කෑම පෙට්ටි රැගෙන යන්නා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

කෑම පෙට්ටි රැගෙන යන්නා යනු නගර අවට ගම් දනව් හි පදිංචිව සිට රැකියා සඳහා නගරයට දිනපතා ගමන්කල ලාංකික වෘත්තිකයන්ට විසිවන සියවසෙහි අගභාගයෙහිදී ඉමහත් පහසුවක් ගෙන දුන්නාවූ තවත් වෘත්තිකයෙකි. උදෑසනින් තම රැකියාව සඳහා දුම්රියෙන් හෝ බස්රියෙන් නගරයට පැමිණෙන වෘත්තිකයන්ගේ දිවා ආහාරය ඔවුන්ගේ නිවෙස් වෙතින් භාරගෙන ඔවුන්ගේ සේවා ස්ථානයට රැගෙන විත් දීම හා දිවා ආහාර විවේකයෙන් පසුව එම ආහාර බඳුන් (එකල භාවිතා වූයේ පිඟන් දෙකකි) නැවත එම වෘත්තිකයාගේ නිවෙස වෙතට ගෙන ගොස් දීම මෙම කෑම පෙට්ටි රැගෙන යන්නාගේ කාර්යය විය. මෙම පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් එකල ලංකාවේ නගර වෙත ගමනෙහි යෙදෙමින් මෙම වෘත්තියෙහි නියැළුනු අතර ගමනාගමනය සඳහා දුම්රිය හා බස්රිය මෙන්ම පා පැදියද භාවිත කලහ. යම් නිවෙසකින් කෑම පෙටිටිය භාර ගන්නා පුද්ගලයා හා ගෙහිමියාගේ කාර්යාලයයට එම කෑම පෙට්ටිය භාර දෙන්නා බොහෝ විට පුද්ගලයන් දෙදෙනෙක් වන අතර, ඒ අතරතුර තවත් බොහෝ අයවළුන් අතින් අතට මෙම කෑම පෙට්ටිය හුවමාරු වෙයි. ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වූ කිසියම් ජාලයක අග්‍ර අතරෙහි කෑම පෙට්ටිය සැරිසරන අතර නිවෙසක සිට නිවැරැදි කාර්යාලයට අහර බඳුනද කාර්යාලයක මිට නිවැරැදි නිවෙසට හිස් බඳුනද ගෙන යාමට එම ජාලය නිරොතුරුවම සමත් විය.

අවශ්‍යතාවය[සංස්කරණය]

එකල බොහෝ වෘත්තිකයන් පුරුෂයන් වූහ. සමහරක් කාර්යාලයන්හී ලිපිකාරිනියන්, ලඝුලේඛිකාවන් වැන්නන්ද කොළඹ විදුලි සංදේශ කාර්යාලයෙහි දුරකතන පුවරුවෙහි සේවයකල කාන්තාවන්ද හැරුනු කලෙක, ගුරුවරියන් මෙහිදී අමතක කරන ලදි, වෘත්තික කාන්තාවන්ට වඩා ඉහල ප්‍රතිශතයක් ගෘහනියන් ලංකාවෙහි සිටියහ. මෙම කාලයෙහි ගෘහනියකගේ දෛනික ක්‍රියා කලාපයට, අළුයමින් ලිප ගිනි මෙලවා බත් ව්‍යංජන සකස් කිරීම අයත් නොවීය. සමහරක් ගෘහයන්හී උදය ආහාරය ලෙසින් කිරිබත්, දිය බත්, සුළු බත්. පිට්ටුල ඉඳි ආප්ප ආදිය පිළියෙල කෙරුනද සමහරක් නිවෙස්හි උදය ආහාරය පාන් ඇසුරෙන් පිරිමැසිනි. කාර්යාල සේවයක් හෝ කර්මාන්තයක් හෝ සඳහා උදෑසන නිවෙසින් පිටත්වන්නේ ගෘහ මූලිකයා පමණක් වන අතර දහවල් ආහාරය උදෑසනින් පිළියෙල කිරීම සිරිතක් නොවීය.
සැහැල්ලු උදය ආහාරය පිළියෙල කිරීම හැරුණු විට ලමා ලපටින් පැසැල් යැවීමට පිළියෙල කිරීම ආදිය ගෘහනියකගේ දෛනික රාජකාරියෙහි මුල් කොටසට අයත් වූ බැවින්ද දහවල් ආහාරය පිළියෙල කිරීමෙහි සංකීර්ණ ක්‍රියාවලියට උදෑසනින් කාලය මිඩංගු කිරීම අපහසු විය. දහවල් ආහාරය පිළියෙල කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වූයේ සහල් පොලා සුන්සාල් ඉවත්කොට, වී ඇහිඳ, කළු ඇට ඉවත් කොට, නෑඹිලියකින් ගරා ගල් ඉවත් කොට, මිරිස්, කහ සහ තුනපහ මිරිස් ගල ඇසුරින් අඹරා සකස්කොට මාළු වෙළෙන්දා පැමිණි විට එය මලදී ගෙන එළවළු වෙළෙන්දියගෙන් ඒවා ද මිලදී ගෙන ආදී වශයෙන් සැම දිනකම සිදුකල යුතු කර්වයන් රැසක එකතුවක් නිසා විය. මෙ නිසා දහවල් බත නිමැවෙන විට ගෙහිමියා කාර්යාලයට පිවිස බොහෝ වේලා ගත වී නිමවී තිබිණ.
තැන තැන ආපනශාලා තිබුනද, කාර්යාල සේවකයින් ඒවායින් දිවා ආහාර ගැනුම ප්‍රචලිත නොවීය. වියදම අධික වීම, කාලය වැයවීම, සෞඛ්‍ය ආරක්ෂිත බවේ ගැටළු ආදිය බලපෑ නමුත් භාර්යාව පිළියෙල කල ආහාර වැළඳීමේ සරල පිළිවෙත සියල්ලටම ඉහලින් සිටි බවකි.