ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ෂිත මහනාහිමි

විකිපීඩියා වෙතින්

ක්‍රි.ව.1843 ජූනි 8 දා වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගිරියාව ගම්මානයේ ශ්‍රී නාරායන චන්ද්‍රසේකර සෙනරත් හේලිය බණ්ඩාරලාගේ මුතුකුඩ වලව්වේදි උපත ලැබූ මුන්වහන්සේගේ ගිහිනම හීන්බණ්ඩාය.

ක්‍රි.ව.1853 දී තම ගිහිකල ඥාතීන් වූ එවක මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය දැරූ ගල්ගිරියාව ශ්‍රී සුමංගල හිමියන් හා පසුකලෙක මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් වූ මැදගම ශ්‍රී දේවමිත්ත හිමියන් ආචාර්ය කොටගෙන පැවිදි වූ උන්වහන්සේ 1863 වසරේ මැයි 29 දා මැදගම ශ්‍රී දේවමිත්ත මහානාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා බෝපෙ ගුණරතන හා හිප්පොල සෝභිත යන හිමිවරුන්ගේ කර්මාචාර්‍යත්වයෙන් උපසම්පදාව ලැබුවේය.

1868 දී කර්මවාගාචාර්‍ය් ධුරයට පත්වූ උන්වහන්සේ 1875 දී කාරක සභාවටත් පත්විය . 1876 වසරේදී දළඳා තේවාමුරයටද පත්විය . 1900 වසරේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි විසින් ගල්ගිරියාව බුද්ධරක්ඛිත හිමියන්ව ජ්‍යෙෂ්ඨ කාරක සභික ධුරයට පත්කල අතර , 1902 වසරේ තේවාව භාර නායක පදවියද දැරුවේය.

1907 වසරේදී සිය ගිහිකල ඥාතී වූ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර කඳුලව ශ්‍රී අත්ථදස්සි නාහිමි අපවත්වූ පසු සිය දරමිටිපොල සඟ පරම්පරාවට අයත් වූ කඳුලව රජමහා විහාරය ප්‍රමුඛ විහාරයන්හි අධිපති ධුරයට පත්වූ උන්වහන්සේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ මල්වතු පාර්ශ්වයේ මහානාහිමි ධුරයට 1913 දී පත්විය . ඒ අනුව මල්වතු මහාවිහාරයේ ආරම්භක සඟ පරම්පරාවක් වූ දරමිටිපොල සඟ පරම්පරාවෙන් මහානාහිමි ධුරයට පත්වූ සිව්වන හිමිනම ලෙස ගල්ගිරියාව ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් ඉතිහාසගතවිය. 1914 දී යටිනුවර වල්ගම්පාය රජමහා විහාරයේ අධිපති ධුරයට පත්වූ උන්වහන්සේ සිය පරම්පරාවට අයත් විහාරයන් පිළිසකර කලේය.

ඇඹෝගම පියරතන හිමි, හෙනව රතනපාල හිමි, හේරත්ගම ධම්මානන්ද හිමි, කඳුලව සුදස්සී හිමි, හෙනව ධම්මරක්ඛිත නාහිමි , කිරිබමුනේ සෝමානන්ද හිමි හා ගල්ගිරියාව පේමරතන හිමි මුන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන්ය.

වසර 6 ක් මහානාහිමියන් ලෙස කටයුතු කළ උන්වහන්සේ 1919 ජනවාරි 31 දා අපවත්විය.