පුද්ගල සබදතා ගොඩ නැංවිය හැකි වීම.
  • සමස්ත විෂයමාලාව පිළිබදව පුළුල් දැනුමක් පැවතීම.
  • තොරතුරු ක්‍රියාවලිය පිළිබදව මනා දැනුමක් පැවතීම.
  • ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබදව ධනාත්මක ආකල්පයක් පැවතීම.
  • සුහදශීලීත්වය
  • අවදානම් දැරිය හැකි වීම.

ගුරු පුස්තකාලයාධිපති භූමිකාවේ කාර්යභාර්ය ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලියට දායක වන ආකාරය[සංස්කරණය]

ගුරු පුස්තකාලයාධිපතිගේ භූමිකාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එය පහත රූපසටහනින් දැකගත හැක. Waguwa.JPG

ගුරු පුස්තකාලයාධිපතිගේ භූමිකාව මේ ආකාරයට ගෙනහැර දැක්විය හැකි අතර එය ගුණාත්මක අධ්යා පනයක් ගොඩනැගීමෙහිලා ඉතාමත් වැදගත් වේ.


විෂයමාලා පිළිබඳ දැනුම[සංස්කරණය]

ගුරු පුස්තකාලයාධිපතිට විෂයමාලාව පිළිබද මනා වූ දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වේ. එහිදී විධිමත්, සැගවුණු හා සමගාමී යන විෂයමාලා තුන පිළිබදවම දැනුමක් තිබිය යුතුය. සමස්ත විෂයමාලාවම මනා සේ ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය දැක්වීම ගුරු පුස්තකාලයාධිපතිගේ කාර්යකි. විෂයමාලාව යනු “සිසුන්ටහ හැකිතාක් දුර‍ට සමහර අධ්යාපනික අන්ත හෙවත් පරමාර්ථ මුදුන් පමුණුවා ගත හැකි වන අයුරින් සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් පිළිබද වැඩසටහනකි.” (The logic of education 1970) විධිමත් විෂයමාලාව යනු පෙළපොත්, ගුරු අත්පොත්, විෂය නිර්දේශ භාවිතා කරමින් මුළු දිවයින පුරාම පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන පොදු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියයි. ඒ අනූව විෂය නිර්දේශය සාර්ථකව අනාවරණය කර ගැනීම අධ්යාපන ඉලක්කවලින් එකකි. එහිදී ගුරු පුස්තකාලයාධිපති සතු දැනුම උපයෝගී කර ගනිමින් දරුවන්ට වඩාත් අර්ථාන්විත දැනුමක් ලබා දිය හැක. එහිදී , • විෂයමාලාව පිළිබද දැනුම තුළින් පාසලේ සැලසුම් කටයුතු, විෂයමාලා සම්පාදනය, කාලස‍ටහන් සැකසීම, ඉගැන්වීම් වැඩසටහන් ආදියට සහයෝගය දැක්විය හැකිය. • විශේෂයෙන්ම පුස්තකාල විද්‍යාවෙහිදී දැනීම් සම්භාරය ඉතාමත් සිඝ්‍රයෙන් වර්ධනය වේ. නව දැනුම එක්වීම නිසා පැරණි හෙවත් යල්පැනගිය දැනුම සිසුන්ට ලබා නොදී නව දැනුම ලබා දීමට කටයුතු කළ යුතුය. • විෂයමාලාව පිළිබද හොද දැනුමක් ඇති ගුරු පුස්තකාලයාධිපතිට තමන්ගේ පුස්තකාලය වෙත පැමිණෙන සිසුන්ට පරිහරණය කල යුතු පුස්තකාල සම්පත් කාර්යක්ෂමව හා නිවැරදිව ලබා දිය හැක. ඒ සදහා නිසි වූ මගපෙන්වීමක් කල හැක. උදාහරණයක් වශයෙන් ගතහොත් 7 ශ්රේහණියේ සිසුවෙකුට පුරවැසි අධ්යා පනයට අදාල වූ පොත් කියවිය යුතුනම් 7 ශ්‍රේණියේ විෂය නිර්දේශය පිළිබද පුළුල් වූ දැනුමක් ගුරු පුස්තකාලයාධිපතිට තිබිය යුතුය. ‍ • ගුරුවරුන්ට ඔවුන්ට ඉගැන්වීමට නියමිත වූ විෂය නිර්දේශයන් පිළිබද දැනුම වර්ධනය කර ගැනීමට අවශ්යඔ වූ මග පෙන්වීම කළ හැක. • සිසුන් තම වේගයෙන් ඉගෙන ගන්නා නිසා විෂය නිර්දේශය අනූව ගුරුවරයා ඉගැන්වීමේදී තමන්ට මගහැරුණු හා මැනවින් ඉගෙන නොගත් විෂය ඒකක මෙන්ම ඉදිරියට ඉගෙනීමට තිබෙන නව විෂය කොටස් කරා ළගාවීමට සිසුන්ට අත්වැලක් විය යුතුය. • එක් එක් විෂය නිර්දේශයන්ට අදාල වූ පාඩම් සැලසුම් සකස් කිරීමේදී ගුරුවරයාට ගුරු පුස්තකාලයාධිපති භූමිකාව ඉතාමත් වැදගත් වේ. එදිනෙදා පාඩම් සැලසුම් කිරීමේදී එම විෂයට අදාල වූ තොරතුරු සමුදායක් ගුරු පුස්තකාලයාධිපති වෙතින් ලබා ගත හැක. එම පාඩමට අදාලව ගුරුවරයා විසින් අන්තර්ගත කලයුතු තොරතුරු, ඒ යටතේ ලබාදිය යුතු අමතර දැනුම මොනවාදැයි මනා දැනුමක් ඔහු/ඇය සතුව ඇත. • පාඩමක් සැලසුම් කිරීමේදී පමණක් නොව විෂයක් සැලසුම් කිරීමේදීද ඉහත දක්වන ලද ආකාරයටම ගුරු පුස්තකාලයාධිපති භූමිකාව වැදගත් වේ. මේ තුළින් ඵලදායී වූ අධ්යාටපනයක් ලබා දිය හැක. • එමෙන්ම විෂය නිර්දේශවලට අදාල වූ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පෙළපොත්, විෂය නිර්දේශ පරිහරණය කිරීමට ද ගුරු පුස්තකාලයාධිපති විසින් අවශ්‍යකටයුතු සම්පාදනය කල යුතුය. ඒ තුළින් සිසුන්ට තමන් උගත් හා ඉගෙන නොගත් පාඩම් පිළිබදව මෙන්ම ඉදිරියේදී ඉගෙනීමට ඇති පාඩම් පිළිබදව තක්සේරුවක් කල හැක. ඒ තුළින් සිසුන්ට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය අධ්‍යයනය කල හැක. ගුරුවරුන්ට ද තමන් පිළිබදව තක්සේරුවක් කල හැක. • එමෙන්ම සිසුවාට තමන්ගේ අධ්‍යයයන කටයුතු පිළිබදව මෙන්ම වර්ධනය කර ගත යුතු ප්‍රජානනමය තත්වයන් පිළිබදව උපදේශන හා මාර්ගෝපදේශනය ලබා දීමට ද ගුරු පුස්තකාලයාධිපතිට සිදු වේ. එය ඔහු/ඇය සතුව ඇති තවත් භූමිකාවකි.

ගුරු පුස්තකාලයාධිපති භූමිකාවෙහි තවත් ලක්ෂණයක් ලෙස විෂය සමගාමී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහන් කල හැක. සමගාමී විෂයමාලාව යනු ශිෂ්‍යන්ගේ සැගවුණු කුසලතා මතු කිරීමටත් විෂය දැනුම භාවිතය සදහා යෙදවීමටත් සංවිධානය කරනු ලබන විවිධ විෂයානුබද්ධ ක්‍රියාකාරකම්ය. ගුරු පුස්තකාලයාධිපති විසින් අධ්‍යාපනයේ ගුණාත්මක බව සංවර්ධනය කිරීමෙහිලා ක්‍රියාත්මක කරනු ලබන විෂය සමගාමී ක්‍රියාකාරකම් අතර පහත සදහන් ක්‍රියාකාරකම් ඉතාමත් වැදගත් වේ. එනම්,

ප්‍රශ්න විචාරාත්මක තරග පැවැත්වීම[සංස්කරණය]

ගුරු පුස්තකාලයාධිපතිට ළමුන්ගේ සාධන මට්ටම වර්ධනය කිරීම සදහා විවිධ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කළ හැක. ඒ අනූව සාමාන්‍ය දැනීම හා පොත් පිළිබදව ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපනය කෙරෙහි සිසුන් තුළ පවතින නැඹුරුව, පුස්තකාලය කෙරෙහි පවතින අවධානය වැඩි වේ. මෙවැනි තරග පවත්වන ආකාර‍ය ඒ ඒ ප්‍රදේශ අනූව වෙනස් වේ.

කියවීමේ වැඩසටහන්[සංස්කරණය]

ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් හා සමගාමීව මෙවැනි වැඩසටහන් මගින් යම් විශේෂිත කාල පරිච්ඡේදයක් තුළදී පොත් කියවීමෙන් පසු මෙම තරග සදහා ඉදිරිපත් විය හැක. මේ මගින් කථික තරග, විවාද ආදී වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් විෂය බාහිර දැනුම ද සිසුවා විසින් අත්පත් කර ගනී. ඒ තුළින් ද අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය වේ.

උපදේශාත්මක චාරිකා සැලසුම් කිරීම[සංස්කරණය]

පුස්තකාල හා තොරතුරු සම්පත් මධ්යේස්ථාන, එහි සම්පත් හා සේවා, ඒවා භාවිතයට ගන්නා ආකාරය පිළිබදව මනා දැනුමක් ලබා දිය හැකි පහසුම ක්‍රමය වන්නේ මෙම උපදේශාත්මක චාරිකාය. විවිධ පාසල් හා ආයතන අතර මෙම චාරිකා සැලසුම් කිරීමෙන් තොරතුරු සම්පත් හා සේවා සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම මෙන්ම ප්‍රශ්න හා ගැටළු පිළිබදව පිළිතුරු ලබාදීමටත් හැකිවේ. ඒ තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය වේ.

ප්‍රදර්ශන පැවැත්වීම[සංස්කරණය]

පුස්තකාලය තුළදී හෝ ඉන් පිටතදී ප්‍රදර්ශන පැවැත්වීම ඉතාම වැදගත්ය. ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ප්‍රධාන වශයෙන්ම ගුරු පුස්තකාලයාධිපතිට පැවරේ. අධ්‍යාපනික ආයතන, ගුරු දෙගුරු සංගම්, ජාතික ආයතනවල ප්‍රාදේශීය ශාඛා, පොත් වෙළදුන් සමග සම්බන්ධව මෙය කල හැක. ළමා පොත් සතිය, පුස්තකාල දිනය, සාහිත්‍ය මාසය හා කියවීමේ මාසය වැනි විශේෂ දිනවල හා අවස්ථාවල ප්‍රදර්ශන සංවිධානය කිරීමෙන් ගුරු දෙමාපිය හා සිසුන් වඩා රුචිකත්වයෙන් ඒ කෙරෙහි යොමු වේ. මොවුන් තුළ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමටත්, පුස්තකාල දැනුම් ගබඩාව පෝෂණය කර ගැනීමටත් (පරිත්‍යාග ලැබීම, පොත් ප්‍රකාශකයන්ගෙන් වට්ටම් ගැනීම ආදිය තුළින්) මෙය මාහැගි වේ.

දේශන හා සාකච්ඡා පැවැත්වීම[සංස්කරණය]

මෙමගින් ගුරු පුස්තකාලයාධිපතිට එකම අවස්ථාවකදී පාඨකයින් විශාල සංඛ්යා්වක‍ට අධ්‍යාපනය ලබා දීමට හැකි වේ. දේශනා සාකච්ඡාවල මාතෘකා විය යුත්තේ පුස්තකාලය හා එහි සේවා ගැන පමණක් නොවේ. විඥාපන සාක්ෂරතාවය, විවිධ විෂයන්ට අදාලව එසේත් නොමැතිනම් කාලීන ගැටළු, පෞරුෂ වර්ධනය, තොරතුරු තාක්ෂණය ආදී වූ විවිධ මාතෘකා පාදක කොට ගනිමින් සිසු සාධනය වර්ධනය කිරීමෙහිලා ගුරු පුස්තකාලයාධිපතිට විවිධ දේශන, සම්මන්ත්‍රණ සංවිධානය කල හැක. විෂය දැනුමට අමතරව එවැනි වූ බාහිර අංශ පිළිබදව ද අවධානය ඒ තුළින් යොමු වේ.

වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම[සංස්කරණය]

තොරතුරු කුසලතා වර්ධනය සදහා උපයෝගී කොටගත හැකි ඉතා සාර්ථක ක්‍රමයකි. විමර්ශන ග්‍රන්ථ පරිශීලනය හා ඒවායින් තොරතුරු සොයා ගන්නා ආකාරය සිසුන්ට හුරු කරවීමට වැඩමුළු ඉතා ප්‍රයෝජනවත්ය. නිදසුනක් ලෙස විශ්ව කෝෂයකින් වචනයක් තේරුම සොයා ගන්නා ආකාරය දැක්විය හැක. දුරකතන නාමාවලිය, තොරතුරු සංග්‍රහ, අත්පොත් බදු මූලික විමර්ශන ග්‍රන්ථ පරිහරණය මෙන්ම පියවර පාඩම්, සංහිත තැටි, පරිගණක භාවිතය පිළිබදවද පාඨකයින්ගේ කුසලතා වර්ධනයට වැඩමුළු ප්‍රයෝජනවත් වේ.

විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවිධානය කිරීම තුළින් අධ්යාපනයේ ගුණාත්මක බව වර්ධනය කිරීම ගුරු පුස්තකාලයාධිපතිගේ වගකීමකි.

එමෙන්ම සැගවුණු විෂයමාලාව කෙරෙහිද ගුරු පුස්තකාලයාධිපතිගේ භූමිකාව ඉතාමත් වැදගත් වේ. සැගවුණු විෂයමාලාව යනු යහපත් පුරවැසියෙකු ලෙස ජීවත්වීම සදහා අවශ්‍ය විනය, සාරධර්ම වැනි උතුම් ගුණාංග ශිෂ්‍යයයාට ලබාදීම සදහා පාසල තුල සංවිධානය කරනු ලබන සියලු ක්‍රියාකාරකම් සමුදායයි. “පොත් කියවීම තුළින් සදාචාරවත් පුරවැසියෙකු බිහිකරගත හැක”. සාරධර්ම වර්ධනයට රුකුල්දෙන පොත් කියවීමට අවස්ථාව සැලසීම, පිළිගත නොහැකි හැසිරීම්වල නිරතවන ළමුන්ට අවවාද දී ඔවුන් තුළ විනය ඇති කිරීම, සදාචාරාත්මක ගුණධර්ම පිළිබදව ළමුන් දැනුවත් කිරීම හා ඒ පිළිබද ළමුන්ගේ අවධානය යොමු කිරීම ආදිය තුළින් ගුරු පුස්තකාලයාධිපතිට සැගවුණු විෂයමාලාව කෙරෙහි දායකත්වය ලබාදිය හැක.

ඉගෙනුම් උපාය මාර්ග පිළිබඳ දැනුම[සංස්කරණය]

ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම බවට පත් කර ගැනීමට නම් ගුරුවරයා විසින් හැකි සෑම විටම සිසුනට ප්‍රාථමික මට්ටමේ ඉගෙනුම අත්දැකීම් ලබා දීමට කටයුතු කළ යුතු වේ. අධ්‍යාපනයෙහි ඵලදායීතාවය වර්ධනය කර ගැනීමට ක්‍රම රාශියක් තිබේ. මේ විවිධත්වයම ඉගෙනීමට උත්තේජනයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ඒවා එකිනෙකාට අභිමත ඉගෙනීම් රටාවන්ට වඩාත් සමීපස්ථ ලෙස ගැලපෙන හෙයින් ඒ සිසුන්ට වඩාත් ගැලපෙන ඉගෙනුම් ක්‍රමය තෝරා ගත යුතුය. කණ්ඩායම් වැඩ, පැවරුම්, පරිගණක භාවිතය, බුද්ධි කලම්භනය, පුස්තකාල විමසුම් ආදී වූ වශයෙන් ක්‍රම රාශියක් ඇත. ඒ අතරින් ශිෂ්‍යයා, වයස, බුද්ධි මට්ටම, ලබාදිය යුතු විෂය කරුණු ආදිය සලකා බලා සුදුසු ක්‍රමය තෝරා ගත යුතුය. ගුරු පුස්තකාලයාධිපතිට මෙම ඉගෙනුම් උපාය මාර්ග පිළිබඳ දැනුම තුළින් ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාවය දියුණු කිරීමට හා එමගින් බොහෝ දුරට නොගැලපෙන ඉගැන්වීම් ක්‍රම නිසා සිදුවන ශිෂ්‍යය හැකියාවන් අපතේ යාම වළක්වාගත හැක.

එමෙන්ම මෙහිදී පාඨ ග්‍රන්ථ ඇසුරින් හෝ දේශන මගින් පමණක් ලබා දෙන දැනුම ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් බාල ළමුන්ගේ සිත් ඇද ගැනීම සදහා පාඩම විචිත්‍ර එකක් වීම අවශ්ය වේ. මේ නිසා ගුරු භවතුන් විසින් සිය ඉගැන්වීම් කාර්යයයේ ඵලදායීතාවය නංවාලීම පිණිස යොදාගත හැකි වැදගත් ක්‍රමෝපායක් නම් ඉගැන්වීම් ආධාරක උපයෝගී කර ගැනීමයි. මෙම ආධාරක පෙරළුම් සටහන්, වගු, ‍චිත්‍ර, ආදර්ශන හා ආකෘති බදු සරල ඒවායේ සිට රූපවාහිනී වැඩසටහන්, පටිගත කළ වැඩස‍ටහන් බදු සංකීර්ණ ඒවා විය හැකිය. විශේෂයෙන් රූපවාහිනීය හා පරිගණකය විසින් ගුරුවරයාට අරපිරිමැසුම් දායක ලෙස විවිධ ඉගැන්වීම් ආධාරක තනා ගැනීමට ශක්තිමත් පදනමක් සපයා තිබේ. මේ සදහා ගුරු පුස්තකාලයාධිපති සහයෝගය දැක්වීම තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කර ගත හැක. යොදාගනු ලබන ඉගෙනුම් ක්‍රමවේදය අනූව පාඩම් සැලසුම් සකස් කිරීමට ද ගුරුවරයාට උදව් කළ යුතුය. උදාහරණයක් ලෙස පුස්තකාල විමසුම නම් ක්‍රමවේදය භාවිතා කරන්නේ නම් ගුරු පුස්තකාලයාධිපතිට ඍජුවම ඒ කෙරෙහි සම්බන්ධවීමට සිදු වේ. එබැවින් ගුරු පුස්තකාලයාධිපතිට අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කිරීම උදෙසා ඉගෙනුම් උපාය මාර්ග පිළිබඳ දැනුම ඉතා වැදගත් වේ.

ඉගෙනුම් ශෛලිය පිළිබඳ දැනුම[සංස්කරණය]

ඉගෙනීම මිනිසාගේ අභ්‍යන්තර සංස්ථාපිත සහජ ක්‍රියාවකි. හේ උප්පත්තිය ලබන මොහොතේ නැතහොත් ඊටත් පෙර සිට තමන්ම බාහිර පුද්ගලයෙකුගේ මැදිහත්වීමකින් තොරව යම් යම් දේ ඉගෙන ගනියි. කෙසේ වූවද තනිව / ස්වායත්තව මිනිසාට ඉගෙන ගත හැකි දේවල් සීමාවක් තිබේ. ඔහුට පරිසරයෙහි පවතින සෑම සංසිද්ධියක්ම හුදෙකලාව ඉගෙනගත නොහැකිය. තමන්ට ඉගෙනීමට නොහැකි ප්‍රපංචයන් ඉගෙනීම‍ට සහය වීම ඉගැන්වීමේ පොදු කාර්යයකි. එක් එක් පුද්ගලයාගේ ඉගෙනුම් ශෛලිය වෙනස් වේ. බොහෝ ළමුන් තනිව ඉගෙනීමට කැමතිය. “තමා විසින් ලබාගන්නා දැනුම මිනිසාගේ අධ්‍යාපනයේ හොදම කොටසයි.” (එච්.ඒ.අයි.ගුණතිලක) එමෙන්ම පරිකල්පන බුද්ධියක් සහිත ළමුන්, විශ්ලේෂණයෙන් ඉගෙන ගන්නා අය, සාමාන්‍ය ඉගෙනුම්කරු, අත්දැකීම් අශ්‍රිත ඉගෙන ගන්නා අය ආදී වූ වශයෙන් එකිනෙකාගේ ඉගෙනුම් ශෛලීන් විවිධ වේ. එබැවින් මෙම සියළු ළමුන්ට පරිශීලනය කල හැකි වන ආකාරයට, සියළු ළමුන්ගේ ඉගෙනුම් අපේකෂාවන් ඉටුවන අකාරයට පුස්තකාලය සකස් කිරීම ගුරු පුස්තකාලයාධිපතිගේ භූමිකාවේ වැදගත් කාර්යභාරයකි.

එබැවින් ගුරු පුස්තකාලයාධිපතිට අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කිරීම උදෙසා ළමුන්ගේ විවිධ වූ ඉගෙනුම් ශෛලිය පිළිබඳ දැනුම ඉතා වැදගත් වේ.


ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී පළපුරුදු ගුරුවරයෙක් වශයෙන් මෙන්ම තොරතුරු කළමනාකරුවෙකු වශයෙන් ද ගුරු පුස්තකාලයාධිපතිගේ කාර්යභාරය ඉතාමත් වැදගත් වේ. ඒ අනූව,

තොරතුරු සම්පත් පිළිබඳ දැනුම[සංස්කරණය]

තොරතුරු සම්පත් නමින් සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ කිසියම් කාර්යයක් කිරීම සදහා අවශ්‍ය භෞතික, මානව ද්‍රව්‍ය හා මූල්‍යයයි. පෞද්ගලිකව තම අභිමතය පරිදී පරිහරණය කල හැකි පෙළපොත්, මොඩියුල, අත්පත්‍රිකා ගොනු, අධ්‍යාපනික වීඩියෝ පටි, ශ්‍රවය තැටි, කදා පටල, විනිවිදක, සංගෘහිත තැ‍ටි ආදී වූ මෙවලම් තොරතුරු සම්පත් වේ. ඒ අනූව ගත් කල තොරතුරු සම්පත් අංශ පහක් යටතේ වර්ග කල හැක. එනම්, • මුද්‍රිත සම්පත් - Printed resources (ප්‍රබන්ධ හා ප්‍රබන්ධ නොවන) • රූපමය ද්‍රව්‍ය - Graphic resources • ශ්‍රව්‍ය සම්පත් - Audio – Video resources • විද්යුදත් සම්පත් - Electronic resources • මාර්ගගත ඉගෙනීම - On-line මේ ආදී වූ තොරතුරු සම්පත් පිළිබදව මනා වූ අවබෝධයක් ගුරු පුස්තකාලයාධිපතිට තිබීම අත්‍යවශ්‍ය වේ. පාසල් පන්තිකාමර කාර්යයන්, විෂය බාහිර ක්‍රියාකාරකම්, පැවරුම් ඇතුළු කාර්යයන් සදහා අධ්‍යයන කාර්ය මණ්ඩලයට පාඨ ග්‍රන්ථ හැරුණු වි‍ට සම්පත් මූලාශ්‍ර රාශියක් අවශ්යය වේ. මෙම මූලාශ්‍රය සැලයීමේ වගකීම පැවරී ඇත්තේ ගුරු පුස්තකාලයාධිපතිවරයාටය. ඉගැන්වීම් කාර්යයට අවශ්‍ය තොරතුරු මූලාශ්‍ර , ශ්‍රව්‍ය දෘශ්‍ය මූලාශ්‍ර , ඉගැන්වීම් ආධාරක, අන්තර්ජාල සේවා, ආදී කවර මාධ්‍යයන් ගුරුවරයාට අවශ්‍ය වන්නේදැයි ගුරු පුස්තකාලයාධිපතිට අවබෝධයක් තිබිය යුතුය. මෙවන් වූ තොරතුරු සම්පත් භාවිතා කිරීමෙන්, විෂය ක්‍ෂේත්‍රයන් ඉක්මවා ගිය තොරතුරු ප්‍රමාණයක් සිසුවාට ලබා දිය හැක. විද්‍යානුකූලව හා බුද්ධිමත්ව මෙම තොරතුරු සම්පත් භාවිතා කිරීමෙන් ඒ ඒ විෂයන්ට අදාල තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කල හැක.

  • පන්තිකාමර තුළ ලබා ගත නොහැකි අත්දැකීම් හා අධ්‍යයන තත්වයන් සිසුන්ට ලබා ගත හැක.
  • තොරතුරු සම්පත්හි ආකර්ශනීයබව ශිෂ්‍යයන්ගේ අවධානය නිරතුරුව ඇද බැද තබා ගැනීමට හැකි වේ.
  • මෙමගින් ලබාදෙන තොරතුරු දිගුකාලීන මතකයේ තැන්පත් කර තබා ගැනීමටත් උපකාරී වේ.
  • ස්වයං අධ්‍යාපනයටද උපකාරී වේ. ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ මෙම මාධ්ය ආධාරයෙන් ස්වයං අධ්‍යාපන කටයුතුවල පුළුල්ව යෙදීම‍ට අවස්ථාව සැලසේ. ස්ලයිඩ්ස්, චිත්‍රපට, වීඩියෝ කැසට් ආදියේ අඩංගු දේ තමන්ට පහසු අවස්ථාවල පහසු ආකාරයෙන් අධ්‍යයනය කිරීමේ අවස්ථාව ශිෂ්‍යයන් සතු වී ඇත.
  • ගුරුවරුන්ගේ කාර්යභාරය ඉතාමත් පහසු වී ඇති අතර ගුරු අවධානය මෙම තොරතුරු සම්පත් වෙත යොමු වී ඇත. ඕනෑම විෂයක් වඩාත් පහසුවෙන් ඉගැන්වීමේ හැකියාව ලැබී ඇත.

එබැවින් ගුරු පුස්තකාලයාධිපතිවරයාට මෙම තොරතුරු සම්පත් තෝරා ගන්නා විට පාසලේ විෂය නිර්දේශයනට, ඉගැන්වීම් ක්‍රමවලට, ඒ ඒ පංතිවල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ම‍ට්ටධමට, කොතෙක් දුරට ප්‍රයෝජනවත් ද යන්න පිළිබදව විමසා ඒ සදහා වඩාත් උචිත, ගැලපෙන සම්පත් තෝරා ගැනීමට හැකිවිය යුතුය. එමෙන්ම මෙම තොරතුරු සම්පත් මෙන්ම ගුරුවරුන්, සිසුන් යොදා ගනිමින් ඉගෙනීමේ හැකියාවන් වර්ධනය කල හැක. තවද පුස්තකාලය තුල මෙම තොරතුරු සම්පත් ක්‍රමානුකූලව සංවිධානය කිරීමේ සහ තොරතුරු ප්‍රචාරණය කිරීමේ හැකියාවද ගුරු පුස්තකාලයාධිපති සතු විය යුතුය. මේ ආකාරයට ක‍ටයුතු කිරීමෙන් අධයාපනයේ ගුණාත්මක බව වර්ධනය කල හැක.

තොරතුරු සාක්ෂරතාවය[සංස්කරණය]

හෙන්රි එලින්ටන් ‍ට අනූව “සිසුන්ට තමන් කැමති දෙයක් කැමති අවස්ථාවකදී කැමති ක්‍රමයකින් හා කැමති වේගයකින් ඉගෙනීම සදහා අවකාශ සලසා දෙන මානවීය හා භෞතික දේ ඉගෙනුම් සම්පත් වේ”. ඔහුට අනූව පුස්තකාලය සිසුනට තම ඉගෙනුම් ගැ‍ටළු තමන්ට පහසු ආකාරය‍ට විසදා ගත හැකි, ගුරුවරුන්ට තමන්ට රිසි මොහොතක තමන්ටෞ අවැසි කරුණක් පිළිබදව අත්හදාබැලීම් කල හැකි ‍ස්ථානයක් විය යුතුය.

එමගින්,

  • සිසුනට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විය යුතුය.
  • තමන්ගේම වේගයෙන් එය පරිහරණය කිරීමට ඉඩ තිබිය යුතුය.
  • සිසුනට ඔවුන්ගේ ඉගෙනුම් ගැටළු පෞද්ගලිකව නිරාකරණය කර ගැනීමට ඉන් පිටුබලයක් ලැබිය යුතුය.

ඒ අනූව ගුරු පුස්තකාලයාධිපති ඒ ඒ විෂයන්ට අදාල පොත් වර්ගීකරණය කර අදාල රාක්කයන්හි තැන්පත් කල යුතුය. එහිදී විවිධ මොඩියුල භාවිතා කල හැක. ඒ තුළින් පාඨකයන්ට ඉහත අවශ්‍යතා ඉටුකර ගත හැක. අතිරේක කියවීම් සදහා නිර්දේශිත ග්‍රන්ථ, ග්‍රන්ථ නාමාවලි කියවීම් ලැයිස්තු සම්පාදනය මගින් ගුරුවරයාගේ කාර්යය වඩාත් පහසු කිරීමටත් පුළුල් කිරීමටත් ගුරු පුස්තකාලයාධිපතිට පියවර ගත හැකි වේ. එමගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය වේ.

බාහිර ආයතන සමග සම්බන්ධතා[සංස්කරණය]

ගුරු පුස්තකාලයාධිපති විසින් විවිධ ආයතන, පුද්ගලයන් සමග අන්තර් පුද්ගල සබදතා පැවැත්වීමට සිදු වේ. කිසිදු පුස්තකාලයකට හුදෙකලාව සාර්ථක සේවාවක් ඉටු කළ නොහැකි තරමට අද විඥාපන ක්ෂේත්රුය පුළුල් හා ව්‍යාප්ත වී ඇත. මෙබදු තත්වයක් මත තම සම්පත් පෝෂණය කර ගැනීම සදහා මෙන්ම අඩුලුහුඩුකම් සපුරා ගැනීම සදහාද බාහිර ආයතනවල සහය ලබා ගැනීම අද අත්‍යාවශ්‍යය. එහෙයින් බාහිර ආයතන හා සහයෝගයෙන් කටයුතු කිරීම හා සම්බන්ධීකරණය පුස්තකාලයාධිපතිවරයාගේ වගකීමකි. ගුරු පුස්තකාලයාධිපති විසින් විවිධ ආයතන, පුද්ගලයන් සමග පවත්වනු ලබන අන්තර් පුද්ගල සබදතා පහත රූපසටහනින් දැක්වේ.

Waguwa2.JPG

ගුරු පුස්තකාලයාධිපති මේ ආකාරයට අන්තර් පුද්ගල සන්නිවේදනය කිරීම තුළින් අවශ්‍යය තොරතුරු, සම්පත්, පහසුකම් ලබා ගැනීම ආදී වූ පහසුකම් රාශියක් පුස්තකාලයට ලබාගත හැක.

මේ ආකාරයට පාසල් පුස්තකාලය‍ට පෝෂණය ලබාගත හැකි බාහිර ආයතන දෙකකි. ඉන් පළමුවැන්න නම් වෙනත් පුස්තකාල හා පුස්තකාල සේවා ආයතනයි. අන්තර් පුස්තකාල පරිත්‍යාග ‍හෝ හුවමාරු වශයෙන් සම්පත් එකතුව පෝෂණය කර ගැනීමට මහජන පුස්තකාල අනගි මූලාශ්‍රයකි. ජාතික පුස්තකාල එහි සංවර්ධන වැඩසටහන් යටතේ පාසල් පුස්තකාලවලට ත්‍යාග වශයෙන් පොත්පත් පමණක් නොව පුස්තකාල උපකරණ පවා සපයයි. පුස්තකාල නිළධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම මෙමගින් සිදු වේ.

විවිධ සංස්කෘතික, අධ්‍යාපනික හා සමාජීය සංවිධාන, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන දෙවන ගණය‍ට අයත් වේ. මේ ආයතන අතර රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා හා රාජ්‍ය නොවන සංවිධාන වෙයි. සෞඛ්‍යය අධ්‍යාපන කාර්යාංශය විසින් සෞඛ්‍යය අදාල මාතෘකාවන් අලලා ප්‍රචාරක පත්‍රිකා හා ප්‍රකාශන රාශියක් පළ කරයි. මෙම ප්‍රකාශන අතරින් පාසල් පුස්තකාලයට අදාල වන ඒවා බොහෝය. ඒවා නොමිළයේ සපයන බැවින් මූල්‍ය ප්‍රතිපාදන අවශ්යක නොවේ. මත්ද්‍රව්ය කාර්යාංශය, සංචාරක මණ්ඩලය, මානව හිමිකම් කොමිසම ආදිය මෙන්ම යුනෙස්කෝව, ආසියා පදනම ආදී ප්‍රකාශනවලින් ද පුස්තකාල සම්පත් තොගය පෝෂණය කර ගත හැක. මේ තුළින් අධ්‍යාපනයෙහි ගුණාත්මක බව වර්ධනය කර ගත හැක.

ශිෂ්‍ය උපදේශනය[සංස්කරණය]

වැඩිහිටි පාඨකයින්ට මෙන් නොව ශිෂ්‍යයින්ට තම කියවීම් හැකියා, පුස්තකාල කුසලතා ආදිය වර්ධනය කර ගැනීමට මෙන්ම අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ද නිතර උපදෙස් හා මග පෙන්වීම අවශය වේ. එහෙයින් ශිෂ්‍යයින්ට අවශ්‍ය උපදෙස් සැපයීමට පාසලේ ගුරු මණ්ඩලයට අවශ්‍ය සම්පත් සහය සැපයීම ගුරු පුස්තකාලයාධිපතිගේ වගකීමකි. ශිෂ්‍යයින්ට කෙලින්ම උපදෙස් දීම හා මග පෙන්වීමටද ගුරු පුස්තකාලයාධිපතිට බොහෝවි‍ට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම ඔහුගේ ස්වාධ්‍යයනයට අවස්ථා හා පහසුකම් සැපයීම, තමන්ට අවශ්‍ය තොරතුරු තමන් විසින්ම සොයා ගැනීමට මග පෙන්වීම, ඉගෙනුම් දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය සම්පත් සැපයීම හා මග පෙන්වීම, පරිගණකයෙන් හෝ පරිගණක දත්ත ගොනුවලින් ප්‍රයෝජන ගන්නා හැටි පෙන්වා දීම, අන්තර්ජාලය පරිහරණය කරන ආකාරය පිළිබදව මග පෙන්වීම, තොරතුරු සපයා ගැනීමේ වෙනත් ක්‍රමවේද ආදිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට උපදෙස් දීම හා මෙහෙයවීම ආදිය ගුරු පුස්තකාලයාධිපතිගේ වගකීමකි.

උපදේශන කාර්යය පුස්තකාලයට පමණක් සීමාවූවක් නොවේ. විශේෂයෙන් වැඩිහිටි සිසුනට වෘත්තීය මාර්ගෝපදේශන සේවා පැවැත්වීම, උසස් අධ්‍යාපනය සදහා ඇති පහසුකම් පිළිබදව සිසුන් හා දෙමාපියන් දැනුවත් කිරීම, මේ සදහා අවශ්‍යය සම්පත් අයත් කර ගැනීම සහ ගුරුමණ්ඩලයේ ප්‍රයෝජනය සදහා යෙදවීම මගින් පුස්තකාලයාධිපතිට දායක විය හැක. සාර්ථක ‍ඉගෙනුම් ක්‍රමවේද, ජීව දත්ත සටහනක් සාර්ඨකව සකස් කරන ආකාර‍ය, සම්මුඛ සාකච්ඡාවකට සාර්ථකව මුහුණ දෙන ආකාරය බදු වෘත්තීයමය හා චර්යාත්මක හැසිරීම් පිළිබදව සිසුනට මග පෙන්වීම සදහා පියවර රැසක්ම පුස්තකාලයාධිපතිට ගත හැකි වේ.

වෙනත් කාර්යයන්[සංස්කරණය]

ගුරු පුස්තකාලයාධිපති විසින් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කිරීම උදෙසා මාහැගි වූ යුතුකම් රාශියක් ඉ‍ ටු කරයි. ඕනෑම සමාජයක ක්‍රියාශීලී සාමාජිකයෙකු ලෙස සංවර්ධන ක්‍රියාදාමයට උරදීම සදහා කියවීම, ලිවීම හා අංකන භාවිතාවේ හැකියාව පුද්ගලයන් සදහා පූර්ව අවශ්‍යතාවයන් ය. එසේම කියවීම හා ලිවීම නව තාක්ෂණික සන්නිවේදන ක්‍රම භාවිතයට ද අවශ්‍ය ශිල්ප ක්‍රමයි. එබැවින් පාසල් සිසුන්ට නවීන තාක්ෂණයේ උසස් ප්‍රතිඵල භුක්ති විදීමට හැකි ක්‍රියාකාරකම් සැලසුම් කිරීම ගුරු පුස්තකාලයාධිපතිගේ කාර්යභාරයයි. ඒ තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය වේ. ඒ සදහා ගුරු පුස්තකාලයාධිපතිට පහත සදහන් ආකාරයෙන් දායකත්වය සැපයිය හැක.

  • කියවීම ප්‍රවර්ධනය කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීම. එනම් පාසල් පුස්තකාලය ප්‍රියජනක ස්ථානයක් විය යුතුය.
  • සාක්ෂරතා හැකියාවන් දුර්වලම අය සදහා අවශ්‍ය ද්‍රව්යන් සැපයීමට කටයුතු කිරීම.
  • පාඨක ප්‍රජාව තුළ අසාක්ෂරතාවය නැති කිරීම සදහා උනන්දුවක් දක්වන වෙනත් ආයතන හා සංවිධාන සමග එක්ව කටයුතු කිරීම.
  • සාක්ෂරතාව සහ අංකන හැකියාවන් දියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම සම්බන්ධ ප්‍රචාරණ වැඩස‍ටහන් සදහා දායක වීම.
  • සාහිත්‍ය හා මාධ්‍ය සංස්කෘතිය ප්‍රවර්ධනය සදහා කල හැකි උත්සව, රැස්වීම් හා වැඩමුළු ආදිය සංවිධානය කිරීම.
  • පරිගණක ආශ්‍රිත තොරතුරු තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීම.
  • මාධ්‍ය වෙළදපොළෙහි නව ප්‍රවණතා හා වර්ධනයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම.
  • පාඨක ජනතාවට අවශ්‍ය තොරතුරු සම්පත් නියමිත ස්වරූපයෙන්ම සොයා ගැනීම සදහා සහය වීම.
  • නව පුරවැසියන් හට අත්‍යවශ්‍ය අධ්‍යාපනික හැකියාවන් වර්ධනය කර ගැනීම සදහා උරදීම.
  • ගුරුවරුන්, දෙමාපියන්, වෘත්තීයවේදීන් හා අනෙකුත් සුවිශේෂී පුද්ගලයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
  • නව සංදර්භයන් තුළ ගුරුවරුන්, දෙමාපියන්, වෘත්තීයවේදීන් හා අනෙකුත් සුවිශේෂී පුද්ගලයන් සියලු දෙනාගේම ජීවිත හැඩගස්වා ගැනීමට දායකවීම.
  • තම කාර්ය මණ්ඩලයට අධ්‍යාපන හා පුහුණු අවස්ථා ලබා දීම මගින් ඔවුන්ට නව කුසලතා ලබා දීම.
  • පාසල් පුස්තකාල පරිපාලනය හා කළමනාකරණය කිරීම. එහිදී භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, මානව සම්පත් හා කාලය මනාව කළමනාකරණය කිරීම තුළින් පාසල් පුස්තකාලයෙහි ගුණාත්මක බව වර්ධනය කර ගත හැක.

ගුරු පුස්තකාලයාධිපති භූමිකාවේ කාර්යභාර්ය ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලියට දායක වන ආකාරය මේ අකාරයට ගෙනහැර දැක්විය හැක. ඒ අනූව පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථක අසාර්ථක බව තීරණය වනුයේ ගුරු පුස්තකාලයාධිපති භූමිකාවේ සාර්ථක අසාර්ථක බව අනූවය. ශිෂ්‍යයා සංවේදී වගකීමෙන් යුත් කාර්යක්ෂම යහපත් පුරවැසියෙකු බවට පත් කිරීමහිලා ගුරු පුස්තකාලයාධිපති භූමිකාවේ කාර්යභාරය ඉතා වැදගත් වේ.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගුරු_පුස්තකාලයාධිපති&oldid=229540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි