Jump to content

එඩ්මන් පිරිස් රදගුරු

විකිපීඩියා වෙතින්

ලක්දිවට කිතු දහම පැමිණෙන්නට පෙර දූත මෙහෙවර ඇරඹුණු ඉන්දියාවේ වූසු ධර්මධූතවරු ඒ රට භාෂා සාහිත්‍යය හා ඉතිහාසය පිළිබඳ නොයෙක් ශාස්ත්‍රීය පර්යේෂණ පැවැත් වූහ. ජේසු නිකායික ගෞ. රොබට් ද නොබිලී සහ ගෞ. කොන්ස්ටයින් බෙස්කී නමැති පියවරුන්ගේ නා සකු බස හා දෙමළ සාහිත්‍ය පිළිබඳ උසස් ලෙස සලකනු ලැබේ.


“ලක්දිව ක්‍රිස්තු ධර්මය පැතිරවීමට ක්‍රමානුකූල හා

සංවිධානයක් පළමු වරට ඇරඹුණේ දසහවන සිය වස මැද හරියේ දී ය. ෆ්රැන්සිස්කන් තාපසයන් විසින් ද ඉන්පසු ජේසු නිකායේ පියවරුන් විසින් ද පටන් ගත් මේ ව්‍යාපාරයට ඔගස්ටිනියන් සහ දොමිනිකන් පන්තිවල තපස්වරු ද තදනන්තරව සහභාගි වූහ.

පසළොස්වන බෙනදික් ශුද්ධෝත්තම පියාණන්ගේ නිවේදනය පරිදි ධර්ම සේවයෙහි නියුතු වන ප්‍රෙරිතයකු කෙරෙහි තිබිය යුතු අත්‍යවශ්‍යක උපයෝගයක් නම් සිය මෙහෙයට ලක් වූ ජනතාවගේ භාෂා පිළිබඳ මනා දැනුමකි. මෙකල යම් රටකට පැමිණෙන විදේශිකයකුට ඒ රටේ භාෂා ගැන දැනුමක් ලබා ගත හැකි මාර්ග බොහෝ ය. එහෙත් සුදුසු පත පොත නැති ඒ මුල් කාලයේ දී මෙ රට භාෂා දැන ගැනීමට විදේශිකයාට හැකි වූයේ එකී ජනතාව හා ආශ්‍රයෙනි. මුල් අවදියේ මෙහි පැමිණියන් අතර ස්වකීය සංස්කෘතියෙන් ද ශාස්ත්‍රීය ශක්තියෙන් ද රටේ භාෂා ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට තරම් උගත්හු අල්ප නොවූ හ.

ලක්දිවට කිතු දහම පැමිණෙන්නට පෙර දූත මෙහෙවර ඇරඹුණු ඉන්දියාවේ වූසු ධර්මධූතවරු ඒ රට භාෂා සාහිත්‍යය හා ඉතිහාසය පිළිබඳ නොයෙක් ශාස්ත්‍රීය පර්යේෂණ පැවැත් වූහ. ජේසු නිකායික ගෞ. රොබට් ද නොබිලී සහ ගෞ. කොන්ස්ටයින් බෙස්කී නමැති පියවරුන්ගේ නා සකු බස හා දෙමළ සාහිත්‍ය පිළිබඳ උසස් ලෙස සලකනු ලැබේ. (rf. The science of Language by Mas Muller) අතිගරු එඩ්මන්ඩ් පීරිස් හිටපු රාජගුරුප්‍රසාදි සිංහල කතෝලිකයන් සමාජ සංස්කෘතික සංවර්ධන සිංහල නාට්‍ය කලාවට, සිංහල සාහිත්‍යය සඳහා සිදු කළ මෙහෙය අපමණය. අප ඉහතින් දැක්වූයේ එතුමන් විසින් ලියන ලද “සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය” (දසවන සියවසේ සිට හයවන සියවස දක්වා) කෘතියේ හැඳින්වීමේ කොටසකි.

එතුමා ගැන 1973 පෙබරවාරි 16 වෙනිදා “ඥානාර්ථ ප්‍රදීපය” පත්‍රයට ලිපියක් ලියන මා ගත් කතුවරි මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ පවසති.

“ආචාර්ය ඇඩ්මන් පීරිස් රදගුරුතුමා සිංහල පාලි සකු බස හා ලංකා ඉතිහාසය ද උගතුන් සුලභ අතීතයෙහි පටන් ලංකා කතෝලික සසුනෙහි මුල් බැස ගත් සිරිත් ද පිළිබිඹු කරන උසස් පඬිවරයෙකි. මා බොහෝ කාලයක සිට හිත මිතුරකු ලෙස ඇසුරු කරන රදගුරුතුමා පැරණි භාෂා සාහිත්‍යයෙහි හසළ දැනුම ඇත්තකු පමණක් නොව වර්තමාන සිංහල සාහිත්‍යය විවේක බුද්ධියෙන් විමසන විචාරකයෙක් ද වෙයි. පාසල් ඇදුරකු සමඟ එක්ව පීරිස් රදගුරුතුමා විසින් සකස් කරන ලද “මග සලකුණ” නමැති සන‍්දේශය වැදගත් ය. “මඟ සලකුණ” මහනුවර කාලයෙහි කිතුසමය නිසා සිංහල සමාජය හා භාෂා සාහිත්‍යය කෙමෙන් වෙනස් වූ සැටි හැඳින්වෙන රචනයකි. එතුමා රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සඟරාවට “ලංකා තෘණ විද්‍යාවේ පියා මැයෙන් ලියන ලද ලිපිය එතුමාගේ පර්යේෂණ ශක්තිය හා නොයෙක් බසහි පැතිරී දැනුම ද පිළිබිඹු කරන කැටයමක් වැන්නය. 1672 සිට 1679 දක්වා ලංකාවේ විසූ පෝල් හර්මන් නමැති ඕලන්ද වෛද්‍යවරයා “ලංකා තෘණ විද්‍යාවේ පියා” ලෙස ඇඩ්මන් පීරිස් රදගුරුතුමා විසින් කර ඇති හැඳින්වීම ඉතා උචිත ය.

අගරදතුමන් මේ ලියුම්කරුට හමු වූයේ වසර 35කට එපිට “නවයුගය” පුවත්පතට ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා සමඟ විශේෂාංගයක් ලිවීමට ගිය අවස්ථාවේදී ය. ඒ 1984 පෙබරවාරි මාසයේ ය. එදා අප එතුමන් හමු වූයේ ගම්පහ හොලික්‍රොස් කන්‍යාරාමයට යාබද පිහිටි නේවාසිකාගාරයක විශේෂ කුටියකදී ය. අප එහි යන විට එළිමහනේ වාඩි වී කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකුට උපදෙස් දෙමින් සිටියේ ය. එදා අසූ හත් හැවිරිදි වියේ සිටි එතුමා සිය දින චරියාව අත්නොහැර අප සිය පුස්තකාල කාමරයට කැඳවා ගෙන ගියේ නිධානයක් පෙන්වන්නාක් මෙන් කුහුලකිනි.

“මම ඉස්සර නම් රාත්‍රී 12 වෙනතුරු වැඩ කරනවා. පුස්තකාලයේ ඉඳගෙන ලියනවා, කියවනවා. ආයෙත් උදේ පාන්දර 5.30ට අවදිවෙනවා. නැගිටලා යාච්ඤා කරනවා. භාවනා කරනවා. හතටයි උදේ තේ බොන්නේ. දවාලට මට පැය තුන් කාලක් නිදා ගන්න ඕනෑ. ඔර්ලෝසුවේ එලාම් එකක් නැතිව මම පැය තුන් කාලයකට පසු අවදි වෙනවා. රාත්‍රියේ මම හුඟාක් වැඩ කළා. දැන් මගේ පෙනීම අඩුයි. වයසයි. රාත්‍රී 9වන කොට නින්දට යනවා.”

එතුමාගේ පුස්තකාලය තිබුණේ වෙනමම කුටියක. එහි වර්ග කර තිබූ පොත් අපට පෙන්නුවේ ය.

“මේ රාක්ක තියෙන්නේ ලංකා ඉතිහාසය ගැන ලියැවුණු පොත්. ඊට යටින් සිංහල සාහිත්‍ය විචාර, සන්දේශ කාව්‍ය, සම්භාව්‍ය සාහිත්‍ය කෘති. මෙතැන තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ උන්නැහේ එතුමගේ අත් අකුරෙන් ම තුටු පඬුරු ලෙස එවූ පොත්. උන්නැහේ මගේ හොඳ මිත්‍රයෙක්. අර රාක්කේ ෂේවියර්තුමා එංගලන්තයේ, ඉන්දියාවේ, ජපානයේ ගත කරපු කාලය ගැන ලියූ පොත්. ඒත් එක කණ්ඩයක් කවුරු නමුත් අරන් ගිහින්. මම ඉන්නේ එංගලන්තෙට ලියලා යවල ඒ කාණ්ඩේ ගෙන්ව ගන්න. මේක ඩෙනිස් ක්ලාක් මහත්තයා ලියපු “රන්දිව” කියන පොතේ මුල් මුද්‍රණයක්. ඒ කාලේ මම ඒ මහත්තයට හුඟාක් උදව් කළා. මේ බලන්න, මට පොතේ ඒ මහත්තයා විශේෂ ස්තුතියක් කරල තියෙනවා.” එතුමා “රන්දිව” පොත පෙරළා අපට ඒ සටහන පෙන්නුවේ ය.

විවිධ රටවල මුද්‍රණය වූ බයිබල් වෙනම රාක්කයක තැන්පත් කර තිබූ අතර ඒ අසල තවත් රාක්කයක උඩින් ම තිබූ ජාතක පොත් වහන්සේ හා බුද්ධ ධර්මය ගැන ලියූ පොත් එකතුව අපට පෙන්වා පුස්තකාලය වටේ ම ඇවිද්දේ “මේ ධන නිධනයක්” කියමිනි. ඒ පොත්වල වටිනාකම මුදල් වලින් තක්සේරු කළ නොහැකිය. ඉතා පරිස්සමින්, ආදරය කරමින් වසර 60ක් පමණ කාලයක සිට එකතු කළ ඒ පොත් ගැන එතුමා මෙසේ ද කීවේය.

“මම නැති වුණ කාලයක මේ පුස්තකාලය අම්පිටියේ සෙමනේරියට බාර දෙන්න මම ලියලා තියෙන්නෙ.”

1897 වසරේ දෙසැම්බර් 27 වෙනිදා හලාවත උපන් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්ගේ පියාගේ නම මැනුවෙල් දියෝගු පීරිස් ය. ක්ලේරා වීරසිංහ මව වූවාය. තම කුඩා කාලය ගැන කතා කළේ ඒ අතීතය බදා අල්ලා ගන්නා තරම් ආසාවකිනි.

“මගේ ගම හලාවතනේ. අපි කවටකමට කියන්නේ “අපේ ගම හලාවත තමයි. පුංචි වුණත් කොච්චි කරල තමයි” කියලා. මම සිංහල දෙවැනි ප්‍රමාණය වන තෙක් ගමේ මඩමේ පාසලේ. ඊට පස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනයට බැස්සා. ගේ අසළ තිබූ සාන්ත මරියා විදුහලෙන් ඉගෙන ගෙන 1924 එතුමා පූජකවරයකු වීමට බොරැල්ලේ සාන්ත බර්නද් දෙව්සත් හලට ද පසුව ශාන්ත ඇලෝසියස් දෙව් සත් හලට ඇතුළත් විය. 1924 පෙබරවාරි 25 වැනිදා එතුමා පූජකත්වය ලබා ගත්තේය. 1933 වැඩි දුර අධ්‍යාපනයට එංගලන්තයට ගොස් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් ඉංග්‍රීසි, ලතින්, සිංහල භාෂාවලින් ප්‍රවීණත්වයක් ලැබූ එතුමාගේ සමකාලීනයන්ව ඇත්තේ නන්දදේව විජේසේකර, වැන්නන්ය. එතුමාට ගායනයට ප්‍රවීණතාවක් තිබූ බව සමකාලීනයකු වූ මර්සිලීනු ජයකොඩි පියතුමා කියා තිබුණි.

“එඩ්මන්ට අගනා ගැඹුරු ගායනයට සුදුසු කට හඬක් ඇති වූයේ ඉබේ ම නොවේ. ඔහු බාල වියේ සිට ම ගැයීමේ අභ්‍යාස පාඩම් හදාරා පළපුරුදු ගතියක් ලද හෙයිනි. හොඳ මිහිරි කටහඬක් තිබීම පූජකතුමකුට වටිනා අංගයකි. ඒ හා ම ඕගනය වැයීම ගැනත් ඔහු යම් නිපුණත්වයක් ලබා තිබිණ.”

සිංහල සාහිත්‍යයට කුඩා කළ සිට ම ඇදී ගොස් ඇත්තේ උන්වහන්සේගේ සීයා නිසා බව අපට කියා ඇත. (නවයුගය - 1984 - 2 - 26)

“මගේ සීයා (අම්මගෙ පියා) පිස්කල් රාළහාමි කෙනෙක්. උසාවියේ ප්‍රධාන ලිපිකරු ලෙසත් වැඩ කළා. සීයාට සිංහල පාලි, සංස්කෘත භාෂා ගැන හොද දැනුමක් තිබුණා. දවසකට ගෙදර දී පැය 1/2ක්වත් පොතක් කිව යුතු යැයි මට නියම කර තිබුණා. මුලින්ම මට කියවන්න දුන්නේ ගොන්සාල්වේස් පියතුමාගේ පහසු සිංහල පොතක්. එතුමා ලියූ “දුක් ප්‍රප්ති ප්‍රසංගය” (දුක් සහිත කාලය) ගෙදරදී මම තාලෙට කියෙව්වා. මේ නිසා සිංහල රචනාවක් වුණත් මට පද්‍යයක් වාගේ තාලයට කියවන්න පුළුවන්. 1924 ඉඳලා මම මීසම් ගණනාවක වැඩ කරමින් සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් ධර්මය දේශනා කරල තියෙනවා. මග්ගොන අභ්‍යාස විද්‍යාලයේ මම ඉගෙනීම ලබද්දී මම ලංකාවේ පැරණිතම සඟරාවක් වූ “භක්ති ප්‍රබොධන” සඟරාවත් සංස්කරණය කළා.

මගේ අම්මා මැරෙන කොට මගේ වයස අවුරුදු 10ක් පමණ ඇති. වසර කිහිපයකට පසු මගේ පියා නැවත විවාහ වුණා. ඒ විවාහයෙන් උපන් සොහොයුරියක් වූ මේරි කොන්ස්ට්න්සියා මා දැන් සිටින ගම්පහ සිරිකුරුස කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය වුණා. ඒ සොහොයුරිය මම අගරදගුරු පදවියෙන් විශ්‍රාම ගිය පසු මට සේවය කරනවා.”

ගම්පහ සිරි කුරුස විදුහල්පතිනිය වූ නෙලී හෙලන් ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය 1985 දෙසැම්බර් 15 - 30 දෙසතිය සඟරාවට කියා තිබුණේ මේ කතාව ය.

“උන්වහන්සේ සතු එකම වස්තුව පුස්තකාලයයි. “මරණයන් පසු මේ පොත් විනාශ වේදෝ” කියා සිතන විට දුකක් කියා හැඟීමක් ඇති වුණා. පුස්තකාලයේ දී නම් උන්වහන්සේට කිසිවකු විශ්වාසය නැතිය. තමා සමඟ පුස්තකාලයට ඇතුළුවන ආගන්තුකයන්ගෙන් උන්වහන්සේ කරන බැගෑපත් ඉල්ලීම, “අනේ පොත් නම් ගන්න එපා.” කියායි. දෙවැනි වතිකානු සමුළුවට සහභාගි වීම සඳහා රෝමයට ගිය උන්වහන්සේ ගුවන් යානයේ තමාට ගෙන යා හැකි බර ප්‍රමාණය ප්‍රයෝජනයට ගත්තේ යෝධ ශබ්දකෝෂ කිහිපයක් ගෙන යෑම සඳහා බව ගරු බීඩ් ප්‍රනාන්දු පියතුමා කියා තිබුණා.”

ලන්ඩන් හි ප්‍රාචීන සහ අප්‍රිකානු අධ්‍යාපන පීඨයෙන් ඉගෙනුම ලබ බී.ඒ. ලන්ඩන් උපාධිය ලැබූ උන්වහන්සේ හලාවත බිෂොප් තුමා ලෙස ද, රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ උප සභාපති ලෙස ද, ලංකා ඓතිහාසික ලිපි ලේඛන කොමිසමේ ද, සිංහල ශබ්ද කෝෂ අනුමණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. “මග සලකුණ” නම් සිංහල කාව්‍යයේ සංස්කරණයෙන් ඉංග්‍රීසි අන්තර්ගත ග්‍රන්ථයේ කතුවරයා වූ උන්වහන්සේ ඒ හැර At the Tomb of Gonsalvez, Marin Devotion in Ceylon යන ග්‍රන්ථ දෙකෙහි ද කර්තෘ ය. ලංකාවේ රෝමානු කතෝලික දේවස්ථානවල ගැයීම පිණිස සිංහල ගිතිකාව ද, වෙනත් බොහෝ සිංහල කතෝලික ගීතිකා ද නිබන්ධ කළේය.

“1973 එංගලන්තයේ සංගීත කණ්ඩායමක් මම ඇති කළා. පැරිසියේ බැසිලිකා දේවස්ථානයේ මංගල්‍යයේ ඕගන් වාදනය කළා. මම නාට්‍ය කලාවට බොහොම ළැදි කෙනෙක්. එයටත් හේතුවක් තිබුණා. අපි පොඩි කාලයේ නත්තලට “රජ තුන් කට්ටුව” නටනවා බලා ඉන්නවා. මේ නාට්‍යය දෙමළ නාට්‍යයක ආභාසය ලබල හදපු එකක්. “මුවි රාස්සකල නාඩගම.” කියන රජවරු තුන් දෙනෙකුගේ කතාවක් තිබුණා. අපේ මුත්තකු හිටියා ගාබ්‍රියෙල් ප්‍රනාන්දු කියලා. එයා තමයි ඒ නාට්‍යය සිංහලයට හරවල නැටෙව්වෙ. ඒ පිලිප්පු සිංඤඤටත් ඉස්සර. නාඩගම් කලාව ගැන වඩා වඩා උනන්දු වුනේ මේ නිසා මම ගුවන් විදුලි නාට්‍ය 4ක් ලියලා තියෙනවා. මෙයින් දෙකක් ලිව්වේ නත්තල වෙනුවෙන්. “ත්‍රාස රාත්‍රිය” - “පුදුම තරුව” ඒ නාට්‍ය දෙක. “අනඩු තීන්දුව” - “මාර කියලා තවත් නාට්‍ය දෙකක් ලිව්වා.”

නාට්‍ය රචකයකු වගේම එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන් සංගීතයට හපනෙක් කියලා මම මුලින් සඳහන් කළෙමි. පුරාණ පසන් ගී නව නැම්මක් දුන් එතුමා ගේ හාමෝනියම් සංගීත භාණ්ඩය ද උන්වහන්සේගේ පුස්තකාල කාමරයේ වැජඹෙන අයුරු අපි දුටුවෙමි.

“මේක දැන් පරණයි. ඒත් කෞතුක අගයක් තියෙන නිසා මම පුස්තකාලේ තියා ගත්තා.” උන්වහන්සේ සිනාසෙමින් කියන විට පුංචි ගැහැනු ළමයි පිරිසක් ගී ගයමින් විනෝද වෙමින් ඒ අසලින් ගියහ.

“ඔය මගේ යාළුවෝ. පුංචි දරුවෝ මාව හොයාගෙන මගේ කාමරයට එනවා. මම ඒ අයට සීනි‍ බෝල, චොකලට් දෙනවා. නත්තල් කාලෙට ඒ ළමයි ජේසුතුමාගේ පින්තූර ඉල්ලලා මට කරදර කරනවා. හැබැයි ඒ ළමයි කලබල කරන්නේ කරදර කරන්නේ නැහැ. මම ඒ අයගේ ඉල්ලීම ඉටු කරන නිසා.

මම මහන්සි වෙලා මේ තැනට ආවේ. බොරු හර මම ප්‍රතික්ෂේප කළා. මම මුදල් එකතු කළේ නෑ. ඉඩම් අක්කර ගණනක් දුප්පතුන්ට බෙදා දුන්නා. සුඛ විහරණ මම අගේ කළේ නැහැ.” එතුමා කීවේය.

මහදැනමුත්තා ගේ කතාව ගැනත් දවුන්ද කොඩිය ගැනත් සොයා ගැනීමට එතුමා පර්යේෂණ කර ඇත.

“දවුන්ද කොඩිය කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සේනාංකයේ සිටි ලෙව්කේ රාළහාමි හංවැල්ලට ගෙන ගිය නිල කොඩිය. දවුන්ද කොඩිය පසුව ඉංග්‍රීසින් ලන්ඩනයට ගෙන ගියා. මම ලන්ඩන් කෞතුකාගාරයේ දී මේ කොඩිය දැක්කා. කෞතුකාගාරයේ රෙජිස්ටරයක මේ කොඩියේ ලාංඡනයක් යොදා තිබුණ නිසා කොඩි හඳුනා ගැනීමට පහසු වුණා. ලන්ඩන් කෞතුකාගාරයේ දහසක් කොඩි අතර මේ කොඩිය දැක එහි ඡායාරූපයක් ගැනීමට සූදානම් වන විට එහි ආරක්ෂක මට අවසර දුන්නේ නෑ.

“අපේ දේ උඹලා ගෙනාවා මදිවට ඒකේ පින්තූරයක්වත් ගන්න දෙන්නේ නැද්ද?” මම ඇහැව්වා.

ඉන්පසු මම ඔහුට බියර් බීමට සිලින් 2ක් දි එහි ඡායාරූපයක් ගත්තා. දවුන්ද කොඩිය හා ලෙව්කේ රාළහාමි අපේ මතකයට එන එක්තරා සංකේතයක්. ඉංග්‍රීසීන්ට පක්ෂ වූවායැයි රාජසිංහ රජතුමා ඔහු මරවා දැම්මා. “ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ” කියලා කවි හැදුණේ ඒ නිසා.

පීරිස් අගරදතුමා, ඉතිහාසඥයකු වූ එස්.ජී. පෙරේරා පියතුමා සමග එක්වී පොත් කිහිපයක් ලියූවේය.

ඇස්.ජී. පෙරේරා පියතුමා මුළු ජීවිතය ම කැප කර ඇත්තේ ඉතිහාසය ලිවීමට ය. එතුමා පෘතුගිසි - ලන්දේසි හා බ්‍රිතාන්‍ය යුගය ගැන ඉතිහාස පොත් ලියූ අතර ඥාන ප්‍රකාශර් පියතුමෝ දෙමළ සාහිත්‍ය පෝෂණයට කැප වූහ. එහෙත් පීරිස් අගරදතුමා පල්ලියේ ආගමික වැඩක් කරමින් සාහිත්‍ය කටයුතුවල යෙදුණේය.

“මගේ සාහිත්‍ය කටයුතුවලට කළුකොඳයාවේ ප්‍රඤඤාශේකර නා හිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, අමුණුගම විපස්සි නා හිමි, වැලිවිටියේ සෝරත හිමි යන ගරුතර සංඝයා වහන්සේලා බෙහෙවින් උදව් කළා. ජනශ්‍රැති ගැන මා තුළ උනන්දුවක් ඇති වුණේ ප්‍රථම සිංහල මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය මහතා නිසා. ලන්ඩන් උපාධිය සඳහා මම ඉංග්‍රීසි, ලතින් හා සිංහල භාෂා හැදෑරුවා. අපට සිංහල ඉගැන්වූ තවත් ආචාර්යවරයෙක් ටර්නර්. මහාචාර්ය මලලසේකර හා මහාචාර්ය හෙට්ටිආරච්චිගෙත් ගුරුවරයා ටර්නර් මහතා. මම දෙමළ භාෂාවත් හැදෑරුවා. 1936 මම බී.ඒ. උපාධිය ලබා ගත්තේ මා ලියූ “සිංහල කවීත්වයේ ස්වර්ණමය යුගය” නිබන්ධනයේ කොටස් “සිළුමිණ” පත්‍රයේ ශාස්ත්‍රීය අතිරේකයේත් එහි ඉංග්‍රීසි ලිපිය බම්බලපිටියේ සාන්ත පීතර විද්‍යාලයේ සඟරාවෙත් පළ වුණා.”

මීට වසර 35කට පමණ ඉහත ගම්පහ දී හමු වූ මේ භාෂා ශාස්ත්‍රොන්නතිකාමී මේ විද්වතාගෙන් මා සමු ගන්නා විට දේවස්ථානයට අඳුර වැටී තිබිණ. එහෙත් ඒ අඳුර හුදු භෞතික වශයෙන් පවතින්නක් පමණි. උන්වහන්සේ වටා ඇති ධර්ම ශාස්ත්‍රීය හා අධ්‍යාත්මික ආලෝකය ඒ භෞතික පරිසරය පලවා හරිතැයි මට සිතිණ.

එඩ්මන් පීරිස් අගරදතුමන් එදා පුවත්පත්වල ලිපි ගණනාවක් Dhanapala Weerasinghe, Civis Retired Teacher වැනි නම්වලින් ලියූ බව “දෙසතිය” පුවත් සඟරාවේ පළවී තිබුණි. එහි කවරයේ කතාව ලියූවේ වින්සන්ට් පෙරියප්පෙරුම, ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, සුමිත් මායාදුන්නේ, චන්ද්‍රිකා ගුණසේකරය. ප්‍රියන්ජන් සහ ටිෂාන් පෙරේරා ගත් අගනා ඡායාරූපවලින් එම ලිපිය වර්ණවත් වී තිබුණි. මෙහි එන ඡායාරූප ප්‍රියන්ජන්ගේ බව ද සටහන් කරමි.

කැලණි විශ්වවිද්‍යාලයෙන් “සාහිත්‍ය චක්‍රවර්ති” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මේ “සිතින් දිලින්දෙකු වූ භාග්‍යවන්තයා” නමින් හැඳින්වූ රාජගුරු එඩ්මන්ඩ් පීරිස් පියතුමා නම් මහ පඬුවාණෝ 1989 සැප්තැම්බර් 04 වන දින දෙව් මවු තුරුලට සැපත් වූහ.

එතුමා ගැන ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා ලියූ මේ සටහනින් මේ ලිපිය නිමා කරමු.

“කොපමණ දස්කම් ඇති වුවත් උසස් තැන් දැරුවත් දිළිඳු බව, සරල දිවිය, යහපත්කම ආදී ධර්ම ගුණයන්ට ද ජීවිතයේ මුල් තැන දුන් නිසා මෙතුමා මගේ සාන්තුවරයන්ගේ නාමාවලියට ඇතුළත් වේ.”

"https://si.wikipedia.org/w/index.php?title=එඩ්මන්_පිරිස්_රදගුරු&oldid=671820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි