උඩුගම බුද්ධරක්ඛිත හිමි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හත්පත්තුවේ රැකව කෝරළයේ හෙවත් වර්තමානයේ පොතුහැර නගරයට නුදුරින් පිහිටි උඩුගම ගම්මානයේදී 1930 වසරේ මාර්තු 17 දා උපත ලැබූ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිනම වූයේ ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහය. ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර මහතා හා ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ මහත්මිය බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ දෙමව්පියෝ වූහ .
උඩුගම ගමේ පාසලෙන් ගිහිකාලේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1945 ජූලි 19 දා සිය ගිහිකල ඥාතීයෙක්ද වූ , පසුකලෙක අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් වූ උඩුගම රතනපාල මහානාහිමියන් යටතේ පැවිදිබිමට පත්විය .
මාතලේ ධර්මරාජ පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේගේ පිරිවෙන් ආචාර්යයන්වහන්සේලා වූයේ ගම්මුල්ල ශ්‍රී චන්ද්‍රජෝති හිමි, මෙල්පිටිය සෝමරතන හිමි හා පරණගම සුමනජෝති හිමියන්ය.
1951 ජූනි 12 දා එවක මහානාහිමි වූ යටවත්තේ ධම්මරතන මහානාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් , ගොඩමුන්නේ ධම්මානන්ද හා හලියාලේ සුමනතිස්ස යන හිමිවරුන්ගේ කර්මාචාර්‍යත්වයෙන් උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1955 දී අස්ගිරි මහාවිහාරයට පැමිණ 1957 දී කර්මවාගාචාර්‍ය් ධුරයටත්, 1966 දී කාරක සභාවටත් තේරිපත්විය.
1992 දී රංගිරි දඹුල්ල රජමහා විහාරයේ අධිපතිධුරයට පත්වූ උන්වහන්සේ යටවර සංඝරක්ඛිත නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ අනුනායක ධුරයට 1998 දී තේරිපත්විය.
1999 දී පලිපාන ශ්‍රී චන්දානන්ද මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ මහානාහිමි ධුරයට එම වසරේදී දෙසැම්බර් 13 දා පත්වූ උන්වහන්සේ පොතුහැර සඟ පරම්පරාව නියෝජනය කරමින් මහානාහිමි ධුරයට පත්වූ සිව්වන භික්ෂුව ලෙස බුද්ධරක්ඛිත මහානාහිමියන් ඉතිහාසගත විය. එමෙන්ම පොතුහැර සඟ පරම්පරාවට මහානාහිමි ධුරය හිමිවූයේ 1970 වසරෙන් පසු වන අතර , අවසාන වරට පොතුහැර සඟ පරම්පරාව වෙනුවෙන් මහානාහිමි ධුරය දැරුවේ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිකල ඥාතී මෙන්ම පැවිදි ආචාර්යයන්වහන්සේ වූ උඩුගම රතනපාල මහානාහිමියන්ය.
බුරුමයෙන් අග්ගමහාපණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ උන්වහන්සේ දශක එකහමාරක් මහානාහිමි ධුරය දරා 2015 අප්‍රේල් 8 දා සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබත් රෝහලේදී අපවත්වූහ.