උපෝසථඝරය
උපෝසථාගාරය යනුවෙන් ද හැඳින්වෙන පොහොය ගෙය, පොහොය කිරීම හා වෙනත් සංඝ කර්ම සඳහා භික්‍ෂූන් වහන්සේ එක් රැස්වන ගොඩනැගිල්ල යි. මෙය විනය නීතිවලට අනුව සීමා බැඳීම් ආදියෙන් නිම කළ යුතු ගොඩනැගිල්ලකි. උපසම්පදාව ලැබ අවුරුදු දහයක් ගතවුණු භික්‍ෂූන් වෙසෙන විහාරයක් උපොසථ කර්මය සඳහා සම්මත කොට ගත යුතු ය. ආවාස රැසක් ඇතුළත් සීමාවක එක් නිශ්චිත ගොඩනැගිල්ලක් උපෝසථාගාරයක් ලෙස සම්මත කැරෙනුයේ පොහොය කිරීමට පැමිණෙන භික්‍ෂූන් වහන්සේ ලා ගේ පහසුව පිණිස ය. ලංකාවේ පැරැණි ම උපෝසථාගාරය වන්නේ මහාවිහාරයේ ලෝවා මහා ප්‍රාසාදය යි.
උපොසථයෙහි ආරම්භය මහාවග්ග පාලියේ උපොසථ බන්ධකය අනුව මෙ සේ ය.
අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්ෂයේ අටවක් හි ද එක්තැන් වී දහම් කියා දෙත්. මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. ඔවුහු අන්‍යතීර්ථක පරිව්‍රාජකයන් කෙරෙහි පේ‍්‍රමය ලබත්. පැහැදීම ලබත්.
මේ සිද්ධිය දුටු මගධාධිපති බිම්සර රජු මහත් සංවේගයට පත් විය. මන්ද යත් අන්‍යසාමයික තීර්ථකයන්, මෙ සේ තුදුස්වක් හි ද පසළොස්වක්හි ද පක්ෂයේ අටවක්හි ද එක්තැන් වී කටයුතු කරද්දී තමන් ගේ ආර්යයන් වහන්සේ ලා එවැන්නක් නො කර සිටිති. මේ හේතුවෙන් බොහෝ මිනිසුන් බුද්ධ ශාසනයෙන් දුරස්ව අන්‍ය තීර්ථකයන් කරා යෑමට පෙළඹේ. මෙ සේ කල්පනා කළ බිම්සර රජු මේ බව බුදුරජාණන් වහන්සේට සැලකර සිටියේ ය. තමන් ගේ ආර්යයන් වහන්සේලාත් මෙ සේ කරන්නේ නම් උන්වහන්සේලා කෙරෙහි ද දායකයන් ගේ ශ්‍රද්ධාව තවත් වැඩිවන බව රජතුමා ගේ අදහස විය.රජවරුන් ගේ මෙවැනි ඉල්ලීම් වලට නිතර කන් දෙන බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම කෙරෙහි සැලකිලිමත් විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගදේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට දැහැමි කතාවෙන් කරුණු දැක් වූ හ. සමාදන් කර වූ හ. තියුණු කර වූ හ. සතුටු කර වූ හ. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහ්නසේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
මින්පසු බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ලා අමතා තුදුස්වක්හි පසළොස්වක්හි පක්ෂයේ අටවක්හි රැස්වන්නට අනුදැන වදාළ හ. මහණනි, සීමාව සම්මත කරන්නට අනුදනිමි. මහණනි, එය මෙ සේ සම්මත කළ යුතු ය. පබ්බතනිමිත්ත, පාසාණනිමිත්ත , වනනිමිත්ත, රුක්ඛනිමිත්ත, මග්ගනිමිත්ත, වම්මිකනිමිත්ත, නදීනිමිත්ත යන මේ නිමිති පළමුකොට කීර්තනය කළ යුතු ය. නිමිති කීර්තනය කොට ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූ නමක් විසින් සංඝ තෙමේ සීමාව සම්මත කරන්නේ ය.
මෙ සේ බුදුරජාණන් වහන්සේ සීමා සම්මත කිරීම අනුදැන වදාළ පසු භික්‍ෂුන් වහන්සේ ලා තමන් කැමැති පරිදි සීමා සම්මත කරන්නට වූ හ. එම සීමාවන්හි ප්‍රමාණය සිව් යොදුන්, පස් යොදුන්, සයොදුන් පමණ විය. සීමාව ඉතා විශාල බැවින් ප්‍රාතිමෝක්‍ෂ දේශනා කරනු ලබන කල්හි ද භික්‍ෂූන් වහන්සේ ලා උපොසථයට පැමිණෙති. ප්‍රාතිමෝක්‍ෂය දේශනා කළ ඇසිල්ලෙහි ද පැමිණෙති. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ සීමා සම්මත කිරීමේ මේ ක්‍රමය බැහැර කොට තුන් යොදුන පරමකොට ඇති සීමා සම්මත කිරීම අනුදැන වදාළ හ. මින් පසු භික්‍ෂූන් වහන්සේ ලා නදිය මැදිකොට දෙපා ඉවුරෙහි සීමා සම්මත කරති. උපොසථයට එන්නා වූ භික්‍ෂූන් වහන්සේ ලා ගඟ දියෙහි ගසාගෙන යති. සිවුරු ද ගසාගෙන යනු ලැබේ. ඉන් පසු බුදුරජාණන් වහන්සේ නදිය වටකොට සීමා සම්මත කිරීම බැහැර කොට යම්කිසි නිශ්චිත ස්ථානයක නිතර හැසිරෙන නැවක් හෝ නිතර තිබෙන ගෙයක් හෝ වන්නේ ද එ බඳු ස්ථානයක සීමා සම්මත කරන්නට අනුදැන වදාළ හ.
මේ ආකාරයට බුදු සසුනට එකතු වූ පොහොය කිරීමේ පිළිවෙත අද දක්වා ම නො නැසී පවතී