ඔහි‍යෝ පන්තියේ සබ්මැරීන

විකිපීඩියා වෙතින්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ඔහියෝ පන්තියට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනවලට මිසයිල ප්‍රව‍ාහන සබ්මැරීන14ක් සහ කෲස් මිසයිල ප්‍රව‍ාහන සබ්මැරීන 4ක් අයත් වේ. බරින් ටොන් 18,750 ක් වන ඔහියෝ පන්තියේ සබ්මැරීන, එක්සත් ජනපද නාවික හමුදාව සඳහා මෙතෙක් ඉදිකර ඇති විශාලතම සබ්මැරීන වේ. ලොව තුන්වන විශාලතම සබ්මැරීනය ද වන මෙය, දෙවැනි වන්නේ රුසියානු නාවික හමුදාව විසින් භාවිතයට ගන්නා බරින් ටොන් 48000ක් වන ටයිෆූන් පන්ති‌යේ සහ ටොන් 24000ක් වන බෝරේ පන්තියේ සබ්මැරීනවලට පමණි. ඔහියෝ කාණ්ඩයේ සබ්මැරීනවලට ට්‍රයිඩන්ට් II වර්ගයේ න්‍යෂ්ටික මිසයිල 24 රැගෙන යා හැකි අතර ඊට සාපේක්ෂව බෝරේ සහ ටයිෆූන් සබ්මැරීනවලට රැගෙන යා හැකි න්‍යෂ්ටික මිසයිල ප්‍රමාණය පිළිවෙලින් 16ක් සහ 20ක් වේ.

ඔහියෝ කාණ්ඩයේ සබ්මැරීනවල පූර්වගාමීන් වු බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සහ ලෆයෙට් පංතියේ සබ්මැරීන මෙන් මෙම සබ්මැරීන ද එක්සත් ජනපද ගුවන් හමුදාවේ මූලෝපායික බෝම්බ හෙලන යානා සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සමඟ එරට න්‍යෂ්ටික ප්‍රහාරක ශක්ති විදහා දක්වයි.   ඔහියෝ පන්තියේ සබ්මැරීන 18 අතර ඇති බැලස්ටික් මිසයිල ප්‍රව‍ාහන සබ්මැරීන 14 එරට ක්‍රියාකාරී න්‍යෂ්ටික යුධ ශීර්ෂ වලින් හරි අඩක් ම රැගෙන යයි. මෙම සබ්මැරීන මුර සංචාරයේ යෙදෙන විට ට්‍රයිඩන්ට් II න්‍යෂ්ටික මිසයිල වලට ගමනාන්තයන් අන්තර්ගත කර නොතිබුණද,. නෙබ්‍රස්කා හි පිහිටි එක්සත් ජනපද උපායමාර්ගික විධානයෙන් මෙම මිසයිල වෙත ආරක්ෂිත හා ස්ථාවර ගුවන් විදුලි සන්නිවේදන සම්බන්ධතා භාවිතා කරමින් ඉතා ඉක්මණින් ඉලක්ක ලබා දිය හැකිය.

මෙම පන්තියේ ප්‍රධාන  සබ්මැරීනය යූඑස්එස් ඔහියෝ සබ්මැරීනය වේ. ඔහියෝ පන්තියේ සබ්මැරීන අතුරින් යූඑස්එස් හෙන්රි එම්. ජැක්සන් හැර අනෙකුත් සියලුම සබ්මැරීන එක්සත් ඇමෙරිකා ජනපදයේ  ජනපද වලින් නම් කර ඇති අතර, එක්සත් ජනපද නාවික සම්ප්‍රදාය අනුව මීට පෙර යුධ නැව් ද මෙසේ නම් කරන ලදී.

නාමය ඔහියෝ පන්තිය
නිෂ්පාදකයින් ජෙනරල් ඩයිනමික්ස් ඉලෙක්ට්‍රික් ආයතනය
භාවිතා කරන්නන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව
නිෂ්පාදිත වර්ෂයන් 1976 - 1997
පිරිවැය $ බිලියන 2.97
ක්‍රියාත්මක වූ වර්ෂය 1981 සිට
අපේක්ෂිත යාත්‍ර ප්‍රමාණය 24
නිෂ්පාදිත යාත්‍රා ප්‍රමාණය 18
අවලංගු යාත්‍ර ප්‍රමාණය 06
ක්‍රියාකාරී යාත්‍ර ප්‍රමාණය 18

[1]මූලික විස්තර[සංස්කරණය]

ඔහියෝ පංතියේ සබ්මැරීනය සැලසුම් කර ඇත්තේ දීර්ඝ උපායමාර්ගික මුර සංචාර සඳහා ය. සෑම සබ්මැරීනයකටම නිල් කාර්ය( Blue)මණ්ඩලය සහ රන් කාර්ය (Golden)මණ්ඩලය යනුවෙන් හැඳින්වෙන සම්පූර්ණ කාර්ය මණ්ඩල දෙකක් යොදවා ඇති අතර, එක් කාර්ය මණ්ඩලයක් සාමාන්‍යයෙන් දින 70 සිට 90 දක්වා වන මුර සංචාරයක් සඳහා සේවය කරයි. කාර්ය මණ්ඩල පහසුව සහ නැවත ගමනාරම්භය සඳහා සුදානම් වීමේ දී ගත වන කාලය අඩු කිරීම උදෙසා, විශාල විෂ්කම්භයකින් යුත්  සැපයුම් ප්‍රවේශයන් තුනක් සෑම සබ්මැරීනයකම  සවි කර ඇත. සැපයුම් කුටි, උපකරණ ආදේශන මොඩියුල සහ යන්ත්‍රෝපකරණ සංරචක වේගයෙන් මාරු කිරීම, සබ්මැරීන නැවත පිරවීම සහ නඩත්තු කිරීම වේගවත් කිරීමට මෙම සැපයුම් මාර්ග යොදා ගනු ලබයි. එපමණක් නොව, මෙම සබ්මැරීනවල “රහසිගත” හැකියාව පෙර පැවති බැලස්ටික්-මිසයිල සබ්මැරීන වලට වඩා සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත. එහි රහසිගතභාවය කොතරම් ද යත් 1982 දී ඔහියෝ සබ්මැරීන සිය මුහුදු අත්හදා බැලීම් වලදී පවා හඳුනාගත නොහැකි විය.

මෙම සබ්මැරීන පංතියේ යාත්‍ර සඳහා වසර 15 ක් පමණ වරක් ප්‍රධාන අලුත්වැඩියාවන් ලබාදෙන අතර ඉතා නිහඬව අවශ්‍ය ගමනාන්තයන් වෙත සැතපුම් 20 ක (පැයට කි.මී. 37; පැයට සැතපුම් 23)  වේගයෙන් යාත්‍ර කර හැකි බව වාර්තා වේ. ඔවුන්ගේ මාර්ක් 48 ටර්පිඩෝ අවි පාලනය කිරීම සඳහා මාර්ක් 118 මොඩ් 2 ප්‍රහාරක පද්ධතිය යොදා ගනු ලබන අතර මිසයිල පාලන සඳහා  මාර්ක් 98 ප්‍රහාරක පද්ධතිය යොදා ගනු ලබයි. ඔහියෝ පංතියේ සබ්මැරීන ඉදිකර ඇත්තේ කොටස් වශයෙන් වන අතර සෑම තට්ටු හතර කොටසක්ම  අඩි 42 (මීටර 13) විෂ්කම්භයක් ඇත. මෙම කොටස් රොඩ් අයිලන්ඩ් හිදි(Rhode Island) ක්වොන්සෙට් පොයින්ට් හිදි( Quonset Point) සහ ජෙනරල් ඩයිනමික්ස් ඉලෙක්ට්‍රික් (General Dynamics Electric Boat)නෞක තටකාංගයේ දී නිෂ්පාදනය කරන ලද අතර පසුව කනෙක්ටිකට් හි ග්‍රෝටන් (Groton, Connecticut)නැව් අංගනයේදී එක්ලැස් කරන ලදී.

එක්සත් ජනපද නාවික හමුදාවට ඔහියෝ පන්තියේ සබ්මැරීන 18 ක් ඇති අතර ඒවා බැලිස්ටික් මිසයිල ප්‍රව‍ාහන සබ්මැරීන 14 කින් (එස්එස්බීඑන්) සහ කෲස්  මිසයිල ප්‍රව‍ාහන සබ්මැරීන හතරකින් (එස්එස්ජීඑන්) සමන්විත වේ. එස්එස්බීඑන් සබ්මැරීන මගින් එක්සත් ජනපද න්‍යෂ්ටික ත්‍රිකෝණයේ සමුද්‍රීය කලාපය නියෝජනය කරයි. සෑම එස්එස්බීඑන් සබ්මැරීනයක්ම ට්‍රයිඩන්ට් II බැලස්ටික් මිසයිල (එස්එල්බීඑම්) 24 කින් සන්නද්ධ කර ඇත. එසේම සෑම එස්එස්ජීඑන් සබ්මැරීනයකටම ටෝමාහෝක් කෲස් මිසයිල 154 ක් රැගෙන යා හැකි අතර, ටර්පීඩෝ ටියුබ් හරහා  හාපූන් මිසයිලවල ද දියත් කරනු ලබයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ස්ටාර්ට් ගිවිසුමේ එක් කොටසක් ලෙස, සෑම එස්එස්බීඑන් සබ්මැරීනයකම මිසයිල නල හතරක් අක්‍රිය කරනු ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රැගෙන යා හැකි මිසයිල ප්‍රමාණය ඉදිරි‍යේ දී දක්වා අඩු වනු ඇත.

ඉතිහාසය[සංස්කරණය]

ඔහියෝ පංතිය සබ්මැරීන  1970 දශකයේ දී නිර්මාණය කරන ලද්දේ ඊට සමගාමීව නිර්මාණය කරන ලද ට්‍රයිඩන්ට් න්‍යෂ්ටික බැලස්ටික් මිසයිලය රැගෙන යාම සඳහා ය. පළමු ඔහියෝ පන්තියේ සබ්මැරීන අට ට්‍රයිඩන්ට් I සී 4 එස්එල්බීඑම් මිසයිල 24 කින් සන්නද්ධ විය. නවවන ට්‍රයිඩන්ට් සබ්මැරීනය වන ටෙනසි සබ්මැරීනයේ ​​සිට ඇරඹී ඉතිරි යාත්‍රා අදියර තුනකින් යුත් ට්‍රයිඩන්ට් II ඩී 5 මිසයිල 24කින් සමන්විත විය. ට්‍රයිඩන්ට් I මිසයිලයක් තුළ ස්වාධීනව ඉලක්ක වෙත ගමන් කළ හැකි න්‍යෂ්ටික යුද ශීර්ෂ අටක් අන්තර්ගත වන අතර ට්‍රයිඩන්ට් II මිසයිලයක් තුළ එම ප්‍රමාණය 12 ක් වේ. ට්‍රයිඩන්ට් I මිසයිලයට වඩා ට්‍රයිඩන්ට් II මිසයිල විනාශකාරී බලයක් ලබා දෙන අතර වැඩි නිරවද්‍යතාවයකින් යුක්ත වේ. වර්ෂ 2000 දී එක්සත් ජනපද නාවික හමුදාව සී 4 මිසයිල වලින් සන්නද්ධව ඇති බැලස්ටික් මිසයිල සබ්මැරීන අට ට්‍රයිඩන්ට් II ඩී 5 මිසයිල රැගෙන යාම සඳහා පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. එය ආරම්භ වුයේ යුඑස්එස් ඇලෙස්කා සබ්මැරීනයෙනි. මෙම කාර්යය 2008 මැද භාගයේදී අවසන් කරන ලදී. පළමු සබ්මැරීන අටට වොෂිංටනයේ බැන්ගෝර් වරාය පිහිටි නාවික කදවුර කේන්ද්‍ර කොට ගෙන සේවයේ යෙදූ අතර ඇත. ඉතිරි සබ්මැරීන 10 හි මුලින් ජෝර්ජියාවේ කිංග්ස් බේ හි වරාය තුළ ස්ථාපනය වූ අතර එක්සත් ජනපද  අත්ලාන්තික් නාවික විධානයේ පොසෙයිඩන් සහ ට්‍රයිඩන්ට් වර්ගයේ මිසයිලා රැගෙන යන සබ්මැරීන වෙනුවට මෙම යාත්‍රා ආදේශ විය.

SSBN / SSGN පරිවර්තනය[සංස්කරණය]

වර්ෂ 1994 දී එක්සත් ජනපද න්‍යෂ්ටික ක්‍රියාවලියවලිය පිළිබද සමාලෝචන අධ්‍යයනය මගින් එරට නාවික හමුදාවෙි ක්‍රියාත්මක වන ඔහියෝ පන්තියට අයත් සබ්මැරීන 18 න් 14 ක් එක්සත් ජනපදයේ උපායමාර්ගික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනු ඇතැයි තීරණය කරන ලදී. එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහියෝ පන්තියේ යාත්‍රා 4 ක් සාම්ප්‍රදායික ප්‍රහාරක සබ්මැරීන බවට පරිවර්තනය කිරීමට තීරණය කරණ ලද අතර එම සබ්මැරීන යොදා ගනු ලබන්නේ සතුරු ඉලක්කයන් වෙත න්‍යෂ්ටික නොවන ප්‍රහාරයන් එල්ල කිරිමට  සහ විශේෂ මෙහෙයුම් කටයුතු සිදුකිරිම උදෙසාය. මෙම පරිවර්තන  ක්‍රියාවලිය සදහා ඔහියෝ පන්තියේ පැරණිතම යාත්‍රාවන් 4 වන  ඔහියෝ, මිචිගන්, ෆ්ලොරිඩා සහ ජෝර්ජියා යන සම්මැරීන 4 තෝරාගත් අතර වර්ෂ 2002 අග භාගයේදී ක්‍රමානුකූලව පරිවර්තන ක්‍රියාවලියට අවතීර්ණ වූ එම යාත්‍රා වර්ෂ 2008 වන විට නැවත ක්‍රියාකාරී සේවයට එක්වන ලදී. මෙම නවීකරණ  ක්‍රියාවලියෙන් පසු එක් සබ්මැරීනයකට ටොමාහෝක් කෲස් මිසයිල 154 ක් සහ විශේෂ මෙහෙයුම් නිලධාරීන් 66 ක් අන්තර්ගත විය. මෙම පරිවර්තන ක්‍රියාවලිය සිදුකිරිමේදී එක් සබ්මැරීනයකට ඇමරිකානු ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට රජයට සිදු විය. පළමු සබ්මැරීන 4  එස්එස්ජීඑන් බවට පරිවර්තනය කිරීමේදී පෙන්සිල්වේනියා, කෙන්ටකි, නෙබ්‍රස්කා, මේන් සහ ලුසියානා යන එස්එස්බීඑන් සබ්මැරීන පහ කිංග්ස් බේ සිට බැන්ගෝර් වෙත මාරු කරන ලදී. 

වර්ෂ 2011, ඔහියෝ පන්තියේ සබ්මැරීන විසින් මුර සංචාර 28 ක් සිදු කරන ලද අතර එම සෑම මුර සංචාරයකටම දින 70 ක් පමණ  කාලයක් ගත වී ඇත.  අවශ්‍ය ඕනෑම වේලාවක, තම මුහුදු සීමාව ආවරණය වන පරිදි  මුර සංචාරයේ යෙදීමට සබ්මැරීන හතරක් සුදානම් කර ඇති අතර ඒවා  ක්ෂණික අනතුරු ඇඟවීමක් සමඟ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත.  යුඑස්එස්  පෙන්සිල්වේනියාව (එස්එස්බීඑන් 735) සබ්මැරීනය වර්ෂ 2014 ජනවාරි සිට ජුනි දක්වා දින 140 ක මුර සංචාරයක් සිදු කළ අතර එය අද දක්වා සබ්මැරීනයක් විසින් සිදුකරන ලද දීර්ඝතම මුර සංචාරය වේ.

ඔහියෝ පන්තියට අයත් බැලිස්ටික් මිසයිල ප්‍රව‍ාහන සබ්මැරීන (එස්එස්බීඑන්) 4ක් කෲස්  මිසයිල ප්‍රව‍ාහන සබ්මැරීන හතරක් (එස්එස්ජීඑන්) බවට හැර වීමේ ක්‍රියාවලියේ දී එහි තිබූ අඟල් 24. 88 (මීටර 2.2) ක විෂ්කම්භයකින් යුත් ට්‍රයිඩන්ට් මිසයිල නල 24 න් 22 ක් විශාල සිරස් දියත් කිරීමේ පද්ධති අඩංගු වන පරිදි වෙනස් කරන ලද අතර එහි එක් සිරස් දියත් කිරීමේ පද්ධතියක් ටොම්හෝක් කෲස් මිසයිල හතකින් සමන්විත වේ.  එවිට මෙම එක් සබ්මැරීනයක් රැගෙන යන කෲස් මිසයිල ගණන 154 ක් වේ. එය සාමාන්‍යයෙන් ගොඩබිම හමුදාවක යොදවා ඇති මිසයිල ප්‍රමාණයට සමාන වේ. මීට අමතරව නව පරම්පරාවේ සුපර්සොනික් සහ හයිපර්සොනික් කෲස්  මිසයිල, අතරමැදි දුර බැලිස්ටික් මිසයිල, නියමුවන් රහිත යානා, ඒඩීඑම් -160 මැල්ඩ් වැනි නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන සංවේදක, බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා භාවිතා කරන AN/BLQ-11 වැනි නියමුවන් රහිත විශේෂ යාත්‍රා සහ ගැඹුරු මුහුදු නිරීක්ෂණ කැප්සියුල මෙම සැබ්මැරීන තුළ රැගෙන යනු ලබයි.

වර්ෂ 2002 නොවැම්බරයේදී ඔහියෝ  පන්තියේ ප්‍රථම සබ්මැරීනය වන යුඑස්එස් ඔහියෝ සබ්මැරීනයේ මාස 36 ක් පුරා දිවෙන පරිවර්තනය ක්‍රියාවලිය සඳහා අවතීර්ණ විය. වර්ෂ 2006 ජනවාරි 9 වන දින ජෙනරල් ඩයිනමික්ස් ඉලෙක්ට්‍රික් ආයතනය නිවේදනය  කළේ එම පරිවර්තනය ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි. එසේ පරිවර්තනය කරන ලද යුඑස්එස් ඔහියෝ සබ්මැරීනය වර්ෂ 2006 පෙබරවාරි මාසයේදීත්, යුඑස්එස් ෆ්ලොරිඩා සබ්මැරීනය එම වර්ෂයේම අප්‍රියෙල් මාසයේදීත්, යුඑස්එස් මිචිගන් සබ්මැරීනය නොවැම්බර් මාසයේදීත්  එක්සත් ජනපද නාවික හමුදාවට නැවත භාර දෙන ලදී. එම පරිවර්තනය ක්‍රියාවලියෙන්  පසු ඔහියෝ සබ්මැරීනය පළමු වරට මුහුදට දියත් කරනු ලැබුවේ වර්ෂ 2007 ඔක්තෝබර් මාසයේදීය. එමෙන්ම පරිවර්තනය ක්‍රියාවලියෙන් පසු යුඑස්එස් ජෝර්ජියා සබ්මැරීනය වර්ෂ 2008 මාර්තු මාසයේදී එම සබ්මැරීනය අයත් ව තිබූ කිංග්ස් බේ නාවික විධානය වෙත නැවත පැමිණියේය. මෙම එස්එස්ජීන් සබ්මැරීන 4 වර්ෂ 2023-2026 පමණ වන තෙක් සේවයේ රැඳී සිටීමට අපේක්ෂා කෙරේ. ඊට පසු ඔවුන්ගේ හැකියාවන් වර්ජිනියා පේලෝඩ් මොඩියුලය සහිත වර්ජිනියා පන්තියේ ප්‍රහාරක සබ්මැරීනයන් මගින් ප්‍රතිස්ථාපනය වේ.


සමුද්දේශ මුලාශ්‍ර[සංස්කරණය]

  1. https://en.wikipedia.org/wiki/Nuclear_submarine