කොළඹ වෙළඳ නගරය

විකිපීඩියා වෙතින්

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටා ඇති විශේෂ වෙළඳ කලාපයක් සහ ජාත්‍යන්තර මූලය මධ්‍යස්ථානයක් වේ. එය මේ වන විට ගාලු මුවදොර අසල පිහිටි ගොඩ කරන ලද භූමි භාගයක් ඉදි වෙමින් පවතී. භූමිය ගොඩ කිරීමේ කටයුතු සම්පූර්ණ වූයේ 2018 වර්ෂයේ ජනවාරි මාසයේ දී ය. ඒ සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 15ක් පමණ වේ. පසුගිය රජය විසින් සැලසුම් කරන ලද ‘වරාය නගරය‘ නව රජය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය කොළඹ ජාත්‍යන්තර වෙළඳ නගරය ලෙස 2016 අගෝස්තු මාසයේ දී ත්‍රිපාර්ශ්වික ගිවිසුමකට යටත් ව නැවත ආරම්භ කෙරිණි. එය පුළුල් සැලසුමක් වන බටහිර මහානගර සැලසුමෙහි එක් අදියරකි.

පිහිටීම[සංස්කරණය]

මූල්‍ය නගරය ඉදි කෙරෙනුයේ නව කොළඹ දක්ෂිණ වරායේ දකුණු අන්තයත් කොටුව ප්‍රදීපාගාරයත් අතර ප්‍රදේශයේ ය. මුහුදෙන් ගොඩ කරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 ක් විය.

පසුබිම[සංස්කරණය]

කොළඹ වරාය නගරය[සංස්කරණය]

වරාය නගරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකි. කොළඹ දක්ෂිණ වරාය සඳහා මුහුද ගොඩ කිරීම අධීක්ෂණය කිරීමේ දී ඔහුට මෙම අදහස පැන නැගී ඇත. මෙම නවීන වරාය නගරය පූර්ව සැලසුම් මත පදනම් ව ‘චයිනා හාබර් ඉංජිනියරිංග් කම්පැනි‘ නම් සමාගම විසින් ඉදිරිපත් කරන ලද ස්වයං යෝජනාවකි. මෙහි ඉදිකිරීම් කටයුතු 2011 මාර්තු මාසයේ දී ඇරඹුණු නමුත් ඇතැම් සිද්ධීන් කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතිය අතරමග ඇනහිටුණි. 2012 වර්ෂයේ මැද භාගයේ දී, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2014 සැප්තැම්බර් මස 17 වන දින ඇරඹෙන බව නිවේදනය කළේ ය. ඇස්තමේන්තුගත වියදම ඇ.ඩොලර් 1.5 ක් විය. මෙහි ආයෝජකයා ලෙස ඉදිරිපත් වී සිටි චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් භූමිය ඉදි කිරීම් කටයුතු පවත්වාගෙන ගියේ ය. භූමියෙන් හෙක්ටයාර 125ක ප්‍රමාණයක් රජයට පවරා දුන් අතර හෙක්ටයාර 88ක ප්‍රමාණයක් වසර 99ක බදු පදනමක් යටතේ චීන සමාගමට පවරා දීමට සැලසුම් කෙරිණි. හෙක්ටයාර 20ක් චීන සමාගමට සින්නක්කර ව පවරා දීමට සැලසුම් කෙරිණි. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2014 සැප්තැම්බර් මස 17 වන දින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පිංග්  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. විවිධ හේතූන් මත වරාය නගරය විවේචනයට ලක් විය. බොහෝ පරිසරවේදීහු, වරාය නගරය හේතුවෙන් බොහෝ පාරිසරික ගැටලු ඇති වන බවත් එම අහිතකර බලපෑම් වරාය නගරයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වලට වඩා වැඩි වනු ඇති බවටත් ප්‍රකාශ කළ හ. සාගර අංශයේ ක්‍රියාකාරීහු ද, අධි-ආරක්ෂිත කලාපයක පිහිටි භූමි භාගයක අයිතිය චීනයට ලබා දීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවන අනතුරුදායක තත්වයත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ඉන් ඇති වන බලපෑමත් පෙන්වා දුන් හ. එමෙන් ම, ව්‍යාපෘතිය විනිවිදභාවයෙන් යුක්ත නොවීමත්, භූමිය ඉදි කිරීමේ කටයුතු සඳහා ශ්‍රී.ල.නි.ප. මැදිහත් වීම වැනි අක්‍රමිකතාත් හේතුවෙන් ද ව්‍යාපෘතිය විවේචනයට බඳුන් විය. එම පක්ෂයට වරාය සහ නාවුක කටයුතු පිළිබඳ එසේ මැදිහත් වීමට අධිකරණ බලතල නොතිබුණි.

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය[සංස්කරණය]

රාජපක්ෂ රජයේ බිඳවැටීමට පසු ව, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට වන හානිය සහ අහිතකර පාරිසරික බලපෑම් හේතුවෙන් වරාය නගරය තහනම් කෙරිණි. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය සඳහා දැඩි පාරිසරික සීමා පැනවීම් ද ඇතුළත් ව මූලික වෙනස්කම් කිහිපයක් සමඟ අත්සන් කරන ලද නව ගිවිසුමෙන් පසු ව්‍යාපෘතිය ප්‍රතිස්ථාපනය කෙරිණි. එම වෙනස්කම් පහත පරිදි ය.

සින්නක්කර ඉඩම්[සංස්කරණය]

රාජපක්ෂ රජය විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී අත්සන් තබන ලද ගිවිසුමට අනුව, හෙක්ටයාර 20 ක භූමි ප්‍රමාණයක් සී/ස සී.එච්.ඊ.සී. පෝර්ට් සිටි (පුද්) සමාගමට සින්නක්කර ව ද ඉතිරි භූමි ප්‍රමාණය 99 අවුරුදු බදු පදනමකට ද යටත් ව පවරා දීමට නියමිත ව තිබුණි. නව රජයේ උපදෙස්වලට අනුව කිසිදු භූමි ප්‍රමාණයක් සින්නක්කර ව ලබා නොදෙනු ඇති අතර, මුළු භූමි ප්‍රමාණය ම 99 අවුරුදු බදු පදනමකට පවරා දෙනු ඇත.  රජය හෙක්ටයාර 20 ක භූමි ප්‍රමාණය ඉල්ලා නොසිටින්නේ නම්, සමාගමට භූමිය තවත් 99 අවුරුද්දකට පවරා දෙනු ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ භූමිකාව[සංස්කරණය]

වරාය අධිකාරි පනතේ මුල් ගිවිසුමට අනුව, හෙක්ටයාර 62ක භූමි ප්‍රමාණයක් ව්‍යාපෘති සමාගම විසින් සිය භාවිතය සහ සංවර්ධන කටයුතු සඳහා පවරා දීමට හැකි වන පරිදි සංශෝධනය විය යුතු ව තිබුණි.

පනතෙහි 6වන වගන්තියට අනුව, මෙය වරාය අධිකාරියේ අරමුණු වලට සීමා විය. නිශ්චල දේපළ වල සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ භූමි භාවිත කළ හැකි බව රාජපක්ෂ රජය ප්‍රකාශ කර සිටිය ද, අංක 6 දරන වගන්තිය යටතේ එවැනි කිසිදු බලයක් පවරා දෙනු නොලැබුණි. නව ගිවිසුම යටතේ, නිශ්චල දේපල ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරා නොදෙනු ඇති අතර, එහි වගකීම් වර්තමාන ශ්‍රී ලංකා වරාය අධිකාරි පනත මගින් අවසර දෙනු ලබන ක්‍රියාකාරකම් දක්වා සීමා කෙරෙනු ඇත. එබැවින්, ඉදි කරන ලද ඉඩම් පවරා දීමට වඩාත් ම සුදුසු ආයතනය වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය බව තීරණය කෙරී ඇත.

මහනගර  සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ භූමිකාව[සංස්කරණය]

නව ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා වරාය අධිකාරී පනතෙහි සංශෝධන ඇතුළු රජයේ වගකීම් දැරීමේ වගකීම වරාය සහ නාවුක කටයුතු අමාත්‍යංශයට අයත් වේ. පසුගිය රජය විසින් 2014 සැප්තැම්බර් මස 16 වන දින අත්සන් කරන ලද ගිවිසුම වෙනුවට, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය (රජය පාර්ශ්වයෙන්), නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාපෘති සමාගම අතර ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇත.

ගොඩ කිරීමට යෝජනා වී ඇති භූමියේ නීතිමය තත්වය[සංස්කරණය]

පසුගිය රජය විසින් අත්සන් කෙරුණු මූලික සහනශීලී ගිවිසුම යටතේ ගොඩ කිරිමට නියමිත වූ භූමියෙහි නීතිමය තත්වය අපැහැදිලි ය. එම භූමීන් කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් නොවේ. එබැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන වගන්තියට අනුව එය ශ්‍රී ලංකා දේශ භූමියට අයත් වන භූමියක් ලෙස සැලකෙන්නේ නැත. නව නීතිය යටතේ, එම භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ගෙන එනු ඇති අතර, එය කොළඹ මහ නගර සභාවෙන් යෝජිත මූල්‍ය නගර සමාගමට පවරා දෙනු ඇත. මූලික ගිවිසුමට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ව්‍යාපාති සමාගමට පවරා දෙන භූමි වල බදු පදනම සම්බන්ධ මූලික බදු සැලසුමක් හඳුන්වා දෙනු ඇත. නව ගිවිසුම යටතේ, ගොඩ කරන ලද ඉඩම් භූමි ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ගැසට් කෙරෙනු ඇති අතර ඉන්පසු නාගරික සංවර්ධන අධිකාරියට පවරා දෙනු ඇත.නාගරික සංවර්ධන අධිකාරිය එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ සංවර්ධන ප්‍ර‍දේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත.  ව්‍යාපෘති සමාගමට 99 අවුරුදු පදනම මත භූමිය බදු දීමට පෙර මෙය සිදු වනු ඇත.

ධීවරයන්ගේ ආදායමට සහය දීමේ වැඩසටහන[සංස්කරණය]

මූලික ගිවිසුම යටතේ, ධීවරයන්ගේ ආදායමට අරමුදල් සැපයීමේ වැඩසටහනෙහි වගකීම ශ්‍රී.ල.නි.ප.යට පැවරී තිබුණි. එහෙත් එවැනි වැඩසටහනක් ශ්‍රී.ල.නි.ප.යේ පසුගිය පරිපාගනය විසින් ආරම්භ නොකෙරුණි. නව ගිවිසුම යටතේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ධීවරයන්ගේ ආදායමට සහය දීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට ව්‍යාපෘති සමාගම රු. මිලියන 500ක් ලබා දෙනු ඇත.

උපයුක්තතා සහ ප්‍රවාහන යටිතල පහසුකම්[සංස්කරණය]

මූලික ගිවිසුමට අනුව, ඉදි කරනු ලබන ප්‍රදේශයේ ඇති සියලු ම මාර්ග සහ උපයුක්තතා සඳහා වන ආයෝජනයන්හි වගකීම ව්‍යාපෘති සමාගම සතු විය. එමෙන් ම  ඉදිකිරීම් භූමියේ පර්යන්ත පුදේශය සඳහා සියලු ම උපයුක්තතා සහ මාර්ග යටිතල පහසුකම් සැපයීමේ වගකීම ශ්‍රී ලංකා රජය සතු වේ. නව ගිවිසුම යටතේ, ව්‍යාපෘති සමාගම හරහා පොදු හා පෞද්ගලික හවුල් ව්‍යාපාර පැවැත්වීමේ හැකියාව, වැඩබිමෙහි පර්යන්ත ප්‍රදේශයට මාර්ග යටිතල පහසුකම් සහ උපයුක්තතා කළමනාකරණය කිරීමේ විධිවිධාන පිළිබඳ ශ්‍රී ලංකා රජය සතු වගකීම ලිහිල් කිරීම සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස සැලකෙනු ඇත.

ඉදි කෙරෙන ප්‍රදේශයේ කළමනාකරණය සහ නඩත්තුව[සංස්කරණය]

කොළඹ වරාය නගරය (ඉදිකිරීම් භූමිය) ගාලු පාරේ සිට දැක බලා ගත හැකි ය. මූලික ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා රජයට අයත් ඉඩම් කළමනාකරණ සමාගමක්, ආයෝජකයන් වෙතින් කළමනාකරණ ගාස්ත අය කරමින් වරාය නගරයේ පොදු ප්‍රදේශ කළමනාකරණය, නඩත්තුව සහ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත ව තිබුණි. එනමුත්, ඉඩම් කළමනාකරණ සමාගම ස්ථාවරත්වයට පත් වන තුරු, ශ්‍රී ලංකා රජයට හෝ ශ්‍රී.ල.නි.ප.යට හෝ ඉඩම් කළමනාකරණ සමාගමේ කටයුතු සඳහා අරමුදල් සැපයීමට සිදු විය. එබඳු ක්‍රියාවකට අරමුදල් සැපයීම සඳහා වූ ශ්‍රී ලංකා රජයේ අරමුණ පහසු කිරීම සඳහා, නව ගිවිසුම යටතේ, ව්‍යාපෘති සමාගම ඉඩම් කළමනාකරණ සමාගම ස්ථාපිත කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය දැක්වීම පිළිබඳ සලකා බැලීමට එකඟ විය.

ශ්‍රී ලංකා රජයේ ඉඩම් සංවර්ධනය කිරීම පිළිබඳ පැනවූ සීමාවන්[සංස්කරණය]

මූලික ගිවිසුම, අධ්‍යාපනික සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා පමණක් ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ වීමෙන් වසර තුනක කාලයක් තුළ සිය ඉඩම්වල ශ්‍රී ලංකා රජයට කළ හැකි සංවර්ධනයන් සීමා කරයි. නව ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා රජයට සෞඛ්‍ය ආයතන හා රෝහල්, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන සහ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඇතුළත් කළ හැකි වන පරිදි ඉහත කොන්දේසිය පුළුල් කර ඇත.  එමෙන් ම, කොළඹ වරායේ උතුරු සහ බටහිර තොටුපළවල්වල සංවර්ධන කටයුතු සිදු කිරීමට ද බාධාවක් නැත. මීට අමතර ව, ව්‍යාපෘති සමාගම, ප්‍රථමයෙන් ඉදිකර නිම වෙන භූමි භාගයෙහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය සඳහා නව ආයෝජන කිරීම ද ඇතුළු ව එම ගොඩනැගිල්ල ස්ථාපනය කිරීමට ද එකඟ වී ඇත. ඉදි කරන ලද භූමියක ගොඩනැගිල්ලක් තැනීම තාක්ෂණික වශයෙන් සාධ්‍ය ද යන්න සලකා බැලිය යුතු හෙයින් එය ඉතා කඩනමින් සිදු නොවනු ඇති අතර ශක්‍යතා පරීක්ෂණයකට පසු ශ්‍රී ලංකා රජය සමඟ අන්‍යෝන්‍ය ව එකඟ වූ කොන්දේසි මත එය ඉදි කෙරෙනු ඇත.

හානිපූරණය[සංස්කරණය]

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ චීන සංචාරයන් මගින් නිර්මාණය වූ හොඳ හිත හේතුවෙන්,  අවශ්‍ය පාරිසරික අවසරයන් ලබා ගැනීමට ශ්‍රී.ල.නි.ප.යේ පසුගිය පාලනය අසමත්වීම හේතුවෙන් ව්‍යාපෘතිය තහනම් වීම නිසා ඇති වූ අලාභයන්හි හානිපූරණය මුළුමනින් ම අවලංගු කිරීමට ව්‍යාපෘති සමාගම එකඟ වී ඇත. ඔවුනගේ මූලික සැලැස්මෙහි රාත්‍රී ධාවන තරඟ සඳහා විධිවිධාන යොදා තිබුණි. මේ වන විට ඔවුහු එම සැලැස්ම මුළුමනින් ම අත්හැර ඇත. මේ අනුව බලන කල, විකිණිය හැකි ඉඩම් විශාල ප්‍රමාණයක් මෙම භූමියෙහි ඇත. මේ අතරින්,  රජයට අයත් හෙක්ටයාර 62ක භූමි ප්‍රමාණය අඩු කිරීමකින් තොර ව හෙක්ටයාර දෙකක් ඔවුනට පවරා දෙනු ඇත. මෙය ඔවුන්ගේ හොඳහිත වෙනස් කරන ක්‍රියාවක් වනු ඇති අතර එය සියලුම හානිපූරණයන් සම්පූර්ණයෙන් ම අතහැරීමට ගත් තීරණයට බලපානු ඇත. ජනතාවට වරාය නගරය වඩාත් ආකර්ෂණීය කිරීමට මූලික ව සැලසුම් කළ ප්‍රමාණයට වඩා හෙක්ටයාර 28ක ප්‍රමාණයකින් පොදු භූමි (පොදු ජනයාට භාවිත කළ හැකි උද්‍යාන, මාර්ග, මංතීරු ආදිය ) ප්‍රමාණය වැඩි කිරීමට මේ වසරේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කෙරුණු නව ප්‍රධාන සැලැස්මට ව්‍යාපෘති සමාගම එකඟ වී ඇති නිසා මෙම යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනුණි. උදාහරණයක් ලෙස, ඉදිකර අවසන් වූ පසු වරාය නගරයට උද්‍යාන භූමි හෙක්ටයාර 45 ක් සහ කෘතිම වෙරළ භූමි හෙක්ටයාර 13ක් අයත් වනු ඇත.

පාරිසරික අනුමැතීන්[සංස්කරණය]

මූලික ගිවිසුමට අනුව, ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික අනුමැතීන් සියල්ලක් ම භාර ගැනීමේ සහ මුදල් යෙදවීමේ වගකීම ශ්‍රී.ල.නි.ප.ය වෙත පැවරී තිබුණි. ශ්‍රී.ල.නි.ප.යේ පසුගිය පාලනය විසින් ලබාගත් පාරිසරික අනුමැතීන් දෝශ සහගත විය. ව්‍යාපෘති සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද සහයෝගයන්හි සහ අරමුදල්වල වූ එබඳු දෝශ පිළිබඳ සාකච්ඡා කිරීමට 2015 වර්ෂයේ දී මහනගර අමාත්‍යාංශය විසින්  නව පුළුල් අතිරේක පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරු කිරීමක් පවත්වන ලදී.

නව පාරිසරික කොන්දේසි[සංස්කරණය]

2011 දී පවත්වන ලද මූලික පාරිසරික බලපෑම් තක්සේරු කිරීම යටතේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය සංවර්ධන අවසරයන් තුළ පනවා තිබුණේ කොන්දේසි 42ක් පමණි. එහෙත්, 2015 දෙසැම්බර් මාසයේ දී මහජන මත විමසුම සඳහා ඉදිරිපත් කරන ලද, ඉදි කරන ලද භූමියෙහි හෙක්ටයාර 269ක් සඳහා මහනගර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද නව අතිරේක පාරිසරික බලපෑම් තක්සේරුව යටතේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව සංවර්ධන අවසරයට පාරිසරික බලපෑම් අවම කිරීසම සඳහා පැනවූ කොන්දේසි 70ක් ඇතුළත් වේ.

තත්ව විපර්යාසය[සංස්කරණය]

රාජපක්ෂ පාලනය මෙම භූමිය ගොඩකිරීමේ ව්‍යාපෘතිය රාත්‍රී ධාවන පථ ඇතු‍ළු නිශ්චල දේපළ, ක්‍රීඩා, අධ්‍යාපන සහ සංස්කෘතික සංවර්ධනය සඳහා පහසුකම් සලසන්නක් ලෙස සැලකුවේ ය. එම නිසා, මෙම භූමි ප්‍රමාණය රජය විසින් නිශ්චල දේපළ සංවර්ධනය සඳහා ඉදිරිපත් නොකෙරුණි. දැන්, මෙම භූමිය සිංගප්පූරුව සහ ඩුබායි අතර ඇති රික්තය පිරවීම සඳහා වන මූල්‍ය නගරයක් ගොඩනැගීම සඳහා යොදා ගැනීමට චීන රජය සමඟ එකඟ වී ඇත. මෙමගින් අක් වෙරළ මෙහෙුම් සඳහා ඉඩ සැලසෙනු ඇත. මෙම කාරණය සඳහා, රජය, ඩුබායි රාජ්‍යයෙහි මෙන් අක් වෙරළ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා නව නීති යෝජනා කරනු ඇත. මෙම මූල්‍ය නගරය ශ්‍රී ලංකාව සඳහා ප්‍රධාන ආදායම් මාර්ගයක් සහ රැකියා සපයන්නක් බවට පත් වනු ඇත. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකිරීම සඳහා 2018 දෙසැම්බර් මාසයේ දී අනුමැතිය හිමි විය. මෙම යෝජිත නගරය, එහි වැඩබිම ආසන්නයේ පිහිටි, මේ වන විට ඉදිවෙමින් පවතින, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ගොඩනැගිලි ද්‍රව්‍ය  භාවිත කරනු ඇත.

විශේෂ නීති රාමුවක්[සංස්කරණය]

කොළඹ ජාත්‍යන්තර වෙළඳ නගරය ස්වාධීන අධිකාරියකින් පාලනය කෙරෙනු ඇති බවටත් කොළඹ මහනගර සභාවට යටත් නොවනු ඇති බවටත් යෝජනා කෙරී ඇත. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා විධිවිධාන සහ මූලික විමර්ශන උසාවිය ලෙස සේවය කරන ඔවුන්ගේ ම කොළඹ විශේෂ මූල්‍ය අධිකරණය සමඟ ගිවිසුම් සහ වෙළඳ ගනුදෙනු මත, අනන්‍ය වූ වාණිජ නීති උපකුලකයකට අනුව ක්‍රියා කිරීම සඳහා, විශේෂ නීති රාමුවක් කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයට අවස්ථාව සලසනු ඇත. එයට, සිය නීති මත පාලනය වන නගරයක් බවට පත් විය හැකි ඔවුන්ගේ ම තීරකීකරණ මධ්‍යස්ථාන හිමි වනු ඇත. මෙමගින්, එය දූෂිත ප්‍රභවයන් මගින් පැමිණි මුදල් පිරිසිදු කරනා මධ්‍යස්ථානයක් බවට පත් වනු ඇත.

ඉදි කිරීම[සංස්කරණය]

මෙම ව්‍යාපෘතියේ සමාරම්භය 2014 දී සිදු වූ අතර සංශෝධිත සැලසුමක් සමඟින් 2019 ඔකතෝම්බර් මාසයේ දී නැවත ආරම්භ විය. ජලය ගොඩ කිරීමේ කටයුත්ත මාස 28කින් පමණ සම්පූර්ණ වන ආකාරයට එය ව්‍යාපෘතිගත කෙරුණි. මෙම නගරය 2041 දී සම්පූර්ණයෙන් ඉදි කර අවසන් වනු ඇත. මෙම යෝජනාව සහ ඉදිකිරීම දේශීය ආර්ථිකය වර්ධනය වීමට සහාය වී ඇත. 2019 මුල් භාගයේ දි ෂින්හුවා රැකියා 4000ක් පිළිබඳ පවසමින් ලිපියක් සම්පාදනය කළේ ය.

භූමිය ගොඩ කිරීම[සංස්කරණය]

මෙම වරාය නගරයට ‍හෙක්ටයාර 269ක පමණ ගොඩ කරන ලද භූමි ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. හෙක්ටයාර 116ක් චීන වරාය ඉංජිනේරු සමාගමට අයත් චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමට අයත් වනු ඇති අතර, ශ්‍රී ලංකා රජය තවත් හෙක්ටයාර 91ක් මහජන අවකාශය සඳහා සූදානම් කර ඇත.

ඉදිකිරීම් කටයුතු වල මුල් අදියර[සංස්කරණය]

2018 ජූලි මාසයේ දි පැවැ.ති ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක දී අග්‍රමාත්‍යවරයා පැවසූයේ, භූමිය ගොඩ කිරීමේ කටයුතු වසරක් තුළ අවසන් වන අතර ඊළඟ වර්ෂය වන විට ඉදිකිරීම් කටයුතු ඇරඹිය යුතු බවත්, පරිපාලන ප්‍රදේශය සඳහා නීතිමය ගිවිසුම් ඇති කිරීම සඳහා රජය සහයෝගය අපේක්ෂා කරන බවත් ය. මෙය මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට අනුව 2019 ජනවාරි මාසයේ දී සාර්ථක ව සම්පූර්ණ කරන ලදී. මෙම ව්‍යාපෘතිය, 2019 ජනවාරි මාසයේ දී අපේක්ෂිත සම්පූර්ණ කරගැනීම සඳහා මාස තුනක පමන කාලයක් ඉතිරි ව තිබුණි.

මූලික යටිතල පහසුකම්[සංස්කරණය]

චයිනා ඩේලි පුවත්පතට අනුව වරාය නගරය සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් ඉදිකිරීම් කටයුතු සඳහා මාස 15ක පමණ කාලයක් ගත වනු ඇත.

විශේෂයෙන් ම, 2020 වන විට සම්පූර්ණ වීමට නියමිත නාගරික පහසුකම් ඉදිකිරීමේ කටයුතු සමඟ, ජල ආකෘතික ඉදිකිරීමේ කටයුතු 2019 මැද භාගය වන විට සම්පූර්ණ වනු ඇත.

නව මාර්ග ජාලය සඳහා අනුමැතිය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එවා ඇති අතර පාලම්වල ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_වෙළඳ_නගරය&oldid=447202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි