ගැමිනාටක

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

(En = Folk Drama)


සොකරි නාටකය හෙවත් ගුරුහටන:[සංස්කරණය]

මෙරට දැනට සමාඡයේ ව්‍යවහාරව පවතින ප්‍රධාන ගැමි නාට්‍ය ලෙස පිළිගැනෙන සොකරි ,කෝලම් සහ නාඩගම් යන අංග වලින් ඉතාම පැරණි ඡන නාටක විශේෂය වශයෙන් සැළකිය හැක්කේ අනුරෑප මාධ්‍යයෙන් කථාවක් ගෙනහැරපාන සොකරි නාටකයයි. ගැමි ඡනයා අතර පැන නැගුන ස්වාධීන දේශීය කලාංගයක් මෙන්ම යාතුකර්මයක් වශයෙන් ද සොකරි නාටකය හැඳින්වීමට පුළුවන.

ආනමඩුව ,දඹුල්ල ,මාතලේ ,හිඟුරක්ගොඩ සහ බදුල්ල වැනි ප්‍රදේශවලදී දක්නට ලැබෙන සොකරි නම් වූ ගැමි නාටකය ගැමි ඡනතාව අතර වඩාත් ප්‍රචලිතය. ගොයම් කපා ,පාගා ,අස්වනු ගෙට ගැනීමෙන් පසුව එළඹෙන ගොවීන්ගේ විවේක කාලය තුළ දී සොකරි රඟ දැක්වීම කරනුලැබේ.මේ සඳහා සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළබෙන වෙසක් ,පොසොන් ,ඇසළ මාස තෝරාගනු ලබන්නේත් අවුරුද්දකට එක් වතාවක් පමණක් සොකරි නාටකය රඟ දක්වනු ලබන්නේත් මේ හේතූන් මතය. නාටකය රඟ දැක්වීමට යෝග්‍ය වේදිකාව ලෙස ගැමියෝ අස්වනු ගෙට ගත් පසු හිස්වන කමත යොදා ගනිති. මේ සඳහා කමතට අමතරව පිට්ටනියක් ඉඩකඩ ඇති තැනිතලා බිමක් යොදා ගනි.සොකරිය යනු මෙ‍ම නාටකයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන රෑමත් යුවතියකි. ඇය හා විවාහ ගිවිසගන්නා ගුරුහාමි නම් වූ ආඬිගුරා මෙහි ප්‍රධාන චරිත වේ. ඊට අමතරව වෙදරාළ සහ වෙදරාළ‍ගේ බෑණනුවන් වන සොත්තා ,පරයා හෙවත් පච්චමීරා, කාලි අම්මා ,ගොවියා ,‍ගෙවිලිය, ආච්චි හා මුණුබුරා .රඡතුමා ආදී චරිත විවිධ ප්‍රදේශවල සොකරි නාටක තුළ දැකිය හැකිය. සොකරි සහ ගුරුහාමි ඔවුන්ගේ මෙහෙකුරුවාද සමඟ කසී රට සිට මෙරටට පැමිණෙති. පළමුව ඔවුහු සිරිපතුල වැඳ පැමිණ තඹරාවිට ග්‍රාමයෙහි පදිංචි වෙති. එහෙත් හෙළබස නොදත්කම නිසා මොවුන්ට සිදුවන අතිමහත් වූ දුෂ්කරතා සමුදාය උපහාසාත්මක ලෙස නාට්‍ය මඟින් ඉදිරිපත් කෙ‍රේ. විටෙක රෝගාතුර වන ගුරුහාමි , සුවපත් කිරීමට පැමිණෙන තඹරාවිට වෙදරාළ සමඟ සොකරිය පැන යන අයුරුත් කතරගම දෙවියන්ගේ මඟ පෙන්වීම මත ගුරුහාමි විසින් නැවත ඇය සොයා ගන්නා අයුරුත් සොකරියට දරුවෙකු ලැබී ඇය දරුවා නළවන අයුරුද මෙ‍මඟින් රංගනය වේ.


පැවැත්වීමේ අරමුණු:[සංස්කරණය]

  • පත්තිනි දේවිය හා කතරගම දෙවියන් උදෙසා පුදපූඡා පැවැත්වීම. ‍
  • වසංගත රෝගවලින් රැකවරණය ලබා ගැනීම ප්‍රධාන අරමුණු වේ.

මෙහිදී ආගමික සම්බන්ධතාවලට මූලිකත්වය දෙමින් සශ්‍රීකත්වය, විනෝදාර්ථය හා සෞභාග්‍ය උදෙසා වූ වත්පිළිවෙත් ඇසුරෙන් යාතුකර්මයක් වශයෙන් ගැමි ඡනයා අතර පවත්වාගෙන යෑම මෙහි මූලික අරමුණ වශයෙන් හැදින්වීම‍ට පුළුවන.


ප්‍රචලිත ප්‍රදේශ:[සංස්කරණය]

ලංකාවේ ඡනනාටක පළාත් අනුව වර්ග කිරීමේදී කන්ද උඩරටත් බදුල්ල පළාතෙත් ඇතිවී පැතිරගිය සොකරි නාට්‍ය දැන‍ට රැඳී පවතින හා මුල් වකවානු වල ප්‍රචලිත ප්‍රදේශ වශයෙන් හඟුරන්කෙත, මාතලේ, කොටුවේගොඩ, 'පාඬිවිට, පාතහේවාහැට, උඩහේවාහැට,මීරුප්පේ, කපුලියද්ද, හේනවල, හපුගස්දෙනිය, ලග්ගල, ඉලුක්කුඹුර, තලාතුඔය, නිල්දණ්ඩාහීන්න, බූටෑවත්ත, කැවැන්දාව, මහවැලි නිම්නය, දැදු‍රුඔය නිම්නය' ආදී .ගම් නියම් ගම් හැඳින්වීමට පුළුවන.


සොකරි කථාව: [සංස්කරණය]

සොකරි කථාව හෙවත් ගුරු හටනයේ උපත් කථා වල ප්‍රදේශීය වශයෙන් සුළු වෙනස්කම් ඇතත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ " සිංහල ගැමි නාටකය" නම් වූ ග්‍රන්ථයේ සඳහන් අන්දමට එහි කථාපුවත මෙසේය. කාසි රටෙහි ගුරුහාමි නමින් යුත් ආඬි ගුරෙක් වාසය කරයි. සොකරිය නම් වූ රෑමත් යුවතියක සරණ පාවා ගන්නා ඔහු පරයා නැමැත්තෙකු මෙහෙකාරකමට ගනී. ඡීවනෝපායක් සොයමින් රටින් ර‍ට ඇවිදින්නා වූ ඔවුන් හට කෙළවරදී සිංහල දේශයට යන්නට සිත් වේ. ඔවුහු සුභ නැකතින් පිටත්ව මුහුදු හතක් තරණය කොට ලක්දිවට පැමිණෙති. පළමුවෙන්ම ශ්‍රී පාදස්ථානයට ගොස් වැඳ පුදා ගන්නා වූ ඔවුහු අනතුරුව තඹරාවිට නම් ගමට පැමිණ එහි පැලක් සාදාගෙන පොළව ගොමගා පවිත්‍ර කරගෙන එහි වාසය කරන්නට සැරසෙති. ගුරුහාමි හාල් සොයන්නට නික්මයති. බස නොතේරෙන බැවින් නොයෙක් අතෝරයන්ට මුහුණපාන ඔහු කෙසේ හෝ හාල් ටිකක් ගෙනවිත් බත් පිසින්නට කියා සොකරියට දෙයි. එහෙත් වතුර නැති බැවින් නැවත වරක් ගම‍ට යන්නට සිදුවෙයි. ඒ ගමන යන විට ගමේ වෙදරාළගේ බල්ලා ඔහුගේ කකුළ සපාකයි. අමාරුවෙන් ඔහු ගෙදරට සේන්දු වී පොළොවෙහි වැතිර සිටින විට ඔහු මිය‍ගොස් ඇතැයි සිතා පරයා අවස්ථාවෙන් ප්‍රයෝඡන ගෙන සොකරිය අනාචාරයට පොළඹවන්නට මාන බලයි. පරයා කෙරෙහි උරණ වූ සොකරිය වෙදරාළ කැටුව එන්නට යයි, ඔහුට අණ කරයි. පරයා ‍ගොස් වෙදරාළට තතු පවසන නමුත් සොකරිය පැමිණෙතොත් මිස තමා (වෙදරාළ) නොඑන බව ඔහු දන්වා එවයි. එකල සොකරිය තමාම ගොස් වෙදරාළ කැඳවාගෙන එයි. වෙඳරාළ මැදියමතෙක් ගුරුහාමිට බෙහෙත් දී පිළියම් කොට අළුයම් වේලේ සොකරිය සමඟ පලා යයි. සොවින් පෙළන ගුරුහාමි කතරගම දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. ‍කෙළවර දී කතරගම දෙවියෝ ඔහුට සළකුණක් කියා පායි. මේ සළකුණේ අනුසාරයෙන් සොකරිය සොයා යන්නා වූ ගුරුහාමිට ඇය වෙදගෙ‍දරදී හමු වේ.ගුරුහාමි ඇය කැඳවාගෙන ගොස් ඇයට තලයි. එහෙත් ඇය තමා නිදොස් යැයි ගුරුහාමිගෙන් සමාව යදියි. මින් මතු ‍සොකරිය මැනවින් රැක ගතයුතු යැයි ගුරුහාමි පරයාට ඔවදන් දෙයි.


සොකරි කථාවේ චරිත:[සංස්කරණය]

  1. ගුරුහාමි (ආඬිගුරු, ගුරැස්වාමි, සිවනාථගුරු ස්වාමි, ගුරුවා )
  2. සොකරිය - පරට්ටී
  3. පරයා (පච්චමීරා, රාමා )
  4. වෙදරාළ (වෙදා, වෙදමහත්තයා )
  5. සොත්තානා (සොක්කා, සිට්ටා)
  6. හෙට්ටියා (සෙට්ටි‍ලේ,සෙට්ටියෝ )
  7. වඩුරාළ
  8. කපුරාළ
  9. නයිනටවන්නා
  10. කාලිඅම්මා
  • පරයා, වෙදරාළ, සොත්තානා යන චරිත පමණක් එරමුදු, කොට්ට, වෙලන් ලී වලින් , කොලපතකින් ‍සකස් කරගත් වෙස් මුහුණු පළඳිති. ‍‍‍ 

 ‍‍ ඇඳුම් පැළඳුම් :[සංස්කරණය]

ගුරුහාමිගේ ඇඳුම : සුදු දිග කලිසමක් ඇඳ ඊට උඩින් සුදු වේටිය, ඉණට පච්ච වඩම, හිසට මුණ්ඩාසනේ , පයට ගෙඡ්ඡි, ඡපමාලාවක්, සංඛයක්, නවගුණවැලකරේ දමාගෙන නිමිති පොතක් සහ සැරයටියක් අතතිව, අත ,ගෙල, නළල අළු තවරාගෙන ශාස්ත්‍ර කියන දෛවඥයෙක් හා විහිළුතහළුකරනමහල්ලෙක් ලෙසින්නිරෑපණයකරයි.

ඇඳසුදුවත රැලි අල්ලා නෙරිය තියාලා

බැඳ මුදුනඡට පච්චවඩන්කරටලා

නද කර සක්ගෙඩිය ගෙන පිඹියිඋඩබලා

ඉඳ තැන තැන කට දොඩවයි කන්සාබීලා


සොකරියගේ ඇඳුම : උඩරට සාරි රෙද්ද හා උඩුකයට හැට්ටය හැඳගත් පිරිමියෙක් සොකරි චරිතය මවා පායි. පාද වලට සිහින් ගෙඡ්ඡි වැල් ද අතට‍ ‍ලෙන්සුවක් හෝ මල් පොකුරක් ද අතැතිව , කොණ්ඩය තරමක් ලොකුවට බැඳ, කූරු ගසා මාල වළලු වලින් සැරසී මුහුණ පවුඩර් තවරා සැරසෙයි. කාලි අම්මා චරිතය ද පිරිමි කෙනෙක් නිරෑපණය කරයි. ඔසරියකින් හෝ සාරියකින් සැරසෙයි. සොකරියගේ මෙහෙකාරියයි.

පරයාගේඇඳුම:තරමක් රළු දිග කළු කලිසමක් කළු කබායක් හැඳ මුහුණට පුවක්කොල වලින් සැකසූ වෙස් මුහුණක් පැළැඳ සමහර අවස්ථා වල දී රෙදි පොට්ටනියක් ද කර ලාගෙන සිටී. විටෙක ගෝනි වලින් සැකසූ ඇඳුම් අදී.

වෙදරාළ ගේ ඇඳුම : සරමක් සහ කෝට් කබායක් හැඳ සුදුපාට දිග රැවුලෙන් යුත් කොළපත් වෙස් මුහුණක් පැළඳ පිටට කොට්ටයක් බැඳ හැරමිටියක් අතට ගෙන දෙපැත්තට පැද්දෙමින් තාලයට අනුව පාද තබන කුදෙකුගේ ස්‍වරෑපයක් නිරෑපණය කරයි. ඔලගුව කරේ දමාගෙන සිටී.


චරිත හඳුන්වන කවි :[සංස්කරණය]

  • චරිත පමණක් නොව මේ ගැමි නාටකයේ , සියළුම කථා පුවත ඉදිරිපත් කරනුයේ සිව්පද කවි ආශ්‍රයෙනි.

මේ කවි අඩංගු අත්පිටපතක් සෑම කණ්ඩායමකම තිබේ. මේ කවි පොතේගුරු ඇතුළු අත්වැල් ගායක පිරිස කිසියම් විරිතකට අනුව ඉතා රසවත්ව ගායනා කරති.

වෙදරාළ :


වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ

යොදා කියන්නේ තාලෙට ගත වේවලන්නේ

කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ

විදා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ

සොත්තානා:

සොක්කා එන්නේ දෙවනුව නැටුම් නටන්නේ

දැක්කා උන්නේ සෙල්ලම් යසයි කියන්නේ

බක්කා ඉන්නේ නැටුමට මමයි කියන්නේ

සොක්කා දන්නේ නැටුමට බිම පෙරලෙන්නේ


පරයා :

ඉතිං කියන්නේ තුන්වැනි වරට නටන්නේ

පරයයි එන්නේ වටපිට නිතර බලන්නේ

කට දොඩවන්නේ ගියගිය තැන පෙරලෙන්නේ

කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ


සොකරිය :

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී

නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී

පද අල්ලන්නී පියයුරු ලැම සොලවන්නී

කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී

ගුරුවා:

ඈත සිටන් එන්නේ ගුරු කෑ මුර ගාගෙන

බීත වෙලා ඉන්නේ දැකලා සමහර දෙන

සීත සුළං වැඩිය කියා ගත වෙව්ලා ගෙන

බූත යකෙක් සේම නටයි ගුරුවා ඇව්දින

  • මේ චරිත සියල්ලම රඟ දැක්වීමට පිරිමි පාර්ශවය පමණක් සහභා කරවා ගැනීම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.


රඟ මඬල හා රංග භාණ්ඩ : [සංස්කරණය]

රඟ මඬල වශයෙන් යොදා ගන්නේ කමත, විශාල ගෙමිදුලක්, පිට්ටනියක්, තැනිතලා බිමකි. රඟ මඬල මැද මුහුණින් අතට හැරවූ වංගෙඩියක් තබා ඒ මත ලන්තෑරුමක් දල්වා තැබීමෙන් රැය පහන්වන තුරාම මුළු රඟමඩලම ආලෝකමත් කරයි. රඟමඬල වටා ලණු ඇඳ ති‍බේ. පසෙකින් මල් පැලක් දෙවියන් හා බුදුන් වහන්සේ උදෙසා ඉදිකර තිබේ. රඟ මඬල ගොක්කොළ වලින් අලංකාර ඇත. එක් පැත්තකින් සොකරි අත්පිටපත අතින්ගත් ගුරුන්නාන්සේ ද , හොරණෑ වාදකයෙකු ද, තාලම්පට වාදකයෙකු ද, දවුල් හෝ ගැටබෙර වාදකයෙකු ද, උඩැක්කි වාදකයෝ ද, ගුරුන්නාන්සේ සමඟ පෙළ කියවීම සඳහා අත්වැල් ගායක පිරිසක් ද සිටිති. ඉහත සදහන් කළ පිරිස රඟදක්වන ප්‍රදේශවලට අනුව අඩු වැඩි වීමක් සිදුවිය හැකිය. ගුරුන්නාන් සේ විසින් සියළුම චරිත හඳුන්වා දීමේදී එක් එක් චරිත රඟමඬලට පැමිණ මැද තබා ඇති වංගෙඩිය වටේ නටති.


භාෂාව හා සංවාද : [සංස්කරණය]

දෙබස් වල අඩංගු වචන වල දෙමළ හා සිංහල මිශ්‍රණයක් ඇතුළත් වී ඇත. පහත කවිය උදාහරණයකට ගත හැකිය.


ඔන්ඩු රෙන්ඩු දොළහයි දැන ගන් නේ

මුනු නාළු හතරයි දැන ගන් නේ

අන්ඡි ආරු හල හයි දැන ගන් නේ

යේළු යෙට්ටු අට ලඟයි කියන් නේ


සංවාද වලදී දෙපිට කැපෙන වචන භාවිතා වේ. එවැනි උපහාසාත්මක හා හාස්‍ය වැඩිකරන පදමාලාවක්, පහතරට පම්මඩු වල අඹවිදමනෙන් ද, දහඅට සන්නියේ කෝල සන්නියේ ද, උඩරට කොහොඹයක් කංකාරියේ ගුරුගේ මාලාවෙහි ද අඩංගු වේ. මේ අවස්ථා තුනෙහිම නිරෑපිත සිද්ධිය හා ඒ සිද්ධිය යාතු කර්මයකට ගළපාගෙන නිරෑපණය කිරීමේදී භාවිතා වන විවිධ රංග උපක්‍රම ද , සො‍කරි නාටකයේ පරයා කඩවත් තරණය කිරීම යන සිදුවීමට බොහෝ සමාන කමක් දක්වයි. වඩුවාට "බඩුව" කීම වෙදරාළගේ බඩ ලොකුවට ති‍යෙන්නේ ඒ තුළ කුකුළු පැටව්, හරක් හා දරුවෝ ඉන්න නිසා යැයි කීම , ලෑලි වලට "ලේලි" කියමින් නැව කැඩුණු අවස්ථාවේ ඒ ගොල්ල "ලේලි" බදාගෙන (ලෑලි බදා ගෙන) පීනා ආ බව කීම දෙමළ බසින් කථා හාස්‍යයට ලක් කිරීම ඒ අවස්ථා සියල්ලම පොදුය.

සොකරි, කෝලම්, නාඩගම් වැනි ගැමි නාට්‍යවල ආභාශයෙන් නුතනයේ දී මනමේ , සිංහබාහු වැනි නාටක බිහිවිය. නමුත් සොකරි නාටකය නුතනයේ ගම්මාන වලින් වඳවී ගෙන යයි. අතීතයේ දී එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ අවධානයට යොමු වූ මෙම නාටකය පිළිබඳ අත්තනායක එම් හේරත්, මුදියන්සේ දිසානායක , තිස්ස කාරියවසම් යන විද්වතුන්ගේ පර්යේෂණ කෘති සොකරි නා‍ටකය පිළිබඳව අධ්‍යයනයේ දී වැදගත් වේ. නමුත් මේ වටිනා ගැමි සංස්කෘතික කලාංගය මතු පරපුරට රැකදීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

  • මූලාශ්‍ර :

1. එදිරිවීර සරච්චන්ද්‍ර , සිංහල ගැමි නාටකය, 1968 .

2. මුදියන්සේ දිසානායක, උඩරට ශාන්තිකර්ම හා ගැමි නාටක සම්ප්‍රදාය, 1990 .

3.කේ.ඡී අමරසේකර, සොකරි නාටක පුරාණ‍ය, 2001.

"https://si.wikipedia.org/w/index.php?title=ගැමිනාටක&oldid=421673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි