කීමොතෙරපි

විකිපීඩියා වෙතින්
පියයුරු පිළිකාව සඳහා ඩොසෙටෙක්සල් (docetaxel) කීමොතෙරපි ලබන කාන්තාවක්. ඇගේ නිය වලට සිදු වන හානිය වැලැක්වීම සඳහා ශීත අත් වැසුම් සහ වයින් කූලර්ස් ඇයගේ අත් සහ පාද මත තබා ඇත.

කීමොතෙරපි (රසායනික චිකිත්සාව) යනු රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම ප්‍රති-පිළිකා ඖෂධ භාවිත කරමින් සිදු කරනු ලබන පිළිකා ප්‍රතිකාර ප්‍රභේදයකි. පිළිකා සුවපත් කිරීමේ අරමුණින් මෙන්ම පිළිකා රෝගීන්ට ජීවිත් වීමට ඇති කාලය වැඩිදියුණු කිරීමට සහ රෝග ලක්ෂණ යටපත් කිරීම සඳහා ද කීමොතෙරපි ලබා දීම සිදු කෙරේ. මෙය හෝමෝනමය චිකිත්සාව සහ ඉලක්කගත චිකිත්සාව හැරුණු විට පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන්ගේ ප්‍රධානතම ප්‍රභේදයන්ගෙන් එකක් වෙයි. මෙම ප්‍රකාරතාවන් බොහෝ විට විකිරණ චිකිත්සාව, ශල්‍යකර්ම සහ/හෝ හයිපතර්මියා චිකිත්සාව යන අනෙකුත් පිළිකා ප්‍රතිකාර සමඟ සමුච්චිතව ලබා දෙයි. AL ඇමිලොයිඩොසිස් (AL amyloidosis), ඇන්කිලොසින්ග් ස්පොන්ඩයිලිටිස් (ankylosing spondylitis), බහුවිධ ශරීර පටක ඝනවීම (multiple sclerosis), ක්‍රෝන්ගේ රෝගය (Crohn's disease), සොරෛයසියස් නම් චර්ම රෝගය (psoriasis), සොරෛටික වාත රක්තය (psoriatic arthritis), පද්ධතික දද එරිතිමාව (systemic lupus erythematosus), රුමටික පර්වදාහය (rheumatoid arthritis), සහ ස්ක්ලෙරොඩර්මා (scleroderma) වැනි අනෙකුත් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමටද සමහර කීමොචිකිත්සක ඖෂධ යොදා ගනු ලබයි.

සම්ප්‍රදායික රසචිකිත්සක (කීමොචිකිත්සක) කාරකයන්, බොහෝ පිළිකා සෛල වල ප්‍රධානතම ලක්ෂණයක් වන සීග්‍රයෙන් බෙදීම පදනම් කොටගෙන එම සෛල විනාශ කරනු ලබයි. මෙයින් අදහස් වන්නේ එම කාරකයන් සාමාන්‍ය තත්ත්වයේ පවතින එහෙත් වේගයෙන් බෙදෙන (සාමාන්‍ය) සෛල වලටද හානි සිදු කරන බවයි. විශේෂයෙන්ම රෝම කූප සෛල, ඇටමිදුළු සෛල, ආහාර මාර්ගයේ සෛල මෙම ඝනයට අයත් වෙයි. මේ හේතුකොටගෙන කීමොචිකිත්සාවන්ගේ බහුලතම අතුරු ආබාධ වන මයිලොසප්‍රේෂන් (myelosuppression) [රුධිර සෛල නිපදවීම අඩුවීම, ඒ හේතුකොටගෙන ඉමියුනොසප්‍රේෂන් (immunosuppression) {ප්‍රතිශක්තිය අඩු වීම}], මියුකොසයිටිස් (mucositis) [ආහාර මාර්ගයේ ආස්තරණයේ ඇතිවන ප්‍රදාහය], සහ ඇලෝපිශියා (alopecia) [කෙස් හැලී යාම] ප්‍රතිඵල කරයි.

ඇතැම් නවීන ප්‍රතිපිළිකා ඖෂධ (උදාහරණ ලෙස, බහුවිධ මොනොක්ලෝනල් ප්‍රතිදේහ [various monoclonal antibodies]) අවිචාරවත් ලෙස සෛල නාශක නොවේ. ඒවා මගින් පිළිකා සෛල වල අසාමාන්‍ය අයුරින් ප්‍රකාශ වන සහ ඒවායේ වර්ධනයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන ඉලක්ක කරයි. එම ප්‍රතිකාර බොහෝ විට ඉලක්කගත චිකිත්සාව (targeted therapy) ලෙස හඳුන්වනු ලබයි. එම ප්‍රතිකාර වඩාත් බහුලව යොදා ගනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=කීමොතෙරපි&oldid=558117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි