ක‍ඩොලාන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ක‍ඩොලාන - ශ්‍රි ලංකා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ක‍ඩොලාන පරිසරය

ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්‍රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන ප්‍රජාව විසින් අත් කරගෙන ඇත. ලෝකයේ ඇති සියලුම කඩොලාන ප්‍රජාවල විශාලත්වය හෙක්ටෙයාර මිලියන 1 1/2 ක් පමණ වේ.

කඩොලානෙහි නිරන්තරයෙන්ම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක සත්‍ය කඩොලාන ශාක (True Mangroves)ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන වලට යාබඳ වඩාත් ගොඩකර ප්‍රදේශ වල ද වැඩෙන වෙනත් ශාක ද ඇත. ඒවා කඩොලාන ආශ්‍රිත ශාක(Mangrove Associates) ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන හා කඩොලාන ආශ්‍රිත ශාක සපුෂ්ප ශාක වන අතර ඵසේ නොවන (Acrosticum Aureum) නම් ශාක විශේෂයක් ද කඩොලාන ආශ්‍රිතව හමු වේ.

පටුන

කඩොලාන පරිසරයේ ලක්‍ෂණ[සංස්කරණය]

  • කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ බොහොමයකම පොළව වඩදිය බාදියට භාජනය වේ. මේ නිසා මෙම ප්‍රදේශ වලින් සමහර ප්‍රදේශ දවසේ යම් කොටසකදී ලවණ ජලයෙන් වැසී ඇත.
  • කඩොලාන බොහෝ විට දක්නට ලැබෙන ගංගා මුවදොරවල සහ කලපු අසබඩ පෙදෙස්වලට මිරිදිය ගලා ඒම නිසා ‍මේ පෙදෙස් වල ජලයේ ලවණත්වය මුහුදු ජලයේ ලවණත්වය තරම් අධික නැත.
  • කඩොල් ශාක වල පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනය සාමාන්‍ය පසේ‍,පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනයට වඩා වැඩිය.
  • කඩොලාන ආශ්‍රිත පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනය ද PH අගය ද (අම්ල ගතිය) කලින් කලට වෙනස් වේ.
  • මෙහි පස නිරන්තරයෙන්ම ජලයෙන් වැසී තිබෙන නිසා පසේ ඔක්සිජන් හිඟතාවයක් ඇති අතර පොළොව ජලයෙන් වැසී නොතිබෙන කල මෙහි පස මොළොක් ස්වභාවයක් ගනී.බොහෝ විට පස කළු පැහැයෙන් යුක්තය.
  • කාබනික ද්‍රව්‍ය බහුල ලෙස මෙහි දක්නට ලැබෙන අතර නොයෙක් වර්ග වල කකුළුවන් වාසය කරන ගුල් වලින් ගහණ ප්‍රදේශයකි.

කඩොලාන වල අනුවර්තන[සංස්කරණය]

කඩොලාන පරිසරයේ ඇති ශාක විශේෂ ජෛව හා පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි විවිධ අනුවර්තනයන් දක්වයි.

  • ප්‍රධාන කඳෙහි පාදීය කොටසෙන් හට ගන්නා කයිරු මුල් සහ කරු මුල් කඩොලාන ශාක වල දක්නට ලැබෙන මුල්වල හැඩ ගැසීම් වලට ප්‍රධාන උදාහරණයන්ය. පස ඉතා ලිහිල් නිසා මෙම මුල් වර්ග ශාකය දැඩි ලෙ‍ස ලිහිල් උපස්ථරයට සවි කිරීමට උපකාරී වේ.
  • වායුධර මුල් කඩොලාන පරිසරයේ පසෙහි ඔක්සිජන් හිඟ බැවින් පසෙන් උඩට වැඩෙන දණහිස් මුල් මඟින් වායු හුවමාරුව සිදු වේ. කිරල , ඇවිනීසියා ශාක වල දක්නට ලැබේ.
  • ජලාබුජ බීජ-කළල විකසනයේ පසු අවධියක් දක්වා මව් ශාකයේ රැඳී පැවතීම.
  • ශුෂ්ක රූපී පත්‍ර-කඩොලාන පරිසරයේ ලවණ සාන්ද්‍රණය අධික බැවින් ශාකවලට ජලය ලබා ගැනීම අපහසුය. එම නිසා උත්ස්වේදනය අඩු කිරීමට ශාක පත්‍රවල ඝන උච්චර්මයක් සහ අධික ජල සංචිත පටක ප්‍රමාණයක් පිහිටා ඇත.
  • මුල් ප්‍රරෝහණය වූ කඩොල් බීජ ශාකයෙන් ගිලිහී ජලය මඟින් පාවී ගොස් මඬෙහි රැඳී වර්ධනය වේ.

ශ්‍රි ලංකාවේ කඩොලාන[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ කඩොලාන ප්‍රජාව සත්‍ය කඩොලාන හා ආශ්‍රිත කඩොලාන විශේෂ වලින් ද සමන්විත වේ. ඒ අනුව දැනට ප්‍රධාන වශයෙන් කඩොලාන වර්ග 17ක් පමණ සොයාගෙන ඇත. ශ්‍රි ලංකාවේ දිවයින වටා ඇති කඩොලාන ප්‍රජාව වැසී පැතිරී ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 10000ක් පමණ වේ.

ශ්‍රි ලංකාවේ සුවිශේෂී කඩොල් ශාක වර්ග[සංස්කරණය]

1.කඩොල්ටට

Mangroves 1.jpg
  • Rhizophora Apiculate
  • Rhizophora Mucronata

2.මල් කඩොල්

Rhizophora mucronata2.jpg
  • Bruguiera Gymnorhiza
  • Bruguiera Sexangula
  • Bruguiera Cylindrica

3.පුංකණ්ඩ/රතු ගස්

  • Ceriops Tagal
  • Ceriops Decandra

4.මට්ටි කඩොල්

  • Xylocarpus Granatum
  • Xylocarpus Mekongensis

5.කොන්තාලන්(Xylocarpus Rumphii)

6.බැරිය(Lumnitzera Racemosa)

7. රත මිල්ල(Lumnitzera Littorea)

8. කිරල

  • Sonneratia Alba
  • Sonneratia Caseolaris
  • Sonneratia Griffithi
  • Sonneratia Ovata

9. කටු ඉකිලි

  • Acanthus Ilicifolius
  • Acanthus Volubilis

10. කැරන් කොකු

  • Acrostichum Aureum
  • Acrostichum Speciosum

11. තෙල(Excoecaria Agallocha)

12. මණ්ඩ/මඬ ගස්

  • Avicennia Marina
  • Avicennia Alba
  • Avicennia Officinalis

13. ගිං පොල්(Nypa Fruticans)

14. හීන් කඩොල්(Aegiceras Corniculatum)

15. එටුන/හෝ මැදිරිය(Heritiera Littoralis)

16. Pemphis Acidula

17. Scyphiphora Hydrophyllacea

කඩොල්(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි)[සංස්කරණය]

02-Mangroves to.jpg


i. Rhizophora Apiculat

කුලය-Rhizophoraceae

සාමාන්‍යයෙන් මීටර් 5-8ක් පමණ උසට වැඩේ. නමුත් මාදු ගඟේ බලපිටිය ආශ්‍රිත කඩොලාන ප්‍රජාවේ මීටර් 10-15ක් තරම් උසට වැඩී ඇත. කයිරු මුල් විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. පොත්ත දුඹුරු පාටය. අතු වල පිට පැත්තේ පත්‍ර හා උප පත්‍ර වැටීමෙන් පසු ඇතිවන කළල පැහැදිලිව පෙනේ. පොත්ත සිහින්ව ඇලි වල‍ට බෙදී පවතී. අතුවල පත්‍රවලට පහළින් වැටුණු පත්‍ර කක්ෂවලින් පුෂ්ප හට ගනී. පුෂ්ප දුඹුරු පාටය. ලා දුඹුරු පාට ඵලය ජලාබුජ ප්‍රරෝහණය පෙන්වයි. මෙම ජලාබුජ ඵලය ළපටි අවස්ථාවේ දී දුඹුරු කොළ පාට වේ.




ii. Rhizophora Mucronata

කුලය-Rhizophoraceae

මෙම කඩොලාන ශාක විශේෂය මීගමුව,රැකව,පුත්තලම,කහඳමෝදර ආදී කඩොලාන ශාක ප්‍රජාවන් තුළ වඩාත් ප්‍රචලිතව ඇත. සදාහරිත ශාකයක් වන මෙ‍හි කරු මුල් විශාල සංඛ්‍යාවක් දැකිය හැක. පත්‍ර ඉලිප්සීය ආකාරයක් ගන්නා අතර පත්‍ර අග්‍රයේ සිහින් කෙන්දක් වැනි කොටසක් දැකිය හැකිය. පත්‍ර මතුපිට ලා කොළපාට,තද කොළ පාට වන අතර යට පැත්ත ලා කොළ පාටය. පත්‍ර යට පැත්තේ කලු තිත් රාශියක් දැකිය හැකිය.

පුෂ්ප මංජරියේ බොහෝ විට පුෂ්ප හතරක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇත. පුෂ්පය කහ සුදු පාටය. පුෂ්පයේ රේණු අටක් ඇති අතර සූත්‍රිකාව කෙටිය.

මේරූ ඵලය තද කොළ දුඹුරු පාටය. ජලාබුජ ප්‍රරෝහණය පෙන්නුම් කරන ඵලය මේරූ පසු ජලය‍ට පතිත වී ජලය මතුපි‍ට පාවී ගොස් සුදුසු ස්ථානයක දී පොළව හා සම්බන්ධ වී බීජ වර්ධන‍ය වේ.

2.මල් කඩොල්(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ තුනකි)[සංස්කරණය]

Bruguiera gymnorrhiza.jpg

i. Bruguiera Gymnorhiza

කුලය-Rhizophoraceae

සදාහරිත ශාකයක් වන මෙය ශ්‍රි ලංකාවේ සෑම කඩොලාන ප්‍රජාවකම පාහේ දක්නට ලැබේ. කඳෙහි පාමුල දණහිස් මුල් දැකිය හැකිය. පත්‍ර තරමක් විශාලය. යටි පැත්ත අඳුරුය. උඩ පැත්ත තද කොළ පාටය. පත්‍ර අග්‍රය උල් වී ඇත. පත්‍ර මුල තීව්ර හෝ අති තීව්ර හැඩයක් ගනී. උප පත්‍ර යුගළ ලෙස පිහිටයි.

පුෂ්ප තනිව පිහිටා ඇත. පුෂ්පය සෙන්ටි මීටර් 3-4 ත් අතර පමණ පළලය. මල් පෙති මිනි මීටර් 13-15 ත් අතර දිගය.ජලාබුජ ඵලයේ බීජ පත්‍රවල අක්ෂය සෙන්ටි මීටර් 8-12 ක් පමණ විශාලව වඩේ. කොළපාටය. ඵලය මේරූ පසු තද කොළ පාටට හැරේ. ඵලය ජලය මතුපිට වැටී පාවී සුදුසු ස්ථානයකට ස්ථාපිත වූ විට බීජ ඵලය වර්ධනය වීමට ප‍ටන් ගනී.



ii. Bruguiera Sexangula

කුලය-Rhizophoraceae

පුත්තලම සිට රැකව දක්වා ඇති සෑම කඩොලාන ප්‍රජාවකම පාහේ දැකිය හැකිය. පත්‍ර ඉලිප්සාකාර-ඕවාකාරය. Bruguiera Gimnorhiza පත්‍ර වලට වඩා කුඩා‍ය. සෙන්ටි මීටර් 2-4 ක් පමණ පළල අතර, දිග සෙන්ටි මීටර් 6-8 ක් පමණ වේ. පත්‍ර තුනී වන අතර මතුපිට ලා කොළ පාටය. පත්‍ර අග්‍රය උල්ය.

පුෂ්ප තනිව පිහි‍ටයි.පුෂ්පය සෙන්ටි මීටර් 3-4 ක් පළල් වන අතර පත්‍ර නාරටි අසළින් ඇති වේ. දළ සාමාන්‍යයෙන් කහ පාටට හුරුය.ජලාබුජ ඵලයේ බීජ පත්‍ර අක්ෂය සෙන්ටි මීටර් 6-10 ක් පමණ දිගට වර්ධනය වන අතර Bruguiera Gimnoorhiza විශේෂයේ ඵලය‍ට සමාන වේ.


iii. Bruguiera Cylindrica

කුලය-Rhizophoraceae

මීටර් 2-4ක් පමණ උසට පඳුරක ස්වභාවයෙන් වැඩෙන සදාහරිත ශාකයකි. දණහිස් මුල් ඇත. සෙන්ටි මීටර් 2-6ක් පමණ පළල සෙන්ටි මීටර් 7-15ක් දිග ඉලිප්සාකාර කුඩා පත්‍ර සහිතය. පත්‍ර නාරටිය රතු පැහැයක් ගනී. උප පත්‍ර සෙන්ටි මීටර් 3ක් පමණ දිගය.

පුෂ්ප මංජරියේ පුෂ්ප 3ක් ඇත. පුෂ්පය අනෙක් මල් කඩොල් විශේෂ වල පුෂ්ප වලට වඩා කුඩා වන අතර පැහැයෙන් කොළ පාටය.

ඵලය ජලාබුජතාවය පෙන්වයි. බිජ, පත්‍ර අක්ෂයට පහළින් ඇත. අනෙක් මල් කඩොල් විශේෂ වල ඵලයට වඩා කුඩා සිහින් සෙන්ටි මීටර් 4-5ක් පමණ දිග ඵලයක් සහිතය. ඵලය වක්ව පිහිටා ඇති අතර කොළ පාටය.


3.පුංකණ්ඩ/රතු ගස්(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි)[සංස්කරණය]

Rhizophoreae sp Blanco2.415-cropped.jpg

i. Ceriops Tagal

කුලය-Rhizophoraceae

කුඩා මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. සෑම ශාකයකම ඇටුවම (Buttress) දැකිය හැක. කුඩා කයිරු මුල් ඇත. ශාකයේ පොත්ත ලා දුඹුරු පාටය. පොත්තේ කුඩා ඇලි පිහිටා ඇත. සම්මුඛව පිහිටි අතු විශාල සංඛ්‍යාවක් ඇත.

පත්‍ර සම්මුඛව පිහිටයි. සෙන්ටි මීටර් 3-5 ක් පමණ පළලය. සෙන්ටි මීටර් 6-12 ක් පමණ දිගටිය. පත්‍රය ඕවලාකාර ඉලිප්සාකාරය. පත්‍ර අග රවුම්ව පිහිටා ඇත.

පුෂ්ප මංජරියේ පුෂ්ප දෙක තුනක් ඇත. පුෂ්ප මංජරිය,අක්ෂය ඒකාකාරීව සිහින්ව ඇත. දිග සෙන්ටි මීටර් 1-2 ක් පමණ වේ. මේවායින් පුෂ්ප නලයක් සාදයි. ඵලය ජලාබුජ ප්‍රරෝහණය පෙන්නුම් කරන අතර බීජ පැළ විශාල සංඛ්‍යාවක් එක ගසක දැකිය හැක. මේවා පහළට එල්ලෙමින් පවතී.


ii. Ceriops Decandra

කුලය-Rhizophoraceae

Ceriops Tagal ශාකයට ඉතාමත් සමීපය. මෙම ශාකය ව්‍යාප්තිය සීමිත අතර රැකව කලපුවේ කඩොලාන ප්‍රජාවේ සුළු වශයෙන් දැකිය හැකිය. Ceriops Tagal විශේෂය විසින් මෙම විශේෂය අභිබවා වර්ධනය වී මෙම වි‍ශේෂයේ වර්ධනය හා පැවැත්ම සීමා කරයි.

පුෂ්ප මංජරිය තරමක් වෙනස්ය. මෙහි පුෂ්ප මංජරියේ අක්ෂය කෙටිය. සෙන්ටි මීටර් 1.5ක් පමණ ඝණකම්ය. ශක්තිමත්ය. පුෂ්පයේ රේණුවල සූත්‍රිකාව ඉතා කෙටිය. බීජ පත්‍ර අක්ෂය Ceriops Tagal වල මෙන්ම වර්ධනය වේ.


4.මට්ටි කඩොල්(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි)[සංස්කරණය]

Xylocarpus Granatum 0001.jpg

i. Xylocarpus Granatum

කුලය-Meliaceae

මීටර් 3-10ක් පමණ උසට වැ‍ඩෙන ශාකයකි. තද දුඹුරු පාට පෙත්ත කොටස් වශයෙන් ගැලවේ. කඳ කොටස් වලට බෙදී සිහින් මුල් දක්වා බෙදී යාම පැහැදිලිව දැකිය හැකි වේ. අතු බෙදීම ඉතා අඩු අතර බෙදුනු අතු කිහිපය පළුල්ව විහිදී ඇත.

සංයුක්ත පත්‍රිකාවල පත්‍රිකා යුගළ දෙකකි. පුෂ්ප මංජරිය පත්‍රයක අක්ෂයෙන් ඇති වී වර්ධනය වේ. සාමාන්‍යයෙන් එක් පුෂ්ප මංජරියක එක් ඵලයක් ඇති වේ. ඵලය ගෝලාකාරය. බීජ ජලාබුජ ප්‍රරෝහණය පෙන්නුම් කරයි.


ii. Xylocarpus Mekongensis

කුලය-Meliaceae

මීටර් 3-6ක් පමණ උසට වැඩෙක ශාකයකි. බොහෝ දුරට Xylocarpus Granatum විශේෂයට සමානය. කඳ රළු වන අතර තද දුඹුරු පාට පොත්තක් ඇත. අතු ප්‍රමාණය අඩු‍ය. හොඳින් වර්ධනය වූ පටි මුල් ඇත.

සංයුක්ත පත්‍ර ඒකාකාරීව පිහිටා ඇත.තද දුඹුරු පාට නාරටියක් සහිත එක් පත්‍රයක පත්‍රිකා යුගළ දෙකකි. එක් පත්‍රයක් සෙන්ටි මීටර් 2-4ක් පමන පළල වන අතර සෙන්ටි මීටර් 4-6ක් පමණ දිගය.

එක් පුෂ්ප මංජරියක පුෂ්ප 2-3ක් ඇත. පුෂ්පයක මනි පත්‍ර හා පුෂ්ප දළ 4 බැගින් ඇත. ඵලයේ විශ්කම්භය සෙන්ටි මීටර් 8ක් පමණ වේ.


5.කොන්තාලන්(Xylocarpus Rumphii)[සංස්කරණය]

කුලය-Meliaceae

මීටර් 20-40ක් පමණ උසට වැඩෙන ඉතා හොදින් අතු බෙදී ඝනව පත්‍ර පිහිටා ඇති ගසකි. සාමාන්‍ය කඩොලාන ප්‍රජාවට ඈතින් වැලි සහිත පොළොවේ වඩදිය මට්ටමට ඉහළින් හට ගනී.

කඳ ඉතා ශක්තිමත්ය. කඳේ බාහිර පොත්ත අළු දුඹුරු පාටය. ඇතුලත පොත්ත දුඹුරු රතු පාටය.

Lumnitzera racemosa Blanco1.126.png


6.බැරිය(Lumnitzera Racemosa)[සංස්කරණය]

කුලය-Combretaceae

මෙම ගණයේ Lumnitzera විශේෂ දෙකක් හදුනාගත හැකි අතර Lumnitzera Racemosa ලංකාවේ සෑම කඩොලාන ප්‍රජාවකම දැකිය හැකිය. බුන්දල කඩොලාන ප්‍රජාවේ ඇති එකම කඩොලාන විශේෂය මෙය වේ. මීටර් 1-3ක් පමණ උසට වැඩෙන හොදින් අතු බෙදී ගිය ශාකයකි. පඳුරක් ලෙස දැකිය හැකි වේ. කඳ තද දුඹුරු පාටය. ඇලි පිහිටා ඇත. සදාහරිත මෙම ශාකයේ පත්‍ර කුඩාය. පුෂ්ප ද ඉතා කුඩාය. එක් ශාකයක ඵල විශාල සංඛ්‍යාවක් ඇති වේ.ජලයේ පාවී තිබෙන ඵල රාශියක් එක වරකට දැකිය හැකිය.


7.රත මිල්ල(Lumnitzera Littorea)[සංස්කරණය]

කුලය-Combretaceae

මීටර් 10-15ක් පමණ උසට වැඩෙන ශාකයකි.කඳේ පාදස්ථය තරමක් ඉදිමී ඇත. මතුපිටින් දුවන මුල් පද්ධති වර්ධනය වී ඇත. බොහෝ විට වඩදිය මට්ටමේ හෝ ඊට උස් බිම් වල සෑදේ. කඳ දුඹුරු පාටය. අතු වියනක් ආකාරයට සැකසී ඇත.

පුෂ්ප සෙන්ටි මීටර් 1ක් පමණ වේ. පුෂ්පයේ පෙති 4ක් වන අතර රතු පැහැතිය.


8.කිරල(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ හතරකි)[සංස්කරණය]

Sonne caseo 080627 0107 Fl smlu.jpg

i. Sonneratia Alba

කුලය-Sonneratiaceae

මෙම විශේෂය තෙත් කලාපීය පරිසරයන් වන කළුතර කළු ගඟේ මෝය ආශ්‍රිත ශාක ප්‍රජාව, ගාල්ල දිස්ත්‍රික්කයේ මාදු ගඟ ආශ්‍රිත ශාක ප්‍රජාව තුළ වේ.

සාමාන්‍ය කිරල ලෙස හඳුන්වන Sonneratia Caceolaris ශාකයට ඉතා සමීප රූපීය ලක්ෂණ පෙන්වන අතර පුෂ්ප වල වෙනස්කම් පමණක් පැහැදිලිව හඳුනාගත හැකි වේ. මෙහි පුෂ්පය කෝප්පාකාර මනියකින් යුක්ත වන අතර ඵලයේ මූලස්ථ කොටස් ‍මෙයින් ආවරණය වේ. ඵලයේ අග්‍රස්ථය රවුම්ය මෘදු දළ සහිත පුෂ්පයක් හට ගනී.


ii. Sonneratia Caseolaris

කුලය-Sonneratiaceae

ශුෂ්ක වියළි හා තෙත් කලාපීය යන දේශගණික කලාප තුනටම අයත් කඩොලාන ප්‍රජාවල පැතිර ඇති මෙම කිරල විශේෂය බහුලව ඇත්තේ තෙත් කලාපයේ කඩොලාන ප්‍රජාවලය. මීටර් 2-20ක් පමණ උස‍ට වැඩෙන ශාකයකි. සමහර ශාක වල අධික ලෙස අතු බෙදෙන අතර අතු පහළට එල්ලී වැටුණ ආකාරයෙන් ඇත. නිපත්‍ර නොමැත. පත්‍ර සම්මුකව පිහිටා තිබේ. හොඳින් වර්ධනය වූ මූල පද්ධතියක් ඇත.

විශාල පුෂ්ප අතුවල පත්‍ර අතර හෝ කුඩා අතුවල අංකුර වලින් ඇති වේ. සමහර අවස්ථාවල 2-3ක් ඇති වේ. කොළ පාට මනි පත්‍ර 6-8ක් පමණ ඇත. ඵලය කොළ පාටය. මේරූ ඵලය මතුපිට දිළිසෙන සුළු ස්වභාවයක් පෙන්වයි.ඉදුණු ඵල‍ය ආහාරයට ගනු ලැබේ.


iii. Sonneratia Griffithi

කුලය-Sonneratiaceae

සීමිත ව්‍යාප්තියක් සහිත කිරක විශේෂයකි. වායුධර මුල් ශාකයේ සිට මීටර් 10ක් පමණ දුර‍ට විහිදී ගොස් ඇත. ඝන අරටුවක් සහිත කඳ තද දුඹුරු පාටය. කඳේ පහළ සිටම අතු විහිදී ගොස් ඇත. පත්‍ර තද මාංසල ගතියකින් යුක්ත වන අතර ළපටි පත්‍ර ලා කොළ පාටය. පත්‍ර ඕවලාකාරය. පුෂ්පයේ දළ නොමැති අතර,රේණු සහ කීලය සුදු පාට වර්ණයෙන් යුක්තය. ඵලය සෙන්ටි මීටර් 5-7ක් පමණ විශ්කම්භයක් ඇති පැතලි,ඕවලාකාර හැඩයක් ගනී.


iv. Sonneratia Ovata

කුලය-Sonneratiaceae

ව්‍යාප්තිය ඉතා සීමිතය. අනෙකුත් කිරල විශේෂ වලට වඩා අඩුවෙන් අතු බෙදී ඇත. කඳේ පොත්ත කොළ දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර මැරුණ පොත්ත කොටස් වශයෙන් ගැලවී යයි. අනෙකුත් කිරල විශේෂවල ළපටි අතු එල්ලා වැටෙන ස්වභාවයකින් යුක්ත වේ. නමුත් එම ලක්ෂණය මෙම කිරල විශේෂයේ දක්නට නොමැත. ඵලයේ අඩක් පමණ මනියෙන් ආවරණය වී ඇත. කීලය ඵලයට සවි වන ස්ථානයේ නෙරාගිය ආවාටයක් සේ සැකසී ඇත.


9.කටු ඉකිලි(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි)[සංස්කරණය]

Acanthus ilicifolius.jpg

i. Acanthus Ilicifolius

කුලය-Acanthaceae

කටු සහිත පඳුරක ස්වභාවයක් ගන්නා මෙම ශාකය ශ්‍රි ලංකාවේ සෑම කඩොලාන ප්‍රදේශයකම දැකිය හැකි‍ය. විවිධාකාරයට‍ අතු බෙදී ගොස් මීටර් 2ක් පමණ උසට වර්ධනය වන අතර ක‍ඳේ පහත කොටසෙන් වායුධර මුල් ඇති වේ. පත්‍ර කටු සහිතය. පුෂ්ප මංජරියක පිහිටයි. පුෂ්පයක් සෙන්ටි මීටර් 3-4ක් පමණ දිග වන අතර පුෂ්පයේ දළ නිල් පාටය. අවුරුද්ද මුළුල්ලේම පුෂ්ප ඇත. ඵලය අසම්පූර්ණ ජලාබුජතාවය පෙන්වයි.


ii. Acanthus Volubilis

කුලය- Acanthaceae

ව්‍යාප්තිය හලාවත කලපුවේ පම්බල කඩොලාන ශාක ප්‍රජාවට සීමා වී ඇත. පඳුරක ස්වභාවයක් ගන්නා ශාකය මීටර් 2ක් පමණ උසට වැඩේ. ශාකයේ කඳ තද දම් පැහැයෙන් යුක්තය. අතුවල සහ කඳේ කටු ඉතා සුළු වශයෙන් ඇත.

Acanthus Ilicifolius පුෂ්ප වලට වඩා කුඩාය. පුෂ්ප මංජරියක පිහිටයි. දළ සුදු පාට වන අතර බොහෝ විට නිපත්‍ර දැකිය නොහැක.


10.කැරන් කොකු(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි)[සංස්කරණය]

Acros aure 080627 0097 smlu.jpg

i. Acrostichum Aureum

කුලය-Pteridaceae

කඩොලාන ප්‍රජාවේ දැකිය හැකි එකම පර්ණාංග ශාකයයි. සාමාන්‍ය පර්ණාංගවල මෙන් කඳ රෛසෝමයකි. සංයුක්ත පත්‍ර රෛසෝමයෙන් ඇති වී සෘජුව ඉහළට වැඩේ. පත්‍රිකා කුඩා වන අතර පැහැයෙන් කොළ පාටය. ළපටි පත්‍රිකා දුඹුරු පාටට හුරු කොළ පාටකි.

පත්‍රයේ අග පිහිටි පත්‍රිකා යුගළ 5-6ක පමණ බීජානුධානී ඇති වේ. පත්‍රයක ඇති බීජානුධානී දුඹුරු පාටට දැකිය හැකිය. අතින් ඇල්ලූ විට බීජානුධානී ගැලවී අත‍ට එන අතර, මේවා සිහින් දුඹුරු පාට කොටස් ලෙස හඳුනාගත හැක.


ii. Acrostichum Speciosum

කුලය- Pteridaceae

ලංකාවේ වඳ වී යමින් පවතින ශාකයකි. බොහෝ විට Acrostichum Aureum වලට සමානය. වඳ පක්ෂක සහිත ක්‍රමයෙන් ඉහළට පටුවන අග්‍රයක් සහිත පත්‍ර ඇත. පත්‍රයක දිග මීටර් 1ක් පමණ වන අතර පත්‍රයේ අග උල්ය. පත්‍ර තලය ලංසාකාරය.

11.තෙල(Excoecaria Agallocha)[සංස්කරණය]

කුලය-Euphorbiaceae

පෙත්ත ලා දුඹුරු පාටය. කඳේ පාමුල හා අනෙක් කොටස් වල ලැන්ටි සෛල දැකිය හැකිය.අතුවල වැටුණ පත්‍ර ලප පැහැදිලිව දැකිය හැකිය. කඳේ හා අතුවල මෙන්ම පත්‍රවල ද කිරි ඇත. මෙම කිරි විෂ සහිතය.

අතුවල අග පත්‍ර ගොනුවක් සේ පිහිටයි. පත්‍ර සරල වන අතර තරමක් මාංශල ගතියකින් යුක්තය. පත්‍ර සාමාන්‍යයෙන් කොළ පාටය. සමහර ළපටි පත්‍ර රතට හුරු කොළ පාටය.

මීටර් 2-10ක් පමණ උසට වැවෙන ශාකයකි. කඳේ පහළ සිටම අතු බෙදේ. අග්‍රස්ථ අතුවල කක්ෂියෙහි පුෂ්ප මංජරිය ඇති වේ. පුෂ්පය ඉතා කුඩාය. ඵලයේ පිටත ආවරණය කෙඳි සහිතය. මේරූ ඵලය කොටස් 3කට පිහිටන ආකාරයට විවෘත වේ. බීජය මිනි මීටර් 3ක් පමණ පළලය. කළු පාටය.


12.මණ්ඩ/මඬ ගස්(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ තුනකි)[සංස්කරණය]

Avicennia resinifera Coromandel 2005 fruits.JPG

i. Avicennia Marina

කුලය-Avicenniaceae

බහුලව ව්‍යාප්තව ඇති විශේෂයකි. වායුධර මුල් ඇත. ශාක කඳ සුදු පාටය. මීටර් 1ක් පමණ උස කුඩා පඳුරු ලෙසටත්,මීටර් 10-15ක් පමණ උස ශාක ලෙසටත් ඒ ඒ දේශගුණික කලාප අනුව වර්ධනය වේ. පත්‍ර සම්මුකව හා ද්වීකාන්තරිකව පිහිටා ඇත. පත්‍ර ඕවලාකාර ඉලිප්සීයාකාරය. පත්‍ර අග උල්ව පිහිටයි. පත්‍ර මතුපිට ලා අඳුරු කොළ පාටක් ගන්නා අතර යට පැත්ත කහපාටක් ගනී. බූව සහිතය.

Avicinnia Officinalis වල පුෂ්ප වලට වඩා කුඩා පුෂ්ප හට ගනී. පුෂ්පයේ දළ 4කි. නිපත්‍රවල Avicinnia Officinalis වල මෙන් කළු පාට දාරයක් නැත. ඵලය රවුම් අළු කොළ පාටය.


ii. Avicennia Alba

කුලය-Avicenniaceae

අනෙක් මණ්ඩ විශේෂ වලට වඩා අඩු ව්‍යාප්තියක් ඇත. සීනි මෝදර හා කල්පිටිය කඩොලාන ප්‍රජාවල දැකිය හැක. ශාකය මීටර් 4-10ක් පමණ උසය. අළු සුදු පාට ක‍ඳේ පාදස්ථයේ නෙරීම් පිහිටා ඇත. වායුධර මුල් තිබේ.

සෙන්ටි මීටර් 2-3ක් පමණ පළල සෙන්ටි මීටර් 4-6ක් පමණ දිග ලංසාකාර පත්‍ර සම්මුකව පිහිටා ඇති අතර පත්‍ර Avicennia Officinalis විශේෂයේ පත්‍ර වලට සමාන වේ. නමුත් වර්ණයෙන් පමණක් වෙනස්ය. Avicennia Officinalis වල පත්‍රයේ යටි පැත්ත කහපාට වන අතර මෙම ශාකයේ යටි පැත්ත සුදු පාටය.

මිනි මීටර් 4ක් පමණ කුඩා පුෂ්ප හට ගනී. පුෂ්ප ඈතින් පිහිටා ඇති අතර පෂ්ප මංජරිය ශුකියක්ව පිහිටයි. මෙම ලක්‍ෂණය නිසා Avicennia Marina ශාක විශේෂයෙන් වෙනස් වේ. කෝණාකාර දුඹුරු කොළ පාට ඵලය සෙන්ටි මී‍ටර් 4ක් පමණ දිගය. මේ නිසා අනෙක් මණ්ඩ විශේෂ දෙකටම වඩා වෙනස් වේ.


iii. Avicennia Officinalis

කුලය-Avicenniaceae

මීටර් 5-10ක් පමණ උසට වැඩෙන ශාකයකි. සුදු පාටට හුරු ක‍ඳෙහි පාමුල කොටසේ පිටතට නෙරා ගිය නෙරීම් සැකිය හැක. බොහෝ විට මෙම නෙරීම් වලින් කුඩා අතු වර්ධනය වේ.

වායුධර මුල් විශාල ප්‍රමාණයක් වර්ධනය වී තිබේ. පත්‍ර සම්මුකව පිහිටා ඇති අතර එක් එක් යුගළය ද්වීකාන්තරිකව පිහිටයි. සෑම අත්තකම ඇති අවසාන පත්‍ර යුගළය එකට එකතු වී අග්‍රස්ථ අංකුරය ආවරණය කරයි. බීජ පැළ අවස්ථාවේ දිගටි පත්‍රයේ අග උල්ය. මෝරණ විටදී රවුම් ආකාරයට වෙනස් වේ. පත්‍ර ‍සෙන්ටි මීටර් 2-4ක් පමණ පළල් වන අතර සෙන්‍ටි මීටර් 3-8ක් පමණ දිගය. මේරූ පත්‍ර මතුපිට දිළිසෙන ස්වභාවයක් ඇත. පත්‍ර යටි පැත්ත කහපාටට හුරු කොළ පාටකි. පුෂ්ප අනෙක් මණ්ඩ විශේෂ වලට වඩා විශාලය. කහපාට මල් පෙති හතරකි. ලා කොළ පාට නිපත්‍ර පැහැදිලිව දැකිය හැක. බූව සහිතය. බූව සහිත සෙන්ටි මීටර් 3ක් පමණ ඵලයේ අග උල් වූ වක් ගැසුණු හොටක් ඇත.


Nypa fruticans1.jpg

13.ගිං පොල්(Nypa Fruticans)[සංස්කරණය]

කුලය-Palmae

පැහැදිලි කඳක් දැකිය නොහැකි ශාකයකි. නමුත් සෙන්ටි මීටර් 70ක් පමණ රෛසෝමයක් වැනි කඳක් ඇති අතර,මෙය බොහෝ විට ජලය තුළ ගිලී ඇත. කඳේ ඇති අග්‍රස්ථ අංකුරයෙන් සංයුක්ත පත්‍ර ඇති වේ. හැඩයෙන්පොල් අතු වලට සමානය. පත්‍රිකා පළලින් අඩුය. පත්‍රයක පත්‍රිකා 30-40ක් එක් පැත්තක පිහිටයි. සෑම පත්‍රිකාවකම පැහැදිලි මැද නාරටියක් ඇත. පත්‍ර මූල හොදින් වර්ධනය වී ඇත. පැතලිය.

පුෂ්ප මංජරිය දුඹුරු පාටය. ජල මට්ටමට මායිම්ව වර්ධනය වේ. ඵලය පැතලි ස්වභාවයක් ගන්නා අතර ඵලයේ ඇලි පිහිටා ඇත. ඵලයේ පිටත ආවරණය කෙඳි සහිත වීම නිසා ජලයේ පාවීමට හැකිය.

14.හීන් කඩොල්(Aegiceras Corniculatum)[සංස්කරණය]

කුලය-Myrsinaceae

මීටර් 1-3ක් පමණ උසට වැඩෙන අතු විහිදී ගිය ශාකයකි. කඳේ පොත්ත අළු පාටය. මෘදුය. දිළිසෙන ගතියකින් යුක්තය. කහමෝදර, රැකව, පුත්තලම, කල්පිටිය, හලාවත කඩොලාන ප්‍රජාවන් තුළ දැකිය හැක.

සෙන්ටි මීටර් 3-4ක් පමණ පළල සෙන්ටි මීටර් 4-8ක් පමණ දිග කුඩා පත්‍ර හා එම ප්‍රමාණයේම පුෂ්ප සහිතය. නිපත්‍ර දැකිය නොහැක. රළු කෙදි සහිත පත්‍ර දුර්වර්ණ කොළ පාටය. පුෂ්ප මංජරිය ඡත්‍රාකාරය. සුදු පැහැති පුෂ්ප දළ රේණු 5කින් යුක්ත වේ. ඵලයේ බීජ දෙකකි. ලා දුඹුරු පැහැති බීජය ජලාබුජ ප්‍රරෝහණය පෙන්වයි.


15.එටුන/හෝ මැදිරිය(Heritiera Littoralis)[සංස්කරණය]

කුල‍ය-Sterculiaceae

රැකව, කහඳමෝදර, මාඳු ගඟ සහ පුත්තලම කඩොලාන ප්‍රජාවල ව්‍යාප්තව ඇත. මීටර් 10-20ක් පමණ උසට වැඩෙන සදාහරිත ශාකයකි. ඉහළ සිට පහළ‍ට ඇලි සහිත කඳේ පොත්ත ලා දුඹුරු පාටය. සෙන්ටි මීටර් 10-20ක් පමණ දිග සරල, රළු, ඕවලාකාර පත්‍ර සර්පිලාකාරව පිහිටා ඇත. පත්‍ර මතුපිට කොළ පාටය. යටි පැත්ත අළු පාටය.

පුෂ්ප ඒක ලිංගික කුඩා පුෂ්පයකි. ගැහැණු පුෂ්පය මිනි මීටර් 5ක් පමණ දිගටි වන අතර පිරිමි පුෂ්පය ඊට වඩා කුඩාය. පුෂ්ප වල කෝප්පාකාර මනිපත්‍ර ඇත. බූව සහිතය. නොමේරූ ඵලය කොළ පා‍‍ටය. ඵලයේ මතුපිට සිනිදු වන අතර මේරූ පසු දුඹුරු පාට වේ. ඵලයේ පි‍‍ටත ආවරණයේ වායු සිදුරු ඇත.කෙඳි සහිතය.



16.Pemphis Acidula[සංස්කරණය]

කුලය-Lithreceae

මීටර් 1-2ක් පමණ උසට වැඩෙන සදාහරිත ශාකයකි. පඳුරක ස්වභාවය ගනී. පොත්ත දුඹුරු පා‍‍ටය. කෙටි නාරටියක් සහිත පත්‍රය සෙන්ටි මීටර් 1ක් පමණ පළල් වන අතර සෙන්ටි මීටර් 1-2ක් පමණ දිගය. පත්‍ර අග්‍රය උල් ‍සහිත ස්‍වභාවයක් ගනී. කීලාකාර මූල සහිත පත්‍රයේ උඩ පැත්ත තද කෙළ පා‍ට වන අතර පිට පැත්ත සුදු පාටට හුරු කෙළ පාටය. අක්ෂීයව ඇති වන පුෂ්ප තනි පුෂ්ප වශයෙන් ඇති වුවත් සමහර අවස්ථා වල පුෂ්ප 2-3ක් ඇති මංජරියක් ලෙස ඇති වේ. පුෂ්පයේ මනිපත්‍ර සෙන්ටි මීටර් 1ක් පමණ දිගටි වන අතර පුෂ්පයෙන් නොවැටී තිබේ. එම නිසා ඵලය දරණ මනිපත්‍ර දැකිය හැකිය. ඵලයේ මනිපත්‍ර කොළ පාටට හුරු රතු පාටය. කුඩා ඵලයේ බීජ රාශියක් ඇත.


17.Scyphiphora Hydrophyllacea[සංස්කරණය]

කුලය-Rubiaceae

මීටර් 1ක් පමණ උස කුඩා ශාකයකි. පඳුරක ස්වභාවයක් ගන්නා අතර කෙළින් වර්ධනය වේ. සරල පත්‍ර ද්වීකාන්තරිකව පිහිටා ඇත. පත්‍ර තරමක් මාංසල කෙඳි සහිත ස්වභාවයක් ගනී. පත්‍රය සෙන්ටි මීටර් 2-4ක් පමණ පළල් වන අතර සෙන්ටි මිටර් 5-8ක් පමණ දිගටිය. අග රවුම් ස්වභාවයක් ගනී. නාරටිය රතු පාටය. අන්තර් වෘත්තීය රවුම්, බූව සහිත උප පත්‍ර ඇත. ඉතා කුඩා තනි තනි පුෂ්ප ඇත. පුෂ්පය සුදු පාට වන අතර නිපත්‍ර 4ක් ඇත. ඵලය කොළ පාටය. බූව සහිතය. සෙන්ටි මීටර් 1ක් පමණ දිග වන අතර ඵලය තුළ බීජ 4ක් පමණ ඇත.

කඩොලානවල වැදගත්කම[සංස්කරණය]

Acros aure 080627 0097 smlu.jpg
  • වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීම
  • කලපු හා ගං මෝය වල සිදුවන සෝදා පාළුව වැළැක්වීම.
  • ගංඟා හා ඉවුරු සංරක්ෂණය.
  • වෙඑළබඩ ප්‍රදේශවල වැලි කඳු ස්ථාපිත වීමට ඉඩ සැලැස්වීම.
  • මසුන් හා වෙනත් ජලජ ජීවීන්ගේ ප්‍රජනනයට හා වර්ධනයට සුදුසු උපස්ථරයක් සැකසීම.
  • ධීවර යාත්‍රා නැවැත්වීමට සුදුසු පරිසරයක් වීම.
  • පක්ෂීන්ට හා මසුන්ට ආහාර සැපයීම හා වාසස්ථානයක් ලෙස මෙන්ම ප්‍රජනනයට සුදුසු ලෙස පරිසරය සැකසීම.
  • කඩොලාන දැව කෘමි හානි වලට ඔරොත්තු දෙන බැවින් ඉදිකිරීම්, මාළු උගුල්, බුරුසු මිටි කර්මාන්තය, ධීවර යාත්‍රා තැනීම හා උපකරණ වල මිටි සඳහා ද භාවිතා කරයි.
  • දැව හා දර සඳහා භාවිතා කරයි.
  • සමහර කඩොල් ශාකවල පොතුවල ඇති ටැනින් නමැති ද්‍රව්‍යය නිසා ධීවරයින් දැල් පදම් කිරීමට හා සායම් කිරීම‍ට එම පොතු යොදා ගනී.
  • Ceriops වැනි කඩොල් ගස්වල ඉපල් මාළු කොටුවල මාළු අතු සඳහා යොදා ගනී.
  • ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව වැනි සමහර රටවල කඩොලාන ප්‍රජාවේ වැඩෙන ගිංපොල් නම් කඩොලාන ශාකය මධ්‍යසාර නිෂ්පාදනය සඳහා යොදා ගනී. මෙම ශාකයේ පත්‍ර පැඳුරු විවීමටද භාවිතා කරයි.

පිංතූර ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • විජයවර්ධන, කුසුම්සිරි. 2007. ශ්‍රි ලංකාවේ තෙත් කලාපීය වනාන්තර, කොළඹ 1: පහන් ප්‍රකාශන.
  • ෆොන්සේකා, ආර්. ඇන් සහ බාලසූරිය අයි. 1993. කඩොල් කැලේ, රාජගිරිය: උදය ප්‍රකාශකයෝ.
  • දැකුම්කළු කඩොලාන පරිසරය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පත්‍රිකා අංක 17, සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශය/පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය.
  • පහළවත්ත ආරච්චි, වසන්තා. හඳුනාගනිමු කඩොලාන, මීගමුව: ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය.
  • ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය ක්‍රියාවට නැගීම සඳහා කාර්යය රාමුවක්. 1999. බත්තරමුල්ල: වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය.
  • අරුල් චෙල්වම්, කේ. ශ්‍රි ලංකා වන සඟරාව, වෙළුම 8, 34 කලාපය.


මේ අඩවිත් බලන්න[සංස්කරණය]

සබැඳි පිටු[සංස්කරණය]

කඩොලාන පරිසර පද්ධතිය

"https://si.wikipedia.org/w/index.php?title=ක‍ඩොලාන&oldid=423935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි